වෝන් ඉදිරියේ ඉන්දියාවත් දුප්පත්ද?

ප්‍රශාන්ත ඇල්පිටිය

මේ වන විට ලොව ධනවත්ම ක්‍රිකට් පරිපාලනයට හිමිකම් කියන්නේ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයයි. ඒ වගේම ලොව වැඩිම මුදලක් ගෙවනු ලබන ක්‍රිකට් පුහුණුකරු ලෙසටත් සැළකෙන්නේ ඉන්දීය ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවාය. වත්මන් ඉන්දීය ප්‍රධාන පුහුණුකරුවා වන්නේ හිටපු නායකයකු වන අනිල් කුම්බ්ලේය. හෙතෙම ගිය වසරේදී මෙම තනතුරට පත්වූයේය. ඔහුගේ කාලය මෙවර චැම්පියන්ස් කුසලාන තරගාවලියත් සමඟම නිමාවට පත් වේ.

එසේ වුවත් මෙවර චැම්පියන්ස් කුසලාන තරගාවලිය ඇරඹෙන විටත් ඉන්දිය මාධ්‍ය විසින් කුම්බ්ලේ සහ ජාතික කණ්ඩායමේ ප්‍රධානතම ක්‍රීඩකයන් අතර මත ගැටුමක් හට ගෙන ඇතැයි වාර්තා පළ කළේය. එම ක්‍රීඩකයන් අතර නායක විරාත් කෝලි ද සිටියේය.

මෙවැනි ගැටුමක් හට ගත්තේ කුම්බ්ලේ විසින් ක්‍රියාත්මක කරන පුහුණු ක්‍රමවේදය ඉතා අසීරු බවට ඉන්දීය ක්‍රීඩකයන් විසින් පැවසීමයි. ඔවුනට අවැසි වී තිබෙන්නේ කුම්බ්ලේට පෙර හිටපු පුහුණුකරුවා වූ රවී ශාස්ත්‍රීගේ පුහුණු ක්‍රමවේදයයි. ශාස්ත්‍රී ඉතා සැහැල්ලුවෙන් පුහුණුවීම් ක්‍රමවල යෙදීමට ක්‍රීඩකයන් දිරිගැන්වීය. එම නිසා හෙතෙම ක්‍රීඩකයන් අතර ජනප්‍රිය වූයේය.

කුම්බ්ලේ සහ විරාත් කෝලි ප්‍රමුඛ ක්‍රීඩක ගැටුම නිසා නැවත වතාවක් ජාතික පුහුණුකරු ධූරයට අයදුම්පත් කැඳවීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කළේය. ඒ අනුව හිටපු ක්‍රීඩකයන් හය දෙනකු සහ ප්‍රකට පුහුණුකරුවෙකුත් අයදුම්පත් යොමු කළහ.

ඒ ඉන්දියාවේ අනිල් කුම්බ්ලේ, විරේන්දර් ෂේවාග්, ලාල් චන්ද් රාජ්පුට්, ඩෝඩා ගනේෂ්, ඔස්ට්‍රේලියාවේ ටොම් මූඩි, ක්‍රේග් මැක්ඩමර්ට් සහ එංගලන්තයේ රිචඩ් පයිබස්ය. මේ අතර ඇතැම් මාධ්‍ය හිටපු ඔස්ට්‍රේලියානු සුපිරි ක්‍රීඩකයකු වූ ෂේන් වෝන්ගෙන් ද ඉන්දීය ජාතික පුහුණුකරු ධූරය පිළිබඳ විමසුහ. "මගේ ගණන සැර වැඩියි. එය ගෙවන්න ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට බැහැ." ඊට 47 හැවිරිදි වෝන් පිළිතුරු දුන්නේය. වෝන් තවමත් ප්‍රධාන පුහුණුකරුවෙක් ලෙසට ක්‍රියා කර නැත.

බොහෝ දෙනා බලාපොරොත්තු වූයේ නැති වුවත් කුම්බ්ලේ ද යළිත් වතාවක් මෙම තනතුර සඳහා ඉදිරිපත් විය. හෙතෙම 46 හැවිරිදිය. රාජ්පුට් 55 හැවිරිදිය. ඔහු 1985 - 87 දක්වා ජාත්‍යන්තරව ක්‍රීඩා කළේය. 2007 වසරේදී මංගල 20 - 20 ලෝක කුසලාන ශූරතාව ඉන්දියාව හිමිකර ගත් විට පුහුණුකරු වූයේද රාජ්පුට්ය. එමෙන්ම ඔහු 2016 - 17 අතර කාලයේදී ඇෆ්ගන් ජාතික පුහුණුකරුවාත් වූයේය. ගනේෂ් 44 හැවිරිදි හිටපු ක්‍රීඩකයෙකි. ඔහු 1997 වසරේදී ජාත්‍යන්තරව ක්‍රීඩා කළේය.

