ගුණාත්මක කිරි නිෂ්පාදනයට ඉහළ තාක්ෂණයක් | සිළුමිණ

ගුණාත්මක කිරි නිෂ්පාදනයට ඉහළ තාක්ෂණයක්

කිරි දිනය සෑම වසරකම ජුනි මස පළමුවැනිදාට යෙදී තිබුණි. ‘කිරිපානය නංවාලමු’ මෙවර තේමාවයි. පෝෂණිය ගුණයෙන් ඉහළ ආහාරයක් වශයෙන් කිරි සහ කිරි ආශ්‍රිත නිෂ්පාදනවල ඇති වැදගත්කම ලොවට හදුන්වාදීමේ අරමුණින් ආරම්භ කළ මේ ව්‍යාපෘතියෙහි නියමුවන් වන්නේ එක්සත් ජාතින්ගේ සංවිධානයට අනුබද්ධ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයයි. මේ ව්‍යාපෘතිය ප්‍රථමවරට ආරම්භ කරනු ලැබුවේ වසර 2001 දීය. වසර 2016 වන විට ලෝකයේ රටවල් 44 කට වැඩි ප්‍රමාණයක් මේ ව්‍යාපෘතියට එකතුවී ඇති බව වාර්තා වේ.

කිරි පරිභෝජනයේ ඉතිහාසය

ලෝකයේ කිරි අවශ්‍යතාවන්ගෙන් 90% ක් ම සපුරා ගන්නේ එළකිරිවලිනි. මහ බ්‍රිත්‍යානයේ වාර්ෂික කිරි නිෂ්පාදන ප්‍රමාණය ලීටර් බිලියන 13.7 කී. ලෝකයේ ප්‍රථමවරට වාණිජ අරමුණින් ඔටු කිරි නිෂ්පාදනාගාරයක් ආරම්භ වන්නේ 1986 දී සවුදි අරාබියේ රියාද් නුවරදීය. වසර 10‚000 කට ඉහත දී ප්‍රථමයෙන් එළකිරි පානයට පුරුදුවී ඇත්තේ වත්මන් ඇෆ්ගනිස්ථානය සහ ඉරාණයයි. වසර 3000 කට ඉහතදී පුරාණ ඊජිප්තු වැසියන් කිරි පරිභෝජනය කළ බවට සාක්ෂි ඔවුන්ගේ පන්සල විහාර සිතුවම් සාක්ෂි දරයි. ඉතා අඩු වියදමකින් අපගේ ශරීරයට අවශ්‍ය පෝෂණ පදාර්ථ 9 ක් ලබාදෙන කිරිවල ප්‍රෝටීන් කැල්සියම් පොටෑසියම් පොස්පරස් රිබොෆලැවින් නියැසින් මෙන්ම විටමින් ඒ, ඩී සහ බී 12 අඩංගුය. වැඩිපුරම කිරිපානය කරන රට පින්ලන්තයයි. එක් පුද්ගයෙකු වසරකට පානය කරන ප්‍රමාණය ගැලුම් 95 ක් පමණ වෙයි. එළකිරිවලට වඩා මීගව කිරිවල ප්‍රෝටීන් 25% ක් බහුලය. කිරි යනු විශාල වශයෙන් ස්වාභාවික පෝෂණ පදාර්ථ අඩංගු ලෝකයේ ඇති එකම පානයයි.මේ වසරේ ලෝකයේ මහා කිරි නිෂ්පාදකයින් දස දෙනා (Top ten) තේරීමේ දී ප්‍රථමයා වුයේ අප අසල්වැසි ඉන්දියාවයි. දෙවැන්නා එක්සත් ජනපදයයි. තුන්වැන්නා චීනයයි. පකිස්ථානය බ්‍රසීලය ජර්මණිය රුසියාව ප්‍රංශය, නවසීලන්තය තුර්කිය පිළිවෙළින් සෙසු රටවල්ය.

