ජනමාධ්‍ය ක්‍රියාකාරීත්වය ගැන ජනතාව තූෂ්ණීම්භූතයි

සමකාලීන සංහතික මාධ්‍ය ක්‍රියාකරන ආකාරය ශාස්ත්‍රීය, වෘත්තීය හෝ ග්‍රාහක තලයේ සිට විමසන විටත්, අප ජනමාධ්‍යවලින් විය යුතු යැයි සිතන සහ ඉගෙන ගත් ප්‍රමිතීන්, නිර්ණායකයන්, මාධ්‍ය භාෂාව, සමාජයට සිදුවන කාර්යභාරය ආදිය පිළිබඳ සිතිවිල්ලෙන් බලන විටත් සමාජ යථාර්ථයට සාපේක්ෂව වර්තමාන ජනමාධ්‍ය ක්‍රියාකාරීත්වය බොහෝ දෙනකු තූෂ්ණීම්භූත කිරීමට හේතු වී තිබේ. ඒ නිසා මෙය නිවැරැදිව තේරුම් ගැනීම ඉතා වැදගත්ය. එහිදී මෙය සිදුවීමක් ලෙස නොව වර්තමාන සමාජයේම ව්‍යූහයක් ලෙස හා අත්‍යවශ්‍ය පැතිකඩක් ලෙසත් සමාජ ක්‍රියාවලිය පවත්වාගෙන යෑමට ආධාර වන ප්‍රධාන සංරචකයක් ලෙසත් තේරුම් ගැනීම ඉතාම වටී. ඒ තේරුම් ගැනීමත් සමඟ ජනමාධ්‍ය පිළිබඳ අප තුළ ඇති අපැහැදිලි-අවිනිශ්චිත ආකල්පය, සැකය ආදිය වෙනස් වීමටද පුළුවන.

ස්පිනෝසා නම් දාර්ශනිකයා වරක් පැවසුවේ අප යම් දෙයක් දෙස බලා එය අපට අදාළ කරගනිමින් සතුටු වීම හෝ කණගාටු වීම නොව වැදගත් වන්නේ එය තේරුම් ගැනීම බවයි. අද සමාජයේ මාධ්‍ය ක්‍රියාකාරීත්වය පිළිබඳවද පිරිසක් සිටින්නේ, මහා විශාල සංස්කෘතික සංහාරයක් මාධ්‍ය නිසා සිදුවන්නේය, භාෂාව පරිහානියට පත් වන්නේය, සමාජ විපර්යාසයක් සිදුකරන්නේය, සමාජ වටිනාකම්-පුරුෂාර්ථයන්වල ඛාදනයක් ඇති කරන්නේය, මේ සැබැවින්ම ඉදිරිපත් වන්නේ ජනතා මතයද යන්න සැක සහිතය ආදී වූ නිෂේධනාත්මක ආස්ථානයකය. අනෙක් අතට ජනමාධ්‍යයේ අද විශාල නිදහසක් තිබේ, කැමති අදහසක් මාධ්‍යකරුවන්ට පැවසිය හැකිය, ඒ නිසා අපට සතුටු විය හැකිය යන ධනාත්මක මතයේ තවත් පිරිසක් සිටිති. මේ අදහස් දෙකම සමකාලීන මාධ්‍ය යථාර්ථය නිරූපණය කරන මත නොවේ. මේවා ජන විඥානය මඟින් සමකාලීන මාධ්‍යයේ ඇති සංකීර්ණ ප්‍රපංචය ධ්‍රැවීකරණය නැතහොත් ආන්තීකරණය කර ගන්නා වූ නිගමන දෙකකි. එනිසා මහජනතාවට මෙන්ම මාධ්‍යයට සම්බන්ධ අයට කළ හැකි විද්‍යාත්මක සහ වැදගත්ම කාර්යය වන්නේ මේ තත්ත්වය අවබෝධ කරගැනීමයි.

