මට පුංචි සර්ගෙ දුක දැනුණා | සිළුමිණ

මට පුංචි සර්ගෙ දුක දැනුණා

රෝජසඳපාණි රාත්‍රී ආහාර මේසය පිළියෙල කිරීමට බන්දුලටත් නිලන්තටත් සහාය දුන්නේ නරේන්ද්‍රගේ මහා මන්දිරය තමාට හොඳින් හුරුපුරුදු නිවෙසක් සේ පසුබෑමකින් තොරවය.

මේ සුන්දර තරුණිය රාජඍෂි හා ප්‍රේමයෙන් බැඳී ඇතැයි තදින් විශ්වාස කරන බන්දුල රාත්‍රී ආහාරය සඳහා රාජඍෂිට ආරාධනා නොකළේ මන්දැයි සැක සහිතව සිටියේ එය රාජිනී මහත්මියගේ විරෝධයක්දැයි කනස්සළු හැඟීමෙනි.

“මැඩම්”

ඉඩක් ලත් අවස්ථාවක බන්දුල රෝජා සඳපාණි ඇමතුවේ අන් අයට රහසිනි.

“මැඩම් අද පුංචි සර් එන්නෙ නැද්ද?”

“පුංචි සර්? කවුද ඒ?”

“අපි රාජඍෂි සර්ට කියන්නෙ පුංචි සර් කියලනෙ.”

“ඇත්ත ද? ඔයගොල්ලන්ගෙ පුංචි සර් එනවද නැද්ද කියන්න මං දන්නෙ නැහැ.”

“රවිහාරි මැඩම්, මනෝහාරි මැඩම්, රාහුල සර්”

“දන්නෙ නැහැ බන්දුල. තාත්තා මට කිව්වා නරේන්ද්‍ර මන්ත්‍රිතුමාලගෙ ගෙදර යනවා වුවමනාවකට. අපි කෑම හදා ගෙන යමු. බන්දුලටයි නිලන්තටයි කරදර කරන්න හොඳ නැහැනෙ. ඒ ළමයි පව් කියලා. එච්චරයි මං දන්නෙ.”

“අපේ සර් කිව්වෙ කෑමට එළියට යනවා කියලා.”

“බන්දුල මගෙ තාත්තා බැරිම තැනක් වුණොත් තමා හෝටලේකින් කෑම කන්නෙ....”

රෝජා සඳපාණි එපමණින් නිහඬ වූවාය. කෑම මේසයට කෑම බඳුන් පිඟන් තබා අවසන ඇය ගියේ පියා සහ නරේන්ද්‍ර මාමා කැඳවා ගෙන ඒමටය. ඒ අවසරයෙන් බන්දුල ඔහුගේ කුටියට ගියේ ජංගම දුරකථනය අතට ගත්තේ කලබලයෙනි.

“පුංචි සර් අද මෙහෙ එන්නෙ නැද්ද?”

“‍මොකද මේ කලබලේ? අද මොකක්ද විශේෂ?”

“නේෂන් දොස්තර මහත්තයයි සඳපාණි මැඩම් දෙන්නා මෙහෙ ඇවිත්. අපිට කෑමත් හදාගෙන. කෑම ටික සුව‍ඳේ බැරුවා. මට පුංචි සර් මතක් වුණා.”

රාජඍෂිට සිනා පහළ විය. කෑම සුවඳ දරා ගත නොහැකි කමෙන් තමාද බන්දුලට මතක් වීමේ කතාව මුසාවාදයකි. ඇය සේවකයින් දෙදෙනාගේ සිත් දිනාගෙන සිටින්නියකි.

“ඈ බන්දුලයො. සඳපාණි මැඩම්ගෙ කෑම සුවඳ නිසා උඹට මාව මතක් වුණා නේද? මං දෙවියෙක් ද? උඹ දෙවියෙක් ද? දෙවිවරුන්ට මිනිස්සුන්ගෙ දුක පේන්නෙ, පිහිට වෙන්න හිතෙන්නෙ කෑම සුවඳ, පලතුරු සුවඳ, මල් සුවඳ දැනෙන කොට ඇති වෙන සතුට නිසා කියනවනෙ.”

