'කටාර්' අපේ ආර්ථිකය වට්ටයිද? | සිළුමිණ

'කටාර්' අපේ ආර්ථිකය වට්ටයිද?

ගල්ෆ් කලාපය හරහා සුළිසුළඟක් ලෙස හමායන කටාර් රාජ්‍ය මූලික කරගත් අර්බුදය තව තවතවත් ඔඩු දුවමින් තිබේ. සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍ය,ලිබියාව,ඊජීප්තුව,යේමනය හා බහරේනය යන මැදපෙරදිග රටවල් කටාර් රාජ්‍ය සමඟ පවත්වාගෙන ගිය සියළු රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අත්හැරීමට තීරණය කිරීමත් සමඟ මෙම ගල්ෆ් අර්බුදය දිග හැරුණු අතර ත්‍රස්තවාදීන් සඳහා අවශ්‍ය මූල්‍ය හා අනෙකුත් පහසුකම් ලබා දීමට කටාරය කටයුතු කිරීම යන චෝදනාව අර්බුදය ඇතිවීමට ආසන්නම හේතුව වී තිබේ.

ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය පළමු විදේශ සංචාරය ලෙස මැද පෙරදිග රටවල් කිහිපයක සංචාරය කල අතර දේශපාලනය හා විදෙස් විචාරකයන් ගණනාවකගේ අදහස වී තිබෙන්නේ ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ බලපෑම මත මෙහි මූලින් සදහන් කළ රටවල් රොත්ත කටාරය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අත් හැරීමට තීරණය කළ බවයි.

කටාර් මූලිකව ඇති වූ මෙම අර්බුදය අප රටට බලපාන්නේ කෙසේද.? විචක්ෂණශීලීව ආර්ථික කෝණයන් ඔස්සේ විමසා බලන ඕනෑම අයෙකුට මෙහිදී පෙනී යන කාරණය වනුයේ කටාර් අර්බුදය තවදුරටත් ඔඩු දිව්වහොත් එය ශ්‍රි ලංකාවේ ආර්ථිකයටද සෘජුවම බලපෑමක් එල්ල කරනු ඇති බවයි.

මේ වන විටත් ශ්‍රි ලාංකිකයන් එක් ලක්ෂ පනස්දහසකට වැඩි පිරිසක් කටාර් රාජ්‍ය තුළ විවිධ අංශයන්හි රැකියාවන්හි නිරත වේ. ඒ අතරින් ඉහළම වැටුප් ලබන ඉදිකිරීම් වැනි ක්ෂේත්‍රයන්හි නිරත වෘතියවේදීන් වැඩි පිරිසක්ද වෙති. ඇතිවුණු අර්බුදය විසදා ගැනීමට නොහැකි වුවහොත් එම අයගේ රැකියා අවධානමට ලක්වීම වළක්වනු නොහැකිය. කෙසේ වුවත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසන්නේ තවමත් ශ්‍රි ලංකිකයන්ගේ රැකියා අවධානමට ලක්වන ආකාරයේ වටාපිටාවක් කටාරය තුළ උද්ගතව නොමැති නිසා ඒ හා සම්බන්ධව අනියත බියක් ඇති කර ගත යුතු නොමැති බවයි.

එහෙත් කටාර් අර්බුදය උද්ගතවීමත් සමඟ ශ්‍රි ලාංකික මූල්‍ය ආයතන රැසක් කටාර් රියාල් ශ්‍රි ලාංකික රුපියල් වලට මාරු කිරීම නවතා දැමූ බවට මාධ්‍ය වාර්තා පළවිය. රජය හා ශ්‍රි ලංකා මහ බැංකුව එක්ව ඒ සදහා කඩිනම් පියවර ගත් අතර ඒ හේතුවෙන් ඇති වීමට ගිය තවත් ගැටලුවක් ක්ෂණිකව මඟහරවා ගැනීමට හැකිවිය.එය එසේ වුවත් කටාර් ප්‍රශ්නය තවදුරටත් වර්ධනය වුවහොත් කටාර්වල මුදල් ඒකකය වන රියාල් වලට ගෙවන ඩොලර් හා රුපියල් ප්‍රමාණය අඩුවීමේ අවධානමක් ඒ හා සමඟම පැන නැගිය හැකිය.

