සීනි නැතිව රස බලන්න ‘Taste without sugar’

ජූනි මාසය ජාතික පෝෂණ මාසයයි. සියලු වයස් කාණ්ඩවලට අයත් ජනතාව නිවැරැදි ආහාර පාන රටාවකට හුරු කර නිරෝගී සෞඛ්‍ය සම්පන්න අනාගත පරපුරක් බිහි කිරීම මෙහි අරමුණ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පවසයි.

සීනි, තෙල් පිටි සහ ලුණු අධික ලෙස පරිභෝජනය කිරීමෙන් මෙරට ජනතාව ශීඝ්‍රයෙන් දියවැඩියාව, රුධිරයේ අධි කොලෙස්ටරෝල්, අධික රුධිර පීඩනය, පිළිකා සහ ශ්වසනාබාධ වැනි බෝ නොවන රෝගවලට ශීඝ්‍රයෙන් ගොදුරුවෙමින් සිටිති.

දුම්බීම මත්වතුර හා මත්ද්‍රව්‍ය භාවිතය ද ජනතාව රෝගී වීමට ප්‍රධාන වශයෙන් බලපා තිබේ. නිවැරැදි ආහාර රටාවකට ජනතාව හුරු කිරීම, ක්‍රියාශ්‍රීලී ජීවන රටාවක් හඳුන්වා දීම හා යහපත් චර්යාවන් හරහා සෞඛ්‍ය සම්පන්න ජනතාවක් බිහි කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරයි. දුම් වැටි සහ මත්වතුර සඳහා පනවන ලද බදු හා නීති රීති ද සීනි, තෙල්, පිටි හා ලුණු අඩුවෙන් භාවිතය සඳහා ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ද ඒ අතර ප්‍රධාන වේ. මෙවර පෝෂණ මාසයෙහි තේමාව ‘සීනි නැතිව රස බලන්න’ යන්න ය‍. මේ ලිපිය ඒ ඇසුරිනි.

අධික සීනි භාවිතය ශරීරයේ අමතර බර වැඩිවීමට මඟ පාදන අතර, එමඟින් අධි බර හා තරබාරු බව ඇතිවේ. හෘද රෝග, පිළිකා, ආඝාතය, වකුගඩු රෝග, අස්ථි ආබාධ හා මනෝසමාජීය ගැටලු වැනි බෝ නොවන රෝගවලට ප්‍රතිකාර කිරීමේදී ඒ සඳහා හේතු පාදක වන අධිබර හා තරබාරු බව නිසා ඇතිවන ආර්ථික හා සමාජීය බලපෑම සලකා බැලීම අනිවාර්ය වේ. තවද ඵලදායිතාව අඩුවීම, ජීවන තත්ත්වය පහළ වැටීම, ආයු කාලය කෙටිවීම වැනි තත්ත්වයන් ද ශරීර බර වැඩිවීම හා බැඳී පවතී.

මනා සෞඛ්‍ය තත්ත්වයක් පවත්වා ගැනීමට, ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරනුයේ සීනි පරිභෝජනය දෛනික මුළු ශක්ති පරිභෝජනයෙන් 5% කට (සීනි ග්රෑම් 25 = සීනි තේ හැඳි 06) වඩා අඩු විය යුතු බවයි. ආහාර හා පාන වර්ග නිපදවීමේදී එක් කරන ග්ලූකෝස්, ෆ්රුක්ටෝස් වැනි මොනොසැකරයිඩ හා සුක්රෝස් එනම්, අප සීනි ලෙස හඳුන්වන ඩයිසැකරයිඩ එක් කළ ආහාරපාන මෙන් ම පැණි, පලතුරු යුෂ, අධි සාන්ද්‍රණ පලතුරු යුෂ හා සිරප් වැනි ස්වභාවික ආහාරවල ඇති සීනි, සරල සීනි ලෙස හැඳින්වේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයන්ට අනුව අධික ස‍ීනි යොදා සකසන ලද බීම වර්ග හා ආහාර පාන වර්ග ද ‍බොහෝ දරුවන්ගේ, යෞවන යෞවනියන්ගේ අනවශ්‍ය කැලරි පරිභෝජනයට බලපාන ප්‍රධාන ප්‍රභවයක් ලෙස හැඳින්වේ. සීනි යොදා රසකළ බීම වර්ග වර්තමානයේ ඇති ආහාරවල ප්‍රධානතම එක් කරන ලද සීනි ප්‍රභවය වේ.

