කෙන් බාලේ­න්ද්‍ර­යන් ගේ ‘‘පරි­ස­මාප්ත විධා­යක නිල­ධා­රියා” | Page 2 | සිළුමිණ

කෙන් බාලේ­න්ද්‍ර­යන් ගේ ‘‘පරි­ස­මාප්ත විධා­යක නිල­ධා­රියා”

දේශමාන්‍ය කෙන් බාලේන්ද්‍ර යනු ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ක්ෂේත්‍ර යේ සන්ධිස්ථානයකි. පූර්වාදර්ශී නායකයෙකි. ජ්‍යේෂ්ඨතම ආයතනික විධායක නිලධාරියෙකි. හෙතෙම ශ්‍රී ලංකාවේ බොහෝ ව්‍යාපාරික නායකයන්ගේ නායකයාය. මෙහි දැක්වෙනුයේ ඔහු විසින් පරිසමාප්ත විධායක නිලධාරියෙකු තම චරිතය පෞරුෂත්වය හැඩගස්වාගත යුතු ආකාරය පිළිබඳව තැබූ සටහනකි.

 පුද්ගල ප්‍රතිරූපය

කිසිවෙකුට ප්‍රශ්න කළ නොහැකි ආකාරයේ අවංකභාවයක් සහ සත්‍යවාදිත්වයක් පවත්වා ගනියි. උත්කර්ෂවත් කීර්ති නාමයක් හිමිය. මුළුනින්ම විශ්වාසනීය වේ. මූල්‍යමය ස්ථාවරත්වයක් ඇත. තමන් උපයන ප්‍රමාණයට සරිලන ලෙස වියදම් කරයි. ඉක්මන්, ක්‍රියාකාරී සහ උද්යෝගිමත් වේ. සියලුම ව්‍යාපාරික සහ සමාජීය අවස්ථාවන් තුළ දුර දක්නා නුවණින් යුතුව කටයුතු කරයි. සිනහවෙන් සුහදව කටයුතු කරයි. ලේඛනයේ දී සහ භාෂණයේ දී ඉංග්‍රීසි, සිංහල සහ දෙමළ යන ත්‍රිවිධ භාෂාවන්ම හොඳින් හසුරවයි. චතුරව කතාකරයි. කතාවේ දී මෙන්ම ලේඛනයේ දීත් විශිෂ්ට සන්නිවේදකයෙකි. අවබෝධයෙන් යුතුව කථා කරයි. නිරවුල්ය, තියුණුය, මනා සිහියෙන් යුක්තය, නිරවද්‍යය. නොවළහා කථා කරයි. සිතේ යමක් සඟවා කථා නොකරයි. කථාවෙන් පුද්ගලයන් සතුටු කිරීමට තම ප්‍රතිපත්ති පාවා නොදෙයි. සමාජශීලි වෙයි. නමුත් සමාජ ගැති නොවෙයි. ඉක්මනින් මිනිසුන් සමඟ කුළුපග විය හැකිය. නිතර මුවඟ රැඳුණු සිනහවකින් සිටියි. වහා කිපෙන ගතියෙන් සහ නිතර නොසන්සුන් ගතියෙන් සිටීමෙන් වැළකෙයි. නිතර මිත්‍රශීලිව කටයුතු කරයි. නිකරුණේ මිනිසුන් තරහ කරගැනීමෙන් වළකියි. ස්ත්‍රියක හෝ පුරුෂයකු හෝ වුව - ඉතා හොඳින් ඇඳුමෙන් පැළඳුමෙන් සැරසෙයි. ඉතාමත් ආචාරශීලි වෙයි.

ජාතික සහ ජාත්‍යන්තර ලෙස වැදගත් වන ප්‍රවෘත්ති, විශේෂ අවස්ථා, කාලීන ප්‍රවණතා සහ සිදුවීම් ආදිය පිළිබඳව හොඳ අවබෝධයක් පවත්වාගෙන යයි. මනා ශික්‍ෂණයකින් යුක්තය. පීඩනකාරී තත්ත්වයන් තුළ චිත්තවේගී නොවෙයි. මානසික පීඩා සහ ආතති තත්ත්වයන් ඉතා සාර්ථකව පාලනය කරයි.

