ගොවි­යන්ට යන එන මං නැති නීල­බැම්මේ කඳුළු කතාව | සිළුමිණ

ගොවි­යන්ට යන එන මං නැති නීල­බැම්මේ කඳුළු කතාව

මඩ සෝදා ගත් කල ගොවියා රජකමටත් සුදුසු යැයි සිතූ අප පැරැණියන් කටයුතු කළේ ගොවිතැනට මුල්තැන දෙමිනි. ගොවියන්ගේ ප්‍රධාන ජීවනෝපාය බවට පත්ව තිබුණේ කෘෂි කර්මාන්තයයි. ගොවිතැන අනුරාධපුර හා පොලොන්නරු යුග වෙද්දී දීපව්‍යාප්තව මහා පරිමාණයෙන් සිදුවන්නට විය. යල මහ කන්න දෙකම අස්වැද්දූ ගොවියා ගොවිතැන ආශ්‍රිතව සිය ජීවනෝපාය සවිබල ගන්වා ගැනීම නිරන්තරයෙන් සිදු කරගත් බව මනාව සාක්ෂි සාධක සහිතවම පිළිබිඹුවේ. ඓතිහාසික මෙන්ම පෞරාණික වැදගත්කමක් කැටි වූ හෙළ ගොවිතැන මගින් සශ්‍රීක දේශයක් ගොඩනැගීමට පාරම්පරික ගොවියා ගේ දායකත්වය මනාව ඉවහල් විය.

එහෙත් විවෘත ආර්ථිකයත් සමඟ ඇතිවූ වාණිජමය සබඳතා සමඟ වී ගොවිතැන පහළ වැටීම නිරන්තරයෙන් සිදු වන්නට විය. ඒ සමගම රටේ සහල් නිෂ්පාදනය ද පහළ බැස්සේය. නමුත් අද අප කතා බහට ලක් කරන්නේ වී ගොවිතැන ආශ්‍රිතව දිවා රෑ වෙහෙසෙමින් දහදිය මුගුරු වගුරවා මහ පොළොව සමඟ පොර බදින තවත් එක්තරා ගොවි පිරිසකට උරුමවී ඇති කරුමයක ශෝචනීය කතාවයි.

පුත්තලම දිස්ත්‍රික්කයේ පිහිටා ඇති ඇළ මාර්ග, මී ඔය සහ වැව් අතරින් කිසි දිනක දිය නොසිඳෙන එකම ස්ථානය බවට පත්ව ඇත්තේ ඒ මනරම් වූ රමණිය නීලබැම්ම ජලාශයය. යුරෝපා ආර්ථික හවුලේ ආධාර මත වාරි මාර්ග දෙපාර්තමේන්තුව මගින් 1998 වර්ෂයේදී නීල බැම්ම ජලාශයේ වැඩ අවසන් කර මහජන අයිතියට පත් කෙරුණකි. එහි ප්‍රධාන අමුණේ දිග අඩි 485ක් වන අතර උස මුහුදු මට්ටමේ සිට 85කි. සාමාන්‍ය උස අඩි 20කි. ප්‍රධාන සොරොව්ව අඩි 5x5 ප්‍රමාණයේ ඉදිකර ඇති ප්‍රධාන දොරටු දෙකකින් සමන්විත වන අතර ප්‍රධාන සොරොව් උමගේ දිග අඩි 150කි. කුඩා ඔට්ටුපල්ලම වැවෙන් අවසන් වන යෝධ ඇළේ දිග සැතපුම් 8කින් සමන්විත වන අතර, එහි පතුලේ පළල අඩි හයහමාරකි. මෙහි ජල ධාරිතාව තප්පරයට ගණ අඩි 90කි.

මෙමගින් පෝෂණය වන පෝෂිත ප්‍රදේශ ලෙස උස්සාන වරිමාර්ග ජල යෝජනා ක්‍රමය යටතේ වම් ඉවුරේ අක්කර 710කුත්, දකුණු ඉවුරේ අක්කර 540කුත්, ගුරුත්ව වාරි මාර්ග ජලයෝජනා ක්‍රමය යටතේ කුඩා ඔට්ටුපල්ලම අක්කර 350ක් වගා කෙරෙන අතර, මෙම ජල යෝජනා ක්‍රමය යටතේ සෙත සැලසෙන ගොවි පවුල් ප්‍රමාණය 510ක් බව කියයි.

