ගැබිනි සමයෙහි ගන්නා අමතර විටමිනවලින් හිතන තරම් වාසි නොවේ | සිළුමිණ

ගැබිනි සමයෙහි ගන්නා අමතර විටමිනවලින් හිතන තරම් වාසි නොවේ

බ්‍රිතාන්‍යයේ බොහෝ කාන්තාවන් ගර්භිණී සමයෙහි තමාගේ සහ දරුවාගේ සෞඛ්‍ය වර්ධනය උදෙසා විවිධ විටමින් වර්ග හා අතිරේක පෝෂ්‍යදායක ආහාර පාන ලබාගැනීමට හුරු වී සිටිති. එහෙත් එලෙස ගන්නා බහුවිධ විටමින් හා අමතර පෝෂණ ද්‍රව්‍යවලින් මවගේ හෝ දරුවාගේ සෞඛ්‍යයට විශේෂයෙන් අත්වන වාසියක් නැති බව බ්‍රිතාන්‍ය ඖෂධ අධිකාරිය මඟින් කරන ලද පර්යේෂණයකින් සනාථ වී තබේ.

දැන්වීම් හා ප්‍රචාරණ

මවගේ සෞඛ්‍ය වර්ධනයට, කෙස්, නිය හෝ දත් වැඩීමට හමෙහි පැහැපත් බවට හෝ ශක්තිමත් බවට සුදුසු බව කියමින් විටමින හා අමතර පෝෂක අලෙවිකරුවන් නා නා විධ දැන්වීම් හා ප්‍රචාරණ කරමින් මවුවරුන් රවටන බවද එම සමීක්ෂකයෝ පෙන්වා දෙති. හැම අම්මා කෙනකුම තම දරුවාගේ උපරිම සුවය පතන හෙයින් වෙළෙඳ ප්‍රචාරණවලට පහසුවෙන් රැවටෙන බව ද ඔවුහු පෙන්වා දෙති. විටමින් අලෙවිකරුවන් විසින් ඒවායෙහි අඩංගු වෙතැයි කියන අධිපෝෂක හෝ ඒවායෙන් ලැබෙන විශේෂ වාසි වැඩි හරියක් සැබැවින්ම ඒවායෙහි නොවන බවද පර්යේෂණවලින් සනාථ වී තිබේ. මෙම විටමින හා අමතර පෝෂක වෙනුවෙන් වැය කරන මුදල් සැබැවින් ම අපතේ යන බවද එම පර්යේෂණ වාර්තාවෙහි සඳහන් වේ.

බ්‍රිතාන්‍ය ගර්භණීන් අතර ගණනය කළ නොහැකි තරම් පිරිසක් මෙලෙස විටමින හා අමතර පෝෂක භාවිතයට පෙලැඹී සිටිති. විටමින් B1, B2, B3, B6, B12, C, D, E, K ෆෝලික් අම්ල, අයඩින්, මැග්නීසියම්, යකඩ, තඹ, සින්ක් සහ සිලෙනියම් මෙලෙස බහුලව ගන්නා අමතර විටමින වේ. මේවා එකක් හෝ කිහිපයක සංයෝජන ලෙස ද අලෙවි කෙරේ. සාමාන්‍යයෙන් මේ අමතර විටමින් සඳහා මසකට එක් කාන්තාවක් පවුම් පහළොවකට වඩා වැය කරතැයි ගණන් බලා තිබේ.

“සාමාන්‍යයෙන් සෑම ගැබිනි මවකට ම පොදුවේ ලබා දෙන ෆෝලික් අම්ල සහ විටමින් ඩී අතිරේක හැරුණු විට වෙනත් විටමින් සංයෝග ගැබිනි මවුවරුන් සඳහා අනුමත කළ යුතු බවට කිසිදු විද්‍යාත්මක සාක්ෂියක් නොවන බවද එම වාර්තාව පවසයි. එහෙයින් ෆෝලික් අම්ලය හා විටමින් ඩී හැරුණු විට වෙනත් බහුවිධ විටමින සංයෝජන ලබා ගැනීම එතරම් නුවණට හුරු නැතැයි ද එම වාර්තාව අවධාණරය කරයි. සෑම ගර්භණී මාතාවක් ම ගර්භයට සති දොළහක් ගත වන තුරු ෆෝලික් අම්ලය ලබා ගත යුතු බවට වෛද්‍යවරුන් උපදෙස් දෙනුයේ කලලයේ මොළය වර්ධනයට හා කොඳු ඇට පෙළේ වර්ධනයට ඇති විය හැකි හානි වළක්වා ගැනීම සඳහාය.

