තරු තොරතුරු | සිළුමිණ

තරු තොරතුරු

සුදු මල් පොකුරක් දෝත දරා ප්‍රින්ස් නිහඬවම සමුගත්තේය

අප අතරින් වියෝ වූ ජනප්‍රිය ගායන ශිල්පී ප්‍රින්ස් උදය ප්‍රියන්තගේ අවසන් කටයුතු පසුගිය දා ඇල්පිටිය කරන්දෙනිය නවදගල සිරිපුර දී සිදු කෙරුණේ සුවහසක් රසිකයන්ගේ සෝ සුසුම් මධ්‍යයේයි. කලක් රෝගාතුරව සිටි ප්‍රින්ස් මිය යන විට හතළිස් හය වැනි වියේ පසුවිය. තම හතළිස් හත් වැනි උපන්දින සැමැරුමට දින කිහිපයක් ඉතිරිව තිබිය දී මෙලොවින් සමුගත් ප්‍රින්ස් අනූව දශකයේ මෙරට රසිකරසිකාවියන් අතර නොමැකෙන මතකයක් රැන්දූ ගායකයෙක් වීමට වාසනාවන්ත විය.

එහෙත් ඉරණම වෙනස්කරන්ට කිසිවෙකුටත් නොහැකි බව පසක් කරමින් ප්‍රින්ස් අකාලයේ මිය යන්නේ ඔහු දකින රසික හදවත් කම්පනයට පත්කරවමිනි. අසූව දශකයේ බෙල්වුඩ් සෞන්දර්ය නිකේතනයට ප්‍රින්ස් එක්වන්නේ සංගීතය හැදෑරීම සඳහායි. දක්ෂ වයලින් වාදකයකු මෙන්ම කීබෝඩ් වාදන ශිල්පියෙකු ලෙස කටයුතු කරන ප්‍රින්ස් පසුව ගායකයකු ලෙස කළඑළි බසින්නේ ‘සඳ කුමාරියක් දීගෙක යනවා‘ ගීතය ඇතුළත් ‘සඳ කුමාරියක්‘ කැසට් පටය නිකුත් කරමිනි. එය ඔහුගේ ජනප්‍රියත්වය ඉහළට ඔසවා තබන්නට සමත් වූ ගීතයකි. එතැන් පටන් ප්‍රසංග වේදිකාවේ මෙන්ම කැසට් ලෝකයේද වාර්තා පිට වාර්තා තබන්නට සමත් වූ එක් ගායකයකු ලෙස ප්‍රින්ස් සංගීත ඉතිහාසයට එක් වේ. ඔහු ගැයූ ගීත සංගීතලෝලින් අතර ජනප්‍රියත්වයට පත් වූ අතර පසුකලෙක ඔහුගේ රෝගාතුර වීමත් සමඟ තරමක් ඔහු ප්‍රසංග වේදිකාවෙන් දුරස් විය. 2014 වසරේ දී විශ්‍රාමික විදුහල්පතිනියක වු තම මව සමඟ ඩුබායි ප්‍රසංගයකට ගොස් සිටිය දී එහි දී තම මවගේ අභාවය සිදු වීමෙන් අනතුරුව ප්‍රින්ස් ද දැඩි කම්පන තත්තවයකට පත් වූ අතර එතැන් පටන් ඔහු රෝගීවන්නට විය. දැඩි සේ මවට ආදරය කළ මේ ගායකයා තනිකඩ දිවියක් ගෙවූ අතර ඔහුගේ නැගණිය ප්‍රින්ස් රෝගාතුරව සිටිය දී සියලු දුක් උහුලමින් ඔහු මිය යනතුරුමඇප උපස්ථාන කරමින් ප්‍රින්ස්ව රැක බලා ගත්තීය. ‘සඳ රේණු වෑහෙනා‘, සුදුමල් පොකුරක්, ඔබ පෑ පෙම් සිනා . වැනි රසික සිත් ඇදබැඳ තබාගත් ගී රැසක හිමිකරු ප්‍රින්ස් ගායකයාණෙනි ඔබට නිවන්සුව ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු.