මේ සඳහා ප්‍රවේශ වීමට මනුෂ්‍ය සමාජය යුගයෙන් යුගයට, කාලයෙන් කාලයට වෙනස් වනවා සේම පරිණාමය බව සිහි කිරීමට මම කැමැත්තෙමි. එ අනුව ගත් විට මාධ්‍ය සම්බන්ධයෙන් ද කිව යුත්තේ මනුෂ්‍ය සමාජයේ මානසිකත්වය නැතහොත් චින්තනය නම් වූ ක්ෂේත්‍රය පරිනාමයේදී ප්‍රධාන අවධි 3ක් දැකිය හැකි බවය. එහි පළමුවැන්න පූර්ව සමාජ අවධියයි. එහිදී රංචු, ගෝත්‍ර ලෙස, අපේ රටේ නම් යක්ෂ, නාග ගෝත්‍ර ලෙස ජීවත් වූ අවධියේ නිසි රාජ්‍යයක්, නිසි ආර්ථිකයක්, සංස්කෘතියක් නැති සමාජ ක්‍රමයකි පැවතුණේ. එහෙත් එය පරිනාමය වෙමින් පැවතුණි. අනාගත මනුෂ්‍ය සමාජයේ පූර්ව ලක්ෂණ, ඡායා, මතවාද මෙන්ම මිථ්‍යාව තිබුණි. එහි සන්නිවේදනය පැවතුනේ ඓන්ද්‍රිය ස්වරූපයකිනි. එය වසර දහස් ගණනක් පුරා පැවතුණි. පසුව වර්ග, ගෝත්‍ර, රංචු ආදිය එක්ව සමාජීය අවධිය නිර්මාණය විය. එහි ප්‍රධාන පැතිකඩ තුන ලෙස ආර්ථිකය, රාජ්‍ය සහ දෘෂ්ටිවාදය නිර්මාණය විය. ඒ දෘෂ්ටිවාද හෙවත් මානසිකත්ව ක්ෂෙත්‍රයේ ප්‍රධානම යන්ත්‍රණය ලෙස මාධ්‍ය බිහිවිය. 17 වැනි ශත වර්ෂය පමණ වනවිට පුවත්පත්, සඟරා ආදියත් පසුව ගුවන්විදුලිය, රූපවාහිනිය ආදිය බිහි වන්නේ මේ අයුරිනි. පන්සල්, පල්ලි, ගුරු දෙගුරුන් ආදී ශික්ෂණ ආයතනවලින් කළ කටයුතුද, සමස්ත සමාජයේ තොරතුරු ක්‍රියාවලියද මාධ්‍ය මඟින් ඉටු කරන තත්ත්වයක් ඇතිවිය. තොරතුරු හැසිරවීම, මෙහෙයවීම, ඉදිරිපත් කිරීම, මිනිසුන්ට ඒවා සවිඥානක කිරීම, යාවත්කාලීන කිරීම ආදී සියල්ල කෙරෙන්නේ සංහතික මාධ්‍ය මගිනි. තවත් අයුරකින් කිව හොත් පුවත්පත්, ගුවන්විදුලිය, රූපවාහිනිය හා නව මාධ්‍ය ලෙස ගැනෙන සමාජ මාධ්‍ය මඟින් සමස්ත විඥාපන අවකාශයක් නිර්මාණය වී ඇති නිසා මනුෂ්‍ය සංහතියේ පරිණාමය සමඟ ගැනෙන මානසික පැතිකඩ විශාල වශයෙන් වර්ධනය වී කර්මාන්තයක් හා ව්‍යාපාරයක් මෙන්ම දැවැන්ත බලයක් බවට පත්ව ඇත. එය ඇතැම්විට සිව් වැනි බලය ලෙස හඳුනා ගැනීමට පෙ‍ලැඹුණත්, ඊටත් වඩා ප්‍රබල වී විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණයට පවා බලපෑම් කරන, ඒවා