අවු­රුදු 800 ක් පැරැණි පනාපිටිය දැව අම්බලම | සිළුමිණ

අවු­රුදු 800 ක් පැරැණි පනාපිටිය දැව අම්බලම

පනා­පි­ටිය අම්බ­ලම

දුර්ලභ දැව කැටයම්  

පැරැණි සිංහල සමාජයේ ජන ජීවිතය හා ඉතා සමීප ලෙස බැඳුණු ග්‍රාමීය සමාජ සංස්ථාවක් වූ අම්බලම සිංහල සංස්කෘතික ලකුණකි. මහාමාර්ග හා ප්‍රවාහන සේවා දියුණුවත් සමඟ ම එය සමාජයෙන් දුරස්වෙමින් පවතී.

“අම්බලම” යන්නෙන් ධ්වනිත වනුයේ හුදෙක් නවාතැන්පොළක් හෝ ගිමන් හලක් පමණක් නොවේ. එය සිංහල ගැමි සංස්කෘතියේ උපාංග රැසක් එක්තැන් කරන එමෙන් ම සාරධර්ම සමුදායක් පිළිබිඹු කෙරෙන ජාතික ස‍ංකේතයකි. උප සංස්කෘතිකාංගයකි.

අම්බලම්වල විශේෂත්වය වනුයේ ඒවා විවිධ ආකාරයේ විසිතුරු කැටයම්වලින් අලංකාර කර තිබීමයි. එවැනි කැටයම් සඳහා ප්‍රසිද්ධියක් උසුලන අම්බලමක් ලෙස පනාපිටිය අම්බලම හැඳින්විය හැකිය. කුරුණෑගල නගරයේ සිට කොළඹ 5 මාර්ගයේ කිලෝමීටර් 24 ක් දුර පැමිණි පසු වැටියගනේ පාසල් හන්දිය හමුවේ.

එම හන්දියේ සිට වමට හැරී දංගොල්ල මාර්ගයේ කිලෝමීටර් දෙක හමාරක් පමණ ගමන් කළ විට සොඳුරු වෙල් යායකට සහ පනාපිටිය විහාරස්ථානයට අතරමැදිව මෙම සුප්‍රසිද්ධ පනාපිටිය අම්බලම පිහිටා තිබේ.

දහ අට වැනි සියවසේදී පමණ ඉදිකර ඇතැයි සැලකෙන මෙම අම්බලමේ සුවිශේෂත්වය වනුයේ අතීත ශ්‍රී විභූතිය ධජ නංවන ඓතිහාසික වටිනාකමකින් යුත් මහනුවර ඇම්බැක්කේ දේවාලය, ලංකාතිලක හා ගඩලාදෙණිය විහාර තුළ දක්නට ලැබෙන කැටයම්වලට වඩා උසස් ගණයේ කැටයම් කලාවක් මෙම ගිමන් හල තුළ නිර්මාණය කර තිබීමයි.

දඹදෙණියේ සිට අනුරාධපුරය දක්වා ගමන් ගන්නා ජනතාවගේ ගිමන් නිවාලීම සහ රාත්‍රිය ගත කිරීම සඳහා දෙවැනි පරාක්‍රමබාහු රජුගේ උපදෙස් පරිදි මෙම ගිමන්හල නිර්මාණය කර ඇති බව පුරාවිද්‍යා පර්යේෂණ මඟින් හෙළිවී තිබේ.

මෙම අම්බලම ඉදිකර ඇත්තේ අඩියක් පමණ උසැති විශාල ගල්කුට්ටි හතරක් මතු වූ ලී පාදමකයි. වේයන්ගෙන් සිදුවන හානි වැළැක්වීම සඳහා මෙසේ ඉදි කරන්නට ඇතැයි විශ්වාස කෙරේ.

අම්බලම ඇතුළත පිහිටි අඩි 6 බැගින් උසින් යුත් කණු 9 ක් දර්ශනීය ලෙස කැටයම් කර ඇත. පිටත කණු 19, ඇතුළත පිහිටි කණු මෙන් විචිත්‍ර ලෙස කැටයම් කර ඇත.

මෙම පනාපිටිය අම්බලම වසර අටසියයකට එහා ඈත අතීතයකට උරුමකම් කියන්නත් වුවද එහි ශක්තිය තවමත් එදා තිබුණු ආකාරයෙන් ම තිබීම විශේෂත්වයකි.

දෙවැනි පරාක්‍රමබාහු රජුගෙන් පසු දඹදෙනිය සිය රාජධානිය කර ගත් සිවුවැනි විජයබාහු, පළමුවැනි බුවනෙකබාහු, තෙවැනි පරාක්‍රමබාහු යන රජවරුන්ගේ පාලන කාලය තුළදී ද මෙම ගිමන් හල පවත්වාගෙන ගොස් ඇත.

ගජසිංහ කැටයම, හංස පූට්ටුව, මල් මෝස්තර සහ නාට්ටුවක් වැනි ලී කැටයම් මෙහි දක්නට ඇත. එසේම දෛනික ජීවිතයේ විවිධ අවස්ථා ද මෙහි කැටයම් මඟින් නිරූපණය කර තිබේ.

“වසර අටසියයකට පෙර ඉදිකර ඇති මෙම අම්බලම තවමත් කිසිදු ගරා වැටීමකට ලක් නොවී පෙර පැවති තත්ත්වයේ ම තිබීම විශේෂත්වයක්. ඒ කාලයේ ඉදි කළ බැව් කියන අනෙක් කිසිදු අම්බලමක් අද දක්නට නැහැ. මෙහි දැවයෙන් කළ කැටයම් හැටක් පමණ තිබෙනවා. මෙමඟින් එදා මෙරට පැවති ගෘහ නිර්මාණ ශිල්පය හා ලී කැටයම් කලාව පිළිබඳ අවබෝධයක් ලබා ගත හැකිය. මෙහි ඇති කැටයම් අතරින් නයි දඟරය විශේෂයි. චිත්‍ර කලාව හදරන සිසුන්ට මෙන් ම එම විෂය උගන්වන ගුරු මහත් ම මහත්මීන්ට ද මෙම ඓතිහාසික ස්ථානයෙන් උගත හැකි දෑ බොහෝයි.”

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඉබ්බාගමුව අධ්‍යාපන කලාපයේ හිටපු චිත්‍ර කලා ගුරු උපදේශඛ ආර්.එම්. තිලකරත්න බණ්ඩා මහතා පැවසීය.

දඹදෙණිය රාජධානියේ ශ්‍රී විභූතිය නැරැඹීමට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ට මෙම ස්ථානය නැරැඹීමෙන් ශ්‍රී ලංකාවේ අතීත කලා නිර්මාණවල අපූර්වත්වය විඳ ගැනීමට අවස්ථාව ලැබෙනු ඇත. 

 

Comments