අවුරුදු 20ක්ම දරුවන්ට කිරි දුන්නා | සිළුමිණ

අවුරුදු 20ක්ම දරුවන්ට කිරි දුන්නා

ලෝක අම්මාවරුන්ගේ දිනය සමරා වැඩි දිනයක් නැත. ‘අම්මා’ සැමරීමට එක් දිනයක් සෑහේද යන ප්‍රශ්නය කවුරු කවුරුත් මතු කරන මොහොතක, අම්මලා දරුවන්ට ද, දරුවන් අම්මලාට ද බොහෝ කෙණෙහිලිකම් කරන කාලයක රටට දරුවන් විසිදෙනෙකු දායාද කළ අපූරු අම්මා කෙනෙකු හා තාත්තා කෙනෙකු පිළිබඳ මේ කතාව අපට ඇසුණේ ගලේවෙල ප්‍රදේශයෙනි.

‘පුංචි පවුල රත්තරන්’ මේ කියමන සැබෑ කරමින් අද අපේ රටේ බොහෝ පවුල්වල සිටින්නේ දරුවන් දෙතුන් දෙනෙකි. දැන් දැන් වැඩිම වුණොත් සිටින්නේ දරුවන් තුනකි. එසේත් නැත්නම් හතරකි. එහෙත් දරුවන් විසිදෙනෙකු මෙලොට බිහිකළ අම්මා කෙනෙකු තවමත් අප අතර සිටින්නේ යැයි කීවොත් සැබැවින් ම ඔබ විමතියට පත්වනු නොඅනුමානය.

නොබෝදාක දරුවන් විසිදෙනෙකු බිහි කළ අම්මා පිළිබඳ තොරතුරු ලද සැණින් බොහෝ දුර ගෙවා අපි ඇය සොයා ගියෙමු. ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් බඹරගස්වැව, කටුපොත ගම්මානය හමුවූයේ බොහෝ දුෂ්කර මඟ ගෙවා යද්දීය. දරුවන් විසිදෙනෙකුට මව වූ එච්.ඒ. රොසලින් නෝනා අම්මා හා ඇගේ ආදරණීය සැමියා අප පිළිගත්තේ බොහෝ සතුටිනි. ඇය හැත්තෑ අටවැනි වියෙහි පසුවන්නීය. අප එහි යනවිට ඇගේ දරු මුනුපුරෝ කිහිප දෙනෙක් ද එහි සිටියහ.

“එක්දහස් නවසිය පනස් හය අවුරුද්දේ දෙසැම්බර් දහතුන් වෙනිදා තමයි මම විවාහ වුණේ. විවාහ වී වසරකට පමණ පසුව තමයි පළමුවැනි දරුවා ලැබුණේ. ඒ එක්දහස් නවසිය පනස් අට අවුරුද්දේ. මගේ ලොකු දුව ලැබුණේ එදා. ඉන් පසසේ මට අවුරුදු පතා දරුවෝ ලැබුණා.

මේ වෙන‍කොට නම් මට දරුවන් උපන් අවුරුදු හරියට ම මතක නැහැ. ඒ වුණත් මගේ විසිවැනි දරුවා ලැබුණේ එක්දහස් නවසිය අසූදෙක අවුරුද්දේ ජනවාරි විසිහත් වැනිදා. ඒ ලැබුණේ පුතෙක්. මම හැම දරුවෙකුට ම මාස දහය එකොළහ වනතුරු මගේ කිරි දුන්නා. ඒ වෙනකොට අනෙක් දරුවා ලැබෙන්න එනවා. මාස එකොළහ විතර වෙන‍කොට මම දරුවන්ට කැඳ වතුර, බත්වලට හුරු කරනවා. ඒ කාලේ කන්න බොන්න දේ හිඟයි. ඒත් දරුවන්ගේ තාත්තා දරුවෝ වෙනුවෙන් මහන්සිවෙලා වැඩ කළා.”

රොසලින් අම්මා පවසන්නේ තම සැමියා වන අසූ අට හැවිරිදි ජී. ජිනදාස දෙස ආදරණීය බැල්මක් හෙළමිනි.

රොසලින් හා ජිනදාස යුවළ අතර තවමත් ඇත්තේ පුදුමාකාර බැඳීමකි. මහගෙදර දැන් ජීවත් වන්නේ රොසලින් යුවළ හා විවාහ නොවූ දියණියයි. නමුදු ඔවුන්ගේ දරුවන්ගෙන් අතැමෙක් ම‍හගෙදර වත්තේ ද ඒ අවට ද නිවෙස් තනාගන ජීවත් වෙති. තවත් දරුවෝ පිටගම්වලට දීගතල ගොස්ය. නමුදු ඔවුහු නිවසේ යම් කටයුත්තක් ඇති විටෙකද, සිංහල අවුරුද්දට ද මහගෙදරට එක්වෙති.

