සුළු මුදල් පොතේ ගනුදෙනු වාර්තා කරන්නේ කෙසේ ද? | සිළුමිණ

සුළු මුදල් පොතේ ගනුදෙනු වාර්තා කරන්නේ කෙසේ ද?

Oxford college of business school හි ව්‍යාපාර හා ගිණුම්කරණය පිළිබඳ ඉංග්‍රීසි මාධ්‍ය ප්‍රවීන දේශක සුගත් ලියනගේ

“පසුගිය සතියේ ලිපියෙන් අප ඔබට ඉදිරිපත් කළේ සුළු මුදල් පොතක් පවත්වාගෙන යාමේ වැදගත්කම සහ එහි ඇතුළත් කරනු ලබන ගනුදෙනු පිළිබඳවය. මේ සතියේ ලිපියෙන් අප ඔබට ඉදිරිපත් කරන්නේ සුළු මුදල් පොතේ ගන‍ුදෙනු වාර්තා කරනු ලබන ආකාරය පිළිබඳවයි.”

ව්‍යාපාරයක් මඟින් සිදුකරනු ලබන ඉතා කුඩා වටිනාකම් වලින් යුත් සුළු මුදල් ගෙවීම් පමණක් මෙහි වාර්තා කරනු ලබයි. තැපැල් ගාස්තු, ලිපිද්‍රව්‍ය මිලට ගැනීම, සංග්‍රහ වියදම් යනාදී ඉතා කුඩා වටිනාකම්වලින් යුත් ගනුදෙනු වාර්තා කරනු ලබයි. සුළු මුදල් පොතක දළ ආකෘතියක් පහතින් අප ඔබට ඉදිරිපත් කරන්නෙමු. එය හොඳින් අධ්‍යනය කරන ඕනෑම අයෙකුට සුළු මුදල් පොත පිළිබඳ දළ අවබෝධයක් ලබා ගත හැකිය.


1. මෙය සුළු මුදල් පොතේ “හර” ලෙස හඳුන්වන පැත්ත වේ. ප්‍රධාන මුදල් භාර කරුගෙන් ලැබෙන මුදල මෙහි වාර්තා කරයි.

2. ගනුදෙනුවට අදාළ දිනය මෙහි ඇතුළත් කරයි.

3. අදාළ වියදමේ නම.

4. සිදු කරන ලද වියදම අදාළ විශ්ලේෂණ තීරුවේ වාර්තා කිරීමට පෙර මෙම තීරුවේ සටහන් කළ යුතුය.

5, 6, 7, 8 සිදුකරන ලද වියදමට අදාළ තීරුව සොයා එම තීරුවේ අදාළ වටිනාකම දැක්විය යුතුය.

(3) (4) (5) (6) (7) (8) යන තීරු සහිත පැත්ත “බැර” ලෙස ගිණුම්කරණයේදි අප හඳුන්වනු ලැබේ.

දැන් ඔබට සුළු මුදල් පොතේ ආකෘතිය පිළිබඳ දළ අවබෝධයක් ඇත. එම නිසා සුළු මුදල් පොතක ගනුදෙනු වාර්තා කරන ආකාරය ගැන විමසා බලමු. ඒ සඳහා ව්‍යාපාරයක සිදු වූ සත්‍ය ගනුදෙනු කිහිපයක් පහත පරිදි දක්වා ඇත.

පහත සඳහන් වන්නේ තිවංක ගේ පරිගණක ව්‍යාපාරයේ 2017‍ ජනවාරි මාසය තුළ සිදු වු සුළු මුදල් ගන‍ුදෙනුය.

ජනවාරි 01 ප්‍රධාන මුදල් භාරකරුගෙන් ලැබුණා රු. 2000.00

ජනවාරි 02 මුද්දර මිලට ගත්තා 105.00

ජනවාරි 03 ලියුම්කවර මිලට ගත්තා 25.00

ජනවාරි 06 හාෆ්ෂීට් මිලට ගත්තා 15.00

ජනවාරි 08 පෑනක් මිලට ගත්තා 20.00

ජනවාරි 10 මුද්දර මිලට ගත්තා 50.00

ජනවාරි 12 ගමන් වියදම් 150.00

ජනවාරි 15 TAXI ගාස්තු 200.00

ජනවාරි 18 ගමන් වියදම් 300.00

ජනවාරි 20 සංග්‍රහ වියදම් 120.00

ජනවාරි 25 බීම බෝතලයක් ගත්තා 80.00

ජනවාරි 26 පෑනක් මිලට ගත්තා 20.00

ජනවාරි 28 මුද්දර මිලට ගත්තා 120.00

ජනවාරි 30 ගමන් වියදම් 100.00

ඉහත ගනුදෙනු සුළු මුදල් පොතේ නිවැරදිව වාර්තා කරන ආකාරය දැන් විමසා බලමු.

