ආඩම්බරය පාකිස්තානයට සාඩම්බරය ආසියාවට... | සිළුමිණ

ආඩම්බරය පාකිස්තානයට සාඩම්බරය ආසියාවට...

අටවැනි චැම්පියන්ස් ශූරතාවලියේ අවසානය පිළිබඳ සුපිරි වමත් පිතිකරු ක්‍රිස් ගේල් තැබූ බලාපොරොත්තුව ඇසූ දුටුවන් සමහරවිට සිනාසෙන්නට ද ඇත. මන්දයත් ගේල් මෙවර තරගාවලිය පිළිබඳ තැබූ තක්සේරුව වූයේ ඉන්දියාව හෝ පාකිස්තානය ශූරයන් විය හැකි බවය.

සති දෙකක් පුරා මෙකී තරගාවලිය දෙස දෑස් යොමා ගෙන සිටි රටවල් අටේ සිහිනයන් එකිනෙක බිඳ වැටෙන විට, ඉතිරි වූයේ පසමිතුරන් වූ ඉන්දු - පාකිස්තානුවන්ගේ සිහින පමණි. ඒ අතරිනුත් ශ්‍රේණිගත කිරීම්වල අටවැනි ස්ථානයේ පසුවූ පාකිස්තානුවන්ගේ සිහින - ඉලක්ක සපල වන විට, සමස්ත ඉන්දියානුවන්ගේ සිහින - ඉලක්ක බොඳ කරමින් අටවැනි චැම්පියන්ස් ශූරතාවලිය පාකිස්තානුවෝ සියතට ගත්හ.

මෙවර තරගාවලිය ආරම්භයේදීම වර්ෂාවෙන් බාධා ඇති වුවද, ඒ සියල්ල යටපත් කරමින් කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ පෙරළිවලින්ද අඩු නොවීය. රටවල් අටක් එක් වූ තරගාවලියේ ඉන්දියාව සහ පාකිස්තානය අවසාන මහා තරගය සඳහා පියවරෙන් පියවර දුෂ්කර නමුත් ප්‍රසංශනීය ගමනක නිරත වූහ. චැම්පියන්ස් ශූරතාවලියේ අවසන් පූර්ව වටයට සත්කාරක එංගලන්තය සමඟ මෙවර ආසියාතික රටවල් අතුරින් ඉන්දියාව, පාකිස්තානය සහ බංග්ලාදේශය සුදුසුකම් ලබා ගත්තේ ආසියානු ක්‍රිකට් ක්‍රීඩාවේ ව්‍යූහාත්මක සංවර්ධනය පිළිබඳ නව ඉඟියක් ලෝකයා ඉදිරියේ ඉතිරි කරමින්ය.

චැම්පියන්ස්ලා ඉදිරියේ අප කොතැනද යන්න අටුවාටිකා ඇවැසි නැත. මේ රටවල් අතරින් සත්කාරක එංගලන්තය හෙවත් ක්‍රිකට් ක්‍රීඩාවේ මුතුන් මිත්තන්ව එළියේ තැබීමට පාකිස්තානය සමත්වීම විශේෂ සිද්ධියක් වූයේ ඔවුන් මෙවර තරගාවලියේ එකම අපරාජිත කණ්ඩායම වූ බැවිනි.

ශ්‍රී ලංකාවට එල්ලවු ලාහෝර් ප්‍රහාරයෙන් පසු පාකිස්තානයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් අතුගා තිබෙන තත්ත්වයක් තුළ ඒ සියලු කටුක අත්දැකීම් අමතක කරදමමින් පාකිස්තානය ක්‍රිකට් ක්‍රීඩාවේ අත්කරගෙන තිබෙන මේ ප්‍රගතිය විශේෂයෙන් අගය කළයුතුය.

ඉන්දු හා පාකිස්තානුවන් අතර පවතින පසමිතුරුකම් යම් පමණකට හෝ තුනීවන තැනක් වේ නම් ක්‍රිකට් ක්‍රීඩාවේ පමණක් විය යුතුය. දෙපිලේ ක්‍රීඩකයන් සහ ප්‍රේක්ෂකයන් මේ බව ප්‍රදර්ශනය නොකළ ද, කලකට පසු හෝ ඔවුනොවුන් ළංවන තැනක් වේ නම් ඒ ක්‍රිකට් ක්‍රීඩාංගණවලදීම පමණක් විය යුතුය. අපරදිග රටවලින් දායාද වූ සෑම දෙයක් ගැනම ආඩපාලි කීමේ විශේෂයෙන් දකුණු ආසියානු රටවල පවතින පුරුද්ද ක්‍රිකට් ක්‍රීඩාවේදී බැහැරවීම විටෙක විස්මය පවා දනවන කරුණක් වී තිබේ.

 

Comments