කටාර් සේවයේ නිරත ශ්‍රි ලාංකික ශ්‍රමිකයින්ට තවමත් කිසිදු ගැටලුවක් මතුවී නොමැති බව සත්‍ය මුත් කටාරය මූලිකව ගල්ෆ් කලාපය හරහා හමන මේ සුළි සුළඟ නවතා ගැනීමට නොහැකි වුවහොත් ඉදිරියේදී තම ශ්‍රමිකයින් කටාරයේ විදේශ රැකියා සඳහා යැවීමට ශ්‍රි ලංකාවට නොහැකි වනු ඇත. මේ තත්ත්වය මෙරට විදේශ විනිමය ආදායම කෙරෙහි සෘජු බලපෑමක් එල්ල කරනු නිසැක අතර එම රට සදහා විදේශ ශ්‍රමිකයන් සපයන ශ්‍රි ලාංකික විදේශ රැකියා නියෝජිත ආයතන ගණනාවක ගේ පැවැත්මටද එක හෙලා බලපානු ඇත.

ලොව තෙවැනි විශාලතම ගෑස් හා තෙල් සංචිතවල හිමිකරුවා ලෙස සැළකෙන කටාරය ඛනිජ තෙල් නිසා ලොව ධනවත්ම රාජ්‍යයක් බවට පත්ව ඇත. ඔවුන් ඔපෙක් සංවිධානයද නියෝජනය කරයි.ලෝක වෙළෙඳපලට බොර තෙල් සපයන රටවල් 12 අතර 09 වන ස්ථානයද කටාරය හිමිකර ගෙන ඇති අතර කටාර් අර්බුදය විසදා ගැනීම අසීරු වුවහොත් හෝ පමා වුවහොත් එය මෙරට තෙල් මිල තීරණය කිරීමේහිලා ප්‍රධාන සාධකයක් වනු ඇති බවටද ආර්ථික විශේෂඥයෝ මත පළ කර තිබේ.

මේ වන විට මෙරට සංචාරක ව්‍යාපාරය සීග්‍ර වර්ධනයක් පෙන්නුම් කර තිබෙන අතර ඒ සදහා කටාර් ගුවන් සේවය මගින් ලබා දුන් දායකත්වයද සුළුපටු නොවේ.යම් බරපතලකාරී තත්ත්වයක් වෙත කටාරය තවදුරටත් තල්ලු වුවහොත් එය කටාර් ගුවන්සේවය සදහාද එක එල්ලේ බලපාන අතර එමගින් මෙරට සංචාරක ව්‍යාපාරයටද බලපෑමක් එල්ල කිරීමට හැකියාව තිබේ.

කෙසේ වුවත් වත්මන් රජයේ විදෙස් හා ආර්ථික ප්‍රතිපත්ති කටාර් අර්බුදයේ දිග පළල තවමත් අප රටේ ජනතාවට නියම ලෙස නොදැනෙනනට අවශ්‍ය වටපිටාව නිර්මාණය කර දී ඇති බවද සඳහන් කිරීම වටියි.

මැදපෙරදිග අස්ථාවර වන බොහො අවස්ථාවල එම අස්ථාවරත්වය ශ්‍රි ලංකාවේ ආර්ථික වර්ධන වේගය අඩපන කරදැමීමට හේතුවක් වන නමුත් එවැන්නක් සිදු නොවේවා යන්න ශ්‍රි ලාංකිකයින් සියලු දෙනාගේ අදහසයි.


කොමර්ෂල් වෙතින් හරිත බලශක්ති ණය සහන පොලී අනුපාතයකට

ජුනි 05 වනදාට යෙදුණු ලෝක පරිසර දිනය සැමරීමට සමගාමීව කොමර්ෂල් බැංකුව විසින් ජුනි මාසයේදී ලබාදෙන හරිත බලශක්ති ණය සඳහා සහන පොලී අනුපාතයක් අයකරන බව නිවේදනය කර තිබේ.

ජාතික පද්ධතියෙන් ලබාගන්නා විදුලිය අඩුකරමින් සූර්ය බලශක්තිය සඳහා මාරුවීම වෙනුවෙන් 2017 ජුනි 30 වනදාට පෙර ණය මුදල් ලබාගන්නා නිවාස හිමියන්ට 14% කින් ඇරඹෙන විශේෂ පොලී අනුපාතයක් යටතේ අදාළ ණය මුදල ලබාදීමට සූදානම් බවය බැංකුව සඳහන් කරයි.

