කේම­දා­ස­යන් මගේ නිර්මාණ දිවිය වෙනස් කළා | සිළුමිණ

කේම­දා­ස­යන් මගේ නිර්මාණ දිවිය වෙනස් කළා

ගී පද රචකයකු, නිවේදකයකු ලෙස දශක ගණනක සිට ලාංකේය රසික රසිකාවියන්ගේ හද බැඳගත් කලාකරුවෙකි නිලාර් එන්.කාසිම්. අපේ රටේ ජනප්‍රිය ගීත රැසකම පදරචකයා ලෙසින් කාගෙත් ආදරය දිනු මේ ආදරණීය කලාකරුවා මෙවර අමතක නොවන මතක විශේෂාංගයට එක්වූයේ ඉතාමත් ළෙන්ගතුකමකින්. කලාකරුවකු ලෙසත් යුතුකම් ඉටුකරන පියකු ලෙසත් ගෙවුණු ජීවිතයේ අමතක නොවන මතකයන් අප සමග මෙසේ පැවැසුවා.

 කවි සිතුවිලි නිසඳැස් කළා

මගේ ගම මාතර. පාසල් ගියෙත් මාතර. 1980 දශකය කියන්නේ මගේ ජීවිතයේ විශේෂිත සිදුවීම් රැසකට මුහුණදුන් සන්ධිස්ථාන වු කාලපරිච්ඡේදයක්. ඒ කාලය ගෙවුණේ හරිම සතුටින්. මම මුස්ලිම් ජාතිකයෙක් වුවත් පොඩිකාලෙ සිටම සිංහල භාෂාව කතාකිරීමටත්, ලිවීමටත් ආසා කළා. ඒ නිසාමයි සිංහල මාධ්‍යයෙන් අධ්‍යාපනය හදාරන්න මගේ දෙමවුපියන් මාව යොමුකරන්න ඇත්තේ.කුඩා කාලෙ පටන්ම පහළවන කවි සිතුවිලි පුංචි නිසඳැස් බවට හරවන්න ආස කළා.එවැනි කවි පංතියක් වරක් නවලිය පත්තරේ කවි පිටුවක පලවුණා. පුෂ්පා ඉලංගතිලක මහත්මිය තමයි එවකට එම කවි පිටුව සංස්කරණය කළේ. දෙනගම සිරිවර්ධන මහත්මයාත් මගේ කවි පංති පලකර මට අතදුන්නා.පසු කාලීනව කොතරම් ගීත ලියුවත් පළමුවරට පුවත්පතක පලවු එමකවි පංතිය අදටත් මතකයේ තිබෙනවා. ඉන් පසුව විද්යුත් මාධ්‍යයකින් මගේ නිර්මාණයක් මුල්වරට ප්‍රචාරය වුවේ ගුවන්විදුලියෙන්.

එදා අද වගේ රූපවාහිනිය ප්‍රබල මාධ්‍යයක්ව තිබුණේ නෑ. 80 දශකය එනම් මම උසස්පෙළ අධ්‍යාපනය හදාරන කාලයේ,අපේ ගෙදරට රූපවාහිනී යන්ත්‍රයක් තිබුණෙ නෑ. තිබුණේ පොඩි ගුවන්විදුලි යන්ත්‍රයක්. ඒකත් කුඩා පොකැට් රේඩියෝවක්.මට මතකයි මා ලියු කෙටි පිටපතක් මුලින්ම ගුවන්විදුලියෙන් ප්‍රචාරය වු දවස.ඒ සවස 7.00ට විකාශය කළ සැඳැල්ල වැඩසටහනින් . එදා අපේ ගෙදර හැමෝටම සතුටුයි.මට මතකයි රේඩියෝවේ උපරිම ශබ්දය වැඩිකළා වටේටම ඇසෙන්න.

