රජවරුන්ගෙන් පෝෂණය ලැබූ කලාව | සිළුමිණ

රජවරුන්ගෙන් පෝෂණය ලැබූ කලාව

 විවිධ කලා ක්ෂේත්‍ර නියෝජනය කරමින් එහි දස්කම් විස්කම් පෑ කලාකරුවන් වර්තමානයේ මෙන් ම අතීතයේද මෙරට සිටි බැව් වංශකථා ආදි මූලාශ්‍රයවලින් මෙන්ම අභිලේඛන මූලාශ්‍රයවලින්ද විද්‍යමාන වේ. අතීත නිර්ම­ාණ ශිල්පීන්ගේ සිතුවම්, මූර්ති, ගෘහ නිර්මාණ ආදි නිමැයුම්වලින්ද පෙනේන්නේ ක්‍රිස්තු පූර්ව 3-1 සියවස තරම් අතීතයේ පවා නැටුම් කලාවේ නියුතු කලාකරුවන් මෙරට සිටි බවය. ඒ යුගයට අයත් ශිලාලේඛනවලින්ද ඒ බැව් හෙළි වේ. අභිලේඛන මූලාශ්‍රයවලට අමතරව දෙවනපෑතිස් රාජ්‍ය කාලයේ සිටම මෙරට සංගීත, නැටුම් ආදි කලාවේ නියුතු කලාකරුවන් සිටි බැව් සිංහල බෝධිවංශයෙන් හෙළි වේ. එහි එන සීමා බන්ධන කථාවේදී එය මැනවින් පසක් වේ.

මෙලිපියෙහිලා අප තහවුරු කරන්නට උත්සුක වන කරුණ නම් දුරාතීතයේ ප‍ටන් විසූ මේ විවිධ ක්ෂේත්‍රයන්හි කලාකරුවන්ට රාජ්‍ය තන්ත්‍රයෙන් හිමි වූ බැව් ‍පෙනෙන ඉහළ අනුග්‍රහය හා වරප්‍රසාදාදියයි.

සිංහල බෝධිවංශයට අනුව දෙවනපෑ තිස් රජු දවස සිටම කලාකරුවාට රාජ්‍ය තන්ත්‍රයෙන් අනුග්‍රහ ලැබුණු බැව් පෙනේ. ඒ අනුව මහාබෝධිය සම්බන්ධ චාරිත්‍ර කිරීමේදී ඒ කටයුතු කළ චිත්‍ර ශිල්පීන්ට ගාන්ධර්වයන්ට රජයෙන් ගෞරව ලැබුණු අයුරු ප්‍රස්තුත මූලාශ්‍රය මෙසේ දක්වයි:

"ගාන්ධර්ව කුලයෙහි ප්‍රධානියා හට තම පිරිවර ගන්ධර්වයන් ගෙන මහ බෝධියට තුන් වේලේ හේවිසි පූජා කරනු කොට මහ පළවාන තනතුරු දුන්නේ ය. සියල්ලවුනට උතුම් ගම්වර දී සතුටු කරවීය."

මෙහිදී මහාබෝධිය හා සබැඳි සේවා කටයුතු කළ පුද්ගලයන්ට ඔවුන්ගේ සේවාව වෙනුවෙන් කිසියම් ශ්‍රම ඇගයීමක් ලැබුණු බැව් පෙනුණද උක්ත කලාකරුවන් විෂයයෙහි සිතිය හැකි වනුයේ ඒ ගම්වර හා තනතුරු ප්‍රදාන එකී කලා කටයුතු වෙනුවෙන් ඔවුන්ට ලැබුණු අනුග්‍රහ වශයෙනි.

