සාධා­රණ මුද­ලා­ලිගෙ භූමි­තෙල් දන්සල | Page 2 | සිළුමිණ

සාධා­රණ මුද­ලා­ලිගෙ භූමි­තෙල් දන්සල

මෙවර වෙසක් පොහොයට දින කිහිපයකට පෙර දුරකථන ඇමතුමක් ආවේය. කතා කළේ සාධාරණ මුදලාලිය.

“මම මේ පාරත් භුමි තෙල් දන්සල දෙනවා. මේ පාර දෙන්නේ කුරවිතැන්න අපේ ගමේ පන්සලේ”

මට සාධාරණ මුදලාලි හමු වූයේ මීට වසර කිහිපයකට පෙරය. ඒ වෙනත් රාජකාරී ගමනක් සඳහා මහියංගණය ප්‍රදේශයේ කළ සංචාරයකදීය. මුලින්ම අප දුටුවේ මුදලාලිගේ වෙළෙඳසලේ බිත්තියේ පොල් ගෙඩි අකුරෙන් සාධාරණ ස්ටෝර්ස් යනුවෙන් ගසා තිබුණු අයුරුය. එය අපිට හරි අපුරුබවක් ගෙන ආවේය. අපි ඔහුගේ කඩයට ගොඩ වුයේ පිපාසය නිවා ගැනීමට කුමක් හෝ පානය කරන අරමුණිනි. නමුදු කඩය ඇතුළේ පෙනෙන්ට කෙනෙක් නැත. එහෙත් වෙළෙඳ සලට පැමිණෙන්නෝ තමන්ට අවශ්‍ය දෑ රැගෙන ඊට අදාළ මුදල මුදලාලිගේ මේසය මත තබා යයි. මේ සිදුවීම් පෙළ දෙස අප බලා සිටියේ පුදුමයෙනි. වේලාව උදෑසන දහය පමණ වන්නට ඇත. තැපැල්කරු විත් වෙළෙඳ සල ඉදිරියේ බෙල් එක ගැසුවේය. වයස අවුරුදු පනහ පමණ වූ සරමක් හැදි උඩුකය නිරුවත් අයෙක් පැමිණ තැපැල්කරු ඉදිරියේ නතර වුයේය. එකත් එකටම ඒ මුදලාලි වන්නට ඇතැයි අපි අනුමාන කළෙමු. තැපැල්කරු එවෙලේ ගෙනා විදුලි බිල්පත් ‍කිහිපයක් මුදලාලි වෙත පෑවේය.

“අදට ආපු ටික නේද? එහෙනම් මේ ටිකත් ගෙවාගෙන එන්න”

තැපැල්කරුට මුදලාලි තමන් අත තිබු විදුලි බිල්පත් කිහිපයක් හා මුදලක් දුන්නේය. තැපැල්කරු යන්නට ගියේය.

“සාධාරණ මුදලාලි කියන්නේ?”අපි ඇසුවෙමු

“මම තමයි”

මුදලාලි අප ඉදිරියේ වාඩි වුයේය. ඔහුගේ කතාබහ සරලය. එතැන් පටන් ඔහු අපට තමන් ගැන කියන්නට වුයේය. ඔහු හමුවී සැහෙන කාලයක් ගතවී ඇත්තේය. නමුදු ඔහුගේ වැඩ පිළිවෙළේ අදටද වෙනසක් නැත. මීට වසර දාහතකට පෙර එනම් 1999 වසරේ ආරම්භ කළ පිංකම් අදටත් කරගෙන යන්නේය.

ගෙවී ගිය වෙසක් පොහෝ දිනයේද සුපුරුදු ලෙසම සාධාරණ මුදලාලි භුමිතෙල් බැරලයක් බෙදා හැරීයේය. ඒ අවට ගම්මානවල මිනිසුන්ටය. ගැමියෝ භූමි තෙල් බෝතල් රැගෙන පෝලිමේ පැමිණ පිං දෙමින් භූමිතෙල් රැගෙන යන්නට වුහ.

“සමහර දවස්වලට අපට භූමී තෙල් කාලක් ගන්නත් අමාරුයි” ගැමියෝ පවසන්නාහ.

‍වසර ගණනාවක් තිස්සේ මහියංගණය ප්‍රදේශයේ ජනතාව‍ට භූමි තෙල් දන්සල් දෙන රට පුරා පන්සල්වල විදුලි බිල්පත් මාසයක් ගානේ ගෙවන කවුරු කවුරුත් හඳුනන සාධාරණ මුදලාලි නමින් තිස්ස හේවාවසම්ය. නුවර උපන් ඔහු මහියංයගණය ප්‍රදේශයේ පදිංචියට ගියේ කුඩා අවධියේය.

