පාරෙ බැහැල යන්න පුළුවන් ද මතවාදයක් නැතුව?

 ලොව විවිධ මත පවතියි. මත කියනවාට වඩා මේවාට මතවාද කීම වඩා සුදුසු විය හැකිය.මතවාදවල ස්වභාවය එකක් අනෙකෙන් වෙනස් වීමය. එක් මතවාදයකින් කලූයි කියන දෙය අනික් මතවාදයකින් සුදුයි කියැවෙන අතර තවත් මතවාදයකින් රතුයි කියා දැක්වේ. තවත් මතවාදයකින් සමහර විට පාට කියා දෙයක් නැතැයි ඔප්පු කිරීමට උත්සාහ කිරීම සිදු වේ.

මතවාද අතර වාදවිවාදවලදී එසේ වුවද ක්‍රියාත්මක වීමේදී නම් මතවාදයකින් තවත් මතවාදයක් වෙන් කරගැනීම එතරම් පහසු නැත. එනම් වෙනස් වුවත් සියලූම මතවාදවලින් බොහෝ විට කෙරෙන ප්‍රධානම කාර්යය යම් අයෙකුට අනන්‍යතාවක් සාදාදීම පමණි.

තරුණියකට ඇඳුමක් මඟින් ඉටුවන සේවය ‘උගත් බුද්ධිමත්’ තරුණයෙකු සම්බන්ධයෙන් ඉටු කරනු ලබන්නේ මතවාදයක් මඟිනි. තරුණියක් ඇඟට හිර ඇඳුමකින් සැරසී යන්නේ කොතරම් නම් ආඩම්බරයකින් ද ‘උගත් බුද්ධිමත්’ තරුණයෙකු මතවාදයකින් සැරසී යන්නේ ද එතරම්ම ආඩම්බරයකිනි.

එයට අමතරව මතවාද වනාහී භෞතික නොවන සංකල්පීය කොඩි වශයෙන්ද හඳුන්වා දිය හැකිය. කොඩියකින් කෙරෙන්නේ යම් කණ්ඩායමක් නොඑසේනම් කට්ටියක් වෙන් කර හඳුනාගැනීම සඳහා එම කණ්ඩායමට විශේෂ වූ සංකේතයක් ලබාදීමයි.

මතවාදයක් මඟින් එම කාර්යය ඊට වඩා සූක්ෂමවත් ඊට වඩා කාර්යක්ෂමවත් ඉටු කරනු ලබයි. අතීතයේ දී කුල මඟින් කණ්ඩායම් වෙන්වීම නැතිනම් කල්ලි ගැසීම සිදුවිය. අද වන විට ද එය නතර වී නැත. එහෙත් කුල හා වෙනත් බෙදීම්වලට අමතරව මතවාද මඟින් කල්ලි ගැසීමද අද සිදුවේ. අවශ්‍ය නම් කල්ලි සාදා ගැනීම සඳහා අද මතවාද කුල සමඟ තරගයකට එළැඹී ඇතැයි ද කිව හැකිය.

කල්ලියක එක් ස්වභාවයක් පවතියි. එනම් තමන්ගේ කණ්ඩායමට ඇති ලැදියාවය. භාවිතයේ දී මේ ලැදියාව තමන්ගේ කණ්ඩායමට ඇදීමක් බවට පත් වේ. කල්ලිවාදය යයි බොහෝ විට හඳුන්වනු ලබන්නේ එයයි. එහෙත් මතවාදයකින් තොරව කල්ලිවාදයට පැවැත්මක් නැත.

කෙසේවුවත් මෙහිදී මූලික නොඑසේනම් ප්‍රාථමික අවශ්‍යතාව මතවාදය නොවේ. ප්‍රාථමික අවශ්‍යතාව කල්ලියයි. එනම් මතවාද පැමිණීමට පෙර සිටිම කල්ලි නොඑසේනම් කණ්ඩායම් සෑදීම පැවතිණි.

කල්ලි ගැසීම අතීතයේ දී සමහරවිට යහපත් අරමුණින් සිදු විය. ගොවිතැන් කිරීමට කල්ලි ගැසීම, දඩයම් කිරීමට කල්ලි ගැසීම ආදී වශයෙන් විය හැකිය. එය සමගිය උදෙසා සිදුවන දෙයක් විය. සාමූහිකත්වය අරමුණු කරගෙන සිදුවිය. එනම් යම් විශේෂිත කාර්යයක් කිරීම සඳහා යම් විශේෂිත ගොනුවීමක් අවශ්‍ය විය. එහෙත් ඉතිහාසයේ සෑම යහපත් නිර්මාණයක් ම පසුව අයහපත් භාවිතයටද යොමු වේ. හොර කල්ලි සෑදීම උදාහරණයකි. එනම් යම් සාමූහිකත්වයක් උදෙසා ඇරැඹුණු කල්ලි ගැසීම පසුකාලීනව සමූහයට එරෙහි කල්ලි ගැසීමක් බවට ද පෙරැළිණි. සමූහයට එරෙහිවීම යහපත් නොවේ. මේ යහපත් නොවන අවශ්‍යතාවයට සදාචාරත්මක භාවයක් ලබාදීම මතවාදයක් මඟින් කෙරේ. එනම් කල්ලි ගැසීම සුජාත කිරීම මතවාද මඟින් කෙරේ.