දෙවනපෑ තිස් රජු ඉදි කළ ලෝවාමහාපාය දුටුගැමුණු රජු විසින් මහල් නවයකින් යුක්තව සෑදූ බැව් මූලාශ්‍රයවල සඳහන්ය. ඒ විස්තර අනුව ලෝවාමහාපාය විශිෂ්ට ගෘහ නිර්මාණයකි. එවන් වු උසස් කලාත්මක ගෘහ නිර්මාණයක් කිරීමට වාස්තුවිද්‍යාත්මක දැනුම පමණක් නොව, කලාත්මක දැනුමද අවැසිය. වැදගත් වන කරුණ වනුයේ මේ නිර්මාණය සිදු කිරීමේදී රජතුමා විසින් ඒ ඒ සේවකයන්ට කළකම් අගය කරවා වැටුප් මිල දුන් බව යි. ඒ අනුව දුටුගැමුණු රජු දවසද කලාකරුවන් ඇගයීමට ලක් වු බව සඳහන් වේ.

කාව්‍යකරණයෙහි යෙදුණු කලාකරුවන්ට මහ විජයබා රජුගෙන් විශේෂ සැලකිල්ලක් ලැබුණු ආකාරය මූලාශ්‍රය වඩාත් වුවමනාවෙන් විස්තර කරයි. ඒ අනුව මහ විජයබා රජු විසින් කවීන්ට ප්‍රවේණි ගම් හා බොහෝ ධන සමුහ ලබා දී ඔවුන්ට ගරුබුහුමන් දුක්වා ඇත. මෙහි එන “ධන සමුහ ලබා දී” යන සඳහන අනුව රජු විසින් මූල්‍යමය වශයෙන්ද කවීන්ගේ කලා කටයුතු අගය කළ ආකාරය පෙනේ. “කවීන්ද්‍ර වූ හේ තෙමේ රජ ඇමැතියන් ආදීන්ගේ පුත්‍රයන් විසින් කරන ලද ශ්ලෝකයන් අසමින් සුදුසු පරිද්දෙන් ඔවුන්ට ධනය දින” යන පාඨයෙන් වඩාත් පැහැදිලි වනුයේ එකී කලාකරුවන්ට රජු මිල මුදල් දී ඔවුන් ඇගයීමට ලක් කළ බවත් ඔවුන්ට රාජ්‍ය අනුග්‍රහය දුන් බවත්ය.

මහ පැරකුම්බා රජුද (ක්‍රි.ව.1153-1186) කලාකරුවන්ට විශේෂ සැලකිල්ලක් දැක්වු අයුරු හා කලා ක්ෂේත්‍රයේ උන්නතිය සඳහා විශාල දායකත්වයක් දුන් අයුරු මුලාශ්‍රයවලින් හෙළි වේ. “ඇත්, අස්, කඩු ශිල්පයන්හිද අන්‍ය දේශ භාෂාහිද නැටුම් ගීයෙහිද දක්‍ෂව රාජ කාර්යයෙහි නුවණැතිව වැඩෙත්වයි” නොයෙක් කුලවතුන්ගේ පුත් සොහොයුරු මුනුපුරන් එකල අධිපති තෙමේ සිය මැඳුරෙහි වැඩුයේය.”