මෑතක් වනතුරුම රටට බත සැපයූ ගොවීන් අද පත්ව ඇත්තේ ඉතා අසරණ තත්ත්වයකටය. ඔවුන්ගේ ජීවිත සිහින බොඳවී කරකියාගත දෙයක් නොමැති තැනට ඔවුන් පත්වී මේ වෙද්දී වසරකට ආසන්න කාලයක් බව මෑතදී එහි ගිය අපට දැන ගන්නට ලැබිණි. පසුගිය වසරේ මුළු මහත් ජනයාගේම අවධානය දිනූ ප්‍රවෘත්තියක් පිළිබඳ මෙහිදී මදක් සිහිපත් කිරීම වටී. අද එය බොහෝ දෙනෙකුට අමතක තිබෙනවා විය හැකිය. එනම් පසුගිය වසරේ මැයි මස මුළු මහත් පුත්තලම දිස්ත්‍රික්කය ඇතුළු ප්‍රදේශ රැසකට ඇද හැලුණු ධාරාණිපාත වර්ෂාපතනයත් සමඟ ඇතිවූ ගංවතුර ආපදා තත්ත්වයෙන් එවකට බරපතළ ලෙස පීඩාවට ලක්වූයේ නීලබැම්ම ගොවි ජනපදයේ බහුතරයක් වන ගොවීන්ය. එදා ජල රකුසාගේ ගොදුරක් බවට පත්වූ ගොවීන්ගේ ඉඩකඩම් ගේ දොර දේපළ සියල්ල සැඩ පහරට හසුව විනාශ විය. ජල ගැලීමත් සමඟ ඇති වූ ගංවතුර ආපදා තත්ත්වය හේතුවෙන් නීල බැම්ම ජලාශයේ සිට ජලය රැගෙන යන ගිනිපෙට්ටි පාලම සම්පූර්ණයෙන්ම කඩා වැටීම නිසා මේ වන විටත් කන්න දෙකක් ගොවිතැන් කර ගැනීමට නොහැකිව ගොවි ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටිති. ගොවීන් මේ ගැන චෝදනා කරනුයේ වගකිය යුතු නිලධාරින්ටය. ගොවි මැසිවිලි තුට්ටුවකට මායිම් නොකරන බලධාරීන්ගේ මේ මුනිවත ගොවීන්ට පුදුමයක්ව තිබේ.

තමන් පත්වූ විපත පිළිබඳ කතා කරන ගොවීන් තමන්ට සිදුවූ මේ විපතෙන් පත්ව ඇති තත්ත්වය හමුවේ ‘‘නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ. අපි මේවා කාට කියන්නදැ” යි පවසමින් සෝ සුසුම් හෙළති.

මේ පිළිබඳ තොරතුරු සෙවීමට එම ගොවි ජනතාව මුණ ගැසීමට අප ගිය ගමනේදී නීලබැම්ම විහාරාධිකාරි වැල්ලගිරියේ සද්ධාතිස්ස හිමි පැවසුවේ මෙවැන්නකි.

“ගොවිතැන් බතින් ජීවත් වන ප්‍රදේශයේ සියලුම ජනතාව පසු ගිය කාල වකවානුවේ ගංවතුර උවදුරු නිසා බොහෝම පීඩාවට පත් වුණා. විශේෂයෙන් එහිදී බලපෑම් වූ විශේෂිත කාරණාවක් තමා මේ ව්‍යාපාරයට එන පන්සල අබියස තිබෙන ඇළ මාර්ගය අපි කියන්නෙ ගිනි පෙට්ටි පාලම කියලා. ඒක කඩා වැටිලා මේ වන තෙක්ම ඒක නිසි ලෙස හදා තිරසාර විසඳුමක් ලබා දෙන්න බැරි වුණා. තැනින් තැන බට කිහිපයක් දාලා තිබෙනවා. ඒකත් අසාර්ථකයි. ඒකෙන් එන වතුර ප්‍රමාණයෙන් පන්සලෙන් පහළ කොටසේ පිරසකගේ වැඩ කටයුතු කර ගන්නට පුළුවන්කමක් නැහැ. ඒ අය කන්න දෙක තුනක්ම වී ගොවිතැන කර ගන්නට බැරිව අපහසුතාවට පත්වෙලා ඉන්නවා. මේ ගැන අපි රජයේ දැනුම්වත් කරන්න පුළුවන් ආයතන හුඟක් දැනුම්වත් කළා. ඒ අය කියන්නෙ මුදලුත් මේ වන විට පාස්වෙලා තියෙනවා කියලා. වැඩේ ආරම්භ කරනවා කියලයි. ඒ වුණාට තවමත් ආරම්භ කිරීමේ ලකුණුක්වත් දකින්න නැහැ. මම හිතනවා නැවතත් බට දාන්න යන්නේ. ඒකත් අසාර්ථක ක්‍රමයක්.