සමූපකාර සමිති

මේ අනුව වසරේ විශාලතම කිරි නිෂ්පාදකයින්ගේ ලැයිස්තුවෙහි ඉහළින් ම සිටින්නේ ඉන්දියාවයි. මුලින්ම කිරි නිෂ්පාදනයට පිවිසියේ සමූපකාරයයි. මෙයට හේතුව වූයේ කිරි නිෂ්පාදනය මූලිකව ඇරැඹුණේ කුඩා පරිමාණයෙන් වීමයි. ලෝක කිරි නිෂ්පාදන කාර්යයට සියයට 9.5% කින් දායක වන ඉන්දියාව එළකිරි නිෂ්පාදනයෙන් දෙවෙනි වන්නේ ඇමරිකා එක්සත් ජනපදයට පමණි. එහෙත් ඔවුන් ලැයිස්තුවේ ඉහළින් ම සිටින්නේ මී ගවයින්ගෙන් විශාල කිරි ප්‍රමාණයක් ලබා ගන්නා නිසාය. ඉන්දියාවේ කිරි නිෂ්පාදනයෙන් 80% ක් පමණ ලැබෙන්නේ විධිමත් නොවු කුඩා කිරි ගොවියා වෙතිනි. ග්‍රාමීය මට්ටමෙන් පවතින කිරි නිපදවන්නන්ගේ සමුපකාර සමිති 130000 පමණ වෙයි. වැඩි කිරි අස්වැන්නක් ලැබෙන්නේ උත්තර ප්‍රදේශය, ආන්ද්‍රා ප්‍රදේශය, ගුජරාට සහ පන්ජාබ යන ප්‍රාන්තවලිනි. පකිස්ථානය ඇෆ්ගනිස්ථානය එක්සත් අරාබිය සහ නේපාලය යන රටවලට ඉන්දියාව කිරි අපනයන කරයි.

ඉන්දියානු සංස්කාතියට අනුව එරට සමාජයේ කිරි එළදෙනට ලැබෙන්නේ සුවිශේෂ ස්ථානයකී. ඔවුහු එළදෙනට දේවත්වයෙන් සලකති. ඔවුන් නහවා සුවඳ ගල්වා මල්මාල පළඳවා වන්දනා කරමින් තමාට කිරි සම්පත ලබාදෙන එළදෙනට පුද සත්කාර කරන්නේ ඉමහත් ගෞරවයකින් හා භක්තියකිනි. එළදෙනුන් ඝාතනය කරන්නහට උපරිම දඩුවම ජීවිතාන්තය දක්වා වැඩිකිරීමට නියෝග කරමින් එළදෙන ජාතික සත්වයා ලෙස නම් කරන්නැයි රාජස්ථාන මහාධිකරණය පසුගියදා නියෝගයක් ද පැනවීය.

ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය මෙවර අන්තර්ජාතික කිරි දිනයේ දී විශේෂයෙන් ම ප්‍රධාන අංශ 3 ක් කෙරේ අවධානය යොමු කරයි. තවදුරටත් කිරිවල ඇති සෞඛ්‍යසම්පන්න බව සහ පෝෂණ ගුණය ඉහළ නැංවීම සහ සුරක්ෂිත කිරිම‚ කිරි නිෂ්පාදන කටයුතුවල යෙදී සිටින කිරි ගොවියන්ගේ සහ එම පවුල්වල ජීවන තත්ත්වය ආර්ථික සාමාජීය වශයෙන් නැංවීම සහ පශු සම්පත් සහ තෘණ භුමි වැඩිදියුණු කිරිමෙන් කිරි ආර්ථිකය සංවර්ධනය කිරීම යනාදි යයි.

