කුරුඳු හා තේ වගා හානිවලට පිළියම් | සිළුමිණ

කුරුඳු හා තේ වගා හානිවලට පිළියම්

"අයගම ගලතුර ඇල්ලගත්තු දුම්බර හන්දිය අවටත් කුකුළු කොරළයේ පල්ලේ පත්තුව ප්‍රදේශයෙත් තේ කුරුඳු, රබර් පැළ ආදිය කුණු වෙලා, මේ ගස් ගලවලා අලුතින් සිටුවිය යුතුයැයි වගාකරුවන් කියනවා. මේ දුකට පත් ජනතාව වෙනුවෙන් තේ පැළ, රබර්බර් පැළ, කුඳුරු පැළ ලබා දීමට පැළ දන්සලක් පැවැත්වීම සුදුසුයි." මැදපොළ, දුම්බර ඇල්ලගාව දුම්බර විහාරයේ පූජ්‍ය ඌරල වජිරබුද්ධි හිමියෝ කියති. ආර්ථිකය කඩාවැටීම නිසා අසරණ වූ පිරිස සතු වගා බිම් නැවත වගා කිරීම අත්‍යවශ්‍යව ඇතැයි පවසන උන් වහන්සේ වතුරට යට වූ තේ පඳුරු මෙන්ම රබර් පැළද මැරෙන්නට නොදී පවත්වාගෙන තිබෙනවායැයි කීහ.

එසේම නාය ගොස් ඇති ඉඩම් වෙනුවට වඩාත් සුදුසු විකල්ප ඉඩම් සොයා දිය යුතුව ඇතැයිද ආණ්ඩුවේ වගකිව යුත්තන් සමඟ මේ ගැන කරන අනාගත සාකච්ඡාවකදී රත්නපුර ගංවතුර හා නායයෑම් පිළිබඳ යොජනා කීපයක් ඉදිරිපත් කරන බවද වජිරබුද්ධි හි‍මියෝ පවසති.

ගංවතුර හා නායයෑම් නිසා වඩාත් හානියට පත් වූයේ රත්නපුර දිස්ත්‍රික්කයයි. එමෙන්ම දෙවනුවට හානියට පත් වූ දිස්ත්‍රික්කය කළුතර දිස්ත්‍රික්කය බව නිගමනය වූ අතර, ගාල්ල සහ මාතරද වගා හානි බහුල විය. සිදුව ඇති හානි අතර තේ සහ කුරුඳු ඉඩම් නාය යෑම, වගා ඉඩම් ගංවතුරට යට වී කුරුඳු සහ තේ පඳුරු විනාශ වීම, ‍තේ හා කුරුඳු පඳුරු අකලට මැරී යෑම ආදිය සඳහන් කළ හැකිය. පාඩගල බෝතලේගම ජනපදයේ කල්‍යාණි ඇල්විටිගල මහත්මිය පවසන අන්දමට ප්‍රදේශය පුරා කුරුඳු පැළ හිඟයක් පවතී. වගා හානිය වළක්වා ගැනීම සඳහා කුරුඳු පැළ සොයා යන සමහර කුරුඳු ඉඩම් හිමියන් රු. 18ක් පමණ මිලක් ගෙවා කුරුඳු පැළ මිලට ගන්නා බව ඒ මහත්මිය කියයි. තම කුරුඳු වගාවට පොහොර සහනාධාර ලැබෙන බවත්, එය තමාට මහත් සහනයක් බවත් ඇය පවසයි. ගොවි ජනතාව සුළු අපනයන ගොවි මධ්‍යස්ථාන මඟින් කුරුඳු පැළ ලබාගැනීමට කැමැත්තක් දක්වන බවත්, අලුතින් වගා කිරීම සඳහා කුරුඳු පැළ 50000ක් පමණ අවශ්‍ය බවත් ඒ මහත්මිය තවදුරටත් සඳහන් කළාය. මේ අයුරින් තේ පැළ සඳහාද දැන් විශාල ඉල්ලුමක් ඇති වෙමින් පවතී. හේතුව අලාභහානි වූ තේ ඉඩම් නැවත වගා කිරීමට ඉඩම් හිමියන්ට සිදුව තිබීමයි. රත්නපුර ඇළපාත ධම්මහන්දිය ප්‍රියන්ත ගමගේ මහතා පවසන්නේ තැනින් තැන නාය ගිය ඉඩම්වලට අමතරව ජලයෙන් ‍යට වී මැරී යන තේ පඳුරුද දක්නට ලැබෙන බවයි. රටේ අනාගතය වෙනුවෙන් මේ වගා දෙකම පුනරුත්ථාපනය කරගත යුතුව තිබේයැයි පවසන රත්නපුර කරපිංචාගොඩ මෙරිල් දිසානායක මහතා තේ පඳුරු රාශියක් විනාශ වීමෙන් තමාට ලොකු අවාසියක් වී ඇති බව පවසයි. කරපිංච තේ පර්යේෂණ ආයතනයෙන් හෝ පෞද්ගලික ආයතනයන්ගෙන් තේ පැළ මිලට ගැනීමට සිදුව ඇතැයි කියන මෙරිල් මහතා තේ පැළ මිල ඉහළ යෑමට ඉඩ ඇතැයිද පවසයි. තේ පැළයක මිල රුපියල් 16ක්-17ක්ව පැවැතියද ඉදියේදී තේ පැළ සඳහා විශාල ඉල්ලුමක් ඇති වන බවද ඒ මහතා කියයි. රොන්මඩ තැවරී ඇති නිසා දලු නෙළීමට අපහසුව ඇතැයිද පවසයි. රත්නපුර, කළුතර, ගාල්ල, කෑගල්ල, මාතර සහ මහනුවර යන දිස්ත්‍රික්ක රැසක තේ වගාව ජලයෙන් යටව තිබූ ප්‍රදේශයි. එසේම කුරුඳු භෝගය ආර්ථික වැවිල්ලක් ලෙස කළුතර, ගාල්ල සහ මාතර යන ප්‍රදේශවල ව්‍යාප්තව පවතී.

