පිරිමින්ට වඩා ගැහැනු ඔරොත්තු දෙනවාලු | සිළුමිණ

පිරිමින්ට වඩා ගැහැනු ඔරොත්තු දෙනවාලු

කාන්තාව පිරිමියාට වඩා බෙලහීන පුද්ගලයකු ලෙස සමාජගත වී ඇති සංකල්පය මිත්‍යාවක් වන බව විද්‍යානුකූලව සනාත කළ හැකි බව ඇලබාමා විශ්ව විද්‍යාලයේ ජීව විද්‍යා අංශයේ ප්‍රධානී සහ වෘද්ධභාවය හා මානව ජීව විද්‍යාව පිළිබඳ විශේෂඥයකු වූ ස්ටීවන් ඔස්ටඩ් පවසනවා. පුරා දසක කිහිපයක් මුළුල්ලේ ස්ටීවන් ඔස්ටඩ් විසින් මානව ජීව විද්‍යා ක්ෂේත්‍රයෙහි කාන්තාවන් හා පිරිමින් සම්බන්ධයෙන් කරන ලද පර්යේෂණවල ප්‍රතිඵල ඇසුරෙන් ඔහු මේ අදහස් පළ කර සිටිනවා.

ආයු කාලය, ප්‍රතිශක්තිය හා දරා ගැනීමේ හැකියාව අතින් කාන්තාවන් ලොව හැම රටකම පිරිමින් අබිබවා යන බව විවිධ රටවල සිදු කරන ලද පර්යේෂණවලින් සනාත වී තිබෙනවා. ආයුකාලය අතින් පිරිමින්ට වඩා අවුරුදු 6-7ක් වැඩිපුර ජීවත් වීමට, හෘද රෝග, පිළිකා, අධික රුධිර පීඩනය වැනි බෝ නොවන රෝගවලට ගොදුරු වීමේ හැකියාව පිරිමින්ට වඩා 10%කින් අඩු වෙන්නට මෙන් ම දුක වේදනාව හා සතුට සොම්නස මැදිහත්ව දරා ගැනීමේ හැකියාව අතින් පිරිමින්ට වඩා ඉදිරියෙන් සිටීමට කාන්තාවන් භාග්‍ය සම්පන්න වී ඇති බවයි ඔස්ටඩ් කියා සිටින්නේ.

සවිමත් කාන්තාවන් වීමට ඇමේසන් වනයේ විසූ බව කියැවෙන යෝධ කාන්තාවන් හෝ ග්‍රීක මිත්‍යා වෘතාන්තවල සඳහන් වන යෝධ යුධකාමිනියන් හෝ විය යුතු නැති බව සැබැවින් ම කාන්තාව පිරිමියාට වඩා ශක්තිමත්ද? නැද්ද? යන්න පිළිබඳ විද්‍යාත්මක සාක්ෂි විමසුමට ලක් කරමින් බ්‍රිතාන්‍යයේ ද ගාර්ඩියන් පුවත්පතට ලිපියක් සපයන ඇන්ජලා සෙයිනි පවසනවා. එහි ඇය සඳහන් කරන පරිදි ජනගහනය පිළිබඳ ලෝක සමීක්ෂණයක ප්‍රතිඵල අනුව මේ වන විට ලෝකයේ අවුරුදු 110ක් ආයු වලඳන පුද්ගලයන් 43 ක් ජීවත් වෙනවා. ඔවුන්ගෙන් 42ක්ම කාන්තාවන් වීමෙන් මේ කතාව නිතැතින් ම තහවුරු වෙනවා.

