කාට කාටත් අබ සරණයි | සිළුමිණ

කාට කාටත් අබ සරණයි

 “කියන විදිය නරක වුණත් කියන දේ හොඳ නම් ෂෝක් ‍නේද?” අබිලිං පත්තරේට එබීගෙන කියනවා.

කඩේට බඩු ගන්ඩ ආපු උදවිය කට ඇරගෙන බලං ඉන්නවා.

“ඕකෙ පොඩි අඩුපාඩුවක් තියනවා” නිමලෙ මැදින් පැන්නා.

“මොකක්ද අඩුපාඩුව?” අබිලිං ඇහුවා.

“කියන දේට, කියන විදියට අමතරව කරන දේත් තියනවනෙ. කරන දේ ඕකේ නෑනේ” නිමලෙ කිව්වා.

“ඕකෙ කියන්නේ?” අබිලිං පෙරලා පුරස්න කොළා.

අන්තිමේට අබිලිනුයි නිමලෙයි අතරෙ ජාතියේ මහා සරසවියේ යන එව්වාටත් වඩා බරපතළ කාරණා එළියට ආවා ආයිබොවන්ඩ.

“අබිලිං මහත්තයෝ...”

කවදක්කත් නැති ව නිමලෙ එහෙම පටන් ගත්තේ අර ජාතියේ මහා සරසවියෙ උපාසක මහත්තයා වගේමයි.

“කියාපු එකක් උදාහරණෙට අරං බලමු” නිමලෙ කීවා.

“හා ගම්මු එහෙනං.”

“අබ සරණයි!”

“අබ සරණයි?”

“ඔව් වොව් අබ සරණයි!”

ඊට පස්සෙ නිමලෙ ඒක විග්ගරහා කොළා ආයිබොවන්ඩ.

“අබ සරණයි කීවෙ අලුත්ගම දී. ඒ කියලා කටගන්ඩ හම්බුන් නෑ. ජාතියේ මුර දේවතාවො ඇවිත් අබසරණ කරල ම පෙන්නුවා. ගෙවල් බිමට සමතලා උණා. හතර පස් දෙනෙක් එලොව ගියා. දර්ගා ටවුන් කියලා එකක් ලංකා සිතියමේ ආයෙ දකින්ඩ බැරි විදියට අබසරණ ගියා. අන්තිමේදි අබසරණ ගෙනාපු උන්දලා එර්දියෙන් යමින් ඉද්දි ආණ්ඩුවෙන් ම කඩපු ගෙවල් හදල දුන්නා. ඒ කියන්නෙ මහජනයගෙ බදු මුදල්ඔලිං.”

නිමලෙ එහෙම කියද්දි මටත් කට පියාන ඉන්ඩ බෑ නෙවැ. මාත් පැන්නා මැද්දට.

“ඉතිං ඔය කියන හැටියට කියන දේ, කියන විදිය, කරපු විදිය වෙනසක් නෑ, එක ම විදියයි නෙවැ? අබසරණයි කීවා, අබ සරණ දුන්නා.”

නිමලෙට ඒ කතාව දිරෙව්වෙ නෑ.

“කියන විදිය වැරදියි කියලා කියන එක හරි බලං ගියාම” නිමලෙ කීවා.

“කොහොමද නිවැරදි කො‍රන්නෙ?”

“අබසරණං ගච්චාමි කියනවා.”

“ඊට පස්සෙ?”

“ඊට පස්සෙ අබසරණ දෙනවා.”

“එතකොට කියන විදිය වැරදියි, කියන දේ හරී කියලා නිකුත් කොරාපු නිවේදනේ හරි කියලද නිමලෙ කියන්නේ?”

“නැතුව... අබසරණ දුන්නට කමක් නෑ. අබසරණයි කියන්ඩ හොඳ නෑ. අබසරණයි කීවම මහජනයා කුපිත වෙනවා. අබසරණ ‍නොකියා යටින් වැඩේ දුන්නා නම් කියන දේ. ගැනයි කියන විදිය ගැනයි කොරන දේ ගැනයි ඔච්චර පුරස්න ඇති වෙන්නෑ නෙවැ!”

නිමලෙත් බලං ගිහාම එක්තරා පණ්ඩිතයෙක්. ඔයිම්මෙයිං කියන්ඩ වෙන්නෙ අපි ඔක්කොටම අබසරණයි කියල තමයි. වෙන මොනවා කියන්ඩ ද?

Comments