අහස යට... | සිළුමිණ

අහස යට...

 කුරුණෑගලට කෝච්චිය ආපු ගමන්ම රාක්කවල දාල තියෙන බෑග් අතට අරගෙන ලෑස්ති වුණාට, අපි බහින්නෙ ඊළගට නවත්වන වැල්ලව ස්ටේසමේදී.

කෝච්චියෙන් එළියට පැනපු ගමන්ම බලන්නෙ ජයසිංහ බක්කි කරත්තෙ නවත්තල තියෙන්නෙ කොහෙද කියල, කට පුරෝල බුලත් විටක් හපන ගමන්ම ජයසිංහ අපේ බෑග් ඔක්කොම කරත්තෙ පටෝගන්නව, බඩු පටෝපුවම බක්කි කරත්තෙ ඉඩ තියෙන්නෙ තව දෙන්නෙකුට විතර වුණත් මාරුවෙන් මාරුවට කරත්තේ නැගල දැදුරු ඔය පැත්තට ගිහිල්ල, එතනින් දකුණු පැත්තට හැරිල එක යායට පේන පොල් වතු මැද්දෙන් ගිහිල්ල ආයිත් දකුණු අත පැත්තට හැරිල ලොකු ගේට්ටු කණු දෙක ඉස්සරහ බක්කි කරත්තෙ නවත්තනව.

කවකටුවෙන් රවුමක් ඇඳල ඒකට ලස්සන පුංචි ඇස් දෙකක් ඇන්ද වගේ වටකුරු මූණක් තියෙන පුංචි අම්ම ඔසරියෙ පොටෙන් මුහුණ පිහ දදා පෙර මගට ඇවිත් අපිව පිළිගන්නව. එයාගෙ ඇස් කෙරවලේ පුංචි කදුළු බින්දුවක් පිරෙනව ඒ සතුට වැඩි කමට වෙන්ඩ ඇති.

ඉද්ද ගැහුව වගේ කෙලින් හිටගෙන බාප්ප එන පිරිස දිහා බලාගෙන ආඩම්බර හිනාවක් පානව. ගමන් මහන්සියත් එක්ක වැටුණ වැටුණ තැන්වල හැමෝම නිදාගෙන පහුවෙනිද ඇහැ ඇහැරෙද්දි පුංචි අම්මගෙ පැත්තෙන් අපි වගේම බාප්පගෙ පවුල්වල පොඩි උන් ඔක්කොම ස්කෝලෙ නිවාඩුවට ඇවිත් ගෙදර පිරිල ඉතිරිල යනව.

වැව පැත්තට යෑම, ගස් නැගීම වගේ බාප්පගෙ වාරණ නියෝග වලට ඇහුම් කන්දෙන පිරිස පොල්වත්ත මැද්දෙන් ගිහිල්ල කමත ළඟ මැඩුවන් ගොඩේ පිණුම් ගහනව, සමහරු එතන තියෙන පේර ගහේ කොළ විතරක් තියල අනිත් ඔක්කොම කඩාගෙන සාක්කුවල පුරව ගන්නව,

“ගම්මුලෑදෑනි” කියල බෝඩි ලෑල්ල එල්ලපු මහ ගෙදර ඉස්සරහ තියෙන එයාගෙ පුංචි කාමරේ හාන්සිපුටුවෙ දිග ඇදිල ඉන්න කිරිඅත්ත නැත්නම් ගමේ වෙදමහත්තය හැමෝගෙම විස්තර අහන අතරෙදි මම එයාගෙ බෙහෙත් කාමරේට රිංගල වැල් මී කෑල්ලක් කටේ ඔබා ගන්නව. ඊට පස්සෙ ජයසිංහව හරි උක්කුවා හරි අල්ලගෙන දුඹුරු පාට සුදු පුල්ලි හරකව කරත්තෙ බැදගෙන කට්ටිය ඔක්කොම නැගල පොල් රුප්පාව ඇතුලෙ පැද්දි පැද්දි කරත්තෙ නැගල යනව. මාරුවෙන් මාරුවට බෝල් ලීය උඩට නැගල තොන්ලණුව අතට අරගත්තම දැන් කාලේ ලැම්බොගිනියක් එළවනව වගේ ආඩම්බරයක් දැනෙනව. ඊට පස්සෙ වෙල් ඉපනැල්ලෙ එල්ලෙ ගහන්න පටන් ගන්නව. ගෑනු පිරිමි බේදයක් නැතුව පිල් බෙදාගන්නවා. හොඳටම හෙම්බත්වුණාම පෝලිම හැදිල පුංචි අම්මගෙ කුස්සියට දුවනව. ලොකු ඇට තියෙන හාලෙන් උයපු බතුත් එක්ක වැව් මාළුයි, කැකිරි හොදියි, කුරින්ඥන් මැල්ලුමයි, නැත්නම් කිරිකොස් හොද්දකුත් එක්ක බෙදපු බත් පිඟන් විස්සක් විතර පෙළට ලෑස්ති කරල පුංචි අම්ම බලාගෙන ඉන්නව. එකම කාල ගෝට්ටියකින් පිඟන් හිස් කරල ආයිත් මිදුලට බැහැල සෙල්ලම් පටන් ගන්නව. උළුවස්සට හේත්තුවෙලා බලාගෙන ඉන්න පුංචි අම්ම ආයිත් කුස්සිය පැත්තට යන්නෙ මේ සේනාවට රෑ කෑම හදන්න.

