චැටර්ලි ආර්යාව ලෝරන්ස්ගේ ම බිරිය ද? | සිළුමිණ

චැටර්ලි ආර්යාව ලෝරන්ස්ගේ ම බිරිය ද?

ඉංගිරිසි සාහිත්‍යයේ ඔහුගේ නිර්මාණ බෙහෙවින් ආන්දෝලනයට තුඩු දුන්නේ ය. එමෙන් ම වාරණයට ලක්විය. මේ නිසා ම ඔහු කැරැලිකාරී ලේඛකයකු ලෙස ද හැඳින්වේ. නවකතාකරුවකු ලෙස ප්‍රකට වුව ද කෙටිකතා මෙන් ම පද්‍ය නිර්මාණයේ ද ඔහු දක්ෂයකු විය. ඔහුගේ පළමු කෘතිය ද කාව්‍ය නිර්මාණ එකතුවකි. එය 1909 දී ප්‍රකාශයට පත් විය. ඔහු ඩේවිඩ් හර්බට් ලෝරන්ස් ය. ඔහුගේ මුල් කාලීන කාව්‍ය නිර්මාණවල එස්රා පවුන්ඩ්ගේ ආභාසය කැපී පෙනිණි. පසුව ඔහු ස්වාධීන මාවතක ගමන් කළේ ය. ඩී.එච්. ලෝරන්ස්ගේ අගනා කාව්‍ය නිර්මාණ බොහොමයකින් පිළිබිඹු වුණේ ශාක හා සතුන්ගේ කායික මෙන් ම ඇතුළාන්ත ජීවිතයයි.‍ 1917 දී ප්‍රකාශයට පත්වූ Look we have come through නාට්‍ය සංග්‍රහයට තේමා වුණේ ඔහුගේ බිරිය, Birds, Beasts and Flowers සහ pansies නාට්‍ය සංග්‍රහ එංගලන්තයේදී ප්‍රකාශනය තහනම් කෙරිණි. ලෝරන්ස්ගේ සුප්‍රකට නවකතාව ‘Lady Chatterley’s Lover’ ට අත්වූයේ ද එකී ඉරණමම ය. එය බොහෝ කාලයක් යනතුරු වාරණයට ලක්වූ කෘතියකි. 1928 ඉතාලියේදී ප්‍රකාශයට පත් වූ එය 1959 වන තුරු ඇමෙරිකාවේ ද 1960 වන තුරු බ්‍රිතාන්‍යයේ ද තහනමට ලක්ව තිබිණි.

ලෝරන්ස්ගේ මව ලේස් කම්හලක රැකියාව කළා ය. ඇය හොඳ අධ්‍යාපනයක් ලබා සිටි සාහිත්‍යයට බෙහෙවින් ඇලුම් කළ අයෙක් ද විණි. සිය පුතු තුළ ළමා කල පටන් පොතපතට තිබූ ඇල්මට වඩාත් බලපෑවේ ද ඇය ය. ඩී.එච්. ලෝරන්ස්ගේ පියා ආතර් ජෝන් ගල් අඟුරු ආකර සේවකයකු වූ අතර ඔවුන් ජීවත්වූ එංගලන්තයේ ‍ෙනාටිහොට්ෂයර් හි ඊස්ට්වුඩ් ප්‍රදේශය ප්‍රසිද්ධියට පත්ව තිබුණේ ආකර කර්මාන්තය හේතුවෙනි.‍ මුලින් ම, ලිවීම සඳහා උත්තේජයක් ලැබු‍ණේ මේ නාගරික ජීවිතය අතර බව පසු කලෙක ලෝරන්ස් සඳහන් කර තිබේ. ගල් අඟුරු ආකර බහුල වීම නිසා නගරයේ වායු දූෂණය ද ඇති විය. ලෝරන්ස් ළමා කාලයේදී නිතර නිතර අසනීපයෙන් පෙළීමට ද මෙය හේතුවක් විණි. ඔහු කායික සෞඛ්‍ය මෙන් ම මානසික සෞඛ්‍යයෙන් ද දුර්වල ළමයකු වීම නිසා එම වයසේ අනෙක් ළමයින් සමඟ එක පෙළට සිටීමට කුඩා ලෝරන්ස් අසමත් විය.

