විදුලිය අර්බුදය විසඳන වහල බලාගාරය | සිළුමිණ

විදුලිය අර්බුදය විසඳන වහල බලාගාරය

 මේ රටේ මිනිස්සු හැම දෙයටම මැසිවිලි නගති. මේ දිනවල අප මැසිවිලි නඟන්නේ තද අව් රශ්මියටය. නමුත් ස්වාභාව ධර්මයා විසින් අපට නොමසුරුව දෙනු ලබන සූර්ය ශක්තියේ ගැබ්ව ඇති අප්‍රමාණ ප්‍රයෝජන ගැන අප මඳක් හෝ සිතන්නේ නැත. ඒ මදිවාට යමක සැඟවී ඇති ඵල ප්‍රයෝජන හා වටිනාකම කියා දෙන්නට වෑයම් කරන අතලොස්සක් ප්‍රගතිශීලීන් කළකිරීමට පත්ව නිහඬ වන තැනට ඔවුන්ව පත් කරන්නට අපි ගජ හපන්නු වෙමු. මෙහි ඇති අවාසනාවන්තම තත්ත්වය නම් එසේ බාධා වැටකඩුළු දමන්නන් පාලනයේ උසස් ස්ථානවල සිටින්නන් වීමය. නොහොත් මෙසේ බාධා ඇති කරන්නේ රටට ඇති වන අර්බූදවලට විසඳුම් සෙවිය යුතු වගකීම් දරන්නන්ම වීමය

රටේ ප්‍රමූඛතම බලශක්ති විශේඥයෙකුගේ අදහස් උපුටා දක්වමින් පසුගිය 2017 අප්‍රේල් 18 එක් පුවත්පතක ලිපියක් පළ කර තිබුණි. එම ලිපිය අනුව ශ්‍රී ලංකා ආර්ථික සංගමය අමතමින් ඔහු කියා තිබුනේ වහළ මත ඉදි කරන සූර්ය ශක්ති පද්ධති නිසා ලංකා විදුලිබල මණ්ඩලයට විශාල පාඩුවක් ඇති වන බැවින් එම පද්ධති සඳහා ගාස්තුවක් නියම කළ යුතු බවයි. මෙම ගාස්තුව කි. වොට් 1කට රු. 3500 ක් විය යුතුය යැයිද එම විද්වතා යෝජනා කර ඇත.

සුර්ය බල සංග්‍රාමය ව්‍යාපෘතිය යටතේ හඳුන්වා දෙන ලද එම ක්‍රමයෙනුත් කිසිදු වෙනසක් ඇති නොවූ බව මෙහි දී පෙන්වා දිය යුතුය. තවද මෙම මීටර ක්‍රමය නිසා ලංකා විදුලිබල මණ්ඩලයට අලාභ ඇති වනු ඇතැයි එවකට එයට විරෝධතා පැන නැගුණු ආකාරයද මතක ඇතුවාට සැකයක් නැත. කලකට පෙර සූර්ය ශක්ති පද්ධති සංකල්පයට එරෙහිව විවිධ හා තාක්‍ෂණික කෝණයෙන් සිදු කරන ලද කිසිදු පදනමක් නැති විවේචන එල්ල වෙමින් තිබුණි. ශේෂ පරිභෝජන මීටර ක්‍රමය සංකල්පයේ සාර්ථකත්වය නිසා සූර්ය ශක්ති සංකල්පය ඉදිරියට පැමිණියේ මේ අතරයි. බලශක්ති තත්ත්වය මැනවින් විමසුමට ලක් කළ බොහෝ නැණවත්

පාරිභෝගිකයන් ජාතික විදුලි ජාලයට තමන්ද දායකත්වයක් ලබා දිය යුතුය යන දේශප්‍රේමී මානසිකත්වයෙන් යුතුව අප රටට නොමඳව දායාද වී තිබෙන සූර්ය

ශක්තිය නම් වන ස්වාභාවික ප්‍රභවයට ආදේශ වන්නට වූයේ එහි ගැබ්ව තිබෙන ආර්ථික හා පරිසර හිතකාමී ලක්‍ෂණද හොඳින් වටහා ගනිමිනි.