"සිංහල ගාන්ධාර්වය ළඟ හැසිරෙන්නෝය යන මේ ප්‍රභේද වර්ගයන්ට අයත් වෙන් වෙන් වු දහස් ගණන් මිනිසුන් හේ තෙමේ රජ ගෙයි ම වැඩී" (මහාවංශය). මින් පෙනෙනුයේ නැටුම් ගීත ආදි කලාවන් අන්‍යයන්ට උගැන්වීම හා එකී කලා ක්ෂේත්‍ර දියුණු කිරීම කෙරෙහි රජු තුළ පැවති බලවත් ඇල්මයි. මේ නිසාම ඒ ක්ෂේත්‍රවල නියුතු කලාකරුවන්ට රජුගේ ගෞරවය, අනුග්‍රහය නිතැතින්ම හිමි වන්නට ඇත. මිට අමතරව පළමුවන පැරකුම්බා විසින් සරස්වතී මණ්ඩපයක්ද නාට්‍ය ශාලා පහක්ද ඉදි කර ඇත. නාට්‍යශිල්පීන් මේ ශාලාවල රඟදැක්වීමට අමතරව නාට්‍ය පුහුණුවීම් කටයුතුද සිදු කරන්නට ඇති අතර, ඒ සඳහා රජු පහසුකම් සැලසු ආකාරයත් මෙයින් වටහාගත හැකිය. තුන්වන විජයබා රජුද (ක්‍රි.ව.1232-1236) ලේඛන කලාවේ නියුතු වුවන්ට රන්කහවුණු දී ධර්මස්කන්ධයන් ලියවු බැව් මහාවංශයේ සඳහන් වේ. එහිදී විජයබා රජු විසින් මනෝඥ ලෙස ලියුම්හි දක්‍ෂ වු උපාසකයන්ද බොහෝ වු පොත් ලියන්නන්ද රැස් කරවා ඔවුන්ට ආදර සහිතව සැලකු බැව්ද වැඩිදුරටත් එහි විස්තර කර ඇත. මෙහි එන “බොහෝ වු පොත් ලියන්නන් රැස් කරවා” යන පාඨයෙන් ග්‍රන්ථකරණයෙහි හෙවත් ලේඛන කලාවේ නියුතු සැලකිය යුතු පිරිසක් එදා සිටි බවද හෙළි වේ. ඒ අනුව තුන්වන විජයබා රජ දවස ලේඛන කලාවේ යෙදුණු ලේඛකයන්ට රාජ්‍ය අනුග්‍රහය හා ගෞරවය ලැබුණු ආකාරය ප්‍රස්තුත කරුණුවලින් පෙනේ.

ක්‍රිස්තු වර්ෂ නවවන සියවසට අයත් සිව්වන මිහිඳුගේ (ක්‍රි.ව. 956-972) මිහින්තලා පූවරු ලිපියෙහි එකී විහාරයේ සේවයේ කරන චිත්‍ර ශිල්පීන්ට හා කැටයම්කරුවන්ට ඔවුන්ගේ සේවය වෙනුවෙන් ඉඩම් ලබාදිය යුතු යැයි ව්‍යවස්ථාගත කර ඇත. චිත්‍ර ශිල්පීන්ට හා කැටයම්කරුවන්ට පමණක් නොව විහාරයේ සේවයේ නියුතු සියලු සේවකයන්ට ඔවුන්ගේ ශ්‍රමය සඳහා ගෙවීම් කර ඇත. එමෙන්ම මෙකී ශ්‍රම ගෙවීම් සම්බන්ධයෙන් ව්‍යවස්ථා පනවා ඇත්තේ සංඝයා වහන්සේලාගේ අනුමැතිය ඇතිව රජය විසිනි. මෙහිදී ප්‍රස්තුත චිත්‍ර ශීල්පින්ගේ හා කැටයම්කරුවන්ගේ සේවය වෙනුවෙන් ඔවුන්ට ඉඩම් ලබාදීම ශ්‍රම ගෙවීමක් ලෙස මෙන්ම ඔවුන්ගේ කලා කටයුතු ඇගැයීමක් වශයෙන්ද සැලකිය හැකිය.

ප්‍රස්තුත ශිලාලේඛන දෙකෙහිම පාලකයකු විසින් එකී කලාකරුවනට අනුග්‍රහය දැක්වු ආකාරය ඍජුවම සඳහන් නොවේ. කෙසේ වෙතත් ඉහත උසස් නිලධාරීන් පවා කලාකරුවන් කෙරෙහි දැක්වු ඒ සැලකිල්ල හා ගෞරවය රජය කලාකරුවන් වෙත අනුග්‍රහ දැක්වීමේ සිරිතෙහි ප්‍රතිඵලයක් විය හැකිය.

