ගොඩ ගැසූ ගෝෂන් වටා අඩි හතරක පොකුණක් | සිළුමිණ

ගොඩ ගැසූ ගෝෂන් වටා අඩි හතරක පොකුණක්

 මේ ලියැවෙන්නේ අපේ රට වට කොට අැති සයුරේ ගිලී ගිය මහා නැව් මට්ටු කොට යළි මතුපිටට ගත් ඔවුන්ගේ කතාන්දරයයි .

 

ඒ 1964 දෙසැම්බර් 24 වැනිදාය. උදෑසන සිට දවස කිසියම් වෙනසක් කරන්නට යන බවක ඉඟි පළ වී තිබිණි. අහස අඳුරු විය. මුස්පේන්තු අන්ධකාරයක රටම ගිලී ගියේය. සවස් කාලය වන විට දෙපත් කපන මහා වරුසාවක් ඇදවැටෙන්නට විය. වරුසාව අවසන් වන විට වාර්තා වූයේ බෙංගාල බොක්ක හරහා හමා ගිය සුළි කුණාටුවක ප්‍රහාරයට අපේ රටද ලක් වී ඇති බවකි. යාපනයේ සිට මන්නාරම ත්‍රිකුනාමලය යන ප්‍රදේශ කුණාටුවේ ඍජු බලපෑමට ලක්ව තිබූ අතර, ධීවර බෝට්ටු 700කට අධික සංඛ්‍යාවක් විනාශ වී තිබිණි. පුද්ගලයන් 1000කට අධික සංඛ්‍යාවක් මියගිය බවද වාර්තා විය.

මේ සුළිකුණාටුව ත්‍රිකුණාමලය වරායටද දරුණු හානි සිදු කර තිබිණි. එවකට ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වූ විශාල ප්‍රමාණයේ යාත්‍රා කිහිපය අතරින් සැලකිය යුතු මට්ටමේ යාත්‍රාවක් වූ 'කොටියා' සුළි කුණාටුවට හසුව වරාය අසල මුහුදේ ගිලී ගොස් තිබිණි. වඩාත්ම කණගාටුදායක කරුණ වූයේ ගිලී යන විට යාත්‍රාව තුළ නාවිකයන්ගේ වැටුප් මුදල් කන්දරාවක්ද වීමය. කුණාටුවෙන් පසු රට යළිත් පෙර පැවති තත්ත්වයට ළඟා වන විට 'කොටියා' ගොඩ ගැනීම කෙරෙහි බලධාරීන්ගේ අවධානය යොමු විය. එහෙත් ඒ සම්බන්ධව ඒ වන විට දැනුම් සහ අත්දැකීම් ඇති පිරිස වූයේ අතළොස්සකි. හැරී ගුණවර්ධන අයත් වූයේද ඒ ඉතා සුළු පිරිස අතරටය.

''බෝට්ටුවේ තිබුණු සියලු මුදල් සහ අවශ්‍ය උපකරණ ගොඩට ගත්තා. දැන් තියෙන්නේ 'කොටියා' මතුපිටට ගේනඑක. දිය යට ගිහින් බැලුවාම යාත්‍රාවේ ගොඩක් සිදුරු තියෙනවා දැක්කා. කුණාටුව වේලාවේ ජැටියේ වැදීමෙන් තමයි මේ හානි සිදු වෙලා තිබුණේ. අපි වරින් වර දිය යට ගිහින් මේ සිදුරු සේරම රබර් ආවරණවලින් වසා දැම්මා. අමතරව යාත්‍රාවේ තිබෙන තවත් විවෘත ස්ථාන සියල්ල වසා දැම්මා. ඊට පස්සේ යාත්‍රාවට හුළං පිරෙව්වා. මේ ක්‍රමය සාමාන්‍යයෙන් ගිලී ගිය යාත්‍රාවක් ගොඩ ගැනීමට භාවිත කරන තාක්ෂණ ක්‍රමවේදයක්. මේ ක්‍රමය අපි සාර්ථකව ක්‍රියාත්මක කළා. ඒත් සුළං පිරුණු පසු ක්‍රමයෙන් යාත්‍රාව ගොඩ එද්දී යාත්‍රාවේ ප්‍රධාන කොටස (keel-එක) කැඩුණා. එහෙම වෙන්න හේතුව වුණේ අපේ අත්දැකීම් ප්‍රමාණවත් නොවීම. ඒ වෙනකොට අපිට යාත්‍රාවක් ගොඩගැනීම සම්බන්ධ කිසිම අත්දැකීමක් තිබුණේ නැහැ. මේ සිද්ධියෙන් පසසේ 'කොටියා' ගොඩ ගැනීම අත්හැර දමන්න අපට සිද්ධ වුණා.''