“ඒකනෙ මටත් පුංචි සර් මතක් වුණේ. සඳපාණි මැඩම්ගෙ කෑම සුවඳ නිසා මං පුංචි සර්ගෙ හිතේ දුක දැක්කා.”

“පලයන් පිස්සා. මං සඳපාණි මැඩම් උයපු කෑම ඕන තරම් කාලා තියෙනවා.”

රාජඍෂි දුරකථනය විසන්ධි කළේ විහිළුවෙන් වුණත් බන්දුලගේ පුවත විහිළුවක් වූයේ නැත. ඔහු සිත සියුම් අසතුටකට එක්වූ වේදනාවක් ඇති විය.

ආදරණීය යහළුවෙකු හිමි වීමෙන් ලැබෙන දුක, අහිමි වීමෙන් ලැබෙන දුක ඉක්මවා යන්නේ නම් එවැනි ඇසුරකින් ඈත්වීම වඩා යහපත් යැයි තරුණිය එකහෙළා කියන්නීය. ඒ ඇදහීම මත දැඩිව පිහිටා ඇය තමාගෙන් ඈත්වන්නට සිතා ඇතැයි රාජඍෂි සිතු‍වේ පරිගණකය ඉදිරිපිට හිඳ අන්තර්ජාලයෙහි නිනව්වක් නැති සංචාරයක යෙදෙමිනි.

“මනෝහාරි අක්කා අපේ පවුල්වල ඇත්ත තොරතුරු සේරම රෝජාට කියලා ඇති. එයා කවදාවත් බොරු කියන්නෙ නැහැනෙ. විහිළුවටවත් බොරුවක් කියන්න එපා කියලා නරේන් මාමාටත් බණිනවා. අපේ අම්මලා තාමත් ගතානුගතිකව හිතන අය. ඒක වෙනස් කරන්න අපිට බැහැ. ඒ ගතානුගතිකකමට අපේ ආත්මය අපේ සතුට බිලි දෙන්නත් බැහැ.”

රාජඍෂි බො‍හෝ වේලාවක් එකම ඉරියව්වෙන් පරිගණකය හා ගැටුණේය. ජීවී අජීවී සත්ව සමූහයා ගහකොළ තුරුලතා ඔහුට සරදම් කරමින් පරිගණක තිරය මත පාවී පාවි ගියේය. අවසානයේ ඔහුගේ දෙනෙත නැවතුණේ සුරංගනා කතාවක රූපරාමු මතය. සුප්‍රසිද්ධ මෘගයා සහ රූමතිය ඔහු ඉදිරියේය. මෘගයා ශාපයකින් විකෘති වූ කුමාරයෙකි. විකෘති වුවද මෘගයාගේ දෙනෙත් රූමතිය නිසා උපන් ආදරයෙන් පිරී ඇත. ප්‍රීතිමත් අවසානයේ මෘගයාගේ ආදරයේ ගැඹුර රූමතියට වැටහෙයි. ස්ත්‍රියක් මිනිසෙකුගේ ප්‍රේමයේ ගැඹුර හදවතින් ස්පර්ශ කළ විට ඔහුගේ ජීවිතයට ලැබෙන සොඳුරු මිහිරි ආලෝකයෙන් මෘගයා ද සුන්දර මිනිසෙකු බවට පත් වෙයි.

රාජඍෂි මෘගයා සහ රූමතිය සමඟ එක්ව සිටියදී නරේන්ද්‍ර රාත්‍රි ආහාර ගැනීම නිමා කළේය.

“සාමාන්‍යයෙන් මං රෑට කෑම ගන‍්නෙ නැහැ. ඒත් දෝණිගෙ කෑම රස නිසා සතුටෙන් කෑවා.”

අහර කිස අවසන් කොට මේසයෙන් නැගිටිමින් ඔහු කීවේ රෝජාසඳපාණි දෙස කරුණාවෙන් බලමිනි. එය යහපත් ප්‍රශංසාවක් සේ තරුණියගේ සිත් ගත්තේය.

“පුංචි කාලෙ අපි කෑම ගත්තෙ නිරෝගිව ශක්තිමත්ව ශරීරය උස් මහත් වෙන්න ඕන නිසා තරුණ කාලෙදි තරුණ ශක්තිය තියා ගන්න ඕන නිසා. මේ වයසට එතකොට ජීවිතය පවත්වා ගන්න අවශ්‍ය ආහාර පාන ගත්තම ඇති.”