අතීතයේ මෙරට කලාකරුවන් රාජ්‍ය අනුග්‍රහය ලැබීමේදී ඊට බලපෑ හේතු සාධක විමසා බැලීම සුදුසුය. එදා මෙරට පාලනය කළ බොහෝ රජවරු ගී, නැටුම් ආදිය රස විඳීමට කැමැති වු කලාකාමීහු වූහ. එමෙන්ම ඇතැම් රජවරු කාව්‍යකරණය ආදි කලා කටයුතුවල යෙදුණු කලාකරුවෝ වූහ. අතීතයේ කලාකරුවන් රාජ්‍ය තන්ත්‍රයෙන් යහපත් සැලකිල්ලක් ලැබීමට මේ කරුණු හේතු වන්නට ඇත.

'ජානකීහරණය' නම් සංස්කෘත කාව්‍යය කුමාරදාස නම් රජකු විසින් පබඳින ලද උසස් කෘතියක් ලෙස සැලකේ. එමෙන්ම මහ විජයබා රජු කාව්‍යකාරයන් අතුරින් අග්‍ර වු බවත් ඔහු එළුකව් කිරීමෙහි මහත් නුවණැත්තකු බවත් සඳහන් ය (මහාවංශය). විජයබා රජ දවස කවීන්ට විශේෂ සැලකිල්ලක් ලැබීමට මෙය ප්‍රධාන හේතුවක් බැව් සිතිය හැකිය. පළමුවන පැරකුම්බා රජු කලාව කෙරෙහි විශේෂ ඇල්මක් දැක්වු පාලකයකු බවත් විශේෂයෙන්ම ඔහු ගීත හා නැටුම් රසවිඳීමේ කැමත්තක් දැක්වු බවත් පෙනේ (මහාවංශය, ද්විතීය). ඒ රජු විසින් සරස්වතී මණ්ඩපයක් කරවීමේ මුලික අරමුණ වූයේ ඔහුට ලයාන්විතව අනේක ගාන්ධර්ව ගීතිකා අසන්නටත් රම්‍ය නෘත්‍ය දක්නටත් බැව් මූලාශ්‍රයවල සඳහන් වේ (මහාවංශය,). වෙසෙසින්ම එදා මෙරට බොහෝ පාලකයන් යුද ශිල්පවල පමණක් නොව කවි, ගීත, නැටුම්, නීතිය ආදි වෙනත් ශාස්ත්‍රයන්හිද නිපුණ වූවෝ වූහ. හවැනි කසුබ් රජු පිළිබඳ වංශකථා සඳහන් කරනුයේ මෙසේය: "හේ ඇසූ පිරූ ඇත්තේ ධර්මකථිකය, සියලු ශිල්පයෙහි විශාරදය, යුක්තායුක්ත විචාරයෙහි දක්ෂය, නීතියෙහි පණ්ඩිතය..." මෙහිදී 'සියලු ශිල්පයෙහි විශාරදය' යන්නෙන් ගී නැටුම් ආදි කලාශිල්පවලද ඔහු විශාරදයකු වීයැයි සිතිය හැකිය. එසේම මහපැරකුම්බා රජුද නොයෙක් ශිල්ප ශාස්ත්‍රයෙහි පරතෙරට පැමිණියකු බව පෙනේ. "නොයෙක් ශිල්ප ජාතිය වහා බොහෝ කොට උගන්වමින් බුද්ධාගමයෙහිද කොචල්ලාදි නොයෙක් නීතියෙහිද ශබ්ද ශාස්ත්‍රයෙහිද නිඝන්ටු කෙටුභ සහිත වූ කාව්‍ය ශාස්ත්‍රයෙහිද නැටුම් ගීයෙහිද හස්ත ශිල්පාදි ශාස්ත්‍රයෙහිද දුනු කඩු ආදි නොයෙක් ශ්‍රාස්ත්‍රයෙහිද වෙසෙසින් පරතෙර පැමිණියේ එමෙන්ම තුන්වන විජයබා රජුද තම පුතුන් දෙදෙනා වූ පැරකුම් සහ බුවනෙකබා යන කුමාරවරුන්ට සකල කලා ශිල්ප උගන්වා පණ්ඩිත කරවූ බැව් මහාවංශය සඳහන් කරයි.