අධ්‍යක්ෂණයෙන් රංගනයට

හැමදාමත් කලාවට අලුත් අලුත් තරු පායනවා. නළු නළියන් අධ්‍යක්ෂවරුන් බවටත් නිෂ්පාදකවරුන් බවටත් පත්වෙනවා. ඒත් පසුගිය දිනෙක ජනප්‍රිය අධ්‍යක්ෂවරයෙක් නළුවෙක් වුණු පුවතකුත් මේ සියල්ල අතරේ අපිට දැන ගන්නට ලැබුණා. මේ ගැන මේ තරුණ අධ්‍යක්ෂවරයාගෙන්ම විමසා බලන්න ඕන කියල අපිට හිතුණා. ඔහු තමයි හර්ෂ උඩකන්ද ‘සිරිතුංග පෙරේරා අධ්‍යක්ෂණය කළ ‘පෝරිසාදයා‘ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් රඟ දක්වන්නට මට අවස්ථාව ලැබුණා. මෙතක් කලක් චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් විදිහට කටයුතු කරපු මට රංගනය අලුත්ම අත්දැකීමක් වුණා. මේ චිත්‍රපටයේ වගේම මගේ රඟපෑමේ විශේෂ දෙයක් මම දකිනවා. ඒ තමයි මම සහාය අධ්‍යක්ෂවරයෙක් ලෙස කලක්ම වැඩ කළේ සිරිතුංග පෙරේරා යටතේ. ඔහුම තමයි පළමුවරට මාව නළුවෙක් කරන්නෙත්. සිරිතුංග පෙරේරා කිව්වේ ඔහු ස්ක්‍රිප්ට් එක ලියන කොට මගේ නමින්ම චරිතයක් මා වෙනුවෙන් රචනා කළ බවයි. ඊට අමතරව මම මේ චිත්‍රපටයේ තාක්ෂණික අධ්‍යක්ෂවරයා ලෙසත් කටයුත කළා. මගේ ප්‍රේක්ෂකයන්ට ඉදිරියේ දී මගේ චිත්‍රපට අධ්‍යක්ෂණයන් වගේම රංගනයත් දැක ගන්නට ලැබේවි.

 


උපන්දින සැමරුම

නළු නිළියන් කියන්නේ වයසට නොයන පිරිසක්. එය තමයි ඔවුනට කලාවෙන් ලබා දී ඇති මහඟු දායාදය. ඕනෑම මොහොතක ඕනෑම චරිතයක් රඟ දක්වන්නට ඔවුනට හැකි නිසයි ඒ. අපේ ආදරණීය කලා කරුවෙක් පසුගිය දිනයක තමන්ගේ උපන්දිනය සැමැරුවා. ඒ ජේෂ්ඨ රංගනවේදියෙකු වන ඩග්ලස් රණසිංහ. වේදිකාව , සිනමාව, පුංචිතිරය , ගුවන්විදුලිය ජයගත් මේ කලාකරුවා තම නෑදෑ හිතමිතුරන් සමඟ තම උපන්දින සාදය සමරන්නට ලැබීම ගැන අපිත් එක්ක කතා කළා. ‘ ඇත්තටම එදා හරිම සතුටු දවසක්. සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයට රැස් වෙලා ඉතාම චාම් ලෙස මාත් එක්ක මගේ උපන්දිනය සමරන්නට එකතු වූ හැදෙනාටම පළමුව මම ස්තූතිවන්ත වෙනවා. සාමාන්‍ය යෙන් මම ඉඳල හිටල තමයි මගේ උපන්දිනය සමරන්නේ. මෙයත් මම නොහිතපු විදිහට මගේ නෑදෑයින් මිතුරන් හිතවතුන් එක්කාසු වෙලා හුඟ දවසක ඉඳන් සැලැසුම් කරගෙන හිටපු දෙයක්. එත් නොහිතපු වෙලාවක රටේ පිරිසක් විපතට පත් වුණා. එවන් වෙලාවක උපන්දින සාද පවත්වන්න මගේ හිතේ ආසාවක් තිබුණෙ නැහැ. උපන්දිනය පවත්වන්නට සැලැසුම් කරගෙන හිටපු තැන් පවා මේ හේතුවෙන් මගේ හිතවතුන් වෙනස් කළා. ඉතාම චාම්ව සුළුවෙන් ඔවුන් උපන්දින සාදය සමරන්න කටයුතු කළා.

 


ඇයත් සචිනි මමත් සචිනි

නිළියක් නිළියකගේ චරිතයකින් ප්‍රේක්ෂකයන් අතරට පැමිණෙනවා කියන එක තරමක් විරල සිදු වීමක්. මේ විදිහට නිළි චරිතයක් රඟපාන්න සිදු වුණු නිළිය තමයි සචිනි අයේන්ද්‍රා. ඒ ‘රෙඩ් ‘චිත්‍රපටයට. මේ ගැන සචිනි අපට කිවිවේ මේ වගේ කතාවක්. ‘ කාෙලකට පස්සේ හරිම ආසාවෙන් රඟපාන චරිතයක් මෙය. මගේ නමින්ම තමයි චරිතය ලියැවී ඇත්තේ. මමත් සචිනි. ඇයත් සචිනි. මේ චරිතයට මට කතා කරද්දී නිෂ්පාදක මණ්ඩලය කිව්වෙත් පුදුම කතාවක්. මේ චරිතය පිටපතේ සචිනි නමින් ලිය වුණත් ඔවුන් මාවම මේ චරිතයට තෝරා ගන්න ඉඳල නැහැ. නමුත් ඉතින් ඒ චරිතය මට රඟපාන්න ලැබුණා. ආදරේ වෙනුවෙන් කැපවෙන චරිතයක්. ආදරේ නිසාම කෝමා තත්තවයට පත්වෙන අහිංසක යුවතියක් ගැන කිය­ැවෙන මේ චරිතය මගේ ප්‍රේක්ෂකයනුත් යම් තිගැස්මකට ලක් කරාවි.

Comments