සාමාන්‍යයෙන් කාරුණිකය, මෘදුය. නමුත් නැ‍ඟී සිටිය යුතු සුදුසු අවස්ථාවන්හී දී දරදඩු විය හැකිය. (එහෙත් සෘජු හා සාධාරණ වෙයි) තමා සමඟ වැඩ කරන මිනිසුන්ගේ යහපත පිළිබඳව සිතයි.

සුළු දේවලට කාලය අපතේ නොහරියි. ලිංගිකත්වය, ජාතිකත්වය, ආගම ආදිය පදනම්ව මිනිසුන් වෙන්කර නොසිතයි, වෙන්කර කටයුතු නොකරයි. තමන්ගේ චරිතයට අපවාදාත්මක දේවල් ඈඳා නොගනී. නිතර අන්‍යයන් නොරිස්සීම වැනි පැටලිලි සහගත හෝ කටුක චරිත ස්වභාවන් නැත. දක්‍ෂ බුද්ධිමත් වැටහෙන නුවණකින් යුක්තය. ඉවසයි - බොහෝමයක් සුළු කෝපය ඇවිස්සීම් ආදිය දරා ගනියි. නැතහොත් අනුකම්පා සහගතව පසුබා සිටියි. දැඩිව සිටියි - පහසුවෙන් අත් නොහරියි. අවශ්‍යම නම් කිසිලෙසකින්වත් අත් නොහරියි.

 වෘත්තිමය ප්‍රතිරූපය

ඉහළ මට්ටමේ වෘත්තිමය දක්‍ෂතාවයන් සහිත දක්‍ෂ වැඩකරුවෙකි. තමන්ට මෙන්ම තමන්ගේ යටතේ සේවය කරන්නන් සඳහා ද ඵලදායී ප්‍රවේශයන් යොදා ගනී. දෛනික ජීවිතයේ දී හමුවන තර්ජනයන්ට මෙන්ම ආශිර්වාදයන්ට ද ප්‍රතිචාර දැක්වීමේ දී ඉහළ නිර්මාණශීලිත්වයකින් යුක්තය. අනාගතය දකිමින් නිෂ්පාදන හෝ සේවාවල ප්‍රවර්ධනයන් ගොඩනගයි. තමන්ගේ රැකියාවේ ස්වභාවය, කාර්යභාරය, වගකීම සහ අධිකාරිය පිළිබඳව හදුනාගනියි. එමෙන්ම විශිෂ්ට ලෙස ඒවා හසුරුවයි. නායකත්වය දිය යුතු ඕනෑම අවස්ථාවක් සඳහා නොපසුබටව ඉදිරිපත් වී එය සාර්ථකව අවසන් කරයි. තමන් යටතේ සේවය කරන්නන් හොඳින් පොළඹවයි, හොඳින් සංවිධානය කරයි. ඉදිරියේ දී බලාපොරොත්තු විය හැකි දේ ගැන ඔහු/ඇය හඳුනාගනියි. අධීක්‍ෂණයකින් තොරව වුව ද නොකඩවා ඉලක්කය කරා ගමන්කරයි. සෑම විටම උනන්දුවෙන් සහ කලට වේලාවට වැඩ කරයි. එහි පළමු අංගය ලෙස සෑම කටයුත්තක්ම නියමිත වේලාවට හෝ එයට මදක් වේලාසන අවසන් කරයි.

මනා සෞඛ්‍ය තත්ත්වය ඉහළ ජවයක් ශක්තියක් ඇති කරයි. කායික යෝග්‍යතාව සහ මානසික අවධානය මගින් එය නිරූපණය කරයි. ඉතා ඉහළ පෞරුෂත්වයක්, ගරුත්වයක්, ආත්ම විශ්වාසයක් පවත්වා ගනියි. තම තනතුරේ බලය සහ අධිකාරීත්වය පිළිබදව මිනිසුන්ට කයිවාරු නොගසයි. එහෙත් හැකියාව, දක්‍ෂතාව/කුසලතාව සහ කාර්යය සාධනය හරහා ඔවුන්ගේ ගරුත්වය උපයා ගනියි. තමන් යටතේ සිටින අය අගය කරයි, තමන්ගේ හවුල්කරුවන් විශ්වාස කරයි. එමෙන්ම සමානාත්මතාවයෙන් සහ මිත්‍රත්වයෙන් යුතුව සළකයි.

