ක්‍රිකට් ගැන චිත්‍රපට සිහිනයක් | සිළුමිණ

ක්‍රිකට් ගැන චිත්‍රපට සිහිනයක්

 මා සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් එංගලන්තයේ කාඩිෆ් පිටියේ පන්දු රකිමිනි. ඒ අතරම ගංවතුර ආදි සියලු ප්‍රශ්න ගැන අමතක කරවීමට ක්‍රිකට් සතු විස්මිත හැකියාව ගැන මට පුදුම සිතිණි. ඒත් සමඟම මා වෙත ඇදී ආ උඩපන්දුව මා අතින් ගිලිහී ගියේ මා ඒ සිතිවිල්ලේ සිටි හෙයිනි. මට පොළොව පළාගෙන යන්නට සිතිණි. එහෙත් සිහිනයෙන් හෝ එසේ කරන්නට මට නොහැකි විය.

කට්ටිය මට බනින හැටි මට ඇසිණි. පිටිය වටේ සිටින අය පමණක් නොව, ලොව වටා රූපවාහිනී වටේ සිටින අයද බනින හැටි ඇසිණි.

උඩපන්දුව අතෑරුණේ ගංවතුර ගැන කල්පනා වීම නිසාය. ගංවතුර ගැන කල්පනා වීම මෙතරම්ම වරදක්ද යන්න මම සිහිනයෙන්ම තර්ක කරන්නට වීමි. එහෙත් විසඳුමක් නොලැබිණි. ඒ නිසාම සිහිනයෙන් මිදීමට මට අවශ්‍ය විය. කොතරම් ආසා වුවත් සිහිනයෙන් මිදෙන්නට හැකි වූයේ නැත. සිහිනවල හැටි එහෙමය. ලේසියෙන් අතහැර යන්නේ නැත.

ඒ නිසා මම යළිත් කාඩිෆ් පිටියේ පන්දු රකින්නට වූයෙමි. ඒ මොහොතේ මා ක්‍රිකට් ක්‍රීඩකයකුද කලාකරුවකුද යන්න අමතකව යන බවක් මට දැනිණි. මට කලා ක්ෂේත්‍රයේ බොහෝ යහළුවන් සිටින අතර නාට්‍යකරුවකු වන මගේ මිත්‍රයකු නිතර පවසන්නේ ක්‍රිකට් මැච් ඇති දවස්වලට නාට්‍යශාලාවල මැස්සන් ඇහිරෙන බවයි.

මගේ චිත්‍රපට අධ්‍යක්ෂ මිතුරකුද එවැන්නක් කියූ බව මට කල්පනා විය. එනම්: ලෝක කුසලාන පවතින කාලයක චිත්‍රපටයක් රිලීස් කිරීමට බොහෝ චිත්‍රපට අධ්‍යක්ෂවරුන් අකැමැති බවයි.

මෙහිදී මගේ සිහිනය එම චිත්‍රපට අධ්‍යක්ෂවරයාට මා හමුවට එන ලෙස ඇරියුම් කළේ මගෙන්වත් අවසර නොගෙනය. ඒ අනුව මගේ මිත්‍ර චිත්‍රපට අධ්‍යක්ෂවරයා පිටියේ මැදටම පැමිණ අඬන්නට වූයේ ක්‍රිකට්වලට පරදින සිනමාව ගැන කියමිනි.

කෙසේ වුවත් සිහිනයෙන් වුවත් සෙල්ලම් කරන්නේ ක්‍රිකට් බැවින් උඩපන්දු පැමිණීමද නතර කළ නොහැකිය. ඒ නිසා අධ්‍යක්ෂවරයා අඬමින් සිටියදී උඩපන්දුවක් පැමිණි අතර මගේ වැරැද්ද නොව අධ්‍යක්ෂවරයාගේ ඇඬීම නිසාම ඒ උඩ පන්දුවද මා අතින් ගිලිහී ගියේය. ඒ සමඟම ලංකාවේ පරාජයද වැළැක්විය නොහැකි මට්ටමකට එළඹියේය. ඒත් චිත්‍රපට අධ්‍යක්ෂවරයාගේ මුහුණ සිනාවකින් ඔපවත් විය. ඔහු විකාර සතුටකින් දොඩවන්නට වූ අතර මමද සිහිනයෙන් විකාරයක සිර වීමි.

“සෙමි ෆයිනල්ස් තේරුණා නං මේ ළඟදි රිලීස් කරපු මගේ ෆිල්ම්එක ඉවරයි. වෙන කාටවත් නෙමෙයි මටමත් හිතෙනවා ෆිල්ම්එකේ ප්‍රමෝෂන් අත්හැරලා මැච් බල බලා ඉන්න.“

ක්‍රිකට් කී‍්‍රඩකයන් පමණක් නොව, චිත්‍රපටකරුවන් හා නාට්‍යකරුවන්ද රට වෙනුවෙන් යම් දෙයක් කරන බව මටද විකාරයක් මෙන් කල්පනා විය. ඒ අනුව ලංකාව සෙල්ලම් කරන මැච්ද නැති නිසා මේ දවස් ටිකේ ටිකක් වැඩියෙන් චිත්‍රපට හා නාට්‍ය නැරඹීමට මම විකාරයෙන්ම තීරණය කළෙමි. 

Comments