ලෙඩක් නැතුව නාන කාමරය හදන්නේ මෙහෙමයි | සිළුමිණ

ලෙඩක් නැතුව නාන කාමරය හදන්නේ මෙහෙමයි

ඕනෑම කෙනෙකුගේ සනීපාරක්ෂාව සඳහා නාන කාමරය සහ වැසිකිළිය අත්‍යවශ්‍ය වෙයි. එසේම ඕනෑම නිවෙසක ඒ වෙනුවෙන් මුල් තැනක් දීම සිරිතකි. ඇතැමුන් විශාල වියදමක් දරමින් තම නිවෙසේ සුපිරිම අංගය වන ලෙස එය ඉදි කරනු දක්නට ලැබෙයි. එහෙත් නාන කාමරය සහ වැසිකිළි යනාදිය පමණක් නොව ඒවායේ අපජලය තැන්පත්වන වළ පවා ස්ථානගත කිරීම සහ ඉදිකිරීම කළ යුත්තේ කිසියම් ප්‍රමිතියක් අනුවයි. ඒ එසේ නොකළොත් එම නාන කාමරය සහ අපජලය රැඳෙන වළ ගෙදරට බලවත් කරදරයක් වනු නිසැකය.

 

නාන කාමරය - වැසිකිළිය සහ අපජලය රැඳෙන වළ ඉදිකළ යුතු ආකාරය

A. දිසාව

1. නාන කාමරය - වැසිකිළිය සහ අපජලය තැන්පත් වළ යනාදිය ඉදිකිරීම සඳහා ඉතා යෝග්‍ය වන්නේ ඉඩමේ හෝ නිවෙසේ නිරිත දිසාවයි.

2. ඒ සඳහා නිරිත දිසාව භාවිතා කිරීමට නොහැකිම තත්ත්වයක් පවතින්නේ නම් පමණක් පිළිවෙළින් වයඹ - බස්නාහිර - දකුණ - යන දිසාවන් යොදාගත හැකිය.

3. කුමන තත්ත්වයක් යටතේදීවත් නාන කාමරය - වැසිකිළිය සහ අපජලය තැන්පත් වළ යනාදිය ඉදිකිරීම සඳහා ඊශාන දිසාව යොදා නොගත යුතුය. ( එය ඉතා බිහිසුණු වාස්තු දෝෂයකි )

4. උතුර - නැගෙනහිර සහ ගිනිකොණ යන දිසාවන් ද පිළිවෙළින් . නාන කාමරය - වැසිකිළිය සහ අපජලය තැන්පත් වළ යනාදිය සඳහා අයෝග්‍ය වෙයි.

 

B. දිග පළල ප්‍රමාණය සහ මුහුණත

1.නාන කාමරයේ දිග සහ පළල සමාන වන ලෙස හෝ සම චතුරාශ්‍රකාරව හෝ ප්‍රමාණය හරි හතරැස්වන ලෙස හෝ නොගත යුතුය.

2. නාන කාමරයේ දිග සහ පළල සමාන නොවන ලෙස එය ඍජු කෝණාස්‍රව ඉදිකිරීම ප්‍රශස්තය. එහෙත් එහි පැත්තක් වත් ඉතා පටු නොවිය යුතුය.

3. නාන කාමරය ඉතා විශාල වීම හෝ ඉතා පටුවීම යන දෙකම අයෝග්‍ය වෙයි. නිවෙසේ කුඩාම නිදන කාමරයට වඩා නාන කාමරය කුඩා වීම උචිතය.

4. නාන කාමරයේ දොරට මුහුණලා කොමෝඩය හෝ ෂවරය හෝ නොතිබිය යුතුය.

5. නාන කාමරයේ මධ්‍යයේ සිට නිරිත දෙසට කොමෝඩය ද උතුර - ඊශාන සහ ගිනිකොණ අත්හැර අන් දිසාවන්හි ෂවරය - සින්ක් - බාත්ටබ් යනාදිය ස්ථානගත කිරීම යහපත් ය.

6. හිරු එළිය සහ වාතාශ්‍රය සඳහා අඩි 2 x 2 ට නො අඩු ජනේල කවුළුවක් සහ කුඩා වා කවුළුවක් නාන කාමරයට අත්‍යවශ්‍ය වෙයි.

 

C. ටයිල් සහ වර්ණාලේපය

1. තද අඳුරු පැහැති ටයිල් - නාන කාමර උපාංග හෝ වර්ණාලේපය නාන කාමරයට නොහොබි.

2. සුදු හෝ ලා පැහැයට සමීප වර්ණ තෝරා ගැනීම ප්‍රශස්තයි. ( ලා නිල් ලා කොළ රෝස ලා දුඹුරු යනාදී වශයෙනි.)

3. උපරිම වර්ණ තුනකට වඩා විසිතුරු වර්ණාලේපය හෝ නොයෙක් පැහැයෙන් යුත් නාන කාමර උපාංග නොහොබී.

 

D. භාවිතය සහ නඩත්තුව

1. නාන කාමරයේ ගෙබිම නිතරම පිරිසිදුව සහ වියළිව පැවතීම අත්‍යවශ්‍ය වෙයි.

2. නාන කාමරයේ ජල උපාංගවලින් නිකරුණේ ජල බිංදු වෑහෙන්නට හෝ ජල කාන්දුවකට හෝ කිසිදු ඉඩක් නොතබන්න.

3. අත්‍යවශ්‍ය නොවන කිසිදු දෙයක් නාන කාමරයේ නොතබන්න.

4. තෙත රෙදි හෝ කිළිටි රෙදි හෝ නාන කාමරයේ නොතබන්න.

5.හිරු එළිය සහ වාතාශ්‍රය සඳහා වා කවුළු විවෘතව තබන්න.

6. අඩුම තරමින් දිනකට දෙවරක්වත් නාන කාමරය පිරිසිදු කළ යුතුය.

 

මේ ලෙස ඔබේ නාන කාමරය පවත්වා ගතහොත් එයින් ඔබගේ සනීපාරක්ෂාව මෙන්ම ධනය ද කායික මානසික ප්‍රබෝධය ද සුරක්ෂිත වෙයි. නාන කාමරය අයෝග්‍ය ලෙස පිහිටා ඇත්නම් එය බිහිසුණු කරදර මවන හූනියමක් වනු නිසැකයි. 

Comments