යම් මට්ටමකට විසරණය කළ හැකි තත්ත්වයකට පත්ව තිබේ. ඒ ශක්‍යතාව ජනතාව විසින් මේ සංහතික මාධ්‍යවලට ආරෝපණය කර ඇත. එයට හේතු ලෙස ආර්ථික, සංස්කෘතික, දේශපාලන, අධ්‍යාපන, ආගමික හා කලා ආදී ක්ෂේත්‍රවල මිනිසුන් සිදුකරන විවිධ ක්‍රියාකාරකම් ඍජුව හෝ වක්‍රව සංහතික මාධ්‍ය සමඟ සම්බන්ධ වීම ගත හැකිය. මාධ්‍ය මඟින් ඒ කටයුතු සමාජගත නොවුණ හොත් ඒ අදාළ ක්ෂේත්‍ර මඟින් කළ දෙයක් නැති තරම් යැයි මිනිස්සු සිතන්නට පෙලැඹෙති. ඔවුන්ට ඒවා නොදැනෙන තත්ත්වයට පත් වේ. ඒ නිසා ඒ ඒ ක්ෂේත්‍රවල සිටින අය පවා මාධ්‍ය සමඟ යම් කිසි සම්බන්ධයක් ගොඩනඟා ගැනීමට, ප්‍රවේශ වීමට විශාල ‍උත්සාහයක යෙදෙනු පෙනේ. හේතුව ඔවුන්ගේ ක්‍රියාකාරකම් පෙන්වීමට ඇති ඒකායන මාර්ගය මේ ජනමාධ්‍ය බවට පත් වීමයි.

ජන මාධ්‍ය මෙහිදී ක්‍රියා කරන්නේ සමාජ ආයතනයක් ලෙසය. එහි ප්‍රධාන ලක්ෂණය වන්නේ එය ධනේශ්වර ආර්ථිකයත් සමඟ බිහිවී වර්ධනය වී පරිනාමය වන ප්‍රපංචයක් බවට පත්වීමය. එසේම ධනේශ්වර ක්‍රමයේ ඇති රීතීන්, නියමයන්, හැසිරීම් ආදී සියලු ලක්ෂණ ඒ ආකාරයෙන්ම හෝ ඊට ඉතාම ආසන්න ස්වරූපයෙන් මේ නූතන ජනමාධ්‍යයේ ක්‍රියාත්මක වේ. එවිට ධනවාදයේ මූලික ලක්ෂණය වන ලාභ ඉපැයීමය. ඒ සඳහා සියල්ල අලෙවි කළ හැකි භාණ්ඩ බවට පත් කෙරේ. එමෙන්ම ධනවාදයේදී නිෂ්පාදනය කෙරෙන්නේ වෙළෙඳ වටිනාකමක් දිය හැකි ජනතාව ආකර්ෂණය කර ගන්නා නිපැයුම්ය. ඒවා නිෂ්පාදනය කරන්නේ නිදහස් ව්‍යවසායකයන් විසිනි. මේ වන විට ධනවාදයේ සිදුව ඇති වෙනස් කම් අනුව මේ නිෂ්පාදන සඳහා පෙලැඹෙන්නේ බහුජාතික, ඒකාධිකාරී සමාගම්ය. මේ නියමයන් පෙළ ඒ ආකාරයෙන්ම මාධ්‍ය ක්ෂේත්‍රයේත් ක්‍රියාත්මක වේ. ඒ අනුව මාධ්‍ය, මාධ්‍යවේදියා, ඔවුන්ගේ පඨිතය, ග්‍රාහකයා, ඔවුන් අතර ඇති සම්බන්ධතාව ආදී සියල්ල වෙළෙඳකරණය වීමට ප‍ටන් ගනී‍. ඒ අනුව මාධ්‍ය ක්ෂේත්‍රය තුළද නිෂ්පාදනය වන්නේ භාණ්ඩය. එහෙත් ඒවා සංකල්පීය වෙළෙඳ භා‍ණ්ඩ වේ. ඒවා ශ්‍රාවක, පාඨක ප්‍රේක්ෂක ජනතාවට යෝජනා කරනු ලැබේ. මෙසේ ධනවාදී සංකල්ප ඔස්සේ ක්‍රියාත්මක වීම නිසා ජනමාධ්‍ය