BOLLYWOOD | සිළුමිණ

BOLLYWOOD

කරීනා තරබාරුවට වැට බඳියි

සිරුර තරබාරු කරගත්ත කිසිම නිළියකට චිත්‍රපටවල ආකර්ෂණීය චරිත නිරූපණය කරන්න බැහැ. විශේෂයෙන්ම පෙම්වතියන් ලෙස රඟන්න බැහැ. සුරූපි නිළි කරීනා කපූර්, තමන්ගේ සිරුරේ බර කිලෝග්‍රෑම් 19කින් අඩු කරගන්න මේ දිනවල වෑයම් කරන්නෙ ඒ නිසයි.

කරීනා, පසුගිය දෙසැම්බර් මාසයේදී මවු පදවිය ලැබූ පසුව වෛද්‍ය උපදෙස් ලබාගෙන කායවර්ධන මධ්‍යස්ථානයකට ගොස් ව්‍යායාම් කළා. කුලුඳුල් පුතු, තයිමූර්ගේ වැඩ කටයුතුවල යෙදීමෙන් පසුවයි, ඇය එලෙස ව්‍යායාම්වල නිරත වුණේ. නොකඩවාම සති 13ක් කායවර්ධන මධ්‍යස්ථානයේ ව්‍යායාම් කළ නිසා ඇගේ තරබාරුකම ටිකෙන් ටික අඩුවෙලා. මේ වන විට කරීනාගේ සිරුරේ බර කිලෝ 16කින් අඩුවී ඇති බවයි පැවසෙන්නේ. කරීනා පවසන්නේ මේ සති 12ක කාලය තුළ සිරුර තරබාරු නොවන පරිදි ආහාර ගනිමින් යෝග ව්‍යායාම්වල ද යෙදුණු බවයි.

කරීනා මෙලෙස බිලිඳු පුතාගේ වැඩ කටයුතු සහ ව්‍යායාම්වල යෙදී සිටිමින් කාර්ය බහුලව සිටියත් තවත් බිලිඳු පුතකුගේ පළමුවැනි උපන් දින උත්සවයට සහභාගි වීමට අමතක කළේ නැහැ. ඒ. ජනප්‍රිය නළු තුෂාර් කපූර්ගේ පුතු ලක්ෂ්‍යාගේ පළමු උපන් දිනයටයි. ඒ වෙනුවෙන් තයිමූර් පුංචි පුතුවත් ලැහැස්ති කර ගත් කරීනා, උපන් දින සාදයට එක්වුණා. එදා උපන් දින කුමරා වෙතට විතරක් නොවෙයි, පුංචි නවාබ් තයිමූර් අලි ඛාන් වෙතටත් කාගේත් නෙත් යොමු වුණා. පෞද්ගලික ජීවිතයේ මේ අයුරින් කාර්ය බහුල වුණත් ළඟදීම ‘වීර් ඩි වෙඩින්’ නම් වූ අලුත්ම චිත්‍රපටයේ රූගත කිරීම්වලට සහභාගි වීමටත් කරීනා බලාපොරොත්තු වෙනවා. තමන්ගේ තරබාරුව අඩු කරගන්නට ඇය උත්සාහ ගැනීමට ප්‍රධාන හේතුව එයයි.

‘මෝඩ ප්‍රශ්නයකට’ කේන්ති ගිහින්

බොලිවුඩ්පුරයට සීමා නොවූ සුපිරි නිළිය, ප්‍රියංකා චොප්රා ගැන මේ දිනවල සඳහන් කළොත් ඒ සමඟම ඇදී එන්නේ ‘බේ වොච්’ හොලිවුඩ් චිත්‍රපටයයි. මේ චිත්‍රපටය ඉන්දියාවේ තිරගත කිරීම වෙනුවෙන් පැවැත්වුණු ප්‍රවර්ධන වැඩ සටහන්වලට ප්‍රියංකා ද එක්වුණා.

ඒ අතරතුරදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ව හමුවීමේ අවස්ථාව ද ඇයට උදාවුණා. එම හමුවේදී ගන්නා ලද ඡායාරූපයක් ඇය තම ට්විටර් පිටුවටත් ඇතුළත් කර තිබුණා. ඒ මොහොතේ ඇය හැඳ සිටියේ මල් වැටුණු ලස්සන ඇඳුමක්. ඒ වුණත් එය දුටු අන්තර්ජාලයේ සැරිසරන්නන්ගෙන් එල්ල වුණේ සුබවාදී ප්‍රතිචාර නොවෙයි. ඇතැම් අය ප්‍රියංකාගේ ඇඳුම අවිනීත එකක් ලෙස හැඳින්වූවා. තවත් අය කීවේ ආචාර සම්පන්න නොවන එවැනි ඇඳුමක් හැඳගෙන අගමැතිවරයා හමුවීම සුදුසු නොවන බවයි.