ජනතාවගේ - සංවර්ධකයෙකි, අභිප්‍රේරකයෙක් සහ පුහුණුකරුවෙකි. එමෙන්ම ජනතාවගේ විශිෂ්ට කළමනාකරුවෙකි. අදාළ විෂය ක්ෂේත්‍රය තුළ දී නිසගයෙන්ම ප්‍රමුඛයකු බවට පත්වේ. සහජයෙන්ම නායකයෙකි. තීරණාත්මක, ක්‍රියාකාරි, පුරෝගාමී චරිතයක් වන නමුත් අපක්‍ෂපාතීය.

සේවා හෝ නිෂ්පාදන ක්‍රියාවලිය සරල කිරීම, ක්‍රමානුකූල කිරීෙමන් කාර්යක්‍ෂම බව සහ වඩාත් ප්‍රතිඵලදායක වන බව විශ්වාස කරයි. කාර්යක්‍ෂමතාව පිළිබඳව අවධානය තබා ගනිමින් අවශ්‍ය වැඩි දියුණු කිරීම් නොකඩවා සිදු කරයි. නව නිපුණතාවන් ඉගෙන ගනිමින් පුහුණුවෙමින්, ඵලදායී අදහස් සහ අත්දැකීම් අනාවරණය කරගනිමින්, අධ්‍යාපනය හරහා තමාම වැඩි දියුණු කර ගැනීමට නොකඩවා උත්සාහ කරයි. මනාව සංවිධානය වූවෙකි. කිසිදා වැඩ අධික නොවේ. හොඳ නියෝජිතයෙකි.

දක්‍ෂ කණ්ඩායම් කී‍්‍රඩකයෙකි. තනි වී නොසිටියි. කණ්ඩායම් ක්‍රීඩා (ක්‍රියකාරකම්) තුළින් විනෝද වෙයි. නාස්තිය පිටු දකින්නෙකි.

අයවැය පිළිබදව මනා සිහි ඇතිව සිටියි. වියදම සහ ප්‍රතිලාභ පිළිබඳව තාර්කික අධ්‍යයනයකින් තොරව අනුමත කිරීම් සිදු නොකරයි. තීරණ ගැනීමේ දී ඉක්මන් නොවේ. අවශ්‍ය තැන දී අනෙක් අයගේ උපදෙස් ලබා ගැනීමට පසුබට නොවේ.

නිවැරැදි දැක්මකින් යුතුව ප්‍රධානීන්ගෙන් මෙන්ම තමන්ගේ යටතේ සිටින අයගෙන් ද හැකි පමණ උපදෙස් සහ නිවැරැදි කිරීම් ලබා ගනියි. අත්දැකීම්වලට ගරුකරයි.(එහෙත් බිය නොවෙයි) පිළිවෙලට සහ පිරිසිදුව තබා ගැනීම හොඳ නිවසක් මෙන්ම කාර්යාලීය වටපිටාවක් පවත්වා ගැනීමට හැකි මඟකි. ලිපිලේඛන සහ ලිපිගොනු අවශ්‍ය අවම ප්‍රමාණයක් තබා ගනියි.

ඔහු හෝ ඇය තමන්ගේ වත්මන් ව්‍යාපාරික කටයුතුවල දී ඉතා වැදගත් විශේෂඥයකි. එමෙන්ම එම කටයුතුවල තත්ත්වය සහ ක්‍රියාකාරීත්වය පිළිබඳව ඉතා හොඳින් සවිඥානකය.