අතීතයේදී රාජ්‍යත්වය හා බෞද්ධාගම අතර දැඩි සබඳතාවක් පැවතිණි. රජවරුන්ට තම බලය තහවුරු කරගැනීමේදී හා පවත්වාගැනීමේදී භික්ෂූන් වහන්සේගේ හෙවත් ආගමික පක්ෂයේ ප්‍රසාදයද මහජන ප්‍රසාදයද අත්‍යවශ්‍ය විය. මේ නිසා රජවරු ආගමික කටයුතුවල වෙසෙසින්ම නිරත වූහ. එහිදී රුවන්මැලිසෑය, මහාබෝධිය ඇතුළු බෞද්ධ පූජනීය ස්ථානවලට රජවරු අසීමිත ලෙස ගරු සත්කාර කළෝය. භාතිකාභය රජු රුවන්මැලිසෑය ඇතුළු පූජනීය ස්ථානවලට කරනු ලැබූ පුද සත්කාර පිළිබඳ මහාවංශයේ සඳහන් දීර්ඝ වර්ණනාවෙන් සංක්ෂිප්තයක් මෙසේය: “නර ශ්‍රේෂ්ඨ තෙමේ පාපිළිකඩ පටන් ධුරච්ඡත්‍රය තෙක් සතරඟුල් බොල් ගඳකලලින් මහාසෑය ආලේප කරවා එහි මනා කොට නැටියෙන් මල් වද්දා සෑය මල් ගුළාවක් සේ කරවීය" (මහාවංශය). එසේම බෝධි ස්නාන පූජාය, අට විස්සක් මහ වෙසක් පූජාය, නොමහත් කොට සූවාසූ දහසක් පූජාය නානාවිධ වූ නැට්ටුවන් විසින් කරන ලද නැටුම් හා නානාප්‍රකාර පංචාංගික තූර්යනාදය යන පූජා වර්ගය ශ්‍රද්ධවෙන් මෙහෙයවන ලද රජ තෙමෙ...” (මහාවංශය) එමෙන්ම මහදැලියා මහානාග රජු (ක්‍රි.ව9-ක්‍රි.ව21) පූජා උත්සව පැවැත්වූ අයුරු මෙසේ සඳහන් ය: "සෑගිරිය අවට යොදනක් මානය සරසවා හාත්පස මනා වීථි ඇති සතර දොරටුවක් යොදවා වීථි දෑලයෙහි සල්පිල් අතුට කොඩි ඇගෑ තොරණින් තන්හි තන්හි සරසවා හාත්පසින් පහන් මාලා ආලෝක කරවා නැට්ටුවන් ලවා නැටුම් හා ගීත වාදිතයන් ද කරවීය..." (මහාවංශය).

මේ අයුරින් රජවරු පූජස්ථානවලට පුදපූජා පැවැත්වීමේදී ඒ සඳහා නැටුම්, ගැයුම්, වැයුම්ද ශබ්ද පූජාද අත්‍යවශ්‍ය අංග වූ බව පෙනේ. ඒ අනුව මහත් භක්තියෙන් හා උත්කර්ෂවත් අයුරින් සිදු කළ එකී පූජා උත්සවවලට කලාකරුවන් විශාල පිරිසකගේ දායක්වයද රජුට අත්‍යවශ වූ බැව් පැහැදිලිය. මෙසේ රාජ්‍යත්වය පවත්වාගැනීම සඳහා රජවරුන් සිදු කළ ආගමික පූජා උත්සව කටයුතුවලට කලාකරුවන්ගේ දායකත්වය අනිවාර්යයෙන්ම පාලකයන්ට අවශ්‍ය වීමේ කරුණද එදා කලාකරුවන්ට රාජ්‍ය අනුග්‍රහය හා රාජ්‍ය ගෞරවය ලැබීමට එක්තරා හේතුවක් වන්නට ඇත.

ධම්මිකා ප්‍රියදර්ශනී ගමගේ
අභිලේඛන හා නාණක විද්‍යා නිලධාරි, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.