විසිල් ඇති බල්ටි නැති ලාංකේය ක්‍රිකට්... | Page 2 | සිළුමිණ

විසිල් ඇති බල්ටි නැති ලාංකේය ක්‍රිකට්...

වේග පන්දු යවන්නන්ට බෙහෙවින් උචිත වූ එංගලන්ත තණතීරුවල ආසියානු උපමහද්වීපික කලාපයේ රටවල් හතරෙන් තුනක්ම අටවැනි ශූරයන්ගේ කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට එක්වෙද්දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරි ගමන කාඩිෆ්හිදී නතර කිරීමට පාකිස්තානය සමත් විය. කාඩිෆ්හි දී ශ්‍රී ලංකාව අඛණ්ඩව පරාජය වූ හතරවැනි තරගය මෙය වන විට, අයි. සී. සී. තරග මාලාවන්හිදී පාකිස්තානය හමුවේ ශ්‍රී ලංකාව පරාජය වූ දහවැනි වතාවද මෙය වෙයි.

සත්කාරක එංගලන්තය සමඟ පාකිස්තානය, ඉන්දියාව සහ බංග්ලාදේශය අවසන් පූර්ව තරගවලට සුදුසුකම් ලබා ගනිද්දී, එක්දින ශ්‍රේණිගත කිරීම්වල අංක එකේ පසුවන දකුණු අප්‍රිකාව, වත්මන් ක්‍රිකට් ලෝක ශූරයන් වන ඔස්ට්‍රේලියාව සහ අනුශූරයන් වන නවසීලන්තය විචාරකයන්ගේ මතවාදයන් ද පරාජය කළේ ක්‍රිකට් ක්‍රීඩාවේ පවතින අනියත බව නැවත වතාවක් ප්‍රදර්ශණය කරමින්ය.

වර්ෂාව බාධා ගෙන දෙමින් උදාසීනභාවයකට හැරුණු තරගාවලියට ජීවයක් එක් කළේ පාකිස්තානය දකුණු අප්‍රිකාව පරාජය කරමින්ය. එකී ගමන තවත් තීව්‍ර කරමින් ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු ප්‍රමාණයක් ඉන්දියාවට එරෙහිව හඹායාමද, ක්‍රිකට් ලෝක අනුශූරයන් වන නවසීලන්තයට එරෙහිව බංග්ලාදේශය පෑ වික්‍රමය ද ඇල්මැරුණු තරගාවලියට එක් කළේ ජීවයකි.

ශ්‍රී ලංකාව මේ තරගාවලියේ තීරණාත්මක පාකිස්තානය සමඟ තරගයට එක්වූයේ ඉන්දීය තරගයේදී තරුණ ජවය සාධනීය තැනකට උසස්ම ආකාරයෙන් ඔසවා තබමින්ය. මෙහිදී අප අමතක නොකළ යුතු සාධකය වන්නේ පාකිස්තානය මේ තරගයට පිවිසියේද, දකුණු අප්‍රිකාව පරාජය කරමින් බවය. කෙසේ වෙතත් මිස්බා - යුනිස් ඛාන් පාකිස්තානය නියෝජනය නොකිරීම ශ්‍රී ලංකාව පැත්තෙන් වාසිදායක බව පෙනුණ ද, ආබාධවලට පිළියම් ශ්‍රී ලංකා කණ්ඩායමට නොමැතිවීමේ අවාසිය මේ තීරණාත්මක තරගයේ දී ප්‍රබල ලෙසම බලපෑවේය.

ශ්‍රී ලංකා කණ්ඩායම මුල සිටම සියල්ල පටන් ගන්නා තැනක දැන්වත් සිටගත යුතුය. කවුරු මොන පුරසාරම් දෙඩුවද සියල්ල තීරණ වන්නේ පන්දුව හා පිත්ත අතර කෙරෙන සටනින් මිස, කටවල්වලින් නොවන බව තේරුම් නොගන්නා තාක් කල් තරගයක් දෙකක් ගැන කයිවාරු ගසා නිහඬවීමට සිදුවනු ඇත.

එක්දින ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල මේ තරගාවලියට එක්වූ කණ්ඩායම් අට අතරින් අටවැනි ස්ථානයේ පසුවන පාකිස්තානය පළමු ස්ථානයේ පසුවන දකුණු අප්‍රිකාව හා හත්වැනි ස්ථානයේ පසුවන ශ්‍රී ලංකාව පසකට තල්ලු කරමින් ඉදිරියට පැමිණීම අගය කළ යුතුය. ශ්‍රී ලංකා කණ්ඩායම පකිස්තාන් තරගයේ උඩපන්දු අතහැරියා සේම තරගාවලියේ ඉදිරි ගමන ද අතහැර දැමුවේය.

Comments