නේපාල ලංකා බුදුනු මිතු දම

 ශ්‍රී ලංකාවේ ජනයාට - විශේෂයෙන් බෞද්ධයනට - නේපාලය ඉතා වැදගත් වනුයේ ගෞතම බුදුන් වහන්සේ ගේ උපන් බිම දැන් අයත් වැ ඇත්තේ එ රටට බැවිනි. මේ සුවිශේෂ සම්බන්ධය නිසා ම නො බෝදා - මෙරට පැවැත්වුණු අන්තර්ජාතික වෛශාඛ්‍ය මහෝත්සවයේ සමාප්ති දින ප්‍රධාන ආරාධිතව වූවා නේපාල ජනපතිනි බිධ්‍යා දේවි බන්ධාරි මැතිනිය යි. ඕ සිය දෙස්මෙහි දී නේපාලයත් ලංකාවත් අතර ඇති මේ සම්බන්ධය මැනැවින් පැහැදිලි කළා ය.

නේපාලය වනාහි දකුණු ආසියාවේ පිහිටි, මුළුමනින් ම ගොඩ බිමින් වට වුණු (landlocked) මධ්‍යම හිමාලයීය විශාල රාජ්‍යයෙකි. මෙහි අගනුවර වනුයේ කත්මණ්ඩු යි. නැ‍ඟෙනහිරින්, බටහිරින්, දකුණින් ඉන්දියාව සීමා කොට ඇති නේපාලයේ උතුරු සීමාව වනුයේ චීනය යි. දැන් එ රට පවතිනුයේ සන්ධීය ප්‍රජාතන්ත්‍රවාදී සමූහාණ්ඩුවෙකි. නේපාලි බසින් ‘සංඝිය ලෝක්තාන්ත්‍රික් ගණතන්ත්‍ර’ නමින් එය හැඳින්වේ. එය මෙ සේ සමූහාණ්ඩුවක් බවට පත් වූයේ 2008 වසරේ දී යි. වර්ග කිලෝ මීටර් 147181 ක් පුරා පැතිර පවත්නා මෙරට ජනගහනය 26500000 ඉක්මවයි. වත්මන්හිදී පළාත් හතකට ද දිසා (දිස්තිරික්ක) 75 කට ද මෙරට බෙදී පවත්නේ ය.

පුරාතන අවධියේ දී මේ නේපාලය ද භාරත වර්ෂයට හෙවත් ඉන්දියාවට අයත් රාජ්‍යයක් වැ පැවැතුණු බව එහි ඉතිහාසය විමැසීමේ දී පෙනේ. සැබැවින් ම, ශිලා (Neolithic) යුගයේ සිට වාර්තාගත ඉතිහාසයත් මෙ රට සතු වැ ඇත්තේ ය‍. කත්මණ්ඩු නිම්නයෙන් සොයා ගැනුණු ශිලා ආයුධ යටත් පිරිසෙයින් වසර එකොළොස් දහසක් වත් පැරැණි බව පුරාවිද්‍යාඥ නිගමනය යි. එය එ කල්හි ද මෙහි මිනිසුන් ජීවත්වූ බව මනා වැ ස්ඵුට කරයි.

‘නේපාල’ නාමය පිළිබඳ පළමු සටහන ඇත්තේ, චතුර්වේදයේ අවසානතමය වන අථර්වවේදයේ පරිශිෂ්ටයේ ලෙස සැලැකේ. අථර් ශීර්ෂ උපනිෂදයේ ද මෙ නම දැක්වේ‍. ස්කන්ධ පුරාණ නම් සංස්කෘත පුරාණ ග්‍රන්ථයේ නේපාලයේ අලංකාරය හා බලය ගැන ලියැවුණු වෙන ම පරිච්ඡේදයකුදු ඇත්තේ ය. පසු කලෙක, භාරතයේ සමුද්‍රගුප්ත අවධියේ පිහිටුවුණු අලහබාද් ප්‍රශස්ති ලිපියේ ද නේපාල නාමය සටහන් වැ ඇත්තේ ය.

ජනප්‍රවාද අනුව නම් පූර්ව - ඉතිහාස යුගයේදී කත්මණ්ඩු නිම්නයේ ‘නේ’ නම් වූ හින්දු ඍෂිවරයකු නිසා එ රටට මෙ නම ලැබී ඇත. නේ විසින් පාලනය කරන ලද අරුතින් නේපාල නම සකස් වූ සේ, ඒ අනුව සැලැකේ. යට දැක්වුණු ස්කන්ධ පුරාණයේ ද පශුපති පුරාණයේ ද ‘නේමී’ නම් වූ ඍෂිවරයකු ගැන කියැවේ. භග්මතී කේශවතී හා ගංගා අසල බවුන් වැඩූ ඔහු ජනප්‍රවාදයේ දැක්වෙන නේ නම් ඍෂිවරයා ලෙස සැලැකිය හැකි ය.

තවත් මතයක් අනුව නේපාල නාමය එරටට ලැබී ඇත්තේ එ රට ප්‍රධාන ජනයා වන නේවාර් (Newar) ජාතිකයන් නිසා ය. නේවාර් යන්න ම නේපාල බවට පෙරැළී ඇතැයි කියැවේ. එ වුව ද, වාග්විද්‍යානුකූල වැ බලන කල්හි නම් පෙනෙනුයේ නේපාල යන සංස්කෘත ශබ්දය නේවාර් යන ප්‍රාකෘත හෙවත් ව්‍යවහාර භාෂාත්මක ශබ්දය බවට පෙරැළී ඇති අයුරු යි.‍ පසු වැ නේපාල නාමය රටට මෙන් ම එ රට වසන ජනයාට ද අවිශේෂයෙන් යෙදෙන්නට වූයේ ය.