'කොටියා' ගොඩ ගැනීමේ කටයුතු සිදු කරමින් යන අතරතුම නාවික හමුදාවේ සිටි එකම කිමිදුම් භට පිරිසට තවත් බැරෑරුම් රාජකාරි කිහිපයක්ම වගකීමෙන් යුතුව නිම කිරීමට සිදු වන්නේය. ඒ සුළි කුණාටුව හේතුවෙන් තවත් නෞකා කිහිපයක්ම මුහුදුබත්ව තිබීම හේතුවෙනි. ඒ අතරින් නාවික හමුදාවේ 'විජය' නෞකාව සහ මගී ප්‍රවාහන නෞකාවක් වූ 'ගෝෂන්' ගොඩ ගැනීමට කටයුතු ආරම්භ කිරීමට ඔවුන්ට සිදු විය.

'ගෝෂන්' යනු ඉන්දියාවට අයත් නැවකි. අතීතයේදී ඉන්දියාව සහ ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම අතර මගීන් ප්‍රවාහනයට යොදා තිබුණේ 'ගෝෂන්' සහ 'අර්වින්' නමින් හැඳින්වූ නෞකා දෙකයි. 1964 දෙසැම්බර් ඒ මහා සුළි කුණාටුව හමා යන විට ගෝෂන් තිබුණේ තලෙයිමන්නාරම ජැටියේය. මහා සුළි කුණාටුව කොතෙක් ප්‍රබල වීද යත්: කුණා‍ටුව අවසාන වන විට 'ගෝෂන්' තිබුණේ ජැටිය අසල ගොඩබිමේය. ප්‍රබල සුළි කුණාටුවට 'ගෝෂන්' මුහුදු මායිමේ සිට මීටර් 25ක් පමණ රට තුළට ගෙන ගොස් දැමීමට හැකියාව ලැබී තිබිණි.

මුහුදේ ගිලී ගිය නෞකාවක් ගොඩ ගැනීම එකකි. ගොඩබිමට කඩා වැදුණු නෞකාවක් යළි මුහුදට ගැනීම වෙනම කටයුත්තකි‍. එබැවින් මාර්ටි සෝමසුන්දරම් සහ හැරී ගුණතිලක ඇතුළු පිරිසට 'ගෝෂන්' වෙනුවෙන් කිසිදා නොකළ මෙහෙයුමක නිරත වන්නට සිදු විය.

ඔවුන් එහිදී ප්‍රථමයෙන්ම කළේ රේල් පීලි තබා, නෞකාව ඒ මතින් මුහුදට ඇදගෙන යෑමට උත්සාහ දැරීමය. එහෙත් එය සාර්ථක වූයේ නැත. මඩ සහිත පොළොවේ රේල් පීලි ගිලා බැස්සේ ඔවුන්ගේ මෙහෙයුම අසාර්ථක කරමිනි.

එවර ත්‍රිකුණාමලයේ සිටි ඉංජිනේරුවෝද ඔවුන්ගේ සහායට එක් වූහ. 'ගෝෂන්' වැඩි කල් මෙසේ තිබෙන්නට හරින්නද නොහැකිය. තවත් අත්දැකීම් ‍ලැබෙන තුර‍ැයැයි කල් මරන්නද හැකියාවක් නැත. කෙසේ වෙතත් අත්දැකීම් නැතද පරිකල්පන හැකියාවෙන් අනූන වූ ලුතිනන් සෝමසුන්දරම් ඇතුළු පිරිස 'ගෝෂන්' වෙනුවෙන් අලුත්ම වැඩපිළිවෙළක් යෝජනා කළහ.