නේෂන් වෛද්‍යවරයා නිවැරැදි ආහාර පරිභෝජනය පිළිබඳව තමා දැනුවත් කිරීමට සියුම් උත්සාහයක් ගන්නා බවක් නරේද්‍රට දැනී ඇත. මින් පෙරද කීපවාරයක් ම ඔහු ඒ උත්සාහය ගත්තේය.

“ඩොක්ටර්ගෙ කතාව ඇත්ත. ඒත් මේ ගැනු ළමයා මේ විදිහට රසකෑම හදලා කන්න කන්න නරේන් මාමා, තව කන්න නරේන් මාමා කියන කොට නොකා ඉන්න පුළුවන්ද? කෑම වැඩිවෙලා ලෙඩක් හැදුණොත් එයා බෙහෙත් කරාවිනෙ. බලා ගනීවිනෙ.”

නරේන්ද්‍ර කීවේ යළි යළිත් රෝජා සඳපාණිගේ සිනා පිරි කාරුණික දෙනෙත් දෙස සතුටෙන් බලමිනි. තරුණිය නරේන්ද්‍රගේ විශ්වාසයෙහි සැඟවුණ අර්ථය පසක් කර ගන්නට උත්සාහ කළාය. අන් සෑම ගැහැනියකට ම මිනිසෙකුට ම මෙන් ම මේ වයසේදී නරේන් මාමාටත් කරුණාව දයාව සැලකිල්ල මුසු වූ සෙනෙහසක් අවශ්‍යව ඇත. එය මිනිස් ස්වභාවයේ ඛේදවාචකයක් වන්නේ ගතානුගතික සම්ප්‍රදායයන් හා ක්‍රෑර ලෙස කෙරෙන විවේචන හා මුසු වීමෙනි. මිනිසා සංස්කෘතික සත්ත්වයෙකි. සංස්කෘතික යන්නෙහි සැබෑ අර්ථය කුමක් ද?

සංස්කෘතිය සදා මානව ක්‍රියාකාරකම්, හැදියාවන්, මිනිසාට වඩාත් සුව පහසු ප්‍රීතිමත් ගැඹුරු හරයන් ඇති චර්යා ධර්ම ලෙස සකස් වෙමින් ඉදිරියට යෑම නොවේද? එහෙත් අවශ්‍යතාවකට මෙන් මිනිසා කුටුම්බ සංස්ථාව තුළ සොඳුරු හෝ කුරිරු සිරකරුවෙකි.

මිනිසා මිනිසාගේ ම සිරකරුවෙකු වීමේ ශෝකය මතු දිනක මානව ඉතිහාසයේ කේන්ද්‍රගත හැරවුම් ලක්ෂ්‍ය තුළ කුමන විප්ලවයක් කරයි ද?

ඔහු පමණක් නොව සියලු ස්ත්‍රි පුරුෂයෝ ම තම තමාගේ සිරකරුවන්ව සිරකාරියන්ව සිටිති. ජීවිතය විඳවන්නට මිස විඳින්නට අවැසි සමාජයක් ප්‍රතිෂ්ඨාපනය නොවීමෙන් තමා තමාගේ සිරකරුවාවීම අාධ්‍යාත්මික භෞතික දෙයාකාරයෙන් ම මිනිසා අසරණකර ඇත. අසරණවූ මිනිසුන් අතර නරේන්ද්‍ර මාමා ද එක් අයෙක් පමණි. රෝජා සඳපාණි සිතන්නට වූවාය. නේෂන් සහ නරේන්ද්‍ර පුස්තකාල කාමරයට ගිය විට හුදකලා වූ ඇය අසුන් ගෙන සිටියේ අමුත්තන්ගේ ශාලාවේය. එහි බිත්තියට සවි කළ රූපවාහිනිය දෙසට දෙනෙත් යොමුව තිබුණ ද සිතෙහි වූයේ නරේන් මාමාගේ අසරණවූත් අනුකම්පා කළයුතු වූත් ජීවිතය පිළිබඳ විවිධ කල්පනාය.