නේපාල ඉතිහාසය දළ විසින් සලකා බලන කල්හි මධ්‍යකාලීන අවධියට පෙර එ රට රාජධානි තුනක් වූ බව පෙනී යයි. එ නම් බටහිරින් ඛාස්, දකුණින් කර්ණාටත් මෙන් ම මධ්‍යම ප්‍රදේශයෙන් නේපාල මණ්ඩලය යි. නැ‍ඟෙනහිරින් කිරානය ද පිහිටියේ ය. මේ අතුරින් වඩාත් වැදැගත් වූයේ දේවනගර් නමිනුදු හැඳින්වුණු නේපාල මණ්ඩලය යි. කත්මණ්ඩු හා ලලිත පූර් හා අනෙක් ප්‍රධාන නගර දෙක විය. මෙහි ප්‍රධාන වශයෙන් හින්දු ආගමයේ ශෛව සම්ප්‍රදායයට අයත් සිද්ධස්ථාන 64 ක් පමණ, නැ‍ඟෙනහිරින් දොලඛා දිසාවේ භීමේශ්වර සිට බටහිරින් නුවාකොට් දිසාවේ බ්‍රහ්මේශ්වර තෙක් විසිරී තිබේ. නේපාලය අතිබහුතර හින්දු ජනකායයෙක ගෙන් යුත් රටක් බව නොමතක කළ යුතු නොවේ. අදත් මෙහි ජනගහනයෙන් සියයට අසූ එකක් පමණ හින්දූහු ය. බෞද්ධයෝ සියයට නවයෙකි. ඒ මධ්‍යකාලීන අවධියේ ද නේපාල මණ්ඩලයේ ප්‍රධාන බෞද්ධ සිද්ධස්ථාන විසි හතරක් වූ බව ඉතිහාසයේ දැක්වේ. ලංකාවේ ඇතැම් පන්සල්වල දැනුදු නේපාල භික්ෂූහු වැඩ සිටිති.

නේපාලයේ පාලන ඉතිහාසය විමසන කල්හි එහි දකුණු පෙදෙසේ කිතු වසින් පෙර 500 – 600 කාලයේ දී කුඩා රාජධානි කිහිපයක් වූ බව පෙනේ. කපිලවස්තු පුරයේ අයත් වූ ශාක්‍ය රාජධානිය ද ඉන් එකෙකි. කිතු වසින් පෙර 250 පමණේ දී සුප්‍රකට මෞර්ය අධිරාජ්‍යයට මේ පෙදෙස් අයත් විය. කිතු වසින් තුන් වන සියවස මුල සිට කත්මණ්ඩු නිම්නය ලිච්ඡවි රාජධානිය පාලනය යටතේ පැවැති හතර සියවස පමණ වන විට ගුප්ත අධිරාජ්‍යයට අයත් විය.

නේපාල් මණ්ඩලයේ හෙවත් මධ්‍ය ප්‍රදේශයේ වූ ස්වදේශීය නේවාර් පාලනය ගොර්කා පාලනයේ නැඟී ඒමත් ෂා රාජවංශයේ ජයග්‍රහණයත් සමඟ අවසන් විය. ඉතා දීර්ඝ කාලයක් රාජකීය පාලනය යටතේ පැවැති නේපාලය දැන් ප්‍රජාතන්ත්‍ර මාවතට අවතීර්ණ වැ සිටී. මෑතෙක දී ඇති වූ දේශපාලන අරගලවල දී මාවෝවාදීහු විශාල කාර්යයක් ඉටු කළහ.

කඳුකර රටක් ලෙසින් ලොව ‍උසම කඳු මුදුන ‍වන එවරස්ට් ද ඇතුළුව උසම කඳු අටෙකින් යුතු වන නේපාලය ජෛව විවිධත්වය අතිනුදු ඉතා පොහොසත් රටෙකි. සංස්කෘතික අංශයෙන් ද එරට ඉතා පොහොසත් ය‍. තව මත් රටින් සුවිසල් කොටසක් ග්‍රාමීය වැ පවත්නා මෙහි පෘථුල පරාසයෙක විහිදුණු ජනශ්‍රැති සාහිත්‍යයක් ඇත්තේ ය.

යට කී යේ බෞද්ධයනට නේපාලය වැදගත් වනුයේ බුදුන් උපන් ලුම්බිනියත් ගිහි කල්හි දිවි ගෙවූ කපිලවස්තුවත් මෙහි පිහිටි නිසා ය. කපිලවස්තුව පිහිටියේ නේපාලයේ ද ඉන්දියාවේ ද යනු දිගු කලක් ගැටලුවක් වැ පැවැති නමුදු, ලුම්බිනියට ඉතා නුදුරු තිලවුරකොට් (Tilauraskot) නම් ස්ථානයේ දී බ්රැඩ්පර්ට්් විශ්වවිද්‍යාලයයේ මහාචාර්ය රොබින් කොනිංහැම් විසින් කරන ලද ගවේෂණය අනුව කපිලවස්තුව ඒ (තිලවුරකොට්) පෙදෙසේ පිහිටි බව ස්ථිර වැ ඇත්තේ ය. එ හෙයින් නේපාල - ලංකා බුදුනු මිතුදම එ මඟින් සදා නොබිඳී පවතිනු ඇත.

ශ්‍රීනාත් ගණේවත්ත 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.