ප්‍රධාන මුදල් භාරකරුගෙන් ලැබෙන මුදල් සුළු මුදල් පොතේ වම් කෙළවරේ ලැබීම් තීරුවේ දක්වා ඇත. ගිණුමේ “හර පැත්ත” ලෙස මෙය හඳුන්වයි. ව්‍යාපාරය සිදුකරනු ලබන සියලුම සුළු මුදල් ගෙවීම් අදාළ වියදම් ශීර්ෂයේ දැක්වීමට පෙර මුළු එකතුව තීරුවේ සටහන් කරනු ලබන්නේ අවශ්‍ය ඕනෑම විටක සුළු වියදම් සඳහා වියදම් කර ඇති මුදල පහසුවෙන් හඳුනාගැනීම සඳහාය.

සියලුම මුදල් ගෙවීම් සටහන් කළ පසු සෑම තීරුවකම එකතුව එම තීරුවේ පහළින් සටහන් කරනු ලබයි. මුළු එකතුව තීරුවේ එකතුව ද එම තීරුවේ පහළින් සටහන් කරයි. එවිට දැනට වියදම් කර ඇති සුළු වියදම්වල වටිනාකම හඳුනාගත හැකි අතර තැපැල් ගාස්තු සඳහා, ලිපිද්‍රව්‍ය සඳහා සංග්‍රහ කටයුතු සඳහා යනාදි වශයෙන් වෙන් වෙන්ව වියදම් කර ඇති මුදල් ප්‍රමාණයන් ද හඳුනා ගත හැකිය.

ගනුදෙනු සියල්ලම සටහන් කිරීමෙන් අනතුරුව ලැබීම් තීරුවේ සටහන් කර ඇති මුදල් ලැබීම් (එනම් රු. 2000) එම තීරුවේ පහළට ගෙන එම අගයම මුළු එකතුව තීරුවේ පහළින් එම අගයම සටහන් කර ඇත. ඉතිරි මුදල් ප්‍රමාණය සොයාගත හැකිය. ඉන්පසු ඊළඟ මාසයේදී ප්‍රධාන මුදල් භාරකරුගෙන් මුදල් ලබාගැනී‍ෙම්දී දැනට අත ඉතිරි මුදල් ප්‍රමාණයක් පවතින නිසා ඉතිරි මුදල් ප්‍රමාණය වියදම් කළ මුදල පමණක් ලබා ගත හැකිය. එය පහතින් අප සරල ආකාරයට විග්‍රහ කර ඇත.

මුළු මුදල් ලැබීම් රු. 2000.00
මාසයේ මුළු ගෙවීම් රු. (1305.00)
දැනට ඉතිරිව ඇති මුදල් රු. 695.00
ඊළඟ මාසයට ලබා ගත යුතු මුදල රු. 1305.00
ඊළඟ මාසය ආරම්භයේ පවතින මුදල රු. 2000.00

ලබන සතියේ ලිපියෙන් බැංකුවක් සමඟ කරනු ලබන ගනුදෙනු වාර්තා කරන ආකාරය විමසා බලමු.


සුළු ව්‍යාපාරික ඔබට නැගිටින්න අත-හිත

ඔබ ඔබේ අතේ මිටේ තිබෙන මුදලින් සුළු ව්‍යාපාරයක් අරඹන්නට සිහින දකිමින් සිටිනවාද? ව්‍යාපාරයක් පටන්ගන්න අත මිටත් දැනුමත් අවබෝධයත් නැතිව ලත­ැවෙනවාද? ‘නැඟිටින්න අත හිත’ විශේෂාංයෙන් අපි ඔ‍ෙබ් සිත තුළ කැකෑරෙන ව්‍යාපාරික ගැටලුවලට සහනදායි පිළිතුරක් ලබාදීමට සූදානම්. ව්‍යාපාර හා ගිණුම්කරණය පිළිබඳ ප්‍රවීණ ආචාර්යවරයකු හා උපදේශකවරයකු වන සුගත් ලියනගේ මහතා ඔ‍ෙබ් ගැටලුවලට පිළිතුරු ලබාදීමට සූදානම්. ඔබේ ගැටලුව මෙසේ යොමු කරන්න.

නැගිටින්න - අත හිත,
සිළුමිණ - සල්පිල,
35, ඩී.ආර්. විජේවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ 10.

Comments