මෙම ණය යෝජනා ක්‍රමය සඳහා අවුරුදු 60 ක් දක්වා වයසැති අයදුම්කරුවන්ට අයදුම්කළ හැකි අතර අවම වශයෙන් සිය රැකියාවේ අවුරුද්දක කාලයක් ස්ථීරව ඔවුන් සේවය කර තිබිය යුතුය. මීට අමතරව, මේ සඳහා අයදුම් කිරීමට රුපියල් 50,000ක හෝ එයට වැඩි මාසික වැටුපක් ලැබිය යුතු බවත් බැංකුව පවසයි.

එසේම, වෘත්තීය සංගමයක ලියාපදිංචි වී සිටින ස්වයං රැකියාවල යෙදී සිටින වෘත්තිකයින්ටද මෙම හරිත ණය යෝජනා ක්‍රමය සඳහා අයදුම් කළ හැකි අතර ඒ සඳහා ඔවුන්ට රුපියල් 50,000 ක හෝ එයට වැඩි මාසික වැයකළ හැකි ආදායමක් තිබිය යුතු අතර වයස අවුරුදු 18 ත් 65 අතර විය යුතුය.

මෙම ණය යෝජනා ක්‍රමය යටතේ සූර්ය බලශක්තිය ලබාගැනීම වෙනුවෙන් වැයවන ආයෝජනයෙන් 75% ක මුදලක් බැංකුව විසින් ලබාදෙයි.

කොමර්ෂල් බැංකුවේ හරිත සංවර්ධන ණය මගින් තම ව්‍යාපාරවල බලශක්ති ඉතිරිකර ගැනීම, බලශක්ති කාර්යක්ෂමතාව හෝ ප්‍රධාන පද්ධතියෙන් බාහිර සූර්ය විදුලිය බලය ඇතුළු පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා ආයෝජනය කිරීමට උනන්දුවක් දක්වන සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් සහ ව්‍යවසායකයින්ට මෙම ණය යෝජනා ක්‍රමය යටතේ සහන පොලී අනුපාතයන්ට රුපියල් මිලියන 25 ක් දක්වා අවුරුදු හතකින් ගෙවා නිමකිරීම සඳහා ණය ලබාගත හැකිය.

තමන්ගේ අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධතිය දියුණු කර ගැනීම හෝ අපජලය පිරිපහදු කිරීමේ යන්ත්‍රාගාරයක් ස්ථාපිත කිරීම, වායු දූෂණය පාලනය කිරීමේ පද්ධතියක් ගොඩනැගීම, ඝණ අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණ ,පිරිපහදු කිරීමේ යන්ත්‍රාගාර පිහිටුවීම හෝ ශබ්ද දූෂණ පාලන පද්ධති ගොඩනැගීම තුළින් ජාතික පරිසර ප්‍රමිතීන් හා අනුකූලවීමට අවශ්‍ය ආයතන වෙනුවෙන්ද කොමර්ෂල් බැංකුවේ හරිත සංවර්ධන ණය යෝජනා ක්‍රමය යටතේ ණය ලබාගත හැකිය.


Women in Management සහ IFC සත්කාරය

7 වන වරට පැවැත්වෙන විද්වත් කාන්තා වෘත්තිකවේදියන්ගේ සම්මාන උළෙල 2017ට සමගාමීව Women in Management සහ ලෝක බැංකු සමූහයේ සාමාජික ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ එකමුතුවෙන් ලොව වෙනස් කිරීම සඳහා කාන්තා නායකත්වය යන මැයෙන් පසුගියදා මහනුවරදී කමිටු සාකච්ඡාවක් සංවිධානය කෙරුණි. මෙහිදී සංස්ථාපිත අංශයේ නායකයන් ලෙස ජයග්‍රහණ රැසක් අත්පත් කරගෙන ඇති මෙන්ම WIM සම්මානලාභී කාන්තාවන් පස් දෙනෙකු විසින් තම සාර්ථකත්වයේ මග විවර කරගත් අයුරු විස්තර කරන ලදී. මෙය කාන්තා වෘත්තිය සම්මාන උළෙල 2017ට සමගාමීව පැවති කුඩා සම්මාන ප්‍රදානයක් ලෙස පැවති අතර ඒ හරහා ශ්‍රි ලංකාවේ දිස්ත්‍රික්ක හතක කාන්තා ව්‍යවසායිකාවන් හඳුනාගෙන ඔවුන්ට තම වෘත්තීයමය දිවියේ මෙන්ම පෞද්ගලික දිවියේත් අවස්ථා හඳුනාගමින් පැන නගින ගැටලූ ග්‍රහණය කරගන්නා අයුරුත් පැහැදිලි කරන ලදී.

