ශ්‍රී ලංකාවේ බෝ නොවන ‍රෝග මර්දන වැඩ­ස­ට­හන | සිළුමිණ

ශ්‍රී ලංකාවේ බෝ නොවන ‍රෝග මර්දන වැඩ­ස­ට­හන

විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල

බෝ නොවන ‍රෝග මර්ධනය සඳහා මෙරට සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් දියත් කරන ලද වැඩසටහන ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉහළ අගැයීමට පාත්‍ර වී ඇතැයි විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.

පසුගියදා ජිනීවා නුවර පැවැති ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්ෂික සම්මේලනයේදී ශ්‍රී ලංකාවේ බෝ නොවන ‍රෝග මර්ධන වැඩසටහන මෙලෙස ඉහළින් අගය කරනු ලැබූ බව ද ඒ මහතා ‘සිළුමිණ’ ට විශේෂයෙන් පැවැසීය.

ශ්‍රී ලංකා රජය ඒ සඳහා ගනු ලැබූ විශේෂ ප්‍රතිපත්තිමය පියවර ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් මෙලෙස අගය කරන ලදී.

දුම්කොළ හා මධ්‍යසාර පිටු දැකීම සඳහා ලක් රජය මඟින් ගනු ලැබූ තීරණාත්මක පියවර හරහා ලාංකීය ජනතාව බෝ නොවන රෝගවලින් වළක්වා ගැනීමේ තිරසාර වැඩපිළිවෙළ අග්නිදිග ආසියාවේ සෙසු රටවලට ද මනා ආදර්ශයක් වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී තිබේ. 2018 පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සම්මේලනයේදී ශ්‍රී ලංකාවේ බෝ නොවන රෝග මර්ධන වැඩසටහන සෙසු රටවලට ආදර්ශයක් ලෙස ඉදිරිපත් කිරීමට යෝජිතව ඇතැයි ද වෛද්‍ය මහීපාල මහතා පැවැසීය.

හදවත් රෝග, දියවැඩියාව, පිළිකා සහ දිගුකාලීන ශ්වසනාබාධ යන මූලික බෝ නොවන ‍රෝග වළක්වා ගැනීම සඳහා මෙරට ජනතාව සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවකට හුරු කිරීම, දුම්වැටි හා මධ්‍යසාර භාවිතයෙන් වළක්වා ගැනීම, හා ප්‍රමාණවත් තරම් ව්‍යායාම සහිත චර්යාවකට යොමු කිරීම බෝවන රෝග මර්දන වැඩසටහනෙහි ප්‍රධාන අරමුණ වේ. මේ සඳහා රජය මඟින් සිදු කළ දුම්කොළ බදු ඉහළ නැංවීම, සිගරට් පැකැට්ටුවෙහි අවදානම් රූප සටහන්, සුදු පැහැ සිගරට් ආවරණ යෙදීම මෙන් ම සීනි සහිත බීම වර්ග සඳහා අවදානම් සංඥා ක්‍රමයක් හඳුන්වා දීම ද විශේෂයෙන් අගැයීමට ලක් වීය.

මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සංරක්ෂණ වැඩපිළිවෙළෙහි සාර්ථකත්වය, ශාරීරික සෞඛ්‍ය වර්ධනය සඳහා දිවයින පුරා රෝහල්වල සුව දිවි මධ්‍යස්ථාන 842 ක් ඇති කිරීම හා මානසික සෞඛ්‍ය සංවර්ධනය සඳහා දියත් කරන ලද වැඩසටහන් ඇගැයීමට ලක් වී තිබේ.

සීනි සඳහා හඳුන්වා දුන් ට්‍රැෆික් සංඥා ක්‍රමය ඉදිරියේදී සියලුම රසකැවිලි සඳහා හඳුන්වා දීමට ද යෝජිතය‍. තෙල් සහ ලුණු සඳහා ද මෙම ට්‍රැෆික් සංඥා ක්‍රමය හඳුන්වා දීමට සැලසුම් කර ඇති අතර ඒවා කඩිනමින් ක්‍රියාවට නැංවීමට යෝජිත ය.

ව්‍යායාමවලට හුරු සංස්කෘතියක් බිහි කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය හා අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධව විශේෂ වැඩසටහන් දියත් කෙරෙනු ඇත.

සුව දිවි මධ්‍යස්ථාන හා මිතුරු පියස වැනි ආයතන සමඟ මානසික සෞඛ්‍ය සේවා අන්තර්ග්‍රහණය කිරීම තුළින් ජනතාව ගේ මානසික සෞඛ්‍ය සංවර්ධනය වඩාත් කඩිනම්ව හා තිරසාර ආකාරයෙන් ක්‍රියාවට නැංවිය හැකි බව ද වෛද්‍ය මහීපාල මහතා වැඩිදුරටත් පැවැසීය.

සාගරිකා 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.