දේශපාලන කුණු කඳුවල දුගඳ

 සම්මුතිවාදි දේශපාලනය කාලයකට ඉහත මෙරට සමාජයේ පැවති, යටත්විජිත ආක්‍රමණවලට පසු ව යට ගිය ක්‍රමවේදයක් මිස, අමුතු දෙයක් නො වේ. තමා ළඟ ම අනෙකා අතරට ම භේද වැපිරූ ‘ඩොයිලි න්‍යායට‘ හසු වීම නිසා සහජීවනය සම්බන්ධයෙන් ලොවට ම ආදර්ශයක් තරම් වූ, මෙරට සම්ප්‍රදායෙන් පෝෂණය වූ, ‘සම්මුතිවාදි යහපාලනය‘ ගැන අමුතුවෙන් හඳුන්වා දෙන්නට හෝ කතා කරන්නට හෝ සිදු වූයේ රටේ ඉදිරිගමන සඳහා එය අත්‍යවශ්‍ය මාවතක් වන බැවිනි. එහි සරල අර්ථය වන්නේ ශිෂ්ටසම්පන්න සමාජයකි; එකිනෙකාගේ ගෞරවය රකින සාමූහික චින්තනයකි.

2015 ජනවාරි 8 වැනි දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඒ තනතුරට තෝරා පත් කර ගත් ඡන්ද දායක අපේක්ෂාව වූයේ රටට අහිමි ව ගිය එකී සම්මුතිවාදි දේශපාලන උරුමය යළි ස්ථාපිත කිරීම හා ශිෂ්ට සම්පන්න ජාතියක් ලෙස ලොව අභියෝග හමුවේ පෙනී සිටීම යි. එකිනෙකා බෙදන යටත්විජිත උපාය දෙදරවමින්, පක්ෂ දේශපාලනයේ බෙදීමට තිත තබමින්, රටේ ප්‍රධාන පක්ෂ දෙක සම්මුතිවාදය ඉදිරියට ගෙන යෑම පිණිස එක් වීම ස්වර්ණමය අවස්ථාවකි. ජනතා ඇසට වැලි ගසමින්, ‘ඩොයිලි න්‍යාය‘ අනුව ආගම් හා ජාතීන් අතර භේද පතුරුවමින්, වහල් සමාජයක නැඟී පවුල් පාලනයක් පවත්වා ගත් කණ්ඩායමට මේ ස්වර්ණමය අවස්ථාව අවුල් නොකර තම පැවත්ම තහවුරු කර ගන්නට නොහැකි ය. ඒ වෙනුවෙන් දැන් නැවතත් ජනතා ඇසට වැලි ගසමින්, ජනසමාජයේ ආවේග අවුළුවමින් ශිෂ්ට සමාජයක විනාශය පතන කොන්ත්‍රාත්තුව ක්‍රියාවට නංවමින් සිටිති.

ආගමකට හෝ ජනවර්ගයකට හෝ එරෙහි ව වෛරය පතුරුවන හෝ ප්‍රචණ්ඩත්වය ඇති කරන අයට දැඩි දඬුවම් පැමිණවීමට නීයෙන් කටයුතු කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සතියේ විශේෂ ප්‍රකාශයක් කරමින් මතු කළේ මේ පසුබිම යි. මුස්ලිම් දේවස්ථාන හා ව්‍යාපාර ආයතන කිහිපයනට පහර දුන් බවට වාර්තා වූ සිද්ධි ගැන සඳහන් කරමින් අගමැතිවරයා විසින් ඒ ප්‍රකාශය කරන ලදි. මේ ප්‍රකාශයෙන් ගම්‍ය වන ශ්‍රී ලාංකික සමාජයේ තවත් පැතිකඩක් ගැන මෙහි දී අවධානය යොමු කිරීම උචිත වේ. අහිංසා මාර්ගයට මුල් තැන දෙන බෞද්ධ සංස්කෘතියෙන් හැඩගැසුණු ජන සමාජයකට එවැනි පණිවිඩයක් විශේෂයෙන් ලබා දීමට සිදු වීම සුළුවෙන් තැකිය නොහැකි යි. එය ශ්‍රී ලාංකික ජන සමාජය මුහුණ දී සිටින අභියෝගයේ භයානක තරම හෙළි කරන්නක් ද වෙයි. ජාතිවාදි ව හෝ ආගම්වාදි ව හෝ ජන සමාජයේ පැවැත්මට අත්‍යවශ්‍ය සාමූහික බව සිඳ ගැනීම, සියතින් ගෙල සිඳ ගැනීමක් බවට ඕනෑ තරම් අත්දැකීම් රටට තිබියදීත් නීතිය පෙන්වමින් ඒ ගැන සිහිපත් කරන්නට වීම, රටක් ලෙස උගත් පාඩම් දිගින් දිගට ම මඟ හැරීමට ද නිදසුනකි.