මඟින් නිෂ්පාදනය කෙරෙන්නේ මිනිස් අවශ්‍යතා සඳහා නිපදවෙන භාණ්ඩ නොව වෙළෙඳපොළ ඉල්ලුම අනුව නිෂ්පාදනය කෙරෙන භාණ්ඩය. එහිදී වර්තමාන මාධ්‍ය කටයුතු කරන්නේ අපට සිතා ගත නොහැකි විදිහටය යන චෝදනාව නැ‍ඟේ. එය ඇතැම්විට මාධ්‍ය පිළිබඳ ඇති සම්භාව්‍ය ප්‍රවේශයේ සඳහන් වන අයුරින් මාධ්‍යයේ වගකීම සමාජ සංවර්ධනය සඳහා මෙන්ම මනුෂ්‍යයින්ගේ බුද්ධිය, ආධ්‍යාත්මය වර්ධනයට, තොරතුරු සම්පාදනයට, දෛනික කටයුතු පහසු කිරීමට වැදගත් වන නූතනවාදී ආයතනයක්ය යන සංකල්පයෙන් මිදී යයි. මේ වන විට මාධ්‍ය නම් සමාජ ආයතනය ක්‍රියාත්මක වන්නේ මිනිසුන්ගේ ප්‍රශ්න කරළියට ගෙන ඒමට, ඒ පිළිබඳ සංකථිකාවක් ඇති කිරීමේ අරමුණින් නොව ඒ මිනිසුන්ගේ දුක, කඳුළ, සතුට, උද්යෝගය, දේශපාලන ව්‍යාපාර, මැයි දිනය, කම්කරුවන්ගේ වටිනාකම ආදී සියල්ල ජනමාධ්‍යවල වටිනාකම වැඩි කර ගැනීමේ මාධ්‍යයක් බවට ජන මාධ්‍ය විසින්ම පත් කර ගැනීමේ අටියෙනි. ඒ මඟින් මාධ්‍ය ලාභ ලබා ගැනීම අරමුණු කෙරේ. මෙය ප්‍රධානම තර්කනයයි. මීතොටමුල්ලේ කසළ කන්ද මහජනතාවට එක අතකින් විශාල පීඩනයක් ගෙන දෙන බව ප්‍රචාරය කළා මෙන්ම එයින් යැපෙන දේශපාලන තන්ත්‍රයට විශාල ලාභ ගෙනෙන දෙයක් වුණා සේම මෙය විසඳිම අරමුණක් කරගැනීමට වඩා ජනමාධ්‍යයට ලාභ ලබා ගැනීමේ අමුද්‍රව්‍යයක් බවට මේ කුණු කන්ද පරිවර්තනය කර ගැනීමට ජනමාධ්‍ය සමත් විය. එනම් තමන්ගේ ග්‍රාහක ආකර්ෂණය වැඩි කර ගැනීම සඳහා මේ කරුණ ඔවුන් යොදා ගත් බව කිව යුතුය. එයින් මේ කසළ කන්දේ ඛේදවාචකයට මුහුණ දුන් මිනිසුන්ගේ ප්‍රශ්න විසඳීමට මඟක් සැබැවින්ම ඉදි‍රිපත් වූයේ නැත. මාධ්‍යයට මිනිසුන්ගේ ප්‍රශ්න විසඳිය නොහැකි බව සැබෑවකි. එහෙත් ඒ වෙනුවෙන් නිසි කතිකාවක් ඇති කිරීම‍ට ද මාධ්‍ය අසමත් විය. සත්‍ය වශයෙන්ම කුණු කන්ද මා‍ධ්‍යය මඟින් අලෙවි කළ හැකි භාණ්ඩයක් ‍වූවා පමණි. මෙහි ව්‍යතිරේකයක් ලෙස මාධ්‍ය මඟින් යම් යම් අදහස් ග්‍රාහක අවකාශයට මුදා හරිනු ලැබිණි. ඒවා ප්‍රශ්නය පිළිබඳ නිර්මාණාත්මක, සාධනීය සංකථිකාවක් ඇති කිරීම‍ට ප්‍රමාණවත් වූයේ නැත.