දැනට ලොව ජීවත්වන වයෝවෘද්ධතම කාන්තාව වන්නේ ජැමෙයිකාවේ වෙසෙන වයලට් බ්‍රවුන්. ඇය උපන්නේ 1900දි. මෑතදී ඇය හා කරන ලද සම්මුඛ සාකච්ඡාවකදී ඇය කීවේ ඇය මාළු සහ එළුමස් ආහාරයට ගැනීම ප්‍රිය කරන බවයි. ජැමෙයිකාවේ වත්තක කම්කරුවකු ලෙස රැකියාව කළ ඇගේ දීර්ඝායුෂ පිළිබඳ රහස කුමක්දැයි නිශ්චිතවම කිව නොහැකි වුවත් ඇය ස්ත්‍රියක වීම ඊට බලපෑ එක් හේතුවක් බව විද්වතුන් පවසා සිටිනවා.

ආදී යුගයේ කාන්තාව ද මිනිසා හා සමානවම කය වෙහෙසා වැඩ කළා. ගල් යුගයේදී දඩයම් යුගයේදී හා එ‍ඬේර යුගයේදීත් කාන්තාවද සිය ආහාර පිරිමින් හා කරට කර සිටිමින් දඩයම් කළා. ඒ අතර දරුවන් වදා පෝෂණය කළා. එදා කාන්තාව සියුමැලි සුකොමළ සත්ත්වයකු ලෙස කිසිවකු විසින් පිළිගනු ලබුවේ නැතැයිද ඇන්ජලා සඳහන් කරනවා.

ලන්ඩනයේ මාතෘ හා දාරක සෞඛ්‍ය අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂ ජෝයි ලෝන් පවසන්නේ වසරකට ලොව පුරා බිහිවන දරුවන් අතරින් උපන් මොහොතේ ම දරුවන් ලක්ෂයක් මිය යන බවයි. ඔවුන් අතරින් වැඩි දෙනෙකු පිරිමි දරුවන් බවත් ඇය පවසනවා. මෙලෙස මිය යාමේ අවදානම ගැහැනු දරුවන්ට වඩා පිරිමි දරුවන්ට 10%ක් වැඩි බවයි ඇය පවසන්නේ.

ගැහැනු දරුවන්ගේ ජීවත්වීමේ ශක්තිය වැඩි වීමේ රහස ආශ්චර්යයක් ලෙසයි තවමත් පැවසෙන්නේ. ඇඩිලේඩ් විශ්ව විද්‍යාලයෙන් 2014 පළකරන ලද පර්යේෂණ වාර්තාවකින් පවසන්නේ දරුවන් කුසතුළ වැඩෙන කාලයේදී පටන්ම මවගේ වැදෑමහ ලිංගභේදය අනුව දෙආකාරයකට ක්‍රියා කරනවා විය හැකි බවයි. ස්ත්‍රී කලලයක් වැඩෙන විට විෂබීජවලට ඔරොත්තු දීමේ හැකියාව වැඩි කරගන්නට මව‍ෙග් සිරුර වැඩිපුර වෙහෙසනවා ඇතැයි එම පර්යේෂකයන් අනුමාන කරනවා. කුමක්දෝ කිව නොහැකි ස්ථිර හේතුවක් නැතිවම ගැහැනු දරුවන් ජීවත්වීමේ ශක්තිය කලලය තුළදී වැඩිපුර ලබාගන්නා බව පෙනෙන්නේ යැයිද වාර්තාව සඳහන් කරනවා.

ජීවිතයේ පසු කාලයේදීත් සෞඛ්‍ය සම්පන්න බව අතින් කාන්තාවන් පිරිමින් අබිබවා යනවා. හෘදයාශ්‍රිත රෝග මෙන් ම අධික රුධිර පීඩනය ගැහැනුනට වඩා අඩු වයසින් පිරිමින්ට වැලඳෙනවා. ලිංග භේදය අනුව සෞඛ්‍ය, වියපත් වීම හා ලෙඩ රෝගවලට ගොදුරුවීම පිළිබඳ ජෝර්ජ් ටවුන් අධ්‍යයන කේන්ද්‍රයෙහි අධ්‍යක්ෂිකා කැතරින් සැන්ඩ්බර්ග් පවසන්නේ ඉහත අංශ තුනෙන් ම කාන්තාවන් පිරිමින් අබිබවා යන්නට සමත් වන බවයි.