සරල ව ගත් කල නිවෙස තුළ එකිනෙකා අතර බැඳීම බිඳී යන අවස්ථාව නිවෙසේ එකමුතුවට හෝ පැවැත්මට හෝ හානිදායක පිටත බලවේගවලට රුකුලකි. එකිනෙකා අතර තරගය හෝ අනෙකා කෙරෙහි වන බලපෑම සෑම තැනකට ම පොදු බැවින් නිවෙස තුළටත් ඒ කඩා වැදීම පොදු ය. රටට, සමාජයට ඇති ඒ බාහිර බලපෑම ගැන අමුතුවෙන් කිව යුතු නො වේ. විශේෂයෙන් ම පටු දේශපාලන උසිගැන්වීම් මත මතු වන ජාතිවාදි හෝ ආගම්වාදි හෝ ප්‍රවණතා රටට අහිතකර බාහිර බලවේගවලට අනුබලයක් වෙයි. නිවෙස තුළ අසරණ වන හෝ යටත් වන අනෙකා බාහිර අවදානමක අතකොළුවක් වීමට ඉඩ ඇති අයුරින් රටට හානිකර බලවේගවල අතකොළු රට ඇතුළතින් ම බිහි වෙයි. ආගම හෝ ජාතිය මුල් කර ගෙන අනෙකා කොන් කිරීම හෝ පීඩාවකට යොමු කිරීම ත්‍රස්තවාදයක අතකොළුවක් වන්නේ එලෙස යි. තවත් ජනවර්ගයක් ත්‍රස්තවාදයේ අතකොළුවක් බවට පත් වන්නට ඉඩ හැරීම නිසා රටක් ලෙස අත් කර ගත් විනාශය යළිත් අත්විඳින්නට කැමැති වනුයේ කවුරු ද? උසිගැන්වීම් කරන පරාජිත දේශපාලන කණ්ඩායම්වලට රට හෝ ජාතිය හෝ ගැන අවංක හැඟීම් නැති බවත්, සැම දා එවැනි වංචාවන්ට රැවටී සමාජයක් ලෙස පසුගාමි විය යුතු නැති බවත් තම තම ණැන පමණින් වුව තනි ව සිතා කටයුතු කළ හැකි යි. තමන් හා රට දේශපාලකයන් විසින් බේරා ගනු ලබනු ඇතැයි සිතා නිහඬ වීම සියතින් ගෙල සිඳ ගැනීමකට සමාන වෙයි.

පන්සල හා භික්ෂූන් වහන්සේ කෙරෙහි පොදුවේ ජන සමාජය තුළ පවතින ගෞරවය හා පිළිගැනීම ඇත්තේ ඉහළ ම තැනක යි. ඒ ගෞරවය හෝ පිළිගැනීම හෝ කෙලෙසෙන ආකාරයේ ක්‍රියාවන්හි නිරත වන අතළොස්සක් ද සිටිති. විශේෂයෙන් ම එවැනි විනයවිරෝධි ක්‍රියා පිටුපස මුවා වී සිටින පරාජිත දේශපාලන කණ්ඩායම් අර අතළොස්සක් වූ පිරිස උසිගන්වන බව ද රහසක් නො වේ. එවැනි සමාජ විරෝධි ක්‍රියා පොදු ගෞරවය හෝ පිළිගැනීම හෝ මත තබා සාධාරණීකරණය කළ යුතු නො වේ. මුළු මහත් සමාජය ම අනතුරට හෙළන එවැනි අයට නීතියෙන් බේරී යෑමට ඉඩ දිය යුතු ද නො වේ. නීතිය බලාත්මක නොකෙරෙන විට වෙනත් වටයකින් රටත් ජනතාවත් විපතකට ඇද දමන නොදන්නා ගිනි කන්දක් මෝරා වැඩෙනු ඇත. එවැනි ගිනි කඳුවලට මුල පුරන දේශපාලන කුණු කඳුවලට යට නොවන්නට තනි තනි ව වුව ද අධිෂ්ඨාන කළ හැකි යි. 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.