බෙදීම වැපිරූ ‘ජෝන් ඩොයිලි න්‍යාය’ | සිළුමිණ

බෙදීම වැපිරූ ‘ජෝන් ඩොයිලි න්‍යාය’

 ජෝන් ඩොයිලි ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා සහ උඩරට රදළවරු පිළිබඳව සාකච්ඡා වූ ලිපි කීපයක් පසුගිය දිනවල සිළුමිණේ පළ විය. විවිධ අයගේ දෘෂ්ටි කෝණවලින් එකල උඩරට සිදුවීම් පිළිබඳව විමසීමට ගත් උත්සාහයන් එම ලිපි මඟින් දැකගත හැකි විය. මේ නිසා ජෝන් ඩොයිලි හා ඔහුගේ ක්‍රියා කලාපය, ශ්‍රී ලංකාව ඉංග්‍රීසි පාලනය යටතට ගැනීම, උඩරට ගිවිසුම හා එය සකස් කිරීමේ පසුබිම පිළිබඳව තත් කාලීන ඓතිහාසික තොරතුරු ආශ්‍රයෙන් විමසා බැලීමක් කිරීම සුදුසු යයි සිතුණි.

‍ජෝන් ඩොයිලි මෙරට බ්‍රිතාන්‍ය පාලනයට හවුල් වූ සිවිල් සේවකයෙකු වුවද ඔහු එකල සිවිල් සේවකයන්ට පනවා තිබූ රෙගුලාසියක් වූ දේශීය භාෂා ඉගෙනීමට මහත් රුචියක් දැක්වීය. කරතොට ධම්මාරාම, මොරතොට ධම්මක්ඛන්ධ යන උගත් ස්වාමින් වහන්සේලාගෙන් සිංහල භාෂාව උගත් ඩොයිලි සිංහල සංස්කෘතිය මනාව හදාළේය. සිංහල පාලන ක්‍රමය පිළිබඳව මනාව හදාරා සිටි ඔහුගේ දැනුම ප්‍රයෝජනයට ගැනීමට සිතූ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා උඩරට රාජ්‍ය ජය ගැනීමේ කූටෝපායන් සැකසීම මේ ලෙස ඔහුට බාර දෙන ලදී.

ජෝන් ඩොයිලි මෙය අකුරටම ඉටු කළේය. උඩරට රජු රදළවරුන් බිඳුවා අමනාප කිරිම ඔහු පළමුවෙන් කරන ලද කාර්යයයි. රදළවරු තමාට විරුද්ධව කුමන්ත්‍රණ කරන්නේ යයි කෝපයට පත් රජු නිතරම මරණ බියෙන් යුක්තව දිවා රෑ ගත කළේය. එම නිසාම ඔහු නින්ද නොයාමේ රෝගයෙන් පෙළෙන්නට විය. මෙලෙස බලවත් මානසික අසහනයෙන් පෙළුණ රජු ඊට ප්‍රතිකාර ලෙස මද්‍යසාරයට ඇබ්බැහි විය.

බ්‍රිතාන්‍ය හමුදා උඩරටට කඩා වැදී රජ මාලිගය හාරා අවුස්සා බලන විට යුරෝපයේ සාදන ලද “හොෆ්මන්ගේ රතු බ්‍රැන්ඩි” හිස් බෝතල් විශාල ප්‍රමාණයක් හමුවී ඇත. ජෝන් ඩොයිලි චරපුරුෂයන් මඟින් මෙම මත්පැන් රජවාසලට යවන ලදී. තෝමස් මෙට්ලන්ඩ් ආණ්ඩුකාරයා ඩොයිලි මාර්ගයෙන් තෑගි ලෙස රජු වෙත මද්‍යසාර යැවූ බව ප්‍රසිද්ධය. අවසානයේ ඉංග්‍රීසින් කළේ ක්‍රෑර රකුසෙකු ලෙසින් දිසි රජුගෙන් සහ ඔහුගේ මලබාර් ඥාතින්ගෙන් සිංහල දේශය මුදාගෙන මෙරට දැහැමෙන් සෙමින් පවත්වාගෙන යාමට උපකාරී වන බවට පොරොන්දු ‍වීමයි.

මෙලෙස වාතාවරණය සකස් කිරීමෙන් පසු උඩරටට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කිරීමට අවස්ථාවක් සොයමින් සිටි ඉංග්‍රීසින්ට පහතරට සිට උඩරටට වෙළෙඳාමේ ගිය සිංහල වෙළෙදුන් 10 දෙනෙකු චරපුරුෂයන් ලෙස සලකා මහනුවරට ගෙන ගොස් නැවත මුහුදුබඩ පළාත්වලට යැවීමේ සිද්ධිය මහඟු අවස්ථාවක් විය. මේ අතර උඩරට රජුගේ සේනාව සබරගමුවේ කැරලිකරුවන් කීප දෙනෙක් බ්‍රිතාන්‍ය ප්‍රදේශවලට පළවා හරින ලද නිසා බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා 1814 ඔක්තෝබර් 01 වැනි දින උඩරට රජුට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කළේය. 1815 ජනවාරි 10 දින ඔවුන් ප්‍රකාශයක් කරමින් කියා සිටියේ මෙම ආක්‍රමණය පීඩාවට පත් උඩරට ජනතාව වෙනුවෙන් කරනු ලබන්නක් බවය.