“ඒ කාලේ ජීවත් වෙන්න හරි අමාරුයි. දරුවන්ගේ තාත්තට ස්ථිර රස්සාවක් තිබුණේ නැහැ. එයා මොළගොඩ පොල් වත්තේ මුරකරුවා හැටියටත් වැඩ කළා. පොල් කඩනවා, ලෙලි ගහනවා. ඒ ඇරෙන්න ව තව කුලී වැඩත් කළා. ගොවිතැන් කරලා, කුරහන් වපුරලා, ගෝනි ගණන් ගෙදර ගේනවා. මම කුරහන් කොටලා දරුවන්ට රොටි, තලප, පිට්ටු හදලා කන්න දෙනවා. දරුවෝ ලොකු වෙනකොට ඒ ගොල්ලෝ නංගිලා මල්ලිලා ආදරෙන් බලා ගන්නවා. ඒ කාලේ දරුවන්ගේ තාත්තට සතියට රුපියල් අටයි පඩිය හැටියට ලැබුණේ. මොන අමාරුකම් තිබුණත් ජීවිතේ දුකත් සතුටට හරවගෙන අපි දරුවෝ එක්ක ජීවත් වුණා.”

රොසලින් අම්මා දෑසේ කඳුළක් පිසිමින් පවසන්නීය.

අද ඇතැම් අම්මාවරුන් මැසිවිලි නගන්නේ දරුවන් එක්කෙනා දෙන්නා බලා ගැනීමට බැරිවය. කාර්ය බහුල ජීවන රටාව තුළ අද ඇතැම් දරුවන් දවස ගෙවා දමන්නේ දිවා සුරැකුම් මධ්‍යස්ථානවලය. නමුදු රොසලින් අම්මා එක දරුවෙක් නොව දරුවන් විසි දෙනෙකුම කරදඬු උස් මහත් වනතුරු බොහෝ ආදරයෙන් ඇති දැඩි කළාය. ඇය තම දරුවන්ගේ දරුවන් ද බැලුවාය. ජීවිතයේ බොහෝ අසීරු කාලයන් ගත කළ ඔවුන් දැන් හිඳින්නේ සතුටිනි.

සුවපහසුකම් නොතිබුණ, බොහෝ ආර්ථික දුෂ්කරතා තිබූ එකල දරුවන් හැදූ වැඩූ අයුරු අද ඇය සිහිපත් කරන්නේ මද සිනහවෙනි.

“දරුවෝ ලැබෙන්න ඉස්පිරිතාලේ ගිය වගක් මතකයට එන්නේ නැහැ. හැම දේටම ආවේ ‘නෝනි උන්දැ’ ඒ කියන්නේ ගමේ වින්නඹු අම්මා. උන්දැ මැරුණා මීට කාලයකට පෙර. නෝනි උන්දැ නිවන් දකින්න ඕනෑ මට කළ උදව් උපකාරවලට. දරුවන්ගේ තාත්තාවත් මමවත් බෙහෙත් පෙත්තක් බීපු කාලයක් මතක නැහැ. නමුත් දැන් නම් මගෙ ඇස්වල පෙනීම ටිකක් අඩුයි.”

රොසලින් අම්මා පවසන්නේ වයසට යෑමත් සමඟ තමන් මුහුණ දී ඇති ගැටලු ගැනය.

දැන් රොසලින් හා ජිනදාසට මුනුපුරු මිනිපිරියෝ හැත්තෑ අටදෙනෙකි. රොසලින් අම්මාට එකල වුවමනා වූයේ දරුවන් විසිහතර දෙනෙකු මෙලොවට බිහි කිරීමට. නමුදු ඒ සිතුවිල්ල සිහිනයක් වූයේය.

“මගෙ අම්මට දරුවෝ හත් දෙනයි. පුංචි අම්මට දරුවෝ දහතුන් දෙනයි. මම හිතාගෙන හිටියේ දරුවෝ විසිහතරක් හදනවා කියලා. ඒත් දොස්තර මහත්මයෙක් කිව්වා ශරීරය දුර්වල නිසා දරුවන් හැදීම නැවැත්වුවොත් හොඳයි නේද කියලා. මට පුතාලා දහතුන් දෙනෙකුයි දුවලා හත්දෙනෙකුයි ඉන්නවා. මේ දරුවෝ එක්කෙනෙක්වත් අපට කවදාවත් උඹ නොදකිං කියලා නැහැ. මට හිතෙනවා මම හරිම වාසනාවන්ත අම්මා කෙනෙක් කියලා.”

