ඉගල්කන්ද, නොමිලයේ වයිෆයි හා දැනුම් සංස්කෘතියක්

 මේ ආණ්ඩුව බලයට ආ අලුත රටේ ප්‍රධාන නගරයන්හි මහජනයා ගැවසෙන ස්ථානයන්හි අන්තර්ජාල වයිෆයි කලාපයන් පිහිටුවනු ලැබීය. මේ වන විට එම ව්‍යාපෘති අඩපණව ඇතත්, මහජනයාට අන්තර්ජාල පහසුකම් ලබාදීම අගය කළ යුත්තකි. වැසිකිළි දුගඳ හමන, අනවරත පිරිසුදු කිරීම්වලට ලක් නොවන, අම්බලමක් බඳු ඇල්පිටිය නගරයේ බස් නැවතුම්පළට අන්තර්ජාල වයිෆයි පහසුකම් ලබාදෙන ආරංචිය බැලූ බැල්මට ඇත්තටම හාස්‍යයකි. ඒත් යටිතලයේ පවතින නොගැළපීම මඟින් අන්තර්ජාල පහසුකම් මඟින් නගරයේ ඇති විය හැකි සංස්කෘතික දියුණුව නොතකා හළ නොහැකිය.

ශ්‍රී රාහුල හාමුදුරුවන් තම ජීවිතයේ අවසන් කාලයේ රැඳී සිටියායැයි කියවෙන්නේ ඇල්පිටියේ අම්බන ඉඳුරුගිරි නම් ලෙනකයි. ඉතිහාසය පවසන්නේ ඒ ක්‍රි.ව. 1491 වර්ෂයේ බවයි. ඒත් ඒ ආශ්‍රයෙන් හෝ රාහුල හාමුදුරුවන් විසින් එක්රැස් කළ දැනුම් පද්ධතිය මඟින් හෝ ගොඩනැංවූ සංස්කෘතික වටිනාකමක් ඒ ප්‍රදේශයේ නැත. ඊට අමතරව මෑත ඉතිහාසය හාරා ඇවිස්සූවද දැනුම පරිශීලනය කරමින් සමාජය උස් තැනක රැඳවීමට ගත් මිනිස් උත්සාහයන් මත ගොඩනැංවූ සංස්කෘතික වටිනාකමක් ගැන ඇල්පිටියෙන් අහන්න ලැබෙන්නේ නැත.

එහෙත් ඇල්පිටියට නුදුරු අම්බලන්ගොඩ හා බද්දේගම යන ප්‍රදේශ සමාජ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් සිටින්නේ බොහෝ ඉදිරියෙනි. මිගෙට්ටුවත්තේ ගුණානන්ද හාමුදුරුවන්ගේ මූලිකත්වයෙන් ඇති වූ බද්දේගමවාදය සුළුවෙන් තකන්නට බැරි දැනුම් හුවමාරුවකි. එය ආගම්වාදය මත පදනම් වුවත් නව දැනුම නිෂ්පාදනයේලා සමාජයට සැපයූ දායකත්වය අගය කළ යුත්තකි.

බද්දේගමට මෙන්ම අම්බලන්ගොඩටත් ආවේණික වාමාංශික දේශපාලන ක්‍රියාකාරිත්වය මඟින්ද ඇති කර තිබෙන සමාජ ප්‍රබෝධය දැනුම කේන්ද්‍ර කොට ගත්තකි. ඒ නිසා ආර්ථික ක්‍රියාකාරිත්වයටම ජීවිතය සීමා නොකර දැනුම යොදාගනිමින් බුද්ධිමය වටිනාකමක් ලබාගැනීමට දැරූ මහන්සිය අපමණයි.

බද්දේගම හා අම්බලන්ගොඩ වැනි ප්‍රදේශවල බුද්ධිමය වටිනාකමක් තහවුරු වීමට ඒ ප්‍රදේශවල පිහිටි අධ්‍යාපනික මධ්‍යස්ථාන දරා ඇත්තේ ලොකු දායකත්වයක්. 19 වන සියවසේ ඇති වූ ජාතිකත්ව ප්‍රබෝධයත් ඒ ආශ්‍රිතව ආර්ථික වශයෙන් ශක්තිමත් ප්‍රභූ පවුල් ඇතිවීමත් මේ සංස්කෘතික ප්‍රබෝධයට ප්‍රබල හේතුවකි. එමෙන්ම සිංහල බෞද්ධ ගොවිගම හා එකට මුසු වෙමින් ක්‍රිස්තියානි, කරාව, දුරාව හා සලාගම ජන කොටස්වල දායකත්වයෙන් සංස්කෘතික මිශ්‍රණයක් ඇති වීමද මේ ප්‍රබෝධයට ප්‍රබල හේතුවකි.

ඇල්පිටිය මෑත ඉතිහාසය තුළ කෘෂිකාර්මික ජනකොටසකගේ වාස භූමිය වූවා මිස 19 වන සියවසේ ඇති වූ ජාතිකත්ව ප්‍රබෝධය හා ඒ ආශ්‍රිත ආර්ථික වශයෙන් ශක්තිමත් ප්‍රභූ පවුල්වල ක්‍රියාකාරත්වයෙන් උණුසුම් වුණේ නැත. මේ ප්‍රදේශයේ ඉඩම් බොහෝ විට බලපිටිය හා අම්බලන්ගොඩ ප්‍රදේශවල මුදල් බලය හිමි ප්‍රභූ පවුල්වල ගහනයට නතුව තිබිණි.