මේ ආර්ථික වැවිලි දෙකම ශ්‍රී ලංකා ආර්ථිකයේ වැදගත්ම භෝග දෙකක් වන අතර, මේ ව්‍යසනයත් සමඟ සිදු වූ පරිහානියද නොතකා හළ නොහැකිය. මේ වගාවන්ට හානියක් සිදු වුව හොත් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට දැනෙන බලපෑමක් සිදු වේ. තේ වගාවේ අපනයන ආදායම 2014 සිට ක්‍රමයෙන් අඩු විය. 2014 තේ අපනයන ආදායම ඇ.ඩොලර් දස ලක්ෂ 1628ක් වුවද 2015 දී ආදායම ඇ.ඩො. දසලක්ෂ 1340 දක්වා අඩු විය. 2016 දී ආදායම ඇ.ඩො. දසලක්ෂ 1269කි.

මෙසේ අපනයන ආදායම අඩු වීම හේතුවෙන් දේශීය ගොවියාටද තේ සඳහා ලැබෙන මිලගණන් පහත වැටිණි. එහෙත් 2017 වසර සමඟ නැවත තේ සඳහා ඉහළ මිලක් ලැබීම නිසා තේ වගාකරුවාගේ ආදායමද ඉහළ ගියේය. ලෝක තේ මිල ඉහළ යෑමේ වාසිය වැඩියෙන් හිමි වූයේ පහතර‍ට තේ වගාකරුවාටය. එයිනුත් කුඩා තේ වතු හිමියාටය. වත්මන් ව්‍යයසනයෙන් වඩාත්ම අලාභ සිදු වූයේද කුඩා ඉඩම් හිමියන්ටය.

රත්නපුර කරපිංච කුඩා වතු සමිතියේ ලේකම් ප්‍රේමදාස විතානගේ මහතා පවසන අන්දමට තම සමිති සාමාජිකයන්ගේ තේ ඉඩම් අක්කර 20ක් පමණ විනාශ වීමේ තර්ජනයට ලක්ව තිබේ. කිලෝවකට රුපියල් 95-100 අතර ඉහළ මිලක් හිමි වුවද, දැන් දලු කැඩීම වෙනුවට තේ ගස් කප්පාදු කිරීමට හෝ නැවත සිටුවීමට සිදු වන බව කියයි. තේ පැළයක් රුපියල් 18-25 අතර මිලකට අලෙවි වන නමුත් තේ වතු ඉඩම් හානියට පත් ඉඩම් හිමියන්ට සහන සැපයිය යුතුයැයිද අඩුමිලට තේ පැළ ලබාදිය යුතුයැයිද ඔහු කියයි.

නවතම සංඛ්‍යාලේඛනවලට අනුව ඉරාකය, ඉරානය සහ සිරියාව යන රටවල් ශ්‍රී ලංකාවෙන් මිලට ගන්නා තේ ප්‍රමාණය වැඩි කර ඇති අතරම, තේ මිලද ඉහළ යමින් තිබේ.