ආරම්භයෙහි මෙම සංකල්පය ආදේශ කළ පාරිභෝගිකයෝ එවිට මෙයින් ලද හැකි මුල්‍ය වාසි ගැන වැඩියෙන් නොසිතූහ. වහළ මත සවි කරන සූර්ය ශක්ති පද්ධති සඳහා වැය වන මුදල ස්ථාවර ගිණුමක තැන්පත් කර එයින් ලැබෙන පොලී මුදල වැඩි වන විදුලි බිලේ වෙනස ගෙවීමට භාවිත කළ හැකිය. ඔවුන් මෙයට දායක වීමෙන් වළක්වන්නට පවා ඇතැමුන් වෑයම් කළද ඔවුහු එම තර්ක මායිම් නොකළහ.

ප්‍රාරම්භයෙහිම මෙම සංකල්පයට සහය දක්වමින් සූර්ය බලශක්ති සිහිනය නොනැසී තිබෙන්නට දායක වුණු මෙවන් පුද්ගලයන්ට අප ස්තූතිවන්ත විය යුතුය.

වර්තමානයෙහි මෙම ක්ෂේත්‍රය සැලකිය යුතු අන්දමින් වර්ධනය වී තිබෙන්නේ හා මෙය පිළිබඳ පුළුල් උන්නදුවක් ඇති වී තිබෙන්නේ මෙම පුරෝගාමීන්ගේ කැපවීම නිසාය. ක්ෂේත්‍රයේ පඬිවරුන් පවා විවිධ සෘණාත්මක අදහස් දක්වමින් සිටින වත්මන් අවධියෙහි විදුලිය හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යවරයා විසින් සූර්ය බල සංග්‍රාමය නමින් ගන්නා ලද නිර්භීත පියවරද පැසසුමට ලක් කළ යුත්තකි.

කවුරුන් කෙසේ කීවත් බලශක්ති අර්බූදයට අපට දැනට ඇති හොඳම කෙටි කාලීන විසඳුම වන්නේ වහළ මත සවි කරන සූර්ය ශක්ති පද්ධතින්ය. නොකඩවා රටට විදුලිය සැපයීමට නම් ආනයනික තෙල් මේ සඳහා වන හොඳම හා එකම විසඳුම යැයි අදූරදර්ශීව තර්ක කරමින් නොසිට මෙම යතාර්ථය වගකිව යුත්තන් නොපමාව වටහා ගන්නා තරමට එය රටට යහපත් වනු ඇත. එපමණක් නොවේ. 2016 රු. බිලියන 13.2 ක අලාභයක් ලැබූ හා එයට නොදෙවෙනි අලාභයක් මෙම වසරෙහි අත් කර ගැනීමට නියමිත ලංකා විදුලිබල මණ්ඩලයට අලුත් බලාගාරවලට වැය කිරීමට මුදල් නොමැති තත්ත්වයක් උද්ගතව ඇත. මෙවන් පසුබිමක තනිපුද්ගල

පාරිභෝගිකයන් මෙසේ මණ්ඩලයට සහන ලබා දීමට ඉදිරිපත්ව තිබීම ගැන මණ්ඩලය ඔවුන්ට ස්තූති කළ යුතුය. නමුත් සිදු වන්නේ අනෙකකි.

දැන් අපි විදුලිය උත්පාදනය කිරීම සඳහා විවිධ මූලාශ්‍රවලට වැය වන මුදල් ප්‍රමාණයට සාපේක්‍ෂව සූර්ය ශක්ති පද්ධතියට වැය වන මුදල සසඳා බලමු. මෙම දත්ත ලබා ගන්නා ලද්දේ ශ්‍රී ලංකා පොදුපහසුකම් කොමිසමේ වෙබ් අඩවියෙනි.