මා මෙය කියන්නේ මතවාද දාර්ශනික වශයෙන් පරීක්ෂා කිරීමෙන් නොවේ. බොහෝ දාර්ශනික හෝ වෙනත් මතවාද ප්‍රායෝගික තලයේ ක්‍රියාත්මක වන ආකාරය දැකීමෙනි. එනම් විවිධ මතවාද කරපින්නා ගත් විවිධ පක්ෂ කණ්ඩායම් අද සමාජයේ දැකිය හැකිය. එහෙත් ක්‍රියාත්මක තලයේදී මේ සියලු කණ්ඩායම් අතර වෙනසක් නැත.

එනම් රස්සාවක් ලබාදීම, ශිෂ්‍යත්වයක් ලබාදීම වැනි කාර්යයකදී කල්ලියේ අයෙකු බලන්නේ තමන්ගේම කල්ලියේ අයෙකුට එය ලබාදීමය.

එහිදී ක්‍රියාත්මක වන්නේ එම කණ්ඩායමේ සාධාරණත්වය පිළිබඳ මතවාදය නොව තම කණ්ඩායමේ අයට උදව් කිරීමේ කණ්ඩායම්වාදී වුවමනාවය. මතවාදය නොව මතවාදයේ සැබෑ වුවමනාව වන කණ්ඩායමක් ලෙස ක්‍රියාත්මක වීම ඉස්මතු වේ.

විප්ලවයට ගව්ගණනක් දුර තිබුණත් සමහර අය විප්ලවය වෙනුවෙන් සංවිධානය වන්නේ ඕනෑම කාර්යාලයකින් වැඩක් කරවාගැනීමට විප්ලවීය පක්ෂය හරහා ලැබෙන සම්බන්ධකම් උපකාරී විය හැකි බැවිනි. ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක සාමාජිකයාද මුල් තැන දෙන්නේ ප්‍රජාවට වඩා පාක්ෂිකයාටමය. උදාහරණ අනවශ්‍ය තරමට එවැනි අවස්ථා සුලබය.

පුද්ගලික අභිමතාර්ථ ඉෂ්ට කරගැනීම උදෙසා කල්ලි සාදාගැනීම සිදුවන අතර මතවාදයක් මඟින් එම කල්ලිවාදී ක්‍රියාකාරීත්වය තමන්ගෙනුත් අනුන්ගෙනුත් සඟවා ගැනීම පමණක් සිදුවේ. මතවාද මඟින් අපට අපෙන් මිදීමට නොහැකිය. මතවාද මඟින් සිදුකරනු ලබන්නේ අපෙන්, අපව සඟවාලීම පමණි. වෙනස් වෙනස් මතවාද ඇති අය ක්‍රියාත්මක වීමේදී එකම ස්වරූපයක් දරන්නේ ඒ නිසාය. මතවාද වෙනස් වුවද ඒ සියලූ මතවාද අතරේ හමුවන්නේ එකම ආත්මාර්ථකාමී දුර නොදකින මිනිසාමය.

බොහෝ ලස්සන මතවාදවල ඇත්තේ වචනවල ලස්සනම පමණි. ඇතැම් ගැහැණුන්ගේ ලස්සන මෙන්ම එයද මායාකාරීය. නොඑසේනම් ඇතැම් පිරිමින්ගේ කඩවසම්කම මෙන් ම එයද මායාකාරීය. පෙනුමෙන් ක්‍රියාකාරීත්වය නොහැඟවීමට ඉඩ ඇත.

මායාකාරයන් ගැන කතා කතන්දර පොත්වල ඇත. එහෙත් මතවාද තරම් මායාවක් තවත් ලොව නැත. මතවාද එතරම්ම ආකර්ෂණීය වන්නේද ඒ නිසාය. එහෙත් ඒ ආකර්ෂණීය විනා අවසාන වශයෙන් මිනිස් ක්‍රියාකාරීත්වයේ වෙනසට ඉන් බලපෑමක් වේයැයි කීමට අපහසුය.

මේ අනුව දැනුම හා මතවාද වෙන්කර ගැනීම පිළිබඳ ප්‍රශ්නයක්ද මෙහිදී පැන නඟියි. සැබවින්ම මෙය තීරණාත්මකය. එනම් මතවාදයකට වහල් නොවී දැනුම සෙවීම සිදුවිය යුතුය. එනම් කල්ලිවාදී නොවී දැනුම සෙවිය යුතුය.

එහෙත් එය කියන තරම් පහසු නොවේ. එනම් ‘කල්ලිවාදය’ මිනිසා තුළම පවතින දැනුමක් වී ඇති බැවිනි. අනෙකුත් දැනුම් සියල්ල එයට ඉබේම යට වන ස්වභාවයක් ඇත.

කෙසේ වුවත් මෙය තවදුරටත් ලියාගෙන යාමේද අනතුරක් තිබේ. එනම් මේ ලියන දෙයද මතවාදයක් බවට පත්වීම හා මේ ලියන දේ මතවාදවලට එරෙහි කල්ලියක් බිහිවීමට හේතුවිය හැකි වීමය. කෙසේ වුවත් අවසාන වශයෙන් මට කීමට ඇත්තේ වෙනස් දෙයකි.

එනම් කල්ලිවල පවා කල්ලිවාදී නොවන මිනිසුන් සිටිය හැකිය. සැබවින්ම එවන් මිනිස්සු සිටිති. ඔවුන්ට ඇති දැනුම කුමක්දැයි අප සොයා බැලිය යුතුය.

උදයසිරි වික්‍රමරත්න

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.