විශ්වවිද්‍යාල යන්න වරම්

සෑම ළමයකුගේම පාසල් යන අවධියේ තිබෙන ලොකුම ‍බලාපොරොත්තුවක් තමයි සරසවි වරම් ලබන එක. මටත් ඒ හීනය පුංචි කාලෙ පටන්ම තදින්ම කා වැදී තිබුණා. විශේෂයෙන් සිංහල භාෂාව මැනවින් ප්‍රගුණකළ හොඳ ලේඛකයෙක් වීම මගේ ජීවිතයේ බලාපොරොත්තුවක්. උසස් පෙළ සමත්ව විශ්ව විද්‍යාල වරම් ලබන්න සුදුසුකම් ලැබූ බව දැනගත් දවස ජීවිතයේ වඩාත්ම සතුටු වූ දවසක්. සිංහල භාෂාවට දක්වන කැමැත්ත නිසාම සිංහල වඩාත් හොඳින් අධ්‍යනයකළ හැකි විශ්වවිද්‍යාලයක් ලෙස මම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය තෝරා ගත්තා. විශේෂයෙන්ම සුනිල් ආරියරත්නයන් එහි සිටින නිසා. මොකද එතුමාගේ ගී පද සංකල්පනාවන්ට මා බොහොම ප්‍රියකරනවා. ශාස්ත්‍රවේදී, ශාස්ත්‍රපති උපාධි දෙකම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ලබා ගත්තේ සිංහල විෂය සම්බන්ධයෙන්.මම මුස්ලිම් ජාතිකයෙක් වී මේ තරම්ම සිංහලට භාෂාවට දක්ෂ වීමට තවත් හේතුවක් වුයේ උ.පෙළ සිංහල විෂය හැදෑරූ රංජිත් ප්‍රනාන්දු ගුරුතුමාගේ මගපෙන්වීම. එතුමාගේ සිංහල භාෂාව ඉගැන්වීමේ දක්ෂතාව නිසාම සිසුන් බොහොමයක් සිංහල භාෂාව හැදෑරුවා.ඒ සෑම ළමයකුම හොඳ ප්‍රතිඵල අත්කර ගත්තා. එවැනි ගුරුවරු කවදාවත් අපේ ජීවිතවලට අමතකවන්නේ නෑ.

දෙමව්පියන් නැති ලොව පාළුයි

මගේ ජීවිතයේ අදටත් දුක්වන ලොකුම සිදුවීම තමයි අම්මා සහ තාත්තාගේ වියෝව. තාත්තා මා විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයකුව සිටින කාලයේ රෝගීව මියගියා. අම්මා පසුකාලයේ දී මිය ගියා. මට තිබෙන ලොකුම දුක මගේ තාත්තාට මා ලබපු ජයග්‍රහණ දැකගන්න ජීවත්වෙන්න වාසනාව නොලැබුන එක. අද ඔහු සිටියානම් මා පැමිණ සිටින ගමන්මඟ ගැන බොහොමයක් සතුටුවෙයි.

ප්‍රථම ගීතයට ඉහළ ප්‍රතිචාර

90 දශකයේ මා විසින් රචනාකළ පළමු ගීතය අපේ රටේ විශිෂ්ට ගායිකාවක් ගායනා කළ දිනය කවදාවත් අමතක නොවන සිදුවීමක්. මාලනි බුලත්සිංහලයන්ගේ සුසුමක රාවය කියන කැසට් පටයට තමයි එම ගීතය ගායනය කළේ.එයට රසිකයන්ගෙන් හොඳ ප්‍රතිචාර ලැබුණා.'සමනළුන් රොදක් නිල් ගොයමට වියන් බදී 'එම ගීතයයි. ඊට පසුකාලයේදි කෙතරම් ගීත රචනා කළත් අදත් එම ගීතයේ පදවැල් හොඳින් මතකයි.එම කැසට් පටයට එවු ගීත සියගණනක් අතරින් රඹුකන සිද්ධාර්ථ හාමුදුරුවන් මගේ ගීතය තෝරාගෙන තිබුණා. පසුකාලෙක ආචාර්ය පේමසිරි ‍කේමදාසයන්ගේ හමුවීමත් ජීවිතයේ අමතකනොවන සිදුවීමක්. ඒ ප්‍රදීපා ධර්මදාස මහත්මියගේ දූවිල්ලෙන් සැදුන ලියේ කැසට් පටයට ඉරනවිල වේදනාව කියන ගීතය රචනාකිරීමේදි. එම ගීතය විකල්ප දහරාවෙන් ලියැවුණු ගීතයක්. එහි සංගීතය සැපයීමට ආචාර්ය කේමදාසයන් පැමිණ සිටියා. ඒ දැන හඳුනාගැනීමත් සමග මගේ සංගීත දිවියම වෙනස්වුණා. ඉන් පසුව මා රචනාකළ ගීත සඳහා ගීතමය ආකෘතිය ගොඩනගා ගැනීමට එතුමාගෙන් විශාල සහයෝගයක් ලැබුණා. කේමදාසයන් සතු ගීත ආකෘතිමය කරුණු කාරණා මගින් මා හට කාව්‍යකරණය පිළිබඳව විශාල දැනුමක් ලබාගැනීමට හැකිවුණා.