2010 දී ඇමෙරිකාවේ කරන ලද පර්යේෂණයකින් සනාත වී ඇත්තේ මිනිසාට පොදුවේ හැදෙන ප්‍රධාන ලෙඩ රෝග 12 - 15 දක්වා සංඛ්‍යාවකින් පිරිමින් කතුනට වාඩ ඉක්මනින් මිය යන බවයි. ඒ අතර හදවත් රෝග සහ පිළිකා මුල් තැනක් ගන්නා අතර පාකින්සන්ස් වැනි රෝගවලට ද පිරිමින් වැඩිපුර ගොදුරු වෙනවා. කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, උණ වැනි සාමාන්‍ය ලෙඩ රෝග කාන්තාවන්ට වැලඳෙනවා අඩු මෙන්ම බෝවෙන වෛරස රෝග හා ශ්වසනාබාධවලට ද කාන්තාවන් හොඳින් ඔරොත්තු දෙනවා. බරපතළ රෝගවලින් වුවත් ඔවුන් ඉක්මන් සුවය ලබනවා යැයි සැන්ඩ්බර්ග් පවසනවා.

කාන්තාවන් අසනීප වී ගත කරන කාලය ද අඩුයි. ඉක්මන් මෙන් ම ස්ථිර සුවය ලැබීමේ ප්‍රවණතාවත් වැඩියි. මෙයට ප්‍රධාන හේතුවක් වන්නේ කාන්තාවන් ගේ හෝර්මෝන ක්‍රියාකාරීත්වයයි. ඊස්ට්‍රජන් හා ප්‍රොජේස්ටරෝන් ක්‍රියාකාරීත්වය නිසා කාන්තාවන්ගේ ප්‍රතිශක්තිය ඉහළ වෙනවා පමණක් නොවෙයි. ඕනෑම දෙයකට ඔරොත්තු දිමේ හා දරාගැනීමේ ශක්තියෙන් ද ඉහළ යැයි ඇය කියනවා.

නිරෝගී දරු උපතක් සිදුකිරීම සඳහාත් මේ කරුණම හේතු වෙනවා. ගැහැණියකගේ ප්‍රතිශක්තිකරණ හැකියාව උපරිම තත්ත්වයෙන් පවතින්නේ තරුණ වියෙහි ඇය සපලතාවෙන් යුතු වයසේදීයි. කාන්තාවන්ගේ ස්වභාවික ප්‍රතිශක්තියෙන් රුමැටික රෝගය, ආතරයිටීස් හා ශරීරයේ පටක ගණවීම වැනි රෝග නිරායාසයෙන් ම වළක්වාලනවා. විෂ බීජවලට එරෙහිව සටන් කිරීමට ඇගේ සිරු‍ෙර් සෛල විශාල සටනක් සිදු කරනවා. ඒ නිසාමයි කාන්තාවන් පිරිමින්ට වඩා කැක්කුම් හා වේදනාවන් ගැන නිතර ම මැසිවිලි නගන්නේ.

ඇතැම්විට පිරිමින් කාන්තාවන්ට වඩා අවධානම් කටයුතුවල නිරතවීම නිතරම වෛද්‍ය උපදෙස් නොපැතීම, දුම්බීම සහ මත්ද්‍රව්‍ය භාවිතය වැනි බාහිර කරුණු ද කාන්තාවන්ගේ ආයු කාලය වැඩි වීමට හේතු විය හැකි බව ඔස්ටඩ් හා සැන්ඩ්බර්ග් යන දෙදෙනාම පවසනවා.