ඒ අනුව ඔවුහු පළමුවැනි පියවර ලෙස 'ගෝෂන්' තිබූ ගොඩබිම් ප්‍රදේශයේ නෞකාව වටා පස් හාරා ඉවත දමන්නට වූහ. එය සැබවින්ම 'ගෝෂන්' වට කොට පොකුණක් සෑදීමක් මෙන් විය. අඩි හතරක් පමණ යටට මේ හෑරීම සිදු කළ අතර, ඒ සඳහා පිරිස් බලය ප්‍රමාණවත් නොවූ බැවින් දුම්රිය අධිකාරියට අයත් සේවකයන්ද ඒ සඳහා යොදවන්නට ඔවුන්ට සිදු විය. මේ සඳහා 'එස්කැවේටර්' යන්ත්‍රයක්ද යොදාගත් අතර, හාරා ඉවත දමන පස්වලින් නෞකාව සහ පොකුණ වට කොට ගනිමින් පස් බැම්මක් ඉදි කරනු ලැබිණි.

'ගෝෂන්' මීටර් 75ක් දිග නෞකාවක් වූ බැවින් ඒ මහා පොකුණ ඉදි කිරීම සුළුපටු ක්‍රියාවක් නම් වූයේ නැත. පස්බැම්ම ඉදි කිරීම ඉතා සියුම් ලෙස කළ යුතු වූ අතර, බැම්මේ කට වැලි ගෝණි යොදා ආවරණය කළේ අවශ්‍ය වූ විට පුපුරවා දැමීම අරමුණු කරගනිමිනි.‍

ඔවුන්ගේ මීළඟ ක්‍රියාව වූයේ සාදා නිම කළ පොකුණට වතුර පිරවීමය. එවිට ඔවුන් බලාපොරොත්තු වූවා සේම මේ වතුරේ 'ගෝෂන්' පා වන්නට විය. දැන් බලාපොරොත්තුවෙන් බාගයක් ඉෂ්ට වී අවසන්ය. ලුතිනන් සෝමසුන්දරම් ඇතුළු පිරිස වහා පොකුණේ පා වන නෞකාවේ පිටුපස පැත්ත මුහුද දෙසට සිටින සේ නැව හරවාගත්හ; ඉන් පසු රාත්තල් 250ක 'ජෙලග්නයිට්' යෙදීමෙන් වැලි ගෝණි දමා සකසා තිබුණු පොකුණේ බැම්මේ කට පුපුරවා දැමූහ. පළමුවැනි පිපිරුම අසාර්ථක වූ නමුත් දෙවැනි පිපිරුමෙන් මුවවිට විවර කරගැනීමට ඔවුන්ට හැකියාව ලැබිණි.

දැන් ඇත්තේ විවිර වූ මුවවිට ඔස්සේ 'ගෝෂන්' මුහුදට ඇදදැමීම පමණකි. ඒ සඳහා 'ගෝෂන්' සමඟ එකට මගීන් ගෙන යෑමේ නිරත වූ 'අර්වින්' නැව යොදාගැනීමට ඔවුහු කටයුතු කළහ. ඒ අනුව 'අර්වින්' නෞකාවෙන් මුහුද දක්වා අදින ලද 'ගෝෂන්' යළිත් සාගර ජලය මතට සාර්ථකව පා වී ආවාය.

ඉන් පසු 'ගෝෂන්ගේ' වගකීම ඉන්දීයයන් බාර ගත් නමුදු කිමිදුම් කණ්ඩායම්වල රාජකාරි නම් අවසන් වූයේ නැත. ඒ වෙනුවට සුළි කුණා‍ටුවෙන්ම මුහුදුබත් වූ 'විජය' සහ 'වැලිගොව්වා' නම් වූ නෞකා ගොඩ ගැනීමට ඉතා වෙහෙස වී කටයුතු කිරීමටද ඔවුන්ට සිදු විය. මේ මෙහෙයුම් දෙකද සාර්ථකව සම්පූර්ණ කරගැනීමට ඔවුන්ට හැකියාව ලැබුණු බව ඒ දක්ෂයන්ගේ කණ්ඩායමේ සාමාජිකයකු වූ හැරී ගුණවර්ධන විශේෂයෙන් සඳහන් කර සිටියේය‍.

ලබන සතියට

ටිරෝනි වෑවලගේ

Comments