තාත්තා තවමත් මව පිළිබඳව ඇති ආදරණීය මතකයන් හා එක්ව බැඳුණු ජීවිතයක් ගත කළත් අසතුටෙන් දොම්නසින් දිවි ගෙවන්නෙක් නොවේ. නරේන් මාමාට ඇත්තේ ඊට හාත්පසින් ම වෙනස් චරිත ලක්ෂණය. ඔහුම පවසන පරිදි ඔහු පෙර බවයන්හිදී නොව මේ භවයේදී ම කළ පාප කර්මවලට විපාක විඳින්නෙකි. ප්‍රීතිමත් අතීතයක් ඔහුට නැත. මේ ලොව ඔහුට හැර අන් සියලු දෙනාට ම ප්‍රීතිමත් අතීතයක් තිබෙනවා සේ ඔහු විටක පරාජය ගැන දොඩමළු වෙයි. එය දුක්බර පාපොච්චාරණයක් වැනිය.

විවෘත කළ මහ දොරින් ආලෝක කදම්භයක් ගෙතුළට වැටෙත් ම තරුණියගේ සිත තුළ සිටි නරේන්ද්‍ර අතුරුදහන් විය. වාහනයක් මිදුලේ නවතන හඬ රූපවාහිනී හඬ පරදවා යටපත් කොට පැතිරෙන්නට විය. බන්දුල ආලින්දය දෙසට ගියේ වේගයෙනි.

මන්ත්‍රී නිෙවසකට ඡන්ද දායකයින්ට පැමිණිය හැකි ‘ජනතා හමුවීම්’ පිළිබඳ දිනයක් වෙලාවක් ඇත. මනෝහාරි පවසන පරිදි නරේන් මාමාගේ නිවෙසට රැයක් දවාලක් උදයක් හවසක් දිනයක් දවසක් නොසලකා පැමිණීමේ හැකියාව ඕනෑම කෙනෙකුට ඇත. නිබඳ දොර ජනෙල් විවෘත මන්ත්‍රී නිවස ජන ප්‍රසාදයට ද ලක් වෙයි. මහජන ශාලාවක් නුදුරේ තිබුණ ද මිනිසුන්ට හුරු නිවෙසය.

කැනඩාවේ එවැනි ජන හමුවීම් විරල බව තමා කී විට ම‍නෝහාරී මුවින් පිටවූ උපහාස සිනාව ඒ දිනවල තමාට පුදුමයක් වූ සැටි රෝජා සඳපාණිගේ මතකයට නැගෙන්නට විය.

මේ රටේ කවර විෂයයක් උදෙසා හෝ පිළිගත් ශක්තිමත් රාජ්‍ය ප්‍රතිපත්ති ජාතික ප්‍රතිපත්ති නොවීම නිසා මහජන නියෝජිතයා රටවැසියාගේ සිරකරුවා වීමත් නැවත රටවැසියා මහජන නියෝජිතයා ගේ සිරකරුවන් වීමත් සමාජ සංහිඳියාව පුපුරවා අරින්නක් වීමට ඇති අවකාශ වැඩිය.

“රෝජා අපේ රටේ දේශපාලනඥයො මහා පුදුම පිරිසක්. ඒ ගොල්ලන්ට වැඩිය රටවැසියොත් මහා පුදුම පිරිසක්. හැමදෙනාම රට, ජනතාව, රටේ අනාගතය ගැන බලන්නෙ පක්ෂ දේශපාලනය කියන මහා මිථ්‍යා ජාලයකින් ඇස් වහගෙන. පොදු පරමාර්ථ නෑ. පුද්ගල පරමාර්ථ විතරයි තියෙන්නෙ. ජනතාව වෙනුවෙන් කතා කරන ජනතාව වෙනුවෙන් පෙනී හිටින දේශපාලනඥයො අපට නැති වේගෙන යනවා. රට වෙනුවෙන් කතා කරන උගත් නූගත් දෙපිරිස ම අපට දැන් නැහැ. හැමදෙනා ම තමන්ගෙ ලාභ ප්‍රයෝජන ගැන විතරයි හිතන්නෙ...”