සීනි යොදා රස කළ පාන වර්ග

ෆ්රක්ටෝස්, කෝන් සිරප් හෝ සාමාන්‍ය සීනි වැඩි ප්‍රමාණයක් යොදා සැකසූ පාන වර්ග මේ ගණයට අයත්වේ. සිසිල්බීම, පලතුරු බීම, ක්‍රීඩා පාන වර්ග ද සීනි යෙදූ තේ, කෝපි, ශක්ති ජනක පාන, රසකළ කිරි හා කිරි ආදේශක සීනි යොදා රසකළ පාන වර්ග වේ.

සීනි යොදා රසකළ බීම භාවිතය ලෝකයේ බොහෝ රටවල සුලභව දැකිය හැකි ය. එකතු කළ සීනි මුළු ශක්ති ප්‍රමාණයට ඍජුව බලපාන අතර මෙම පාන වල ඇත්තේ අඩු පෝෂණ වටිනාකමකි. සීනි යෙදූ රසකළ කාබනිකෘත බීම මිලි ලීටර් 330 ක සීනි ග්රෑම් 35 ක් පමණ (සීනි තේ හැඳි 9 පමණ) අඩංගු වන අතර, එමඟින් ශක්තිය කිලෝ කැලරි 140 ක් පමණ නිපදවයි. එහෙත් එහි කිසිදු පෝෂණ වටිනාකමක් නොමැත.

සීනි අඩංගු බීමවල බලපෑම

ශරීරයේ බර වැඩිවීම හා තරබාරුබව, හෘද රෝග, දත් දිරායාම, අස්ථිවල ඝනත්වය අඩුවීම නිසා ඇතිවන ඔස්ටියෝපොරෝසිස් වැනි බොහොමයක් සෞඛ්‍ය ගැටලු වලට ඇති අවදානම වැඩිවීමට මෙම පාන වර්ග හේතුවේ. මේ වනවිට පැන නැඟී ඇති සෞඛ්‍ය ගැටලු අතරින් අධික තරබාරු බවට ප්‍රධාන ලෙස බලපා ඇත්තේ සීනි අන්තර්ගත බීම පරිභෝජනයට ඇති නැඹුරුතාවයයි. එමඟින් මුළු ශක්ති පරිභෝජනය පමණක් ඉහළ යන අතර අනෙකුත් කිසිදු පෝෂක කොටස් අඩංගු නොවන බැවින් ඝන ආහාර මඟින් දැනෙන කුස පිරුණු බව ඇති නොවේ. එහි ප්‍රතිඵලයක් ලෙස මුළු ශක්ති පරිභෝජනය ඉහළ යන අතර අමතරව ලැබෙන කැලරි ප්‍රමාණය මේදය ලෙස ශරීරයේ තැන්පත් වේ. සීනි එක්කල බීම වර්ග පානය කිරීමෙන් අනෙකුත් ආහාර සඳහා ඇති රුචිකත්වය යටපත් කරන අතර ප්‍රෝටීන්, විටමින්, ඛනිජ ලවන හා ආහාරමය තන්තු වැනි අත්‍යාවශ්‍ය පෝෂකයන් නොලැබී යාමෙන් පෝෂණ ඌනතා ද ඇති වේ‍.

සමීක්ෂණ මඟින් පෙන්වා දී ඇති පරිදි සීනි එක්කල පාන වර්ග වැඩිපුර ගැනීම අධි රුධිර පීඩනය, හෘද රෝග, පරිවෘත්තිය සහ ලක්ෂණය හා දියවැඩියාව වැනි බෝ නොවන ‍රෝග ඇතිවීම අතර ඍජු සම්බන්ධතාවයක් පවතී.

සාමාන්‍යයෙන් සීනි එක්කල බීම නිතර පානය කරන පුද්ගලයන්ට දියවැඩියාව ඇතිවීමේ අවදානම එවැනි බීම අවම ලෙස පානය කරන පුද්ගලයෙකුට වඩා 26% ක් වැඩි වේ.

