චැම්පියන්ස් ශූරයෝ අද ඕවල් පිටියේ රජයති | සිළුමිණ

චැම්පියන්ස් ශූරයෝ අද ඕවල් පිටියේ රජයති

චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (18) ලන්ඩන් නුවර ද ඕවල් ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ. මෙවර අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවේ එංගලන්තය, ඉන්දියාව, බංග්ලාදේශය සහ පාකිස්තානයයි.

එහිදී ජුනි 14 දා එංගලන්තය සහ පාකිස්තානය තරග කළේය. අනෙක් තරගයේදී ජුනි 15 දා තරග කළේ බංග්ලාදේශය සහ ඉන්දියාවයි.

මෙවර තරගාවලියේ මහත් බලාපොරෙත්තු තබා සිටි ඔස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව සහ නවසීලන්තය යන රටවල් මුල් වටයෙන්ම ඉවත් වීම විශේෂත්වයකි. ඒ අතරට ශ්‍රී ලංකාවත් එක් විය. ශ්‍රී ලංකාව තරග කළ තරග 03 දී ඔවුනගේ උපරිම දක්ෂතා දක්නට ලැබුණේ ඉන්දියාවට එරෙහිව පමණකි. එහිදී ලකුණු 322 ක ඉලක්කයක් හඹා යමින් වාර්තාගත ජයක් ලැබීමට ශ්‍රී ලංකාවට හැකි විය.

කෙසේ වෙතත් දකුණු අප්‍රිකාව සහ පාකිස්තානය සමඟ පැවැති තරග ශ්‍රී ලංකාව පරාජයට පත් වූයේ දුර්වල පන්දු රැකීම නිසාය. විශේෂයෙන්ම ඉතා තීරණාත්මක පාකිස්තාන් තරගයේදී ශ්‍රී ලංකා පන්දු රකින්මෝ උඩපන්දු කිහිපයක්ම අත්හැරියහ.

කලකට පෙර ආසියානු කලාපයේ පමණක් නොව ලෝක ක්‍රිකට්වලත් පන්දු රැකීමෙන් ඉදිරියෙන්ම සිටි කණ්ඩායමක් වුයේ නම් ඒ ශ්‍රී ලංකාවයි. රෝයි ඩයස්, රොෂාන් මහානාම, සනත් ජයසූරිය, උපුල් චන්දන සහ මහේල ජයවර්ධන වැනි ක්‍රීඩකයන් විශිෂ්ට පන්දු රකින්නෝ වූහ.

නමුත් එදා තිබුණු ඒ මට්ටම අද වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ දක්නට නොලැබීම කණගාටුදායකය. මෙම දුර්වල පන්දු රැකීම මෑත කාලයේදී දක්නට ලැබුණු එකම තරගාවලිය මෙය නොවේ.

පසුගිය කාලයේදී ශ්‍රී ලංකාව පරාජය වූ බොහෝ තරගවලදී පන්දු රැකීම ඉතා දුර්වල මට්ටමක තිබුණි. කෙතරම් දක්ෂ පිතිකරුවන් සිටියත් පන්දු යවන්නන් සිටියත් පන්දු රකින්නන් දුර්වල නම් තරග ජය ගැනීමට නොහැකිය. මේ පිළිබඳ මෙරට ක්‍රිකට් බලධාරීන්ගේ දැඩි අවධානය වහාම යොමු විය යුතුය.

මුල් වටය නිමාවන විට වැඩිම මුළු ලකුණු රැස් කළ පිතිකරුවන් හෝ කඩුලු දවාගත් පන්දු යවන්නන් 05 අතරටත් එකඳු ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් හෝ අයත් වූයේ නැත.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.