එවන් අගතිගාමී දේශපාලන පසුබිමක න‍ෙර්න් මාමා පොදු මිනිසාට නිවෙ‍ෙස් දොර ජනෙල් නිබඳ විවෘත කර තැබීමේ වටිනා කමක් ඇතැයි රෝජා සඳපාණි සිතුවාය.

මහජනතාව මැති අැමැති ජනයා හඹා යා යුත්තේ දරුවාට පාසලක් සොයා ගන්නටය. නිවසට සමිප පාසලකට දරුවා යැවීමට මව තුළ කැමැත්තක් නැත. යා යුත්තේ ජනප්‍රිය පාසලකටය. ජාතික පාසලකටය. නවෝද්‍යා පාසලකටය. මේ කුමන විකෘතියක් ද? මේ විකෘතිය ප්‍රකෘතියකට ගෙන ඒමේ හැකියාව තුළ සෑම ළමයෙකුට ම නිදහස් අධ්‍යාපනයක්, සමාන අධ්‍යාපනයක්, අධ්‍යාපන අවස්ථාවක් හිමි වෙයි. මෙය වටහා ගැනීමේ උත්සාහයෙන් තොර දේශපාලනඥයා පොදු පරමාර්ථ ඉවතලා තමාගේ ඡන්දදායකයාගේ පෞද්ගලික ඉල්ලීමට අවනත වෙයි. ඔවුන්ට අවශ්‍ය බලවත් පන්ති සමාජයක් බිහි කිරීම ද?

ඡන්දදායකයාගේ මානුෂික වහල් භාවයේ තරම දන්නා දේශපාලනඥයා ක්‍රමයෙන් ආරක්ෂක අංශ තුළට අධිකරණ සේවා තුළට ද ප්‍රවිෂ්ට වීමේ මහා සියුම් ප්‍රයත්නයක යෙදී සිටී යයි චෝදනා නැ‍ඟේ. පක්ෂ දේශපලනය විසින් කරනු ලබන එවන් වක්‍ර ප්‍රවිෂ්ටයන්, රටක සංහිඳියාව සුන්නත්දූලි කිරීමට තරම් ආවේගශීලී පිපිරුමකට බඳුන් නොවේ යයි කාට කිව හැකිද? මේ නම් අරුම පුදුම දේශයකි.

ටයිල් පොළොව මත ඉක්මන් වේගවත් පියවර ගැටුමක හඬ රෝජා සඳපාණිගේ දෙසවනට පිවිසෙත් ම කිසියම් ඡන්දදායකයෙකු නරේන් මාමා සොයා පැමිණ නිවස තුළට පැමිණීමේ විශේෂයක් ඔහුට නැති වුවද තමාගේ දසුන ඔහුට කවරාකාර විශේෂයක් වේදැයි සිතූ තරුණිය නැඟී සිටියේ පියා සමීපයට යෑමටය.

මහ දොර දෙස බැලූ ඇය දුටුවේ රාජඍෂි සහ බන්දුලයි.

රෝජා සඳපාණී සිනාසෙන්නට ගත් උත්සාහය බිඳ වැටුණේ රාජඍෂිගේ සිනාවෙන් තොර මුහුණේ දැඩි බව හඳුනා ගැන්මට හැකි වීමෙනි.

“බන්දුල, න‍ෙර්න්ද්‍ර සර් කොහෙද ඉන්නෙ?”

ඔහු ඇසුවේ තරුණියට පිටුපා සිටගෙනය.

“ලොකු සර් නේෂන් දොස්තර මහත්තය එක්ක කතාවක්. පුංචි සර් කෑම කාලද? කෑම තියෙනවා. කනවද?”

“මං කෑමකට ආවා නෙමේ මනුස්සයො. මගේ මාමා මුණ ගැහෙන්න ආවෙ. ඒ දෙන්නගෙ කතාව ඉවර වෙනකන් මං අරෙහට වෙලා ඉන්නම්.”

රාජඍෂි ආලින්දයට ගියේය. කිරි බැබළෙන සඳපාන මිදුලේ තුරුලතා සහ මල් ගෙඩි සමඟ හුරතලයෙනි. ඔහුට එහි මිහිරක් දැනුණේ නැත.

ලබන සතියට

 

Comments