ප්‍රියංකා පසුගියදා දාදාසාහෙබ් පාල්කේ නම් වූ ඉහළම ගෞරව සම්මානයෙන් පිදුම් ලැබුවා. මේ සම්මානය පිරිනැමීම සඳහා සංවිධායකවරු ප්‍රියංකා වෙනුවෙන්ම විශේෂ වර්ගීකරණයක් යොදා ගැනීම දුර්ලභ සිදුවීමක්. කෙසේ වෙතත්, ප්‍රියංකා වෙනුවෙන් මේ සම්මානය ලබා ගත්තේ ඇගේ මව වන මධු චොප්රා මහත්මියයි. ඉන් පසුව ඇය මාධ්‍යවේදීන් කිහිප දෙනකුගේ ප්‍රශ්නයකට උත්තර දුන්නේ තරමක නොපහන් ස්වරයකින්. ඔවුන් ඇසුවේ ඉන්දීය අගමැතිවරයා හමුවූ අවස්ථාවේදී ප්‍රියංකා හැඳ සිටි ඇඳුම ගැනයි. “ඇයි ඔයගොල්ලො මේ වගේ මෝඩ ප්‍රශ්න අහන්නෙ? ඉන්දියාවෙ අගමැතිතුමාව මුණගැසීම කොයිතරම් වැදගත් අවස්ථාවක් ද? ඇයි අහන්න බැරි, ප්‍රියංකා අගමැතිතුමාත් එක්ක සාකච්ඡා කළේ මොනවද කියලා? ඇත්තටම එදා ප්‍රියංකා, අගමැතිතුමා එක්ක වත්මන් සිදුවීම් ගැනයි කතාබහ කළේ. මම මේ ගැන අලුත් දෙයක් කියන්න ඕනෙ නැහැ. ප්‍රියංකා ඒකට උත්තර ට්විටර් පිටුවෙන් දීලා තියෙනවා. සමහරු අහන මෝඩ ප්‍රශ්නවලින් අද ඉන්න තරුණ අය කලබල වෙන්නෙ නැති බවත් කියන්න ඕනෙ.” ප්‍රියංකාගේ මව එලෙස කියද්දී කවුරුත් නිශ්ශබ්ද වුණා.

රිටිෂ් - ජෙනෙලියා නිර්මාංශ කුලයට

මේ පුවත, බිරිය නිසා නිර්මාංශ ආහාර ගන්නා අයකු බවට පත්වූ ජනප්‍රිය නළුවෙකු ගැනයි. ඔහු තමයි, රිටීෂ් දේශ්මුඛ්. කුඩා කාලයේ පටන්ම ඔහු, තම ප්‍රධාන ආහාරවේල්වලදී මස් මාළු අනුභව කිරීමට හුරුපුරුදුව සිටියා. රිටිෂ්ගේ ආදරණීය බිරිය, ජනප්‍රිය නිළි ජෙනෙලියා ඩි සූසා උත්සාහ ගත්තේ ඔහුව නිර්මාංශ ආහාර ගන්නා අයකු බවට පරිවර්තනය කරන්නයි. ජෙනෙලියාත් මාංශමය ආහාර ගැනීමට කැමැත්තක් දැක්වූවත්, නිර්මාංශ ප්‍රතිපත්තිය අනුගමනය කරන සුපිරි නළු නිළියන් කිහිප දෙනකුගේ අඩි පාරේ ගමන් කරන්නට පුරුදු වෙලා. රිටිෂ්වත් ඒ පිළිවෙතට යොමු කරවන්නට ඇය උත්සාහ ගත්තේ ඒ නිසයි.

රිටිෂ්ට කලින් තමන් නිර්මාංශ විය යුතු යැයි සිතූ ජෙනෙලියා, එළවළු පමණක් ප්‍රධාන ආහාරයට එකතු කර ගත්තා. දින කිහිපයක් ගතවෙද්දී රිටිෂ් ද තම බිරියගේ ප්‍රතිපත්තිය අනුගමනය කරන්නට පුරුදු වුණා. ඒ විතරක් නොවෙයි, සෑම උදෑසනකම අමු එළවළුවලින් සාදාගත් යුෂ වීදුරුවක් පානය කරන්නටත් රිටිෂ් අතපසු කරන්නේ නැතිලු. රාත්‍රී ආහාරයට කලින් එළවළු සුප් එකක් පානය කරන්නටත් ඔහු උනන්දු වන බවයි ජෙනෙලියා පැවසුවේ. රිටිෂ් - ජෙනෙලියා යුවළ මේ අයුරින් නිර්මාංශ පිළිවෙතට යොමු වන්නට බලපෑ සුපිරි නළු නිළි පිරිස තමයි, අමිතාබ් භච්චන්, ශාහිඩ් කපුර්, කන්ගනා රනවුත් සහ අනුශ්කා ශර්මා. 

Comments

පිටු