දශක දෙකක් පුරා පිරිමි පුද්ගලයින් 40,000 ක් යොදාගෙන කරන ලද සමීක්ෂණයකින් පෙන්වා දෙන්නේ සීනි එක්කල බීම වර්ග දිනකට එක් බෝතලයක් බැගින් පානය කළ පුද්ගලයන්ගේ හෘදයාබාධ ඇතිවීමේ හෝ හෘද රෝගයකින් මියයාමේ අවදානම ඉතා කලාතුරකින් සීනි අඩංගු බීම පානය කරන පුද්ගලයෙකුට වඩා 20% ක් පමණ වැඩි බවයි. කාන්තාවන් යොදා කරන ලද සමීක්ෂණයකින් ද එවැනි ම සබඳතාවයක් පෙන්වා දී ඇත. සිසිල් බීම හා ක්‍රීඩකයන් සඳහා සැකසූ පාන වර්ග සීනි සහිත බීම වර්ග වල අධික ආම්ලිකතාවය දත් දිරායාමට හේතුපාදක වන බව සමීක්ෂණවලින් දිගින් දිගටම පෙන්වා දී ඇත.

ඇතැම් බීම වර්ගවල කැෆේන් අඩංගු වන අතර, එය වැඩිහිටියන්ගේ වකුගඩුවල ගල් ඇතිවීමට බලපායි. තවද, ඒවා දරුවන්ගේ නින්දට බාධා ඇති කරන අතර නින්දේ දී මුත්‍රා පිටවීම හා කාංසාව වැනි ‍රෝග තත්ත්වය ද ඇති කරයි.

සීනි එක්කළ බීම වර්ග මෙතරම් ප්‍රචලිත ඇයි?

ලොව පුරා සීනි අන්තර්ගත බීම වර්ග ප්‍රචලිත වී ඇති අතර, ඒවා පානය කරනු ලබන ප්‍රමාණය හා එම බීමවල විවිධත්වය ද පසුගිය දශකය තුළ ශීඝ්‍ර ලෙස ඉහළ ‍ගොස් ඇත. 2009 වසර හා සසඳන කල ලොව පුරා සිසිල් බීම පරිභෝජනය 2010 වසර වනවිට 4% කින් ඉහළ ගොස් ඇති අතර, ඒකපුද්ගල බීම පරිභෝජනය ලීටර් 81 ක් පමණ වේ.

2010 වසරේ දී සීනි අන්තර්ගත බීම භාවිතයේ වැඩිම වර්ධනය ආසියාවෙන් වාර්තා වී ඇති අතර, එම වර්ධනය ඉන්දියාව තුළ 16% ක් වන අතර චීනයේ 14% ක් වේ. 2012/ 2013 වස‍ෙර් ශ්‍රී ලංකා ජාතික තරුණ සෞඛ්‍ය සමීක්ෂණ පෙන්වා දී ඇති පරිදි ලංකාවේ වයස අවුරුදු 15 – 24 ත් අතර වයස් කාණ්ඩයේ තරුණයින්ගෙන් 45% ක් පමණ සතියකට එක් වරක්වත් සිසිල් බීම පානය කරනු ලබයි.

පානීය ජලය ලබා ගැනීමට ඇති හැකියාව සීමාවීම, නොමඟ යවන සුළු පුළුල් ප්‍රචාරණ ක්‍රමවේදයන්, වෙළෙඳපළෙහි සීනි සහිත බීමවල සුලභතාව වැනි පාරිසරික සාධක නිසා ළමුන් මෙන් ම තරුණ තරුණියන් ද සීනි අන්තර්ගත බීම වර්ග පානයට යොමු වී ඇත. නවතම මනෝවිද්‍යාත්මක අධ්‍යනයන්ට අනුව, සීනි කොකේන් වලටත් වඩා ප්‍රභල ඇබ්බැහිවන ද්‍රව්‍යයක් ලෙස හඳුනාගෙන ඇත. අධික සීනි භාවිතය මොළයේ ඩෝපමින්, ට්‍රිප්ටොෆන්, සෙරටොනිනින් වැනි හෝ‍ර්මෝන මුදා හැරීම වැඩි කරන අතර, ඒවා යමෙකුගේ මනෝභාවය ක්ෂණිකව උද්යෝගිමත් තත්ත්වයකට පත් කරයි. කෙසේ නමුදු එම උද්යෝගිමත් තත්ත්වය එලෙස පවත්වා ගැනීමට කොකේන් හා අනෙකුත් ඇබ්බැහිවන සුළු ද්‍රව්‍ය මෙන් කාලයත් සමඟ මොළයට තව තවත් වැඩියෙන් සීනි අවශ්‍ය වේ. තවද වැඩිපුර සීනි හා පිරිපහදු කළ ආහාර භාවිතය නිසා ඒවාට ඇබ්බැහිවීමේදී මොළයේ වෙනස්කම් සිදුවන බව ද සොයාගෙන ඇත. කෙසේ නමුත් ඇතැම් පර්යේෂණ මඟින් පෙන්වා දී ඇත්තේ නිවැරැදි ක්‍රම අනුගමනය කරන්නේ නම් සති 1 – 2 වැනි කෙටි කාලයකදී සීනි හා පිරිපහදු කල ආහාරවලට ඇබ්බැහිවීම වළක්වා ගත හැකි බවයි.