මුල්ම ගී එකතුව දොරට වැඩියා

1999 ඔක්තොම්බර් 21 මගේ මුල්ම ගී එකතුව දොරට වැඩි දිනය. 'පැහැසර අරුණක 'යනුවෙන් තමයි පොත නම්කර තිබුණේ. ඒ දිනයේදීම විහඟ ගීතය සංයුක්ත තැටියද ජනගතකළා. ඒ කොළඹ මහජන පුස්තකාලයේදි. මට මතකයි එම උත්සවයට වික්ටර් රත්නායක,සුනිල් ආරියරත්න, ජැක්සන් ඇන්තනී වැනි කලාකරුවන් පැමිණ සිටියා.

අන්තර්ජාතික සම්මානයක්

කුඩා කාලයේ පටන්ම මාධ්‍ය ක්ෂේත්‍රයේ රැකියාවක නියැළීමට ලොකු ආසාවක් තිබුණා. ඒ නිසාම විශ්වවිද්‍යාලයේ ඉගෙනගන්නා කාලයේ සිටම ජාතික රූපවාහිනියට සම්බන්ධව වැඩ කළා. ඒ එහි වැඩසටහන් අධ්‍යක්ෂ චන්ද්‍රසෝම විතානගේ මහතාගේ ආරාධනයට. පසු කාලෙක එහි සභාපතිවරයා ආරධනාකරනවා පූර්ණකාලීනව රූපවාහිනියට සම්බන්ධවන්න කියා. එදා මෙදාතුර වසර 23ක පමණ කාලයක් ජාතික රූපවාහිනියේ නිවේදකයකු ලෙස සේවය කරනවා. පසුගිය 2007 වසරේ බුන්කා අන්තර්ජාතික සම්මානයද ලැබුණා. ලංකාවට එම සම්මානය හිමි වු පිරිස සිටින්නේ අතළොස්සයි. ඒ අතරින් කෙනෙක් වීමට වාසනාව ලැබීම ගැන නිහතමානී සතුටක් තිබෙනවා.

ආශා බෝස්ලෙට ගීතයක් ලියුවා

වසර 2006 කිරිකෝඩු හිතට ප්‍රසංගය පැවැත්වු වසර. ඒ හා සමගාමීව කිරි කෝඩු හිතට ගීත එකතුව ජනගත වෙනවා. ගායක ගායිකාවන් 15කට අධික පිරිසක් මේ ප්‍රසංගයට සහභාගිවනවා. මගේ ගීත ගායනාකළ ගායක ගායිකාවන්, රංගන ශිල්පීන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වු වර්ණවත් ප්‍රසංගයක් එය. එම අවස්ථාව අදටත් මතක්වන විට බොහෝමත් සතුටක් දැනෙනවා. පසුකාලයේදි භාතිය, සංතුෂ් ආශා බෝස්ලෙ සමග ගායනාකරන 'දේදුන්න සේදි'ගීතයේ පද වැල් රචනය කිරීමත් සුවිශේෂියි. මොකද මෙයට පෙර ආනන්ද සමරකෝන් මහතා ලතා මංගේෂ්කාර්ට ලියු ගීතයක් ගායනාකිරීමෙන් පසුව මා තමයි ලතා මංගේෂ්කාර් හා සමාන ආශා බෝස්ලෙට ගීතයක් රචනා කරන්නේ. එය මට මගේ ජීවිතයට ලැබුණු විශේෂ අවස්ථාවක් ලෙසයි දකින්නේ. 'යාල් පානමෙන් පිපිච්ච පිච්චමල් ගොතා 'ගීතයත් රසිකයන් අතර වඩාත් ජනප්‍රියයි. මේ වන විට ගීත 600ක් පමණ පද රචනය කර තිබෙනවා. ඇත්තටම...ජීවිතේ ලබපු මේ වාසනාව ගැන පුදුම සතුටක් තිබෙන්නේ. එදා මෙදාතුර රසිකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර බොහොමයි. දරුවන් දෙදෙනකුගේ පියකු ලෙස බිරිඳත් සමග සාමකාමී ජීවිතයක් ගතකරමින් ජීවත්වනවා. 

 

Comments