මාධ්‍ය උගුලේ සිර වුණු ලාංකික සමාජය

මේ වන විට ශ්‍රී ලංකාවේ ප්‍රබල ජනමාධ්‍ය ව්‍යාපාරයක් ක්‍රියාත්මක වන බව පසුගිය වකවානුව තුළ මාධ්‍ය නිර්මාණය කළ පුවත් සහ ඒ අනුව සමාජය හැසුරුණු අන්දම විමසන කල නිරීක්ෂණය කළ හැකිය. මෙහිදී ජනතාව කොයිතරම් ජනමාධ්‍යවලට සවිඥානකව සහ අවිඥානකව අවනත වූයේද යන්න තේරුම් ගැනීම වැදගත් වේ. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වාණිජකරණය වී ඇති, ලාභය පදනම් කරගත් ජනමාධ්‍ය හේතුවෙන් තත්ත්වය තවත් සංකීර්ණ වී තිබේ.

තම පැවැත්ම වෙනුවෙන් හා ලාභය උපරිම කරගැනීම උදෙසා ජනමාධ්‍ය ක්‍රියා කරන විට සමාජ සංස්කෘතික දේශපාලනික වටිනාකම් ආරක්ෂා කිරීම හෝ සමාජීය හර පද්ධති ඇති කිරීම සඳහා ක්‍රියා කිරීමක් බලාපොරොත්තු විය නොහැකිය. එසේම මාධ්‍ය සංස්කෘතිය විසින් ඇති කර ඇති වෙළෙඳ සංස්කෘතිය කෙසේවත් මාධ්‍ය සංස්කෘතිය වෙනස් කිරීම වෙනුවෙන් කැමැත්තක් නොදක්වනු ඇත. ලාහය පදනම් කරගත් විවෘත අර්ථක්‍රමයේ විකෘතියක් ඇති ලංකාව තුළ ක්‍රියාත්මක ආර්ථිකය ධනවාදී අරාජික අර්ථක්‍රමයකි.

ලේ, කඳුළු සහ කුණු විකුණන ආර්ථික ක්‍රමයක් තුළ සමාජ යහපත වෙනුවෙන් ක්‍රියාත්මක වන මාධ්‍ය ව්‍යාපාරයක් බලාපොරොත්තු විය නොහැකිය. රෝසා ලක්සර්බර්ග්ට අනුව ධනවාදි අරාජකත්වය සුව කිරීම සඳහා ඖෂධ පැළෑටියක් ධනවාදි සමාජය නමැති ජරා වළෙහි පැළ වී වර්ධනය විය නොහැකිය. ධනවාදි විවෘත ආර්ථිකය තුළ මාධ්‍ය සංස්කෘතිය සමාජය සුවපත් කිරීම සදහා කිසි දිනෙක භාවිත නොවනු ඇත.

එසේම රට ගොඩනැඟීම වෙනුවෙන් කතා කර තමා සහ පවුලේ අය ගොඩනැඟීමට ක්‍රියා කරන දේශපාලනය තුළ රට වෙනුවෙන් මාධ්‍ය සංස්කෘතිය මෙහෙයවීමක් බලාපොරොත්තු විය නොහැකිය. දේශපාලකයා යනු අද දවසේ අවස්ථාවාදියෙකි. දේශපාලනය තුළ රැඳී සිටිය හැක්කේද අවස්ථාවාදීන්ට පමණි. මෙවැනි දේශපාලන ක්‍රමයක් තුළ මාධ්‍ය සංස්කෘතිය වෙනස් කිරීම වෙනුවෙන් දේශපාලන නායකත්වයක් ලැබීම සිහිනයක් වනු ඇත.

අපේ රටේ ජනයා දරිද්‍රතාවේ තබන ප්‍රධාන සාධක දෙකක් තිබේ. ඒ, අන්ධ භක්තිය හා මිථ්‍යා විස්වාසයි. මාධ්‍ය කෙරෙහි පවතින අන්ධ භක්තියත් මිථ්‍යා විස්වාසත් විසින් තවදුරටත් මාධ්‍ය සංස්කෘතියේ බලපෑමට අපේ රටවල් යටත් කරනු ඇත.

එසේම මාධ්‍ය සංස්කෘතියේ ආධිපත්‍යය පතුරවා ගැනීම වෙනුවෙන් තවදුරටත් මිථ්‍යා විශ්වාස සහ අන්ධ භක්තිය පැතිරවීමට මාධ්‍ය කටයුතු කරමින් සිටියි. සමහර පුවත්පත් මිථ්‍යාව වැපිරීම සඳහා වෙන් කරන පිටු ප්‍රමාණයත් විද්යුත් නාළිකාවල විකාශ කාලයත් කොතරම්දැයි දවසක් තුළ මාධ්‍යවල හැසිරීම නිරීක්ෂණයෙන් වටහාගත හැකිය.