සීනි අන්තර්ගත පාන වර්ග පරිභෝජනය අවම කිරීමට අපට කළ හැකි දේ

සීනි භාවිතය අවම කිරීමට හැකියාවක් පවතින අතර, සීනි භාවිතය අවම කිරීම ශරීරයේ බර අඩුවීමට ඍජුව බලපාන බව පර්යේෂණ මඟින් පෙන්වා දී ඇත. සීනි භාවිතය අවම කිරීම ඉතා සංකීර්ණ මෙන් ම අභියෝගාත්මක කර්තව්‍යයකි. කෙසේ වෙතත් සීනි අන්තර්ගත බීම වර්ගවල අහිතකර බලපෑම් හා එහි පෝෂණීය වටිනාකමක් රහිත වීම ඉලක්ක කර ගනිමින් සීනි භාවිතය අවම කිරීමට මුල පිරිය හැකිය.

සීනි භාවිතය අඩු කිරීමට සරල විසඳුමක් නොමැති අතර, පුළුල් ක්‍රියාවලියක් භාවිතා කළ යුතුවේ.‍ සීනි අන්තර්ගත බීම වලට දක්වන ප්‍රතිචාරයන් මෙන් ම දුම්කොළ හා මත්පැන් වලට ඇති ප්‍රතිචාර සමාන වන අතර ඒවා පාලනය ඉතා වැදගත් වන අතර, නීති හා නියාමනයන් පැනවීම ඉතා වැදගත්වේ. සීනි අන්තර්ගත බීම වර්ග පානය අවම කිරීමට පහත දක්වා ඇති ක්‍රියා මාර්ග හඳුනාගෙන ඇත.

පානීය ජලය ලබා ගැනීමට ඇති හැකියාව වැඩි කිරීම

පානීය ජලය පානය ප්‍රවර්ධනය කිරීමට නම් නිවස තුළ මෙන් ම ‍උද්‍යාන, ක්‍රීඩා පිටි, පාසල්, පොදු ගොඩනැගිලි, වැඩබිම, සායන වැනි පොදු ස්ථානවල පානීය ජලය පහසුවෙන් ලබා ගැනීමට ක්‍රමවේදයක් සකස් කළ යුතුවේ. එමෙන් ම දවස පුරාම ජලය පානය කිරීමේ වැදගත්කම පිළිබඳව දැනුවත් කළ යුතුයි.

සීනි එක්කළ පාන වර්ග ලබාගැනීමට ඇති හැකියාව සීමා කිරීම

මෙම බීම වර්ග නිවාස හා පොදු ස්ථාන තුළ පහසුවෙන් ගත හැකිවේ. එම බීම ව‍ර්ග නිවෙස්වල හා පාසල් ආපන ශාලාවල ගබඩා කර නොගැනීම හා ලබා ගැනීමේ පහසුව අවම කිරීමෙන් භාවිතය සීමා කළ හැකි ය.

සීනි එකතු කළ බීම වෙනුවට වෙනත් සෞඛ්‍යයට හිතකර බීම වර්ග ප්‍රවර්ධනය කිරීම

ජලය, මේදය අඩු/ රහිත කිරි වර්ග, 100% පලතුරු බීම දෛනික පෝෂක අවශ්‍යතාව සඳහා දායකවේ. සීනි අන්තර්ගත බීමවල ජලය අඩංගු වුව ද, අධික කැලරි ප්‍රමාණයක් සහිතවීම හා වෙනත් පෝෂක කොටස් අවම ප්‍රමාණයක් අන්තර්ගත වන බැවින් ආහාර පරිභෝජනයට ඍණාත්මක ලෙස බලපාන අතර අධික ශක්ති පරිභෝජනයක් ද සිදුවේ.