මෙම බලාගාරවලට මාසිකව ස්ථාවර ගෙවීම් මෙන්ම ආරම්භ කිරීමේ සහ වසා දැමීමේ ගාස්තුද ලබා දෙනු ලැබේ. සුනිත්‍ය බලශක්ති අධිකාරිය විසින් ප්‍රකාශයට පත් කරන ලද 2015 සඳහා වන බලශක්ති ශේෂ වාර්තාවෙහි මෙය සඳහන් වෙයි. තෙල් මුල්කරගත් බලාගාර සඳහා වන උත්පාදන පිරිවැයේ සාමන්‍යය කිලෝ වොට්

එකක් සඳහා රු. 29.82 ක් වන අතර මෙය නිල ප්‍රකාශයක් ලෙසින් අපට ගත හැකිය. ඒ අනුව වහළමත වන සූර්ය ශක්ති පද්ධතියට කිලෝ වොට් එකකට ගෙවන

රු. 22 නිශ්චය වශයෙන්ම මණ්ඩලයට බරක් විය නොහැකිවා පමණක් නොව පළමු වසර 8 ට පසු ගැබ්ව ඇති ප්‍රතිලාභ නිසා එය රු. 15.50 දක්වා පහත වැටෙන විට එය දැවැන්ත ඉතිරියක්ද වනු ඇත. විදුලිය සැකසුරුවමින් භාවිත කරන මෙන් අතිශය පීඩනයට ලක්ව ඇති මණ්ඩලය මහජනයාගෙන් ඉල්ලා සිටින අතර ඞීසල්

ජෙනරේටර භාවිත කරන්නන්ට කිලො වොට් එකකට රු. 36 ක් ගෙවීමටද මණ්ඩලය ඉදිරිපත් වෙයි. එනමුත් වහළ මත වන සූර්ය ශක්ති පද්ධති නිසා ඇති වන ප්‍රතිඵලය මෙයට සමාන වන අතර එය සඳහා මණ්ඩලයට වැය කරන්නට සිදු වන්නේද සාපේක්‍ෂව සුළු මුදලකි.

මේ අතර සූර්යාලෝකය තිබෙන්නේ දහවල් කාලයේ පමණක්ය යනුවෙන් තර්කයක් ඉදිරිපත් කරනු ලබන නමුත් එය වලංගු තර්කයක් නොවේ. මන්ද වහළ මත වන

සූර්ය ශක්ති පද්ධති මගින් විදුලිය උත්පාදනය වන විට ඩීසල් මුල් කර ගත් බලාගාරවල විදුලිය ජනනය දහවල් කාලයේ දී ඉතිරි වන අතර ජලවිදුලි බලාගාරවලටද මෙම වාසිය අයත් වෙයි. 2017 අපේ‍්‍රල 6 ගල් අඟුරු බලාගාර තුනම ක්‍රියාත්මක වෙමින් තිබෙන විට හා 2017 අපේ‍්‍රල් 16 ඉන් එකක් පමණක් ක්‍රියාත්මක වෙමින් තිබෙන විට වු උත්පාදන විස්තරපහත දෛනික උත්පාදන වගුවේ දක්වා ඇත. මෙම දින දෙකෙහිම දහවල් කාලයේ අවම පරිභෝජන හෝරාවල පුරා සැලකිය යුතු ලෙසින් තෙල් IPP භාවිත කරන ලද අතර මෙම මූලාශ්‍රවලින් මිල දී ගන්නා ලද විදුලිය වෙනුවට වහළ මත වන සූර්ය ශක්ති පද්ධතිවලින් උත්පාදනය කරන විදුලිය භාවිත කරන්නට හැකිය.

වහළ මත වන සූර්ය ශක්ති පද්ධතිවලින් උත්පාදනය කරනු ලබන විදුලිය වැඩි කර ගැනීමේ හැකියාව තිබෙන හෙයින් දහවල් කාලයෙහි IPP සහ මණ්ඩලයේ ඩීසල් බලාගාරවලට යට වීම සැලකිය යුතු ප්‍රමාණයකින් අවම කර ගත හැකිය. මෙනිසා ඇති කළ හැකි සාධනීය වෙනස මෙම ප්‍රස්තාර සහ මිළ වගුව මගින් ඉඳුරා දැකගත හැකිය.