 ආයතනික ප්‍රතිරූපය

සමාගම විසින් මෙතෙක් ලඟා කරගත් සහ අත්‍රික්‍රමණය කළ ඉලක්ක සහ අරමුණු සුරක්‍ෂිත කරලීමට උත්සාහ දරයි. මෙම පුද්ගලයා වටා සිටින මුළු කණ්ඩායම සහ ඔහු හෝ ඇයත් නිතරම තම සමාගමේ ඵලදායිතාව වර්ධනය කිරීමේ නව මං සොයති. අවම පිරිවැයකින් උපරිම ප්‍රතිලාභ ලබන්නෙකි. නිතරම පුද්ගල ක්‍රියාකාරකම්වල බලපෑම හරහා කණ්ඩායම තුළට සහ විශේෂයෙන් සමාගමට හිමිවෙන කෙටි කාලීන සහ දිගු කාලීන ප්‍රතිලාභ පිළිබඳව නිතරම සැළකිලිමත් වෙයි. එමෙන්ම ඉහළ ප්‍රතිලාභ ලබා ගත හැකි මං සොයා ගනී. තම පුද්ගලික නිපුණතාවන් වර්ධනය කර ගැනීමට (සමාගමට හිමි වූ ප්‍රතිලාභ හැර) සහ තමන්ගේ මූල්‍යමය තත්ත්වයට ආශිර්වාදයක් වූ තම කණ්ඩායම තමා සතු වගකීමක් වත්කමක් ලෙස සළකයි. ඒ නයින් තමා මූර්තිමත් කිරීමට සහාය වූ කණ්ඩායමේ අනාගතය පිළිබඳව විශ්වාසයක් පවත්වාගනියි. තමාගේ සාර්ථකත්වය පමණටම සමාගමේ අභිවෘද්ධිය සඳහා ද පෞද්ගලිකව කැපවීමෙන් කටයුතු කිරීමේ ආශාවක් සහ අධිෂ්ඨානයක් පවත්වා ගනී.

කණ්ඩායම පිළිබඳව පූර්ණ කැපවීමෙන් කටයුතු කරයි. එවැනි කණ්ඩායමක් සමඟ කටයුතු කිරීම තමන්ට ආඩම්බරයක් බව පෙන්වයි.

වෙ‍ෙළඳ උපක්‍රම, මූල්‍යම තත්ත්වයන් සහ කළමනාකරණ තොරතුරු ආදිය නිවැරැදිව තේරුම් ගැනීමට සමත් පුහුණු කළ විචාරශීලි සහ තීක්‍ෂණශීලි මනසක් ඇත. සෑම විටම කණ්ඩායමේ වෘත්තිමය දක්‍ෂතාව ඉහල මට්ටමක තබා ගැනීමට උත්සාහ දරයි. නූතන තාක්‍ෂණයේ වාසිදායක බව භාවිත කරන අතර එය අගය කරයි.

කණ්ඩායමේ වෙනස්වීම් සමාගම්වල ව්‍යාපාරික කටයුතු පිළිබඳව හුරුකමක් ඇත. එය ඔහුගේ හෝ ඇයගේ වත්මන් වගකීම්වල බාහිර සුපරික්‍ෂාකාරී බව සඳහා අර්ථාන්විත දායකත්වයක් ලබා දිය හැකිය. කණ්ඩායමේ දිගුකාලීන අරමුණු පිළිබඳව හඳුනාගනියි.

එමෙන්ම කණ්ඩායමේ සමාජ වගකීම් පිළිබඳව හදුනාගනියි. කාලෝචිත පරිබාහිර ක්‍රියාකාරකම් සඳහා ක්‍රියාකාරීව සහභාගී වෙයි. හොඳින් දන්නා හඳුනන, ජනප්‍රිය, යුතුකම් දන්නා චරිතයකි. සේවකයන්, කොටස්කරුවන්, සහ ප්‍රජාව සමඟ හොදින් කුළුපග වෙයි.

ඔහුට හෝ ඇයට ආවේණික දේශපාලනික මතවාදයන් ඇත. එහෙත් කණ්ඩායම යනු දේශපාලනික දෙයක් නොවන බව තේරුම්ගනිමින් ඒ අනුව කටයුතු කරයි.

Comments