ඔහු ක්‍රීඩාවේ දක්ෂයෙක් ද නොවිණි. එහෙත් නගරයේ ජීවත්වූ අන් බොහෝ ළමයින් මෙන් පියවරුන් ඔස්සේ යමින් ආකර කම්කරුවකු වීමට ආසාවක් ද ඔහු තුළ නොවී ය. ඒ වෙනුවට ඔහු ඉගෙනීමෙන් දක්ෂයෙක් විය. 12 හැවිරිදි ඩේවිඩ් ලෝරන්ස් ඊස්ට්වුඩ් ඉතිහාසයේ පළමු වරට නොටිංහැම් උසස් පාසලට ඇතුළුවීමට ශිෂ්‍යත්වයක් දිනාගත් පළමු ශිෂ්‍යයා බවට පත් විය. නොටිංහැම් උසස් පාසලේදී ඔහුට මිතුරන් හිඟ විය. නොටිංහැම් උසස් පාසලේදී ඔහුට මිතුරන් හිඟවිය. නිතර නිතර රෝගීවීම ගැන ඔහු කණස්සල්ලට පත්ව සිටි අතර ඉගෙනීමට ඇති උනන්දුව හීනවීමට එය බලපෑවේ ය. ඔහු අධ්‍යාපනය අවසන් කළේ සාමාන්‍ය ප්‍රතිඵලයක් පෙන්වමිනි. සිය ළමා විය නිරන්තරයෙන් ම ඇතුළාන්තමය වශයෙන් අඳුරකින් වැසී තිබූ බව පසු කලෙක ලෝරන්ස් ලියා ඇත්තේ එය හරියට ගල් අඟුරු කැබැල්ලක ඇති ඔපය බඳු යැයි දක්වමිනි.

1901 දී ඔහු කම්හලක ලිපිකරුවකු ලෙස වෘත්තීය ජීවිතය ඇරැඹීය. මේ වකවානුවේදී ඔහුගේ සොයුරු විලියම් හදිසියේ අසනීප වී ජීවිතයෙන් සමුගත්තේ ය. ඔහු ද නිව්මෝනියාවෙන් පෙළෙන්නට විය. සුවය ලැබූ පසු ඩේවිඩ් ඊස්ට්වුඩ් හි බ්‍රිතාන්‍ය පාසලේ ශිෂ්‍ය ගුරුවරයකු ලෙස සේවයට පත්විය. ඔහුට ‍ෙජඩී ඩේව්බර්ස් නම් යුවතිය මුණගැසුණේ ද එහිදී ය. ඇය ඔහුගේ සමීප මිතුරියක වූවා මෙන් ම ශාස්ත්‍රීය කාර්යයන්ට ද අත්වැලක් වූවා ය. ඔහු කාව්‍ය නිර්මාණයට යොමු වුණේ ද ඇයගේ දිරිගැන්වීම මත ය. මේ කාලයේදී ම ඔහු සිය පළමු නවකතාව වන The White Peacock ලිවීම ද ඇරැඹීය. නොටිංහැම් යුනිවසිටි කොලීජියේ පැවැති කෙටිකතා තරගයකට ඔහු ජෙසී චැට්බර්ස්ගේ නමින් ඉදිරිපත් කළ කෙටිකතාවට ජයග්‍රහණය ලැබිණි. එය ප්‍රකාශයට පත් කෙරුණු අතර එහි සැබෑ රචකයා ඩී.එච්. ලෝරන්ස් බව වැඩි කල් නොයා ප්‍රසිද්ධියට පත් විණි.

වර්ෂ 1912 වසන්ත සමයේදී ලෝරන්ස්ගේ ජීවිතය හදිසියේ වෙනස්වන සිදුවීමක් ඇති විය. ඔහු නොටිංහැම්හි මහාචාර්යවරයකු වූ අර්නස්ට් වීක්ලි හමුවීමට වරින් වර යන අතර මහාචාර්යවරයාගේ බිරිය ෆ්‍රීඩා සමඟ ප්‍රේම සබඳතාවක් ගොඩනඟාගෙන තිබිණි. ඔහු ගුරු වෘත්තියට සමුදුන් අතර ලේඛකයකු ලෙස ජීවත්වීමට පටන් ගත්තේ ය. මහාචාර්ය අර්න්ස්ට්ගෙන් වෙන්වීමට ‍ෆ්‍රීඩා පොලඹවා ගත් ඔහු ඇයත් සමඟ ජර්මනියට ද එතැනින් ඉතාලියට ද ගියේ ය. ලෝරන්ස් ආදරවන්තයකු ලෙස අලුත් වී සිටියේ ය. එහෙත් ලිවීම නතර වී තිබුණේ නැත. ඔහුගේ පළමු නාට්‍ය පිටපත ද Love Poems and others නාට්‍ය සංග්‍රහය ද එළිදුටුවේ මේ වකවානුවේදී ය. වර්ෂ 1913 දී ප්‍රකාශයට පත්වූ ලෝරන්ස්ගේ තුන් වැනි නවකතාව Son and Lovers ඔහුගේ ජීවන අත්දැකීම් ප්‍රතිනිර්මාණය කිරීමක් ලෙස සැලකිය හැකි ය. එය 20 වැනි සියවසේ බිහිවූ විශිෂ්ට ඉංගිරිසි නවකතාවක් බව පිළිගැනේ.‍ ඔහුගේ ඊළඟ නවකතාව The Rainbow විචාරකයන්ගේ දෝෂදර්ශනයට ලක්වූයේ එහි ලිංගිකත්වය පිළිබඳ කාරණා විශාල ලෙස මතුව තිබූ නිසා ය. එය අසභ්‍ය කෘතියක් ලෙස වාරණයට ලක්විය. මේ වනවිට ලෝරන්ස් හා ෆ්‍රීඩා විවාහ වී සිටියහ. ෆ්‍රීඩා ජර්මානු කාන්තාවක වීම නිසා ලෝරන්ස් ද ද්‍රෝහියකු ලෙස සලකන තත්ත්වයක් එම යුද සමයේ තිබිණි.