සූර්ය ශක්තිය ස්ථිර නොවන හා අවිනිශ්චිත මූලාශ්‍රයක්ය යැයිද එනිසා එය ජාතික විදුලි ජාලයේ අස්ථාවර බවට තුඩු දිය හැකිය යැයිද නොකඩවා තර්ක කරනු ලැබේ.

එනමුත් සූර්ය ශක්තිය කලින්ම පූර්ව නිගමනය කළ හැකි තාක්‍ෂණ දැන් සොයා ගෙන ඇති අතර විවිධ රටවල මෙම තාක්‍ෂණ දැන් භාවිතයේද තිබෙන හෙයින් මෙම තර්කය අද දිනට වලංගු වන්නේ නැත. ජාතික විදුලි ජාලයට පුනර්ජනනීය මූලාශ්‍රවලින් 100 % ක් දායකත්වය ලබා ගැනීමට දැන් තාක්‍ෂණික බාධා කිසිවක් නැත.

වත්මන් බලශක්ති වාතාවරණය අනුව30 % දක්වා වන දායකත්වය ‘නොවැදගත්‘ බව සැලකිය යුතුය යැයිද CSIRO නම් වන ඕස්ට්‍රේලියා රජයේ ප්‍රධාන තාක්‍ෂණ හා විද්‍යා ආයතනය පෙන්වා දෙයි.

මෙමගින් පෙනී යන්නේ ජගත් තලයේ සිදු වන මෙම අභිනව තාක්‍ෂණික විපර්යාස ගැන අපගේ වි‍ශේෂඥයින් සිටින්නේ අඳුරේ බවයි.

කෙසේ වුවද වත්මන් ජාල තත්ත්වය යටතේ වුවද අප රටේ වහළ මත වන සූර්ය ශක්ති පද්ධති තුළින් අවශෝනය කළ හැකි ශක්ති ප්‍රමාණය ඉතා ඉහළ මට්ටමක පවතින බව ආසියානු සංවර්ධන බැංකුවේ මුල්‍ය සහය ඇතුව මණ්ඩලය විසින් 2014 වසර සිදු කරන ලද අධ්‍යයනයකින් සනාථ විය. ඒ අනුව අප බලාපොරොත්තු වන්නේ සූර්ය බලශක්ති මූලාශ්‍රයට අධෛර්යමත් කරනවා වෙනුවට එය වැඩි දියුණු කිරීමට කටයුතු කරනු ඇත කියාය. සූර්ය ශක්තියේ විභවය හා විපුල ප්‍රයෝජන ගැන හා එයට අදලාව ලොව රටවල ප්‍රවර්ධනය කර ඇති හා ප්‍රවර්ධනය කරමින් තිබෙන නවීන තාක්‍ෂණ ගැන ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන්ට හා අදාළ ප්‍රධානීන්ට කරුණු පැහැදිලි කරන්නට හැකියාව ඇත.

ආරම්භයෙහි මෙය ආදේශ කර ගත්තේ ඉහළ පෙළේ පාරිභෝගිකයන් අතරය. දැන් සමස්ත චිත්‍රය වෙනස් වී ඇත. වසර 2020 වන විට මෙගා වොට් 200 ක විදුලිය උත්පාදනය කරන වහළ මත සවි කරන සුර්ය ශක්ති පද්ධති මිලියනයක් භාවිතයට ගෙන ඒමට විදුලි ඛල අමාත්‍යවරයා ඉලක්ක කර ඇත. එමෙන්ම 2025 වන මෙගා වොට් 1000 ක් සුර්ය ශක්ති පද්ධති මගින් උත්පාදනය කිරීමටද අපේක්‍ෂා කරති. මෙයට ග්‍රාමීය සුර්ය ශක්ති පද්ධති ව්‍යාපෘති යටතේ එම පද්ධති සඳහා තම නිවෙස්වල වහල කුලී පදනම යටතේ ලබා දෙනු ඇති නිවැසියන්ද ඇතුළත් වනු ඇත. මෙම ඉලක්ක සියල්ල සාක්‍ෂාත් වනු ඇත්තේ විදුලි බලය සඳහා වන ඒකාධිකාරිය හිමි එකම රාජ්‍ය අයතනය වන ලංකා විදුලිබල මණ්ඩලය සුර්ය ශක්ති සංකල්පයට අකුල් හෙලීම නවතා රුකුල් දෙන්නට කටයුතු කළහොත් පමණි.