වසර දහ අටක් තිස්සේ තමන් විසින් කරනු ලබන පිංකම් පිළිබඳ සාධාරණ මුදලාලි මෙසේ පවසන්නේය.

“අපි කවුරුත් කවදා හිටියත් මැරෙන මිනිස්සු. මම හිතනවා කෙනෙක් මැරුණම අඩුම තරමේ ඔහුගේ නම වත් ඉතුරුවෙන්න ඕනෑ කියලා. මම මේ කරන්නේ ඒ දේ. මම මේ වෙන කොට පන්සල් එකසිය දහයක ලයිට් බිල් ගෙවනවා. යාපනය හැරෙන්න අනෙක් හැම දිස්ත්‍රික්කයක්ම නියෝජනය වෙන පරිද්දෙන් පන්සල්වල බිල් මං ගෙවනවා. මෙවර මම භූමිතෙල් බැරලය බෙදන්න තිරණය කළේ ගමේ පන්සලේදී . ඒ අවට ගම්මානවල අය මේ දන්සලට ආවා. මෙදා වෙසක් පොහොයට කලින් දවසේ රෑ ගමම කළුවරේ තිබුණේය. .ගසක් කඩාගෙන වැටිලා විදුලිය ඇනහිටලා තිබුණේ. ඈත ගම්මානවලට දන්සල දෙන්න යන දාට ඒ යන වාහන වලට සියලුම බැරපැන දරන්නේ මම. මේතාක් කිසිම දවසක මම මේ දන්සලට මුදල් හෝ ආධාර ද්‍රව්‍ය වෙනත් අයගෙන් එකතු කරලා නැහැ. මාසයකට රුපියල් හතළිස් දහසක් පමණ වැය වෙනවා විදුලි බිල් පත් සඳහා. මේ වෙනකොට මම විදුලි බිල්පත් ගෙවීමට ලක්ෂ පනහක් වැය කර තිබෙනවා. මේ සඳහා මුදල් හොයන්න නම් මම වෙළෙඳසල හොඳින් පවත්වාගෙන යන්න ඕනෑ. මට තියෙන එකම ආදායම් මාර්ගය කඩය විතරයි. මම කිසිම දවසක නිවාඩු ගන්නේ නැහැ. ගෙවුණු අවුරුදු දහ අට පුරාම මම කඩය වැහුවේ සිංහල අවුරුදු දා නොනගතය වෙලාවට පමණයි”.සාධාරණ මුදලාලි පවසන්නේ සතුටිනි .

සෑම දිනකම හිමිදිරි පාන්දර පහට වෙළෙඳසල විවෘත කරන අතර එය රාත්‍රී දහය පමන වන තුරු විවෘතව පවතින්නේය. එමෙන්ම මේ වෙළෙඳසලේ නැති දෙයක් නැත තරම්‍ය. පාරිභෝගිකයා පැමිණ සොයන යම් භාණ්ඩයක් අද නැත්නම් මුදලාලි එම භාණ්ඩය පසුදාම වෙළෙඳ සලේ ගෙනත් තබයි. ගැමියන් එහි එන්නේ වෙළෙඳසල පිළිබඳ අපමණ විශ්වාසයෙනි. මුදලාලිද ගැමියන් ගැන උපරිමයෙන්ම විශ්වාසය තබා ඇත්තේය . එනිසාම වෙළෙඳසලට මුරකරුවන් නැත. දැන් පැරැණි සාධාරණ ස්ටෝර්ස් වෙළෙඳ සලට ආසන්නයෙන්ම තෙමහල් ගොනැගිල්ලක් ඉදිවෙමින් පවතින්නේය. තම බිරිය දුව හා පුතා සමඟ සාධාරණ ජීවිතයක් ගත කිරීමට වෙහෙසෙන ඔහු දවස ගෙවන්නේ සතුටිනි. සියලු පිංකම් හි අරමුණ කුමක්දැයි ඇසූ විට ඔහු දුන්නේ මෙවන් උත්තරයකි.

“මගේ තාත්තා නුවර ඉඳලා මහියංගණයට ඇවිත් තිබෙන්නේ මේ පළාතේ පාලමක්වත් නොතිබුණු කාලෙක ඔරුවලින්. මම ඉස්කෝලේ ගියේ හතේ පන්තියට විතරයි. අද මේ රටම ලෝකයම ගිනි ගොඩක් ලෙසයි මම දකින්නේ. මිනිසුන් අතර ගැටුම් . සාමය පේන මානයක නැහැ. මම මේ හැම පිංකමක්ම කරන්නේ මගේ රටට ලෝකයට සාමය උදාවේවා, බුදු දහම ආරක්ෂා වේවා කියන උතුම් ප්‍රාර්ථනාව හැම මොහොතකම හිතේ තියාගෙනයි”සාධාරණ මුදලාලි පවසයි.

 

  

 

Comments