පෝෂණීය තෘණ බිම්

කිරි නිෂ්පාදන කාර්යයේ දී මුලික ස්ථාන හිමි වන්නේ කිරි එළදෙනටයි. සත්ත්වයාගේ නිරෝගි බව පෝෂණ ගුණයෙන් යුතු කිරි අපට ලබාදීමට උදව් වෙයි. මේ නිසා පෝෂණ ගුණයෙන් පිරි ඉහළ කිරි අස්නැන්නක් ලබා ගැනීමට නම් පෝෂණීය ගුණයෙන් පිරි ආහාර ලබාදීම අත්‍යවශ්‍ය දෙයකි. දිනෙන් දින වැඩි වර්ධනය වෙමින් පවතින පරිසර දූෂණයට අප මෙන්ම සතා සිවුපාවා ද ගොදුරු වීම වැළෑක්විය නොහැකිය. අතීතයේ කිරි දොවා ගත් පසු මුදාහරින එළදෙනුන් තණ පිටියේ හෝ කුඹුරේ හෝ ඇවිද ස්වභාවිකව වැඩෙන පෝෂණිය තණ උලා කමින් වැඩුණ නමුදු වත්මනේ එවන් පරිසරයක් ඔවුන්ට නොමැත. මේ සතුන්හට උලාකෑමට සිදුව ඇත්තේ වල් නාශක සහිත පැළෑටිය. කුණු ගොඩවල් සහිත තණපිටිවල ඇති විෂ සහිත තෘණපත්ය. මෙය අද වත්මන් කිරි පර්යේෂකයින්ගේ අවධානයට යොමු වී ඇති කාරණකී.

තාක්ෂණය

ලෝකයේ දියුණු රටවල් භාවිතා කරන නව තාක්ෂණික ක්‍රමෝපායන්වලට අනුව අවශ්‍ය පෝෂණීය සත්ත්ව ආහාර ලබාදීමට තවදුරටත් විවෘත තණ පිටි හෝ කුඹුරුයායන් අවශ්‍ය නොකෙරේ. තණ වැවීමට විශාල ඉඩම් හෝ පස් හෝ අවශ්‍ය නොවේ. නව තාක්ෂණය යටතේ ඔවුනට අද එම අවශ්‍යතාව පහසුවෙන් සපුරා ගැනීමට හඳුන්වාදී ඇති නව ගෘහස්ථ තෘණ වගා ක්‍රමයක් අවශ්‍යවේ . ඒවා අපේක්ෂිත පෝෂණ ගුණයෙන් පිරි තෘණ අස්වැන්නක් බවට පර්යේෂකයින් සහතික කර තිබේ. මේ සම්බන්ධයෙන් දැනට මේ තෘණ භාවිතා කරන කිරි ගොවියන්ගේ අදහස වන්නේ බාහිරව සපයා ගන්නාවු සහ මිලදී ගන්නා තෘණ ආහාර බොහෝවිට සත්ත්වයාහට පාචනය ඇතුලු විවිධ රෝග පීඩාදිය වැළඳීමට හේතුවන බවයි. එමනිසා මේ ගෘහස්ථව වගාකරන තෘණ සත්වයාගේ සනීපාරක්ෂාවටත් පෝෂණයටත් බෙහෙවින් බලපාන සාර්ථක වෑයමක් වන බව පවසයි.

ගුණාත්මක බව

ලෝකයේ කිරි නිෂ්පාදනය අතින් දියුණු රටවල් නව තාක්ෂණය උපයෝගි කරගනිමින් පෝෂණීය සත්ත්ව ආහාර නිෂ්පාදනයෙහි බොහෝදුර ගොස් සිටිනු දැකිය හැකිය. එනමුදු දකුණු ආසියාවේ රටවල කුඩා කිරි නිෂ්පාදකයින් තවමත් එවැනි පිරිවැයක් දැරීමට තරම් පොහොසත් නැත. ඔවුන්ට ද ගුණාත්මක අතින් පොහොසත් කිරි නිෂ්පාදයට දිරිමත් කෙරෙන නව තාක්ෂණික දැනුම හා ආධාර ලබාදීම කිරි නිෂ්පාදනයෙහි උන්නතිය තකා කඩිනමින් කළ යුතු කාර්යයකී. විශේෂයෙන් ම එම රටවල රාජ්‍ය බලධාරින්ගේ අවධානයට යොමු විය යුතු කාරණයකී. මක්නිසාද යත් එම කිරි පානය කරනනේ රටේ ජනතාව වන නිසාය.

(විස්තර හා තොරතුරු අන්තර් ජාලය ඇසුරෙනී)

ඩඩ්ලි පෙරේරා

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.