මේ අතර හිටපු ක්‍රීඩකයෙක් වන විරේන්දර් ෂේවාග් ද ජාතික පිලේ ප්‍රධාන පුහුණුකරු ධූරයට ඉදිරිපත් විය. 38 හැවිරිදි ඔහු කිංග්ස් යඪ පන්ජාබ් පිලේ පුහුණුකරුවාය. ටොම් මූඩි 1987 සිට 1999 දක්වා ජාත්‍යන්තරව ක්‍රීඩා කළේය. ඔහු 2005 - 07 ශ්‍රී ලංකා ජාතික පුහුණුකරුවාය. එමෙන්ම 2007 එක්දින ජාත්‍යන්තර ලෝක කුසලාන අනුශූරතාව හිමිකරගත් ශ්‍රී ලංකා පිලේ ප්‍රධාන පුහුණුකරුවාත් විය. තවද 2016 අයි. පී.. එල්. ශූරයෝ වූ සන්රයිසර්ස් හයිදරාභාද් පිලේත් ප්‍රධාන පුහුණුකරුවා වූයේය. මූඩි මේ වන විට 51 හැවිරිදිය.

52 හැවිරිදි පයිබස් අත්දැකීම් බහුලතම පුහුණුකරුවෙකි. 2003 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වූ පාකිස්තාන් පිලේ ප්‍රධාන පුහුණුකරුවා වූයේත් පයිබස්ය. මීට අමතරව 2012 දී බංග්ලාදේශ පුහුණුකරු ලෙසටත් ඔහු ක්‍රියා කළේය. තවද 2013 - 17 දක්වා බටහිර ඉන්දීය කොදෙව් දූපත් ක්‍රිකට් පාලක මණ්ඩලයේ ක්‍රිකට් අධ්‍යක්ෂවරයා වශයෙනුත් හෙතෙම කටයුතු කරන ලදී.

ඔවුන් අතරින් මූඩි 2005 සහ 16 වසරවලදීත් ඉන්දීය ප්‍රධාන පුහුණුකරු ධූරයට ඉදිරිපත් වී තිබුණි. 52 හැවිරිදි මැක්ඩර්මට් වේග පන්දු යවන්නෙකු වශයෙන් ජාත්‍යන්තරව ක්‍රීඩා කළේ 1984 සිට 1996 දක්වාය. පසුව ඔහු පන්දු යැවීමේ පුහුණුකරුවකු වශයෙන් ක්‍රියා කළේය.

මෙම පිරිස අතරින් ජාතික පුහුණුකරු තෝරා ගැනීමේ කාර්යභාරය පැවරී තිබෙන්නේ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩල ක්‍රිකට් උපදේශක කමිටුවටය. එහි සාමාජිකයන් වන්නේ හිටපු සුපිරි තරු ත්‍රිත්වයකි. ඒ සචින් තෙන්දුල්කාර්, වී. වී. එස්. ලක්ෂ්මන් සහ සොරොව් ගංගුලිය. ගිය වසරේදී අනිල් කුම්බ්ලේව ජාතික පුහුණුකරු වශයෙන් තෝරා ගත්තේ ද එම කමිටුවයි.

චැම්පියන්ස් කුසලාන තරගාවලිය නිමා වීමෙන් පසුව ඉන්දීය කණ්ඩායම කෙටි තරග සංචාරයක් සඳහා බටහිර ඉන්දීය කොදෙව් දූපත් බලා පිටත්ව යාමට නියමිතය. ඊට පෙර නව ජාතික පුහුණුකරුවකු තෝරා පත් කර ගනු ඇතැයි ක්‍රිකට් පාලක මණ්ඩලය බලාපොරොත්තු විය.

නමුත් ක්‍රිකට් උපදේශක කමිටුවේ මතය වී තිබෙන්නේ අදාළ කෙටි සංචාරයෙන් පසුව තීරණයක් ගැනීම සුදුසු බවය. එමෙන්ම ඔවුන්ගේ පොදු මතය වන්නේ කුම්බ්ලේ 2019 එක්දින ජාත්‍යන්තර ලෝක කුසලාන තරගාවලිය තෙක්ම ඉන්දීය ජාතික පුහුණුකරු ලෙසට ක්‍රියා කළ යුතු බවය.

එමෙන්ම කණ්ඩායමේ පුහුණුකරු සම්බන්ධයෙන් ක්‍රීඩකයන් මැදිහත්වීම් නොකළ යුතු බවය. මේ අතර ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ විශේෂ රැස්වීමක් ජූනි මස 26 දින පැවැත්වීමට නියමිතය. ඊට පෙර උපදේශක කමිටුව විසින් නව පුහුණුකරුවකු තෝරා ගැනීමට ක්‍රියා නොකළහොත් කුම්බ්ලේ තවදුටත් සිය ධූරයේ කටයුතු කරනු ඇතැයි වාර්තා වේ.

 

 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.