ප්‍රංශ විවෘත ටෙනිස් ශූරතාව 2017 නඩාල්ට වාර්තාගත ජයක් කුළුඳුල් ජය යෙලේනාට | Page 2 | සිළුමිණ

ප්‍රංශ විවෘත ටෙනිස් ශූරතාව 2017 නඩාල්ට වාර්තාගත ජයක් කුළුඳුල් ජය යෙලේනාට

වාර්ෂිකව පැවැත්වෙන ප්‍රධානතම ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතාවලියන් සතරකි. එහි දෙවැන්න වන ප්‍රංශ විවෘත ශූරතාවලිය මෙවර නිමාවට පත් වූයේ ස්පාඤ්ඤයේ රෆායල් නඩාල් සහ ලැට්වියාවේ යෙලේනා ඔස්ටාපෙන්කෝ කේවල ශූරතා හිමිකර ගනිමිනි. සුපුරුදු පරිදි මෙවර ශූරතාවලියත් පැරිස් නුවර රෝලන්ඩ් ගැරොස් ක්‍රීඩාංගණයේදී පැවැත්විය. මෙම ශූරතාවලිය මෙවර පැවැත්වූයේ 116 වැනි වරටය.

මෙවර කේවල (තනි) ශූරතාවට හිමි වූ ත්‍යාග මුදල යුරෝ 2,100,000 බැගිනි. අනුශූරතාවට යුරෝ 1,060,000 බැගිනි. ගිය වසරේ කේවල ශූරයා වූ සර්බියාවේ නොවැක් ජොකොවිච් මෙවර අර්ධ අවසන් පූර්ව තරගයේදී පරාජයට පත් විය. එවර කේවල ශූරිය වූ ස්පාඤ්ඤයේ ගාර්බිනා මුගුරුෂා මෙවර සිවුවන වටයේදී පරාජය වූවාය. එමෙන්ම මෙවර ඔස්ට්‍රේලියානු විවෘත කේවල ශූරතා හිමි කර ගත් අමෙරිකාවේ සෙරිනා විලියම්ස් සහ ස්විස්ටර්ලන්තයේ රොජර් ෆෙඩරර් තරග කළේ නැත.

කාන්තා කේවල

20 හැවිරිදි ලැට්වියාවේ යෙලේනා ඔස්ටාපෙන්කෝ අවසන් තරගයේදී රුමේනියාවේ සිමෝනා හාලෙප් පරාජය කළාය. ඒ තරග වට 2 - 1 කිනි. ලකුණු 4 - 6, 6 - 4, 6 - 3 කි. මෙය යෙලේනා හිමිකර ගත් ප්‍රථම වෘත්තීයම ශූරතාව වීමත් විශේෂත්වයකි. ඇයට ශ්‍රේණිගත කිරීම්වලදී අංක 47 හිමිය. ලොව අංක 04 ක්‍රීඩිකාව වන හාලෙප් 25 හැවිරිදිය. මෙය ඇගේ දෙවන ප්‍රංශ විවෘත කේවල අනුශූරතාවයයි. එහි පළමුවැන්න 2014 වසරේදීය. යෙලේනාගේ ක්‍රීඩා වීරවරිය වනුයේ සෙරිනාය.

පිරිමි කේවල

31 හැවිරිදි නඩාල් මෙවර අවසන් තරගයේදී තරග වට 3 - 0 ක ජයක් ලැබීය. ඒ ලකුණු 6 - 2, 6 - 3, 6 - 1 කි. එහිදී ඔහු වෙතින් පරාජය වූයේ ස්විස්ටර්ලන්තයේ 32 හැවිරිදි ස්ටැන් වවුරින්කාය. නඩාල් හිමි කර ගත් 15 වැනි ග්‍රෑන්ඩ් ස්ලෑම් කේවල ශූරතාව මෙය විය. එමෙන්ම 10 වැනි ප්‍රංශ විවෘත කේවල ශූරතාවයයි. වවුරින්කා 2015 ප්‍රංශ විවෘත කේවල ශූරයාය. එමෙන්ම ග්‍රෑන්ඩ් ස්ලෑම් කේවල අවසන් තරග සතරකදී ඔහු පරාජය වූ ප්‍රථම තරගයත් මෙය වේ.

කාන්තා යුගල

අමෙරිකාවේ බෙතනි මැටෙක් සෑන්ඩ්ස් සහ චෙක් ජනරජයේ ලුසි සැෆරෝවා ශූරතාව හිමිකර ගත්හ. ඒ අවසන් තරගයේදී තරග වට 2 - 0 ක ජයක් ලබමිනි. ලකුණු 6 - 2, 6 - 1 කි. ඔවුන් වෙතින් පරාජය වූයේ ඔස්ට්‍රේලියාවේ ඈෂ්ලෙයිහ් බාර්ටි සහ කේසි ඩෙලාකුවායාය.