මේ අතර LECO සමාගම විසින් ගෙන ඇති ධනාත්මක පියවර සියල්ලන්ගේම පැසසුමට ලක්විය යුත්තකි. එම සමාගම ජාතික ඉතිරි කිරීමේ බැංකුව හා සම්බන්ධව සූර්ය ශක්ති පද්ධති භාවිත කරන්නන් සඳහා සහන පොලී ණය ලබා දෙන්නට පවා පියවර ගෙන ඇත. එනමුත් රජය විසින් ප්‍රකාශයට පත් කරන ලද 50 % ණය පොලි සහනය තවමත් ක්‍රියාත්මක වී නොමැත.

අනෙක් අතට බැටරිවල සීමිත භාවිතය වුවද සුර්ය ශක්ති පද්ධති උපරිම දායකත්වය වේගවත් කරනු ඇති අතර එයද රටට වාසිදායක වනු ඇත. ආනයනය කරන ගැඹුරු චක්‍ර බැටරි සඳහා තීරු බදු ඉවත් කිරීමෙන් රජයටද මෙයට සහය විය හැකිය. එනමුත් දේශීය බැටරි කර්මාන්තය ආරක්‍ෂා කිරීම වැනි නොවැදගත් ඉසව්වකට වාසි සලසා දීමේ නාමයෙන් දැනට ආනයනික බැටරිවලට ඉහළ තීරු බද්දක් අය කිරීම කිසිසේත් ප්‍රඥාගෝචර වන්නේ නැත. මෙහි හාස්‍යය මුසු අවාසනාව නම් එසේ ආරක්‍ෂා කරනු ලබන දේශීය බැටරි කර්මාන්ත මගින් විදුලි ඛල ක්ශේත්‍රයට අවශ්‍ය ගුණාත්මකභාවයෙන් යුත් බැටරි නිෂ්පාදනය නොවීම හා මේ හේතුවෙන් පාරිභෝගිකයන් වැඩියෙන්ම මිල දී ගන්නේ ආනයනික බැටරි වර්ග වීමත්ය.

සුර්ය ශක්ති පද්ධතියේ භූමිකාව ආයෝජකයන්ගේ තීවුර උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙසින් මෙගා වොට් 10 ක සුර්ය ශක්ති උද්‍යාන තුනක් ඉදි කරන ලදී. පසුගිය කාල පරිච්ඡෙදයෙහි සුර්ය ශක්ති

පද්ධතිවල මිල ඉතා ඉහළ මට්ටමක පැවැති අවදියේ පවා සුර්ය ශක්ති ක්ෂේත්‍රය වැඩි දියුණු කිරීමේ අටියෙන් ලොව බොහෝ රටවල නානාප්‍රකාර දිරි දීමේ සැලසුම් හඳුන්වා දෙනු දැකිය හැකි වූ නමුත් අප රටේ මාරුවෙන් මාරුවට පැමිණි රජයන් විසින් කරන ලද්දේ සුර්ය ශක්ති ක්ෂේත්‍රයට විවිධ තහංචි හා වැටකඩුළු දැමීම පමණි.