කන්නයක් දෙකක් මේ විදියටම මිනිස්සුන්ට වතුර නැතිව වැඩ නොකෙරුණු නිසා මේ කන්නෙවත් මේ කටයුත්ත නිමා කරලා දෙනවනම් ඒක ලොකු පිනක්. අපි රජයට මේ කරන්නේ ඉතාමත්ම කාරුණික සිහිපත් කිරීමක්. ගොවි ජනතාව වෙනුවෙන් මේ කටයුත්තට අපේ මැති ඇමැතිවරු හෝ අදාළ නිලධාරින් හෝ මැදිහත් වෙලා ඉක්මනින් මේ අමුණ පිළිසකර කර දෙන්න කියලයි අපි ඉල්ලන්නේ.”

මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී නීලබැම්ම ගොවි සංවිධානයේ සභාපති ආර්.එම්.තෙන්නකෝන් මුදියන්සේ මහතා මෙසේ පැවසීය.

“මම මේ නීලබැම්ම ගොවි ව්‍යාපාරයට ඇවිල්ලා සෑහෙන කාලයක් වෙනවා. පහු ගිය වසරේ මැයි 16,17 වගේ දිනවලදී ඇති වුණු ලොකු ගංවතුරෙන් නීලබැම්ම ජනපදයට මහත් විනාශයක් වුණා. ඒ ඔක්කොටම වැඩිය දේපළ විනාශ වී විශේෂයෙන්ම නීලබැම්ම ජනපදයට වතුර ගලා යන එකම ව්‍යාපාරය එකම ස්ථානය මේ ගිනිපෙට්ටි පාලම කඩාගෙන ගියා. මේක නීලබැම්ම ජනපදවාසීන්ට දරාගන්න බැරි ලොකු විශාල පාඩුවක්. විශේෂයෙන්ම ඔට්ටුපල්ලම, නීලබැම්මෙ පහළ කොටස අක්කර හයසීයක් පමණ වන මේ වී වගාව පමණක් විනාශයට පත් වුණා. ලංකාවේ මේ වෙනකොට වතුර නැතුව මහ විශාල විදියට කෑ ගහනවා මිනිස්සු වතුර නැහැ කියලා. හැබැයි මෙහෙ වතුර තියෙනවා. ඒත් වතුර ගන්න ක්‍රමයක් නැහැ. කඩාගෙන ගිය තැනින් වතුර එහාට යන්න ක්‍රමයක් නැහැ. ඉතිං මේක මහ ලොකු ගැටලුවක්. මේක අපි ව්‍යාපාර කමිටුවලින් කතා කළා ඒ වෙලාවේ තාවකාලිකව ලබා දුන්න විසඳුම තමා මේ අඟල් හයේ බට දාලා දීපු එක. මේ බටවලින් වතුර ගමන් කරන්න විදියක් නැහැ කොළ රොඩු නිතරම හිරවෙනවා. අපි ඉල්ලන්නෙ ගොවියන්ගෙ ජීවිත එක්ක සෙල්ලම් කරන්නෙ නැතුව මේවට පැලැස්තර විසඳුම් ලබා දෙන්නෙ නැතුව කඩිනමින් වැඩපිළිවෙළක් යොදන්න කියලයි.” නීලබැම්ම පදිංචි ඩබ්.ටී.එම්. කපුරු බණ්ඩා ගොවි මහතා නීලබැම්ම ව්‍යාපාරය යටතේ ගොවිතැනේ යෙදෙන පාරම්පරික ගොවියෙකි.

“අපේ ගිනිපෙට්ටි පාලම කැඩුණු වෙලවෙ මෙතැනට ආ වාරිමාර්ග මහත්තුරුන් කීවේ මේක අවුරුදු දහයක් යනකල් අලුත්වැඩියා කරන්න බැහැ කියලයි. නමුත් මේ තාවකාලිකව කරලා තියෙන වැඩපිළිවෙළ අනුව මේ වන විට ලක්ෂ 14කට වැඩි ප්‍රමාණයක් නිකරුණේ වියදම් කරලා තියෙනවා.

ඒක සම්පූර්ණ පුස්සක්. රජයේ දේපළ කාබාසිනියා කරලා තියෙන්නෙ. අපේ ජනාධිපතිතුමාට වගේම අගමැතිතුමාටත් කියලා මේකට තිරසර විසඳුමක් ලබා දෙන්න. එහෙම නැත්නම් තව ටික කලක් ගියොත් අපිටත් වෙන්නෙ ගොවිතැන නැවත්වලා මාළු බාන්න තමයි.”