එහිදී අප නැවත ගත යුතු ප්‍රවේශය නම් මේ වෙනුවෙන් අප ජන මාධ්‍යයට දොස් කීමේ තේරුමක් නැති බවය. දාර්ශනික ස්පිනෝසා කී අයුරින් අප කළ යුත්තේ මේ මාධ්‍ය කියන දෙය අද ක්‍රියාත්මක වන්නේ කෙබඳු පරිසරයකද? ව්‍යූහයකද? යන්න නැවත තේරුම් ගැනීමය. ඒ අනුව මාධ්‍ය ක්‍රියාත්මක වන්නේ ලිබරල් පරිසරයක් තුළ බව පැහැදිලි වේ. එයද ප්‍රාග්ධනය ආයෝජනය කර ඇති ව්‍යාපාරික ක්ෂේත්‍රයකි. එයටද දේශපාලනික, ආර්ථික හා වාණිජ අරමුණු තිබේ. ඒ තුළ සිය දහස් ගණන් ශ්‍රමිකයන් සේවයේ යෙදේ. ඒ අභිලාශයන් ඉටු කර ගැනීම සඳහා මාධ්‍යය කසළ කන්ද පවා භාවිත කළේය. එසේ නොමැතිව ඒ පිළිබඳ කරන සියලු සංවාද සිදුවීම සමඟම නවතිනවා විනා ඉදිරියට යෑමක් නොවන්නේ එබැවිනි. මෙහිදී අප තේරුම් ගත යුත්තේ මාධ්‍යය පවතින්නේ කා අතේද? ඒවා ක්‍රියාත්මක වන්නේ කාගේ බල ක්ෂේත්‍රයක් තුළද? යන්නයි. එහිදි ගෝලීය වශයෙන් අපට ප්‍රධාන ක්ෂේත්‍ර 3ක් හඳුනා ගත හැකිය. එක: රාජ්‍ය හා රාජ්‍ය නිලධාරී තන්ත්‍රය හේතු වී මාධ්‍යයේ හා මාධ්‍ය වාර්තාවල ඉදිරිපත් කිරීමේ නැඹුරුව සැකසීම. දෙක: වෙළෙඳපොළයි. වාණිජ මාධ්‍ය මඟින් යම් කාරණයක් පාරිභෝගික වශයෙන් වටිනාකමක් ලැබෙන අයුරින් නිර්මාණය කරන්නේ කෙසේද යන්න එහිදී මතුවන අරමුණයි. තුන: දේශපාලන පක්ෂයි. යම් සිදුවීමකදී මැදිහත් වන ප්‍රාදේශීය දේශපාලනය මෙන්ම ජාතික දේශපාලන, පුද්ගල ආදී සියල්ල ඔස්සේ අදාළ කරුණ වාර්තා කිරීමේ සීමා, අපක්ෂපාතීබව සහ අපේක්ෂාව වෙනස් වී යයි. එයින් වන්නේ සිදුවීමේ සිමාස්තික ස්වෙරූපය, යථාර්ථය නිවැරැදිව ඉදිරිපත් කිරීමට නොහැකි තත්ත්වයක් ඇති වීමයි. මේ සාධක තුනේ බලපෑම නිසා මාධ්‍ය බහුත්වවාදය පිළිබඳ නැඹුරුව හීන වී යයි. මාධ්‍ය පටිත සියල්ල ඒකාකාරී වීමට පටන් ගනී. මේ නිසා සම්භාව්‍ය ප්‍රවේශයේ ඇති මාධ්‍ය පිළිබඳ අ‍වබෝධය හා අරමුණු මිනිසුන් කෙරෙන් ගිලිහී යයි.

(මාධ්‍යයේ තුන්වැනි අවධියේ ක්‍රියාකාරීත්වය සහ එහි බලපෑම ලබන සතියේ...)

අරුණි මුතුමලී

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
15 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.