විටමින් ව්‍යාපාරය

නවතම පර්යේෂණවලින් හඳුනා ගෙන ඇත්තේ විටමින් ඩී ලබා ගැනීමෙන් ගර්භණී කාලය තුළ හා ප්‍රසවයේදී ඇති විය හැකි සංකූළතා වළක්වා ගත හැකි බවය. ගර්භණී සමය පුරාම මෙන් ම දරුවාට කිරිදෙන කාලය පුරාමත් විටමින් ඩී ලබා ගැනීම සුදුසු බවට වෛද්‍යවරු උපදෙස් දෙති.

අමතර විටමින් ව්‍යාපාරය කාන්තාවන් අතර ජනප්‍රිය ව්‍යාපාරයක් බවට පත්ව ඇත්තේ බ්‍රිතාන්‍යය ඇතුළු යුරෝපා රටවල පමණක් ‍නොවේ. ඌන සංවර්ධිත රටවල කතුන් අතර ද ඒ සඳහා විශාල ඉල්ලුමක් තිබේ. විශේෂයෙන් ම දිළිඳු රටවල මන්දපෝෂණයෙන් පෙළෙන කාන්තාවන් අතර ද ඒවා ජනප්‍රිය ය. බ්‍රිතාන්‍යයේ සෞඛ්‍යවත් අමතර ආහාර පිළිබඳ තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රකාශිකා පෝෂණවේදී වෛද්‍ය කැරී රුක්ස්ටන් මේ වාර්තාවේ ‍තොරතුරු එකහෙළා පිළිගන්නේ නැත. ඇය පවසන්නේ ගැබිනි සමය තුළ ගත යුතු පෝෂ්‍යදායී ආහාර නිසි පමණට නොගන්නා කාන්තාවනට මේ අමතර පෝෂකවලින් කිසියම් පිහිටක් ලැබෙන බවයි.

ස්වාභාවික ආහාර පාන

විටමින වර්ග වෙනුවට හැමවිටම ස්වාභාවික ආහාරපාන එළවළු හා පලතුරු ආහාරයට ගැනීමෙන් සිරුරට අවශ්‍ය පෝෂණය ලබා ගැනීම සුදුසු වුවත් බොහෝ කාන්තාවන් තමාට අවශ්‍ය ප්‍රමාණයට පෝෂ්‍යදායී ආහාර ලබා නොගන්නා බවද වෛද්‍ය රුක්ස්ටන් පවසයි.

නිදසුනක් ලෙස යු‍රෝපා සංගමයේ උපදෙස් අනුව නියම කරන ලද ආහාර වර්ගවලින් අත්‍යවශ්‍ය පෝෂක සහිත ආහාර එලෙසින් ම ගන්නා කාන්තාවන් අඩු බව ඇය කියයි. එරට කතුන් අතරින් දිනකට පලතුරු හා එළවළු ප්‍රමාණ පහක් ලබාගන්නේ 30%ක් පමණි. කලලයේ මොළය සහ ඇස්වල වර්ධනයට ඉවහල් වන ඕමේගා 3 මේද අම්ල අඩංගු තෙල් සහිත මාළු වර්ග ආහාරයට ගනු ලබන්නේ ගර්භණීන්ගෙන් 11%ක් පමණි.

අප වැනි රටවල කාන්තාවන්ට ඕනෑ තරම් ස්වාභාවික පලතුරු හා එළවළු ලබාගත හැකිය. ගෙවත්තේ වැවෙන ‍ගොටුකොළ, නිවිති, තම්පලා වැනි පලා වර්ග මෙන් ම දඹල, මාළුමිරිස්, තක්කාලි වැනි එළවළු ද සාලයා, හුරුල්ලා, සැමන්, පරා වැනි කුඩා මාළු, කිරි හා කිරි ආහාර දිනපතා ආහාරයට එක් කර ගැනීමෙන් දරුවාගේ මෙන් ම මවගේ සෞඛ්‍ය වර්ධනය සඳහා ද ඉවහල් වන පෝෂණ කොටස් හා විටමින පහසුවෙන් ම ලබා ගත හැකි වේ.

 සාග­රිකා 
අන්තර්ජාලය ඇසුරෙනි

Comments