අලියාට යටවෙලා අපි නූලෙන් බේරුණා | සිළුමිණ

අලියාට යටවෙලා අපි නූලෙන් බේරුණා

අනුරාධපුර, කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ තලාව මොරගොඩ ප්‍රදේශය දෙපසින් ඇත්තේ රජයේ තේක්ක රක්ෂිතයයි. එක දිගට කෙළින් විහිදී ඇති මේ මාර්ගයේ නිතර වන අලි මාරු වෙති. රෑ තිස්සේ ගම් වැදී බව භෝග වනසන මේ අලි යළි වනයට වදිනුයේ උදේ පාන්දරය. මේ මාර්ගයේ ගමන් කරන්නෝ නිතර මේ අලින් ගැන සෝදිසියෙන් යති. එහෙත් කෙතෙක් සෝදිසියෙන් ගියද මඟ තොටදී සිදුවනඅහඹු සිදුවීම් නිසා සිදුවන විනාශයන් බොහෝය. පසුගිය දිනක උදෑසන මේ මාර්ගයේ ගමන් කළ වාහනයක වන අලියකු ගැටීමෙන් සිදු වන්නට ගිය මහා අනතුරක් නූලෙන් බේරුණේ එම වාහනයේ ගමන් කළ අයගේ මෙන්ම වන අලියාගේ ද වාසනාවටය.

අනෝමා ශ්‍රියාකාන්ති වික්‍රමසිංහ මහත්මිය ගල්නෑව මධ්‍ය විද්‍යාලයේ ගුරුවරියකි. මුල්ම ගුරු පත්වීම ලැබ ගල්නෑව විද්‍යාලයට පැමිණි ඇය විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ ගුරුවරිය ලෙස සේවය කරන්නීය. අනෝමාගේ මුල් ගම තඹුත්තේගමය. විවාහයත් සමඟ අනුරාධපුරයට පැමිණි ඇය පදිංචි නව නගරයේ විමුක්ති මාවතේය. වසර පහක සිටම ඇය බස්රියෙන් හෝ සිය මෝටර් රථය පදවා ගෙන හෝ මේ ගමන යන්නීය.

මේ කියන දිනය පසුගිය සඳුදාය. වෙලාව උදෑසන පහමාරට පමණ ඇත. මෙදින ඇය පාසල් යෑමට පිටත් වූයේ තෙහැවිරිදි දියණිය උමේලි අකේන්යා ද කැටුවය. පාසලට යන අතරතුර කුඩා දියණිය තඹුත්තේගම සිය මහ ගෙදරට ඇරලවා යෑමට ඇය සිතුවාය. බලා ගැනීමට කෙනකු නොමැති දිනවල අනෝමා එසේ දියණිය මහගෙදරට ඇරලවා යන්නීය. දියණිය සිටියේ පසුපස ආසනයේය. මෙසේ තමාම වාහනය පදවා ගෙන යන දිනවල මෙන්ම බස් රියෙන් පාසල් යන දිනවලද අනුරාධපුර තලාව මාර්ගයේ අනන්තවත් වන අලි සිටිනු ඇය දැක ඇත්තේය. එසේ වුවත් එදින ඈත පෙනෙන තෙක් මානයේ මාර්ගයේ වන අලි ඇගේ නෙත ගැටුණේ නැත. අනෝමා සාමාන්‍යයෙන් වේගයෙන් වාහනය පදවන්නේ නැත. විශේෂයෙන්ම කුඩා දියණිය වාහනයේ සිටියදී ඇය වඩාත් පරෙස්සම් වන්නීය. එදිනද ඇය ගමන් කළේ සුපුරුදු වේගයෙනි. එහෙත් වාහනය තලාව මොරගොඩ ප්‍රදේශය පසුකරත්ම එක්වරම වාහනය ඉදිරියෙන් පාර හරහා පැන්නේ දැවැන්ත වන අලියෙකි.

එතැන් සිට සිදු වූ දේ අනෝමාට තවමත් අදහා ගත නොහැකි තරම්ය. කිසි දිනක මෙවන් සිද්ධියකට මුහුණ පා නොමැති අනෝමා තමන් ලද ඒ අත්දැකීම අප හා විස්තර කළාය.