සිංහල විශ්ව කෝෂයේ මෙම තත්ත්වය දක්වන්නේ මෙසේ ය. “රදළ ප්‍රධානීන්ගේ ආරාධනයෙන් මෙහෙවුම් ලද බ්‍රිතාන්‍ය මහ රජාණන් වහන්සේගේ හමුදාවෝ මහ ජනතාව විසින් ජය ඝෝෂා නාදය මැද පිළිගනු ලැබීමෙන් උඩරට රාජ්‍ය ප්‍රදේශයට ඇතුළුව රාජධානියට වැදගත්හ” යනුවෙන් උඩරට රාජ්‍ය අයත් කර ගැනීම පිළිබඳ නිල නිවේදනයෙහි එන ප්‍රාරම්භක වාක්‍යයෙන් ඉංග්‍රීසින් උඩරට රාජ්‍යයේ හිමියන් බවට පත් වූයේ සතුරු ජාතියකට විරුද්ධව කළ ආක්‍රමණයක ප්‍රතිඵලයක් වශයෙන් නොවන බව ද රදළ ප්‍රධානීන්ගේත් මහ ජනතාවගේත් වුවමනාව ඉල්ලීම හා කැමැත්ත පිට බව ද පැහැදිලිව පෙනී යයි.

මේ ලෙස බාධා රහිතව උඩරටට පැමිණි බ්‍රිතාන්‍ය සේනා 1815 පෙබරවාරි 12 වෙනි දින මහනුවරට ඇතුළු විය. ඔවුන් මහනුවරට යන විට එහි මිනිස් පුළුටක්වත් දක්නට නොලැබුණ බවත් නගරයට ගිනි තබා තිබුණ බවත් “වෛද්‍ය හෙන්රි මාර්ෂල්” සඳහන් කර ඇත. මහනුවරින් පලා ගිය ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා හා බිසෝවරු මැද මහනුවර බෝමුරේ උඩුපිටියේ ආරච්චිගේ නිවසේ සැඟවී සිටියදී එක්නැලිගොඩගේ පිරිස විසින් 1815 පෙබරවාරි 18 වැනි දින අල්ලා ගන්නා ලදී. එම අය රජුට සහ බිසෝවරුන්ට හිරිහැර කරන විට ඔවුන් සමඟ ගිය ඩයස් තෝල්ක මුදලි රජු සහ බිසෝවරු තමා බාරයට ගෙන ඩොයිලි වෙත බාර කළේය.

ශ්‍රී වික්‍රම රාජසිංහ රජු අල්ලා ගැනීමෙන් පසු උඩරට ප්‍රදේශ පාලනය පිළිබඳ සම්මතයක් ඇති කිරීමට කටයුතු සංවිධානය කරන ලදී. මෙය බාර වූයේ උඩරට රාජ්‍ය අල්ලා ගැනීමට ‘හිවල් න්‍යායෙන්’ කටයුතු කළ ජෝන් ඩොයිලි‍ටය. ඔහු උඩරට ගිවිසුමේ ඇතුළත් විය යුතු වගන්ති කෙටුම්පත් කළ බව තම දින පොතේ සඳහන් කර ඇත.

මෙම ගිවිසුම සකස් කිරීමේදී උඩරට රදළවරුන්, අස්ගිරි විහාරයේ අනුනායක සුදුහුම්පොළ විහාරාධිපති වාරියපොළ සුමංගල හිමියනුත්, ජෝන් ඩොයිලිත් අතර විවාදාපන්න සාකච්ඡා සිදුවූ බව ආචාර්ය තුඹුල්ලේ සීලක්ඛණ්ඩ හිමියෝ සිය “හෙළ රජ කිරුළ දළදා වහන්සේ හා වාරියපොළ මාහිමි” නමැති කෘතියේ සඳහන් කරති. එහි සුමංගල හිමි මෙසේ පැවසු බව සඳහන් වේ. “දැන් මේ තීරණාත්මක අවස්ථාවේ අප විසින් අපේ සිරිත් විරිත්, ආගම ආරක්ෂා වන අන්දමින් අත්සන් සහිත ලිඛිත පොරොන්දුවක් ඉංග්‍රීසින්ගෙන් ලබාගත යුතුය. එවැනි පොරොන්දුවකට අත්සන් කරන තුරු ඔවුන්ගේ ඉංග්‍රීසි කොඩිය ඔසවන්නට කෙසේවත් ඉඩ දිය යුතු නොවේ” යනුවෙනි. එබැවින් ඩොයිලිට උඩරට සම්මුතිය සකස් කිරීමේදී එම කරුණු ඉවතලිය නොහැකි විය.

විජේරත්න අතුරුපාන

Comments