මේ අයුරින්ම කුරුඳු වගාවද ක්‍රමයෙන් ඉහළ ආදායම් ලබන මොහොතක මේ ව්‍යසනය සිදු විය. කුරුඳු වගාව ගෘහස්ථ වගාවක් බවට පත් කරගත් පිරිසක් වසන කළුතර දිස්ත්‍රික්කය වඩාත් නාය ගිය ප්‍රදේශයකි. එසේම ගාල්ල සහ මාතරද කුරුඳු වගාවට ප්‍රසිද්ධය. මේ සියලු ප්‍රදේශවල කුරුඳු පඳුරු සෝදාපාළුවට ලක් වීම නිසා බොහෝ ඉඩම්වල පාංශු ඛාදනය නවතා ගැනීමට විශාල මුදලක් වැය කළ යුතුව තිබෙන බව ඉඩම් හිමියෝ පවසති.

ශ්‍රී ලංකාවේ කුරුඳු සහ චීනයේ කැසියා නම් ආදේශකය අතර පැවැති ගැටුම නිමා වූයේ ශ්‍රී ලංකා කුරුඳු සඳහා අන්තර්ජාතික වෙළෙඳපොළේ ඉල්ලුම වැඩි වීමෙනි.

ආහාර, සුවඳවිලවුන්, ඖෂධ ආදිය වශයෙන් අද වන විට කුරුඳු සඳහා ඉහළ මිලක් හිමි වේ. 2015 කුරුඳු නිෂ්පාදනයට සාපේක්ෂව 2016 කුරුඳු නිෂ්පාදනය 7%කින් වර්ධනය විය. 2016දී කුරුඳු නිෂ්පාදනය මෙ.ටො. 18945කි. එහෙත් 2015දී නිෂ්පාදනය වූයේ මෙ.ටො. 17707කි. 2014දී කුරුදු අපනයනයෙන් ලත් ආදායම රුපියල් දසලක්ෂ 19909කි. 2016 වසරේ ඒ ආදායම රුපියල් දසලක්ෂ 24,973 දක්වා ඉහළ ගොස් තිබේ.

විදේශ ඉපැයීම් හිඟයකින් පෙළෙන ශ්‍රී ලංකාවට තේ සහ කුරුඳු යන වගා දෙක මොන තරම් වටිනා සම්පතක්ද යනු මෙයින් පැහැදිලි වේ.

මේ හැර රබර්, පොල්, පුවක්, කරාබුනැටි, සාදික්කා ආදි වගාවන්ටද ගංවතුර හා නාය යෑම් නිසා හානි සිදු විය. මේ හැම වගාවක්ම ප්‍රතිසංවිධානය කිරීම සඳහා විශාල වශයෙන් ශාක පැළෑටි අවශ්‍ය වන්නේය. මේ අවශ්‍යතාව සපුරා ලීම සඳහා පැළෑටි සැපයීම බාධාවකින් තොරව ලබාදීම වග කිව යුතු අංශයන්හි කාර්යභාරය විය යුතුය.

තේ කර්මාන්තයේ සහ කුරුඳු කර්මාන්තයේ අනාගතයට බලපාන ප්‍රධාන බාධකයක්ව ඇත්තේ දලු නෙළන්නන්ගේ සහ කුරුඳු තළන්නන්ගේ හිඟයයි. දැනට කුරුඳු තළන්නේ තැළුම්කරුට මිලෙන් බාගයක් ගෙවීමේ කොන්දේසිය මතය. එහි අරුත නම් කුරුඳු කිලෝවක මිල රුපියල් 3000ක් නම් තැළුම්කරුට රුපියල් 1500ක් ගෙවීමයි. සුළු අපනයන දෙපාර්තමේන්තුව කුරුඳු තළන්නන් පුහුණු කිරීමේ ව්‍යාපෘතියක් අරඹා ඇති නමුත් එයට තරුණයන් ආකර්ෂණය කරගැනීමට තරමක් අපහසු වී තිබේ.

තේ දලු නෙළීමේදීද මේ ප්‍රශ්නය මතු වේ. කුඩා ඉඩම් හිමියෝ තමතමන්ගේ දලු නෙළාගැනීමට පුරුදුව සිටිති. වතු සමාගම් පවසන්නේ වෙනත් තේ වවන රටවලට වඩා ශ්‍රී ලංකාවේ දලු නෙළන්නන්ට ඉහළ වැටුපක් හා තවත් වරප්‍රසාද රාශියක් හිමි වවුත් ඔවුන්ගේ නිෂ්පාදන ශක්තිය අඩු මට්ටමක පවතින බවයි. පසුගිය සමයේ තේ කිලෝවක පිරිවැය සහ විකුණුම් මිල සමාන මට්ටමක තිබූ අවස්ථා වර්තා වූ අතර, මේ වන විට තේ කිලෝවක අන්තර්ජාතික මිල ඉහළ මට්ටමක පවතී.

කරුණාරත්න අමරතුංග 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.