ශරීරයට අවශ්‍ය ශක්තිය ලබාගැනීමට පෝෂණ ගුණයෙන් යුතු ආහාර ගැනීමට උනන්දු කිරීම

උදෑසන ආහාරය උදෑසනින් ම ගත යුතු අතර, එහි සියලුම පෝෂක කොටස් අඩංගු විය යුතු ය. (කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, මේද, විටමින් හා ඛනිජ ලවණ)ප්‍රධාන ආහාර වේල් මඟ නොහැරීම හා පෝෂණ ගුණයෙන් යුත් ආහාර ගැනීම, කෙටි ආහාර වේල් ද පෝෂණ ගුණයෙන් යුතු ඒවා වීම (රටකජු, කඩල, අග්ගලා, හැලප වැනි)

සීනි අන්තර්ගත බීම වර්ග ප්‍රවර්ධනය සීමා කිරීම හා ප්‍රචාරණය මඟින් දරුවන්ට සිදුවන බලපෑම අවම කිරීම

මෙම බීම වර්ග මිලදී ගැනීම උනන්දු කිරීම සඳහා විශාල වශයෙන් ප්‍රචාරණය හා ප්‍රවර්ධනය සිදු කරයි. ඒවා භාවිතය අවම කිරීමට නම් මාධ්‍ය මඟින් සිදුකරන ප්‍රචාරණය අවම කිරීමට වගබලා ගත යුතුයි. තවද මාධ්‍ය දැන්වීම් බුද්ධිමත්ව විශ්ලේෂණය කිරීමේ කුසලතා දරුවන්ට හා ජනතාවට ලබාදිය යුතු ය.

අනෙකුත් සෞඛ්‍යයට හිතකර පාන වර්ගවල මිල සාපේක්ෂව අඩු කිරීම

මිල පාලනය, සහනාධාර ලබාදීම මඟින් හෝ වෙනත් මිල පාලන ක්‍රමවේදයක් මඟින් හිතකර බීම වර්ගවල මිල සිනි අන්තර්ගත බීම වලට වඩා අවම කළ යුතුවේ. එසේ ම සීනි අඩංගු බීම වල මිල, සුදුසු මිල පාලන ක්‍රමවේදයක් මඟින් ඉහළ දැමිය යුතු යි.

සාමාන්‍ය වෛද්‍ය ප්‍රතිකාර වලදී සීනි අන්තර්ගත බීම භාවිතය අවම කිරීම සඳහා උපදෙස්දීම

සාමාන්‍ය වෛද්‍ය සේවා සැපයීමේ දී සීනි භාවිතය අවම කිරීමට ජනතාවට උපදෙස් දීමට වෛද්‍ය කාර්ය මණ්ඩලයේ දැනුම හා කුසලතා වැඩි දියුණු කිරීම

සීනි සහිත පානයක් ගැනීම අඩු කිරීමට සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ උපදේශන ලබාදීමේ දැනුම හා හැකියාව පුළුල් කිරීම

සෞඛ්‍ය සේවා නිලධාරීන්ට නිරන්තර පුහුණු හා අධ්‍යාපනය ලබාදීම මඟින් පුළුල් හා දැඩි උපදේශන තුළින් ශරීර බර පාලනය හා සීනි අන්තර්ගත බීම පරිභෝජනය අවම කිරීමට අවශ්‍ය දැනුම හා කුසලතා වර්ධනය කළ යුතු ය.

සෞඛ්‍ය සම්පන්න ආහාර සම්ප්‍රදායක් ඇති කිරීම සඳහා ප්‍රධාන වගකීම රජය සතු වන අතර, සාමාන්‍ය ජනතාවට සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවක් සකසා ගැනීම සඳහා සුදුසු වාතාවරණයක් සැකසීම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් හා එහි ප්‍රාදේශීය අධිකාරීන්ගේ වගකීම වේ. සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවක් ගොඩනැඟීම සඳහා රාජ්‍ය, පෞද්ගලික හා මහජනතාව යන සියලු අංශවල මැදහත් වීමක් අවශ්‍ය වේ.

උපදෙස් - සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.