වර්ෂ 1927 දී ලෝරන්ස් ඉතාලියට පැමිණියේ ක්ෂයරෝගයෙන් පීඩා විඳින්නට වූ බැවිනි. එහි හිඳිමින් ඔහු සිය කෙටි ජීවිතයේ අවසන් ප්‍රධාන නිර්මාණ කාර්යය මෙන් ම ඔහුගේ කෘතීන් අතර අග්‍රතම කෘතිය ලෙස ද සැලැකිය හැකි Lady Chatterley’s Lover ලීවේ ය.

එය ප්‍රකාශයට පත් කළේ පෙන්ගුවින් පොත් සමාගම විසිනි. “චැටර්ලි ආර්යාවගේ පෙම්වතා” අසභ්‍ය කෘතියක් නොවන බව ද එය පළ කිරීමෙන් පෙන්ගුවින් සමාගම වරදක් කර නැති බව ද අධිකරණයේ දී තීරණය විය. ඒ වනවිට ලෝරන්ස් එය ලියා වසර 32 ක් ද ඔහු මිය ගොස් වසර 30 ක් ද ගත වී තිබිණි. ලද නීතිමය අවසරය මත 1960 නොවැම්බර් 10 වැනිදා එය ලන්ඩනයේදී නිකුත් වූ අතර එම මුල් දිනයේ ම එහි පිටපත් දෙලක්ෂයක් අලෙවි වී ය. ඊට දශක 4 කටත් පසු ලෝරන්ස්ගේ අපදානයක් ලියූ මහාචාර්ය ජෝන් වර්කස් හෙළිදරව් කළේ ‘චැටර්ලි ආර්යාව’ නම් අන් කවුරුන් හෝ නොව ලෝරන්ස්ගේ බිරිය ෆ්‍රීඩා ම බව ය. ලෝරන්ස් ක්ෂය රෝගයෙන් පීඩා විඳීම නිසා ඔහු සහ ෆ්‍රීඩා අතර තෘප්තිමත් ලිංගික ජීවිතයක් නොවූ බව ද ඇය ඇන්ජලෝ රෆායල් නම් ඉතාලි සොල්දාදුවකු සමඟ ප්‍රේම සබඳතාවක් පැවැත්වූ බව ද වර්ක්ස් පෙන්වා දේ. ලෝරන්ස්, රෆායල් ට ඉංගිරිසි උගන්වා තිබේ. සිය බිරිය ඔහු කෙරෙහි දැක්වූ උනන්දුව ගැන ලෝරන්ස් දැනුම්වත්ව සිටි බව ද වර්ක්ස් සඳහන් කර ඇත. වර්ක්ස්ට සිය නිගමනයට එළැඹීමේ දී එතෙක් ප්‍රසිද්ධියට පත්ව නොතිබූ ෆ්‍රීඩාගේ ලියුම් ද උපකාරී වී තිබේ. සිය බිරිය ෆ්‍රීඩා, රෆායල් සමඟ මතු දිනක විවාහ වනු ‍ලෝරන්ස් නිසැකවම දැන සිටි බව සාධක සහිතව වර්ක්ස් පෙන්වා දී තිබේ. ඔහු සිතූ පරිදි ම ඇය 1050 දී රෆායල් සමඟ විවාහ වූවා ය. ‘චැටර්ලි ආර්යාවගේ පෙම්වතා ලෝරන්ස් ලියා ඇත්තේ සිය බිරිය කෙරෙහි ගෞරවයෙන් බව ද මහාචාර්ය වර්ක්ස්ගේ අදහස ය‍.

අසභ්‍ය කෘතීන් රචනා කළ අශිෂ්ට ලේඛකයකු ලෙස විචාරකයන් විසින් එවක ගර්හාවට ලක් කෙරුණ ද ඩී. එච්. ලෝරන්ස් යනු 20 වැනි සියවසේ දී ලොවට බිහිවූ අතිශයින් රසාලිප්ත මෙන් ම විප්ලවීය.‍ ඉංගිරිසි සාහිත්‍යධරයකු බව නූතනයේ පිළිගැනීම ය. ක්ෂය‍ රෝගයෙන් පීඩා විඳිමින් ම ඔහු ප්‍රංසයේදී අකාලයේ ජීවිතයෙන් නික්ම යන විට 44 හැවිරිදි වියේ පසුවිය. ඔහුගේ අවමංගල්‍යයට සහභාගි වී ඇත්තේ 10 දෙනකු පමණි. ඒ අතර ඇල්ඩස් නික්ස්ලි ද සිට තිබේ.

Comments