32 හැවිරිදි බෙතනි හිමිකර ගත් පස්වැනි ග්‍රෑන්ඩ් ස්ලෑම් කාන්තා යුගල ශූරතාව මෙය වේ. ඊට ප්‍රංශ ශූරතා දෙකකි. 30 හැවිරිදි ලුසිගේ සිවුවන කාන්තා යුගල ශූරතාවයයි. ඒ සියල්ලම ඇය හිමිකර ගත්තේ බෙතනි සමඟ ක්‍රීඩා කරමිනි. ලුසි 2015 ප්‍රංශ විවෘත කේවල අනුශූරියත් වේ.

21 හැවිරිදි බාර්ටි සහ 32 හැවිරිදි කේසි ග්‍රෑන්ඩ් ස්ලෑම් කාන්තා යුගල අනුශූරතා සතරකට හිමිකම් කියති. ඒ ඔස්ට්‍රේලියානු විවෘත 2013, ප්‍රංශ විවෘත 2017, විම්බල්ඩන් 2013 සහ අමෙරිකානු විවෘත 2013 වශයෙනි.

පිරිමි යුගල

අමෙරිකාවේ රයන් හැරිසන් සහ නවසීලන්තයේ මයිකල් වීනස්ට මෙවර ජය අත්වූහ. ඒ අවසන් තරගයේදී තරග වට 2 - 1 කිනි. ලකුණු 7 - 6 (7 - 5), 6 - 7 (4 - 7) සහ 6 - 3 ක් ලෙසටයි. 25 හැවිරිදි රයන් සහ 29 හැවිරිදි මයිකල්ගේ ප්‍රථම ග්‍රෑන්ඩ් ස්ලැම් ශූරතාවයයි. මෙවර අනුශූරයෝ වූයේ මෙක්සිකෝවේ 34 හැවිරිදි සැන්තියාගෝ ගොන්සාලෙස් සහ අමෙරිකාවේ ඩොනල්ඩ් යංග්ය.

මිශ්‍ර යුගල

කැනඩාවේ ගැබ්රියෙලා ඩාබ්‍රොව්ස්කි සහ ඉන්දියාවේ රොහාන් බොපානා හට ශූරතාව හිමි වූහ. ඒ තරග වට 2 - 1 ක ජයකි. ලකුණු 2 - 6, 6 - 2, 12 - 10 කි. ඔවුන් වෙතින් පරාජය වූයේ ජර්මනියේ ඇනා ලෙනා ග්‍රොන්ෆෙල්ඩ් සහ කොලොම්බියාවේ රොබට් ෆාරාය.

25 හැවිරිදි ගැබ්රියෙලා සහ 37 හැවිරිදි බොපානාගේ ප්‍රථම ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාව මෙය වේ. 32 හැවිරිදි ඇනා මීට පෙර 2009 විම්බල්ඩන් සහ 2014 ප්‍රංශ විවෘත මිශ්‍ර යුගල ශුරතා හිමිකරගෙන තිබුණි. 30 හැවිරිදි රොබට් හිමිකරගත් දෙවන මිශ්‍ර යුගල ග්‍රෑන්ඩ් ස්ලෑම් අනුශූරතාවයයි.

බාලිකා කේවල

මෙවර අමෙරිකානුවන් අතර පැවැති අවසන් තරගයකි. එහිදී 15 හැවිරිදි විට්නි ඔසුයිග්වේ තරග වට 2 - 1 ක ජයක් ලැබුවාය. ඒ ලකුණු 6 - 4, 6 - 7 (5 - 7), 6 - 3 කි. පරාජය වූයේ 17 හැවිරිදි ක්ලෙයාර් ලියුය.

බාලක කේවල

ඔස්ට්‍රේලියාවේ ඇලෙක්සෙයි පොපිරින් හට ජයග්‍රහණය හිමි වුයේය. ඒ තරග වට 2 - 0 කිනි. ලකුණු 7 - 6 (7 - 5), 6 - 3 කි. පරාජය වූයේ ස්පාඤ්ඤයේ නිකොලා කුහ්න්ය. 17 හැවිරිදි පොපිරින් අඩි 6 අඟල් 5 ක් උසැතිය. 17 හැවිරිදි නිකොලා මෙවර බාලක යුගල ශූරතාවත් හිමිකර ගත්තේය.

 

Comments