පොතක් නොලියා ම කවි මඬලින් නික්ම ගිය කවියා | සිළුමිණ

පොතක් නොලියා ම කවි මඬලින් නික්ම ගිය කවියා

බර්ලින් කිවිඳු ගැන මතක සටහනක්

එකල සිළුමිණ පුවත්පතේ කවි පිටු දෙකකි. එකක් නිසඳැස් කවිය සඳහාය. අනෙක හතරපද කවි සඳහාය. හතරපද කවි එනම් සඳැස් කවි තීරය පළ වූයේ “මධු කුසලාන” යන නමිනි. එයට නම යෙදුවේ එවකට සිළුමිණ පුවත්පතේ සම කර්තෘවරයකු ලෙස සේවය කළ ප්‍රවීණ ගීත රචක සමන් චන්ද්‍රනාත් වීරසිංහයන්ය. ‘මධු කුසලාන’යේ සංස්කාරක වූයේ ද ඔහුමය. කලකින් ඔහු විශ්‍රාම ගියේය. ඒ යන විට කවි පිටුව භාර දී ගියේ මා හටය. එයට එවකට සිළුමිණ කර්තෘ ලෙස කටයුතු කළ කරුණාදාස සූරිආරච්චි මහතාගේ ද අනුමැතිය ලැබිණි. ඒ වන විට අප බොහෝ කවියන් හඳුනන්නේ නැත. මීමන ප්‍රේමතිලක, කවුඩානේ පියදාස ආදි කර්තෘවරුන්ගේ යුගවල සිළුමිණ කවියට බොහෝ ඉඩක් වෙන් කෙරිණි. එනිසාම කොළඹ යුගයේ බොහෝ කවියෝ සිළුමිණ හා බැඳි සිටියහ.

කෙසේ හෝ අප කුඩා වියේදී අසා තිබූ කවි නාමාවලියේ සිටි පාතකඩ කුලතිලක, දයාරත්න රණේපුර, ගාල්ලේ බර්ලින්, යටියන පුෂ්පකුමාර, ජී. ඇම්. අජිත්, කොක්මාදුවේ සෝමා පතිරණ ආදි කවි කිවිඳියන්ගේ නිර්මාණ යළිත් අප පුවත්පතට ගෙන්වා ගැනීමේ වුවමනාව අපට තිබිණි. දිනෙක ජී. ඇම්. අජිත් කිවිඳුු ඇමතුවෙමු. තවත් දිනෙක ගාල්ලේ බර්ලින් කිවිඳු ඇමතුවෙමු. තවත් දිනෙක දයාරත්න රණේපුර කිවිඳු ඇමතුවෙමු. කටයුත්ත සාර්ථක විය. ඔවුහු අපට නිර්මාණ එවීමට තරම් නිහතමානි වූහ. දිනෙක පෙර නොදන්වා ගාල්ලේ බර්ලින් කිවිඳු සිළුමිණට ආවේය. ඒ කවි කිහිපයක් ද රැගෙනය. ඔහුගේ පරම්පරාවේ කවි කිවිදියන්ගේ දුරකථන අංක රැසක් ද ඔහු අත විය. ඒ මා ඔහු දුටු පළමු දවසයි. එතැන් පටන් කොළඹ පැමිණි සෑම දිනෙක ඔහු සිළුමිණට ආවේය. ඒ එන හැම විටෙකම ආවේ ඔහුගේම කවියක් නොවුණත් දන්නා හඳුනන අයෙකුගේ නිර්මාණයක්ද රැගෙනය. එසේම යම් යම් විශේෂ අවස්ථාවල අපි ඔහු ලවා කවි ලියවා ගත්තෙමු. කොතරම් කාර්යබහුල වුවත් සිළුමිණ කරන ඉල්ලීමක් පැහැර හැරියේ ඔහු නොවේ.

ගාල්ලේ බර්ලින් කවියා ඉකුත් සතියේ අභාවප්‍රාප්ත වූයේ අසනීපයෙන් පසුවන අතරේය. මිය යන විට ඔහු 75 වැනි වියේ පසු වූයේය. කලක් ගුවන් විදුලියේ ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයකු ද ලෙස කටයුතු කළ ඔහු බාල වියේ සිටම කවි කීමේ ලිවීමේ දක්ෂයෙක් විය. ඔහුට හොඳ හඬක් තිබුණේය. හිටිවන කවියේ නමක් තැබු ඔහු නැති කවි මඩුවක් නොවූ තරම්ය. කිසිදු දිනෙක තමන්ගේ කවි පොතක් පළ නොකළ ද, ඔහුගේ කවි ශාස්ත්‍රීය ඇගැයීම්වලට ලක් නොවුණ ද ඔහු තම හැකියාවෙන් කළ සේවය ඉමහත්ය. ඒ බව වඩාත් පසක් වූයේ ඔහුගේ අවමඟුල සඳහා දිවයිනේ බොහෝ දුර බැහැර සිට පැමිණි භික්ෂුන් වහන්සේලා හා ඒ පන්සල්වල දායක දායිකා සහභාගිත්වය දැකීමෙනි.

“බර්ලින් මහත්තයා කවි කියලා, කවි මඩු තියලා තමයි අපේ පන්ස‍ෙල් බුදු මැඳුර හැදුවේ, ඝණ්ටාර කුලුන හැදුවේ.” මේ ඔවුන්ගේ මුවින් විටින් විට ඇසුණු වදන්ය.

අගනුවර තරුණ කවි සමාජයේ (අතකස) සභාපතිවරයා ලෙස කලක් කටයුතු කළ ඔහු මතට තිත, නමින් කවි මඩු සියයක් රටපුරා පැවැත්වූයේය. එමෙන්ම ඩෙංගු මර්දන කාව්‍ය විශේෂාංගයද ප්‍රභාකරන් අපායට කවි මඩුව හා තවත් විශේෂාංගද ඔහු ඇතුළු අතකස සාමාජික සාමාජිකවන්ගේ සහභාගිත්වයෙන් පවත්වණු ලැබිණි.

බර්ලින් කවියා අවසන් වරට කවි පෙළක් සිළුමිණට එවූයේ ඔහුගේ පුතුගේ හදිසි අභාවය පිළිබඳවය. ඒ ඉකුත් වසරේය. පුවත්පත් සමඟ සහයෝගයෙන් කටයුතු කළ ඔහු අලුත් පරණ කියා භේද තැකුවේ නැත. කවියට පිවිසෙන කාටත් අත දුන්නේය.

මානව දයාවෙන් පිරුණු ගාල්ලේ බර්ලින් කිවිඳුනි, ඔබට නිවන් සුව!

Comments