සෞඛ්‍ය මෙන් ම ශාරීරික ක්‍රියාකාරකම් අතින් ද කාන්තාවන් පිරිමින් අබිබවා ගිය අවස්ථා ලොව නන් දෙසින් වාර්තා වෙනවා. මිනසෙන්ටා විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යා පර්යේෂිකාවක වන මැරිලින් සුක් පවසන්නේ කාන්තාව සතු දිවීමේ හැකියාව ඇය වියපත් වුවද අඩු නොවන බවයි. 2011 දී ඇම්බර් මිලර් නම් කාන්තාව චිකාගෝ මැරතන් තරගය දිනුවේ ඇගේ දරු ප්‍රසූතියට පැය 7කට පෙරයි. ලෝක වාර්තාලාභී මැරතන් ශූරියක වන ‍හෝලා රැඩික්ලිෆ් දෙවරක් ම තරග දිනුවේ ඇය ගර්භණීයකව සිටි කාලයේදීමයි.

වර්තමානයේ කාන්තාව බෙලහීනයකු ලෙස සලකන්නේ ඇයිදැයි අැන්ජලා සෙයිනි ප්‍රශ්න කරනවා. වත්මන් කාන්තාව සුන්දර, සුකොමළ, ප්‍රමාණයෙන් කුඩා කෙළි බඩුවක් ලෙස සැලකීමේ පුරුද්ද ලොවට හඳුන්වා දීමෙන් කාන්තාව සතු ශක්තියට නිග්‍රහ කොට ඇතැයි ද ඇය කියනවා. සඟරා සහ පුවත්පත් පිටු සරසන්නියන් හැරුණු විට ලෝකයේ කවර රටක වුවත් වැඩකරන කාන්තාව පිරිමින් හා කරට කර සිටින අතර ඇතැම්විට ඔවුන් අබිබවා යන බවත් ඇය කියනවා.

කාන්තාවන් සහ පිරිමින් ගැන ප්‍රකට මත.

ලොව ලොකු ම වේදනාව වන විලිරුදාව ඇතුළු වේදනා දරා ගැනිමේ ශක්තියෙන් යුතු වන්නේ කාන්තාවය.

හෘදයාබාධයක් හැදෙන්නට සතියකට පමණ පෙර සිට කාන්තාවන්ට තද වෙහෙසක් දැ‍නේ. පිරිමින්ට මෙන් දැඩි වේදනාවක් ඔවුනට ඇති නොවේ.

ඉන්දියාව, චීනය හා ජපානය වැනි ආසියාතික රටවල කාන්තාවන් ආර්ථවහරණයට පෙර බටහිර රටවල කතුන් මුහුණපාන පූර්ව අර්ථවහරණ රෝග ලක්ෂණවලට මුහුණ පාන්නේ නැත. රාත්‍රියට දහදිය දැමීම, මානසික අවපීඩනය, සිරුර දැවිල්ල මෙන් ම නින්ද නොයාම වැනි රෝග ලක්ෂණ ආසියාතික කතුනට පහළ වන්නේ අඩුවෙනි.

ලිංගික ක්‍රියාවලියේදී කාන්තාවන් ද පිරිමින් තරම් ම ක්‍රියාශීලීය. සුරක්ෂිත පරිසරයකදී ඔවුහු පිරිමින් මෙන්ම සක්‍රිය වෙති.

ගැහැනු දරුවන් බෝනික්කන් වැනි මුදු සෙල්ලම් බඩු ප්‍රියකරන අතර පිරිමි දරුවන් කෝච්චි බස් කාර් වැනි යාන්ත්‍රික ක්‍රීඩා භාණ්ඩ ප්‍රිය කරති.

බ්‍රිතාන්‍යය, ඇමෙරිකාව සහ ස්පාඤ්ඤයේ කරන ලද පර්යේෂණවලින් සොයා ගෙන ඇත්තේ කාන්තාවන් ද පිරිමින් තරමට ම අවදානම් හා මොළය වෙහෙසවිය යුතු මුල්‍ය කටයුතුවලදී සමත්කම් දක්වන බවයි. 

Comments