පුංචි අම්ම අසනීපවෙලා කොළඹ එක්කගෙන ඇවිත් කියල ආරන්චිවුණා. කොළඹ ජාතික රෝහලේ කෙරවලේ වාට්ටුවෙ මිටි තාප්පෙන් එහා පැත්තෙ තියෙන ඇදේ පුංචි අම්ම වැතිරිල ඉන්නව, එයාගෙ ලොකු දුවත් ඇඳ ළඟ. ඔසරි පොටෙන් පිහදාපු රවුම් මුහුණේ දීප්තිය මැකිල ගිහින්, හරි මැදින් දෙකට බෙදල තිබුණ කොණ්ඩෙ කැරළි ගැහිල අවුල්වෙලා. එ්ත් වෙනද වගේම මාව දැක්ක ගමන් එයාගෙ ඇස් කෙරවල කදුළු බින්දුවකින් පිරිල ගියා.

“අම්මට කැන්සර් එකක්, හොඳටම පැතිරිලාලු. මහරගමට ගෙනියන්න කියල ඩොක්ටර් කීව” පුංචි අම්මට නෑහෙන්න එහෙම කියල ලොකු දුව එයාගෙ ඇස්වල කදුළු පිහදාගත්ත.

“එයා හැමදාම අනුන්ගෙ වේදනා වෙනුවෙන් දුක්වින්ද, එයාගෙ වේදනාව අපිට කියන්නෙ නැතිව දරාගෙන හිටිය. නැත්නම් මෙච්චර දුර යන්න ඉස්සර බේර ගන්න තිබුන “ කියල දිග සුසුමක් හෙළුව.

“පුංචි අම්මෙ, ඔයාට දැන් ගොඩාක් හොඳයි. එලියට ගිහිල්ල තව පරීක්ෂණ වගයක් කරන්න තියෙනව , ඊට පස්සෙ ගෙදර යන්න පුළුවන් වේවි” මම කොට තාප්පෙන් එලිය බලාගෙන එහෙම කියුවෙ මහරගම යන බව නොකියයි.

එයා මගෙ කාර් ඒකේ ඉස්සරහ වම් පැත්තෙ සීට් එකේ දිග ඇදිල හාන්සිවෙලා. එයාගෙ දුවයි, මගෙ බිරිඳයි පිටිපස්සෙ .

මහරෝහල ඉස්සරහ පාරෙන් බොරැල්ල පැත්තට ඇවිත් කිරුළපනෙන්, නුගේගොඩ පැත්තට යනකම්ම කවුරුත් කතා කෙරුවෙ නැහැ.

“අපි මේ කොහෙටද යන්නෙ” පුංචි අම්ම හෙමින් ඇහුව.

මගෙ ඇස් කඳු­‍ෙළන් පිරිල තියෙන හින්ද උත්තරයක් නොදී පාර දිහා බලාගෙන කාර් එක ඉස්සරහට පැද්ද.

“අම්මගෙ තව රිපෝට් වගයක් ගන්න” දුව කෙටියෙන් උත්තර දුන්නා.

මහරගම වට රවුමෙන් දකුණට හරවද්දි සීට් එකේ කෙලින් වාඩිවෙලා “වීදුරුව අරින්න” කියල ඉල්ලීමක් කෙරුව.

කඩ සාප්පුවල වහල මුදුන්වල තියෙන බෝඩ් ලෑලි දිහා විපරමෙන් බලාගෙන ඉඳල ‘මහරගම” කියල හයියෙන් හුස්මක් ගත්ත.

කිරි කිරි සද්දෙන් වේදනාවෙන් වගේ කෙදිරිගාන රෝද පුටුවෙ ඉන්න පුංචි අම්මව තල්ලු කරගෙන මම වාට්ටු හරහා ඇවිදගෙන යනව. බලන බලන හැම පැත්තෙම වේදනාවෙන් ඉන්න මිනිස්සුන්ගෙ කෙඳිරිලි හඬ ඇහෙනව. ඒ ඔක්කොටම වැඩිය පුංචි දරුවො ඉන්න වාට්ටුව පහුකරගෙන යද්දි මට මහ හයියෙන් කෑගහල අඬන්න හිතුණ.

එයාගෙ වාට්ටුවට එයාව බාර දුන්න.

“පොඩි අය ගෙදර දාල නේද ආවේ. පරීක්ෂණ ටික කරගෙන මට ආපහු කුරුණෑගල යන්න පුළුවන්නෙ, ඔය දෙන්න ඉක්මනට ගෙදර යන්න. “ පුංචි අම්ම අපිව සනසන්න කතා කරද්දි මට හිතුණෙ මගෙ හිත කොච්චර දුර්වලද කියලයි.

“පුංචි අම්මෙ අපි ගිහින් එන්නම්” කියල

මම එයාගෙ ඔළුව සිපගත්ත, වෙනද දැනෙන සුවද ම මට දැනුන.

පුංචි පටු කොරිඩෝව මැද්දෙන් රථ ගාලට ආපු මම

“මගෙ ඉල්ලීමක් තියෙනව, ඔයාටයි දරුවන්ටයි කියන්න”

“ඒ මොකක්ද ? බිරිඳ ඇහුව.

“කවද හරි දවසක මට කැන්සර් එකක් කියල දැනගත්තොත් මහරගමට එක්කන් එන්න එපා”

එයාගෙ දකුණු අත මගෙ අත තදින් මිරිකෙද්දි , අහල පහල මොනවත් නොපෙනෙන තරමට මගෙ ඇස් දෙක බොඳවෙලා ගියා.

චන්දන ගුණසිංහ

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.