මනසින් නගා ගත් රකුසන් ගැන බිය වීම හා අනුන් බිය වැද්දීම නවතා දමා හිස බමවා බැලූ පමණින් අප සිසාරා පෙනෙන මෙම දැවන්ත ස්වාභාවික දායාදවල ගැබ්ව ඇත ඵල ප්‍රයෝජන අත් කර ගන්නා ක්‍රමෝපා ගැන සිතන්නට දැන් හොඳටම කාලයයි. සුර්ය ශක්ති පද්ධති මත පනවා ඇති මෙගා වොට් 60 ක යතා යෝග්‍ය සීමාව

තවමත් ප්‍රදානය කර නොමැත. එමෙන්ම කැබිනට් මණ්ඩලයේ අනුමැතියද ලැබ මාදුරු ඔය ජලාශයේ ඉදිකිරීමට යෝජනා වී ඇති මෙගා වොට් සියයේ සුර්ය ශක්ති ව්‍යාපෘතිය විෂයයෙහි ලංකා විදුලිබල මණ්ඩලයේ ස්ථාවරය කුමක්දැයි තවමත් පැහැදිලි නැත. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ නම් එය ඉතා ප්‍රයෝජනවත් පූර්වාදර්ශයක් වී තවත් එවැනි රටට වැඩදායී මූලරම්භ කිහිපයක්ම බිහි වනු නිසැකය. මණ්ඩලය මෙම ව්‍යාපෘතියට කොළ එළිය පෙන්වනු ඇතිද නැත්නම් ජාතික විදුලි ජාලකයට අවශෝෂණය කළ හැක්කේ සීමිත සුර්ය ශක්ති හා සුළං බලය යැයි කියමින් මෙම අමිල ව්‍යාපෘතිය ඝාතණය කරනු ඇතිද? මෙයට පෙර ජාලක අස්ථාවරතාවය සම්බන්ධයෙන් මණ්ඩලය ප්‍රකාශයට පත් කළ සියලූම අනාවැකි සිතින් මවා ගත් බිල්ලන් යැයි පසුව ඔප්පු විය. ඒ අභූත අනාවැකි සමගම එතෙක් මෙතෙක් ජාලකයට එක් කර ඇති විදුලිබල ප්‍රමාණය සුර්ය ශක්තියෙන් මෙගා වොට් 80 ක් සහ සුළං බලයෙන් මෙගා වොට් 125 කි.

සූර්ය ශක්ති උද්‍යාන වැනි නවීන ක්‍රමෝපාවල ඇති වැදගත්කම වටහා ගන්නා අතරම ඩීසල් මුල් කර ගත් බලාගාරවලට තවතවත් යට නොවී රජය තම වැට කඩුලූ ඉවත් කරගන්නේ නම් මෙම ව්‍යාපෘති මාස 12 - 18 ක කෙටි කලකින් ක්‍රියාත්මක කළ හැකි වීම මෙහි ඇති තවත් අමතර වාසියකි. මෙයට සාපේක්‍ෂව වහළ මත ඉදි කරනු ලබන සුර්ය ශක්ති පද්ධති සඳහා ගත වන්නේ මාස කිහිපයක් පමණි.

දැන් අපට අවශ්‍ය වන්නේ මනාව සැලසුම් කර ගත් බල සංකලනයකි. වහළ මත වන සුර්ය ශක්ති පද්ධති කෙටි කාලීන විසඳුම ලබා දෙනු ඇති අතර සුර්ය ශක්ති උද්‍යානවලින් අඩු පිරිවැය සහිත තොග විදුලිබලය උත්පාදනය කර ගත හැකිය. මෙවිට සිය ප්‍රයෝජනවත් බව දැනටමත් සනාථ කර ඇති සුළං බලයද අප අමතක නොකළ යුතුය. මන්නාරම දූපතේ යෝජනා වී ඇති මෙගා වොට් 100 ව්‍යාපෘතිය ක්‍රියාකත්මක කිරීමට මණ්ඩලය නොවළහා කටයුතු කරනු ඇත යනු සැමගේම අපේක්‍ෂාවයි. මෙයින් තවත් එවැනි බලාගාර ගණනාවකට දොර විවර කරනු ඇත.

ඉංජිනේරු - පරාක්‍රම ජයසිංහ
[email protected]

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.