මෙම සාකච්ඡා වටය කීර්තිමත් කමිටුවකින් සමන්විත වූ අතර ඒ සඳහා හේමාස් ෆාමසූටික්ල්ස් ,හේමාස් ලොජිස්ටික්ස් සහ මැරීන්ටයිම් හි කළමනාකාර අධ්‍යක්ෂ කස්තුරි චෙල්ලරාජා විල්සන්, කෝකා-කෝලා හි කළමනාකාර අධ්‍යක්ෂ සෝනු ග්‍රෝවර්, වර්චුසාපොලරීස් හි මානව සම්පත් අංශයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂිකා චන්දි ධර්මරත්න, ජනශක්ති ඉන්ෂුවරන්ස් හි ප්‍රධාන පරිපාලක නිලධාරි දයාලින් අබේගුණවර්ධන සහ ඉන්ෆෝ ටෙක් හි උප සභාපති රම්‍යා වීරකෝන් සහභාගී වූහ. මේ සියලූ දෙනාම මෙරට සංස්ථාපිත අංශයේ කාන්තා නායිකාවන් ලෙස සදා නොමැකෙන ජයග්‍රහණ අත්පත් කරගෙන ඇත.

මෙම සුවිශේෂී සාකච්ඡාවට දිවයිනේ දිස්ත්‍රික්ක හතක වෙසෙන නැගී එන කාන්තා ව්‍යවසායිකාවන් 13 දෙනෙකුගේ ජයග්‍රහණයන් ඇගයීම සඳහා වන සම්මාන උලෙළින් සංවිධානය විය. ඒ මහනුවර, අනුරාධපුරය, මන්නාරම, වව්නියාව, හම්බන්තොට, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්ක සඳහායි.


Auxenta නව කාර්යාල පරිශ්‍රයක් විවෘත කරයි

Auxenta යනු සිලිකන් වැලි මූලස්ථානය කරගත් තොරතුරු තාක්ෂණ සමාගමකි. සිය ශ්‍රී ලංකා කාර්යාලය අංක 61, 01 වැනි මහල, ජනාධිපති මාවත, කොළඹ 01 යන ලිපිනයෙහි පිහිටා ඇති නවීන පහසුකම් සහිත ගොඩනැගිලි පරිශ්‍රයකට රැගෙන යාමට Auxenta සමාගම පසුගියදා කටයුතු කරන ලදී. මෙම නව ගොඩනැගිලි පරිශ්‍රය තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ කාර්යාලයක් වශයෙන් නිර්මාණශීලී නව අදහස් උත්පාදනය සඳහා අවකාශය ලබා දෙන අයුරින් නිර්මාණය කර ඇත. නොබෝ දිනකින් එළි දැක්වීමට නියමිත MillionSpaces වැනි නව්‍යකරණයන් සඳහා අවශ්‍ය කරන සේවා පසුබිම එම ගොඩනැගිලි පරිශ්‍රයෙහි නොඅඩුව අන්තර්ගත වේ. මෙම විවෘත කිරීමේ අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූයේ නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතාය. නිරන්තර නව්‍යකරණයන් සිදුකිරීම constantly innovate and up the ante සඳහා සමාගම සතු දැක්ම සහ ක්‍රමෝපාය එතුමන්ගේ ඇගයුමට ලක් විය.SLASSCOM ආයතනයේ නියෝජ්‍ය සභාපති රුවිඳු පීරිස් සහ Great Place to Work ප්‍රධාන විධායක නිලධාරී කණිෂ්ක රත්නායක යන මහත්වරුන්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

Comments