ලාංකික සමාජය ස්වාභාවිකවම අවිද්‍යාව මත පදනම් වෙමින් අවිද්‍යාව පෝෂණය කරන සමාජ සංස්කෘතියක් නඩත්තු කරමින් සිටී. මේ සමාජ සංස්කෘතිය තුළ මාධ්‍ය සංස්කෘතියේ බලපෑම ඉතා දැඩි ලෙස ක්‍රියාත්මක වීම ස්වාභාවිකය. මෙය පැහැදිලි කරන ප්‍රකාශයක් ආතර් සී ක්ලාක් මහතා කර ඇත. තර්කානුකූලව සාක්ෂි මත පදනම් වූ චින්තනයක් අපේ රටට ඉතා ඉක්මනින් අවශ්‍යය.

අනෙක් අතට ඇඳුම්පැලඳුම් විලාසිතා, භාෂා භාවිතය, රැකියාව, සමාජ සබඳතා, සංගීතය, කලාව, සිනමාව, රසවින්දනය, ජීවන පරමාදර්ශ, සදාචාරය, සම්ප්‍රදායන්, සමාජ ඇගයුම්, සහකරුවාගෙන්/ සහකාරියගෙන් බලාපොරොත්තු වන ගුණාංග, පවුල් සබඳතා, විවාහ උත්සව, ආහාර, රූපලාවණ්‍ය, නිවාස සැලසුම්, ගෘහ භාණ්ඩ, අධ්‍යාපනය, පෝෂණය වැනි සියල්ල පිළිබඳ අද මිනිසුන්ගේ ආකල්ප මෙහෙයවනු ලබන්නේ ජන මාධ්‍ය විසිනි. වර්තමාන සමාජදේහයේ හරස්කඩක් කපා බැලූ විට සමාජය කොතරම් මාධ්‍ය සංස්කෘතිය විසින් රෝගී කර ඇත්දැයි වටහාගත හැකිය.

සමාජ සාරධර්ම බිඳවැටීමට ලක් වීම මාධ්‍ය සංස්කෘතියේ බරපතළම ඛේදවාචකයයි. අතීතයේ පැවැති ගුණගරුක සහජීවනයෙන් යුත් සමාජය වෙනුවට ටෙලි නාට්‍යවල පෙන්වනු ලබන බිඳවැටුණු සමාජ සබඳතා සහිත හුදෙකලා සහ ඉක්මන් විසඳුම් සොයන සමාජයක් නිර්මාණය කිරීමේ වගකීම මාධ්‍ය සංස්කෘතිය භාර ගත යුතුය.

දිනකට මහමඟ අනතුරුවලින් අට දෙනකු මිය යන අතර, මිනී මැරුම් විශාල ලෙස වර්ධනය වේ. ස්ත්‍රී දුෂණ සහ ළමා අපචාර, මත්ද්‍රව්‍ය භාවිතය ඉහළ යෑමට වක්‍රව මාධ්‍ය සංස්කෘතිය වග කිව යුතුය.

සමාජ බිඳවැටීම් අබියස එය නිවැරදි කිරීම වෙනුවෙන් කිසිවක් නොකිරීමම මාධ්‍ය කරන අපරාධයකි. මක් නිසාද යත්: මාධ්‍යයේ වගකීම තොරතුරු වාර්තා කිරීමට එහා ගිය එකක් වන හෙයිනි.

වාර්තා කිරීමේදී ප්‍රමුඛත්වය දෙන ප්‍රවෘත්ති සහ වැඩසටහන්වල බලපෑම සහ අවශ්‍යතාව පිළිබඳ ගැටලු ඇත. සමහර අත්‍යවශ්‍ය කාලීන ගැටලු කෙරෙහි අවධානය යොමු කර සමාජ මතවාදය සකස් කරනු වෙනුවට ජනප්‍රිය ප්‍රවෘත්ති සහ අවිචාරවත් වැඩසටහන් ජනප්‍රිය කරවීමත්, ජනප්‍රිය වැඩසටහන් ලබාදීමත් නිසා මාධ්‍ය අද දවසේ හරසුන් සංස්කෘතියක් නිර්මා‍ණය කරමින් සිටී. 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.