“ගං වතුර ගලලා අපි බොහොම අසරණ වෙලා ඉන්නෙ. අපේ සේසතම වතුරෙන් විනාශ වුණා. ඒත් රජයෙන් කියලා අද වෙනකල් අපිට කිසිම සහනාධාරයක් ලබා දුන්නෙ නැහැ. ඒ මදිවට අද වෙද්දි අපේ ගොවිතැන් බත් පවා විනාශයට වෙලා. දැන් කන්න දෙකක් අපි නිහඬව බලා හිටියා අපිට මොකද වෙන්නෙ අපි මොකක්ද කරන්න ඕනෙ කියලා. බලධාරින් නිහඬයි. අපිට ආධාර සහනාධාර එපා. අපිට ජීවත් වෙන්න අවශ්‍ය පහසුකම් ලබා දෙන්න. පහසුකම් කියන්නෙ වෙන මුකුත් නෙමෙයි අපේ කුඹුරුවලට වතුර යන මේ ගිනිපෙට්ටි පාලම හරියට ඉදිකරලා දෙන්න. ඒ දුන්නොත් අපිට කාටවත් අතපාන්නෙ නැතුව අපේ දේ අපිට කර ගන්න පුළුවන්. බොරු සෝබන වැඩ කරලා ජනතාව මුළා කරලා අමාරුවෙ දාන්න එපා.” මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී නීලබැම්ම පදිංචි පී.නිරෝෂා ප්‍රියදර්ශනී ගොවි මහත්මිය පැවසුවාය.

නීලබැම්මේ ධර්මදාස ගොවි මහතා චෝදනා නඟන්නේ වතුර මෝටර් දමා කුඹුරුවලට වතුර ගැහීම ගැන විරෝධය පළ කරයි.

“අද අපි පණ ගැට ගහගන්නෙ නීලබැම්ම ව්‍යාපාරයෙන් ලැබෙන වතුර පොදෙන්. ඒකත් අද අපිට අහිමි වෙලා. ඔය කවුරුත් අහලත් නැතුව ඇති දැකලත් නැතුව ඇති වතුර මෝටර් දාලා කුඹුරුවලට වතුර ගහනවා කියලා හැබැයි ඒක ඉතිහාසයේ පළමු වතාවට අපි සිද්ද කරලා හමාරයි. අද වෙද්දි අපිට යන එන මං නැති වෙලා. ගිනිපෙට්ටි පාලම ළඟ ඉඳලා තව කිලෝ මීටර් අටක් විතර දුරක් ඇළ අවසානෙ වෙද්දි පුළියන්කුලම, නීලබැම්ම, ඔට්ටුපල්ලම දිහාට යද්දි තව පවුල් හත් අට සීයක් ජීවත් වෙනවා. පහළට වෙන්න ඒ කට්ටියට බීමට හරි නෑමට හරි මොනම හරි අවශ්‍යාතවක් කර ගන්නෙ මේ ඇළ මාර්ගයෙන්. මේ ඇළ හිඳුණොත් ඒ අයට වතුර බිඳක් නැතුව යනවා. ඇළ හිඳුණොත් හිඳෙන්නෙ මේ ගිනිපෙට්ටි පාලම ළඟින් වතුර පහර නැවතුණොත් විතරයි. ඒ නිසා අද වෙද්දි ඔට්ටු පල්ලමේ විතරක් අක්කර තුන්හාරසීයකට වඩා අස්වැද්දෙනවා. ඒක සම්පූර්ණයෙන්ම විනාශ වෙන්න හේතුව මේ වතුර නිසයාකාරව නොලැබීමයි. ඒ නිසා හැකි ඉක්මනින් අපේ මේ වතුර ප්‍රශ්නයට විසඳුමක් දෙන්න” යනුවෙන් ධර්මදාස ගොවි මහතා පැවසීය.

ගොවීන් වෙතින් නැඟෙන චෝදනාව සම්බන්ධයෙන් නීලබැම්ම ව්‍යාපාර කළමනාකරු දිසානායක මහතාගෙන් දුරකතනය ඔස්සේ අප කළ විමසුමකදී ඔහු පැවසුවේ මේ ප්‍රශ්නවලට පිළිතුරු දිය හැකි වුවත් දුරකතන මාර්ගයෙන් පිළිතුරු දිය නොහැකි බවයි. 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.