රොසලින් අම්මා එසේ පවසන විට ඇගේ සැමියා ජිනදාස ඈ දෙස බලා හිඳින්නේ සතුටෙනි. ඔහුට ද කියන්නට කතාවක් ඇත. ඔහු අතීතය සිහි කළේය. පසුගිය දාක ගොනෙකු ඇනීම නිසා පාදයක ආබාධයකට ලක් වී සිටින ජිනදාස අතීතය සිහි කරන්නේ උද්‍යෝගීමත් හඬිනි.

“මම කුලීවැඩ කෙරුවා. ගල් කැඩුවා. අතට අහුවෙන ‍හැමදේම වගේ කළා. අවුරුදු අසූ අටක් වුණත් තවම මගෙ දත්වැටිලා නැහැ. මම තවමත් හොඳට පුවක් හපලා බුලත්විට කනවා. හරකා ඇනලා තුවාලවෙලා මාස හයක් තිස්සේ එක තැන. දරුවෝ මට බලනවා. මට මෙයාව හොයලා දුන්නේ මගෙ දෙමවුපියෝ. එතකොට මට අවුරුදු විසිතුනයි. හොඳට මඟුල් කාලා දරුවන්ගේ අම්මව කැන්දගෙන ආවේ. කාර් එකක මඟට ඇවිල්ලා ගමට එන්න පාර නැති නිසා පයින් තමයි ගෙදරට එක්කගෙන ආවේ. අපි විවාහ වෙලා සෑහෙන කාලයක් වුණත් අපි තාමත් එදා වගේ ම ආදරෙන් ඉන්නවා. දරුවෝ එකට එකතු වෙනවා හරි අඩුයි. නමුත් මං හිතාගෙන ඉන්නවා ළඟදිම අපේ දූ දරුවෝ මුනුපුරු මිනිබිරියන්ව ගෙදරට ගෙන්න ගන්න.”

ජිනදාස තාත්තා පවසන්නේ අපරිමිත බලාපොරොත්තු හිතේ තබාගෙනය.

අප එහි යන දා නි‍ෙවසේ සිටි රොසලින් හා ජිනදාස යුවළ‍ෙග් බාලම දරුවා එනම් පවුලේ විසිවැනියා වන ජී. නිහාල් අපට හමුවූයේය. ඔහු තිස් හතර හැවිරිදිය.

“මේ පවුලේ බාලයා වෙන්න ලැබීම ගැන මට හරි සතුටුයි. අම්මා තාත්තා වගේ ම මගේ ලොකු අයියලා අක්කලා හැමෝම මට හරි ආදරෙයි. අපේ අම්මට දරුවෝ විස්සක් හිටියට අපට නම් අද මේ යන ජීවන රටාව, ආර්ථිකය එක්ක එච්චර ලොකු දෙයක් කරන්න බැහැ. අපි පුංචි කාලේ කුරක්කන් රොටි කාලා ඉස්කෝලේ ගියාට දැන් දරුවෝ එහෙම යන එකක් නැහැ. අම්මයි තාත්තයි අපිට විතරක් නෙමෙයි, අපේ දරුවන්ට, දරුවන්ගේ දරුවන්ට වගේ ම ගමේ කාටත් හරි ආදරෙයි.” තම දෙමවුපියන්ගේ ආදරණීය බව ගැන නිහාල් පවසන්නේය.

දරුවන් දහ පහළොස් දෙනෙකු නොව විසිදෙනෙකුට ජීවිතය දුන් ඒ අම්මාත් තාත්තාත් දැන් ජීවිතයේ සැඳෑ සමය ගත කරන්නා හ. ඔවුහු සතුටින් දවස ගෙවන්නාහ.

“අපේ දරුවෝ බො‍හෝම ආදරෙන් අපි ගැන බලනවා. දරුවෝ කියන්නේ සම්පතක්. මං හැමදාම මගෙ දරුවෝ ගැන හිතුවේ එහෙම. මගෙ දරුවෝ මතු බුදු වෙන්න ඕන.”

රොසලින් අම්මා දොහොත් මුදුන් දී ප්‍රාර්ථනාවක් කළාය. ඒ ඇයට තම දරුවො වෙනුවෙන් ප්‍රාර්ථනා කිරීමට ඇති උතුම් ම ප්‍රාර්ථනය එය බැවිනි. රටට ම සම්පතක් වූ මේ අම්මාට හා තාත්තාට අපි දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමු.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.