ඒ නිසා ජීවත් වීමට එදිනෙදා යමක් සොයාගත් ජීවන අරගලයෙන් ඔබ්බට වූ සමාජ ක්‍රියාකාරීත්වයක් ඇල්පිටියේ ප්‍රදේශවාසීන්ට නොතිබිණි. ඒ නිසා අධ්‍යාපන මධ්‍යස්ථාන ගොඩනැංවීමට යොමු වී නොතිබිණි. එවැනි වටාපිටාවක දැනුම මූලික වූ සංස්කෘතික සමාජ වටිනාකමක් බිහි නොවීම පුදුමයට කරුණක් නොවෙයි.

ඇල්පිටිය නගරයට ආසන්න ඉගල්කන්ද වත්ත අසූව දශකයේ අවසන් භාගය තෙක් පැවතුණේ රජයට අයත් සශ්‍රීක රබර් වගාවක් ලෙසිනි. ඒ ඉගල්කන්ද එතරම් උස් නොවූ පොඩි කඳු තීරුවකි.

ඒ කන්දේ බටහිර කෙළවරෙහි පිහිටි සාමාන්‍ය ප්‍රමාණයේ කළු ගල ඇල්පිටියේ අනන්‍යතාවේ සංකේතයක් බව බොහෝ දෙනකු දන්නේ නැත. මා කුඩා කල රාත්‍රියට මේ කළු ගල පිහිටි ඉගල්කන්ද දෙස බලා සිටින්නේ නොඉවසිල්ලෙනි.

රාත්‍රී හත අට පමණ වන විට අන්ධකාරයට ගොස් ඇස හුරු වන තුරු බලා සිටින විට ක්ෂණිකයෙන් නොපෙනී යන විදුලි ආලෝකයකින් කන්ද මුදුන ආශ්‍රිත අහසට යම් එළියක් වැටෙන බව හඳුනාගන්නට පුළුවන.

ඒ බේරුවල ලයිට්හවුස්-එකේ කැරකෙන එළිය බව අත්දැකීම් ඇති වැඩිහිටියකුගේ අදහස විණි. යම් නිශ්චිත කාල වකවානුවක් තුළ සිදු වන ආලෝකකරණය නිසා එය බේරුවල ප්‍රදීපාගාරයේ කැරකෙන විදුලි පහනමයැයි තහවුරු විණි.

මීට සියවස් කාලයකට පෙර සන්නිවේදන මාර්ග අද තරම් දියුණු නොවූ කාලයක පණිවිඩ හුවමාරු කරගත්තේ ඊතල ආධාරයෙනි. ජනප්‍රදවාදය පවසන පරිදි එක් උස් භූමියක පිහිටි සන්නිවේදන මධ්‍යස්ථානයක සිට යවනතලයක රැඳවූ පණිවිඩය සඳහන් ලියවිල්ල ඊළඟ උස් භූමියේ වූ සන්නිවේදන මධ්‍යස්ථානය මඟින් ලබාගනී. මේ උපක්‍රමය මඟින් අවශ්‍ය ඉලක්කය කරා පණිවිඩය යැවීමට සන්නිවේදන මධ්‍යස්ථාන කිහිපයක දායකත්වය ලබාගනී. එවැනි එක් සන්නිවේදන මධ්‍යස්ථානයක් වූයේ ඉගල්කන්දේ කළුගලයි.

ක්‍රි.ව. 1220 සිට 1345 දක්වා පැවැති දඹදෙණිය යුගය තුළ විශිෂ්ට රාජ්‍ය පාලකයා වන්නේ දෙවැනි පරාක්‍රමබාහුයි. ක්‍රි.ව. 1236 සිට 1270 තෙක් දඹදෙණිය මූලික කරගෙන රාජ්‍යය පවත්වාගෙන ගිය දෙවන පරාක්‍රමබාහු කවියකු හා ලේඛකයකු ලෙස සාහිත්‍යයට අපමණ දායකත්වයක් දැක්වූවෙකි.

ඒ යුගය තුළ ඇල්පිටියද අයත් දකුණේ ප්‍රාදේශීය පාලකයා වී ඇත්තේ දේවපතිරාජ නම් වූ අමාත්‍යවරයෙකි. ඇල්පිටියේ ඉගකන්ද සන්නිවේදන මධ්‍යස්ථානයක් ලෙස තහවුරු වී ඇත්තේ මේ යුගයේය.

1985 වන තුරුත් ඍජු දූරකථන පහසුකම් නොතිබූ ඇල්පිටියට රැහැන් රහිත ප්‍රථම දූරකථන ජාල පහසුකම් ලැබෙන්නේ 2003 වර්ෂයේදීයි. ඒ අනුව ඇල්පිටියට රැහැන් රහිත දූරකථන පහසුකම් සැපයීමට ඩයලොග් දූරකථන කුලුන පිහිටුවන්නේත් ඉගල්කන්දේ වීම සන්නිවේදන සංස්කෘතියට අදාළව ඓතිහාසික කරුණකි. ඉතිහාසයේ ඊතල ආධාරයෙන් සන්නිවේදනය සදහා මූලික වූ ඉගල්කන්දේම වර්තමානයේ රැහැන් රහිත දූරකථන පහසුකම් සඳහා කුලුන ඉදි වීම වෙළෙඳපළ ප්‍රචාරය තුළ නැවුම් කරුණකි.

හුදු විනෝදයම ඉක්මවා අන්තර්ජාලයේ දැනුම් පද්ධතිය උකහාගැනීමට තරම් ශක්තිමත් සංස්කෘතියක් ඇල්පිටියෙත් බිහි වුණොත් යුග ගණනාවක මිනිස් ක්‍රියාකාරකම් දෙස උපේක්ෂාවෙන් බලා සිටින ඉගල්කන්දටත් එය සතුටට හේතුවක් වෙනවා නිරනුමානයි.

- අබරන් 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.