“මං එදා චූටි දුව කා‍ර් එකේ පිටුපස ආසනයේ නිදි කරවා ගෙනයි ගියේ. වෙලාව 5.45ට විතර ඇති. ඒ වෙලාවෙ තලාව මොරගොඩ ගම්මානෙ පැත්තේ සිට වන අලි කිහිපදෙනෙක් මාර්ගය හරහා තේක්ක රක්ෂිතයට ගොස් තිබෙනවා. ඒත් මං දැක්කේ නෑ. මං ඉස්සරහට යද්දිම එකපාරටම ගම්මානෙ පැත්තෙන් කුලප්පු වී පැමිණි අලියෙක් මෝටර් රථයේ ඉදිරිපසින් පාර හරහා දුවගෙන ආවා. අලියා ළං වෙද්දි මං තිරිංග පෑගුවත් හරි ගියේ නෑ. ඒ එක්කම අලියා මෝටර් රථයේ ඉදිරිපස වැදුණා. වැදිලා ඒ වේගෙන්ම අලියා වාහනය උඩට වැටුණා. මොකද්ද වුණේ කියා හිතා ගන්න බැරිව මාත් ගොඩක් බියට පත්වුණා. අලියා මෝටර් රථය උඩට වැටුණු නිසා රියේ වහල පාත්වෙලා මායි දුවයි ඇතුළේ හිරවෙලා හිටියේ. දුව අවදි වෙලා කෑගැසුවත් මං දුවට බිය නොවී ඉන්න කීවා. අලියා අපිට පහර දෙයි කියන බයෙන් මං වාහනයේ නළාව අල්ලාගෙනම හිටියා.

පසුව අලියා දඟලලා නැගිට ගියා. මුලදී වාහනය ළඟට කවුරුත් ආවේ නෑ මොකද තවත් අලියෙක් පාර අයිනේ සිටි නිසා.”

රාත්‍රී යාමයේ ගම් වැදුණු අලි ගම් වැසියන් විසින් පන්නා ගෙන එද්දී මෙලෙස එක් අලියකු එක්වරම පාර හරහා පැනීමේදී මෝටර් රථයේ වැදී ඇති බව තොරතුරු සොයා බැලීමේදී හෙළි විය.

“වෙනදාට මං පාසල් යද්දිත් මේ විදිහට අලි පාරේ ඉන්නවා. හැබැයි එවිට වනජීවී නිලධාරි මහත්වරුන් පාරේ සිට වන අලින් ගැන සංඥාවක් දෙනවා. එතකොට වාහන නවත්තලා අලින් ගියාම තමයි යන්නේ. ඒත් මේ දවසේ එහෙම කිසිම නිලධාරියෙක් පාරේ හිටියේ නෑ. මේ අලියා රෑ ගම් වැදිලා එළිවෙනකම් ඉඳලා. උදේ ගමේ අය එළවද්දි තමයි මේ විදිහට පාර හරහා පැන්නේ.” අනෝමා පැවසුවාය.

වාහනය ඇතුළත සිරවී සිටි අනෝමා සහ දියණිය ප්‍රදේශවාසින් පැමිණ එළියට ගෙන තලාව රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇත. ගැබිනියක ද වන අනෝමා ඉන්පසු වැඩිදුර ප්‍රතිකාර සදහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ. සිද්ධියෙන් මෝටර් රථය පැදවු අනෝමා ශ්‍රියාකාන්ති මහත්මියගේ කොන්දෙහි යම් ආබාධයක් සිදුව ඇතැයි වෛද්‍ය පරික්ෂණවලදී හෙළිවී ඇතැයි ඔවුහූ පවසති. වාසනාවකට මෙන් පිටුපස අසුනේ සිටි සිඟිති දරුවාට කිසිදු අනතුරක් සිදුවී නැත.

අනෝමාගේ සැමියා අනුරාධපුර ජෝශප් මහා විද්‍යාලයේ ගුරුවරයෙකු ලෙස සේවය කරයි. එම සිද්ධියෙන් මෝටර් රථයට විශාල හානියක් සිදුව ඇතැයිද පැවසේ. වන අලියා මෝටර් රථයේ ගැටෙන අයුරු හා පසුව අලියා නැගිට තේක්ක රක්ෂිතයට පලා යන අයුරු සිද්ධිය ඇසින් දුටුවකු සිය ජංගම දුරකථනයේ වීඩියෝ ගත කර ඇති බවද වාර්තා වේ. තලාව මොරගොඩ ප්‍රදේශයෙන් වන අලි තර්ජන නිතර වාර්තා වන අතර මේ සදහා ස්ථිර විසඳුම් ලබා දෙන ලෙස පවසමින් ප්‍රදේශවාසීන් අවස්ථා කීපයකදීම උද්ඝෝෂණ කරමින් අදාළ අංශ දැනුම්වත් කර තිබේ. තේක්ක රක්ෂිතයේ විදුලිය වැටක් ඉදි කර තිබුණද රාත්‍රි කාලයේ ගම්වදින වන අලි පසුව මෙලෙස යළි අලුයම රක්ෂිතයට ගමන් කරති.

වන අලින් පහර දීමෙන් එම ප්‍රදේශවල පුද්ගලයින් කිහිප දෙනෙක්ම පසුගිය කාලයේ ජිවිතක්ෂයට පත් වූහ. එසේම වගා හානි හා නිවාස හානි කිරීම්ද වාර්තා වේ. මෙම සිදුවීමත් සමග ජනතාව යළි ඉල්ලා සිටින්නේ මෙවැනි සිදුවිම් යළි වීමට ඉඩ නොතබන ලෙසය.

Comments