ගොඩ-නැඟිලි

 හය හතර නොදන්නෝ ද සිටිති. දතුව ද නොදතුව ද හය හතර නැති වැ ජීවත්විය හැකි නො වේ. ඉතින් කිමෙක් ද ඒ? ‘ආහාර නිද්‍රා භය මෛථුනංච’ යැ යි පුරාතනයෙක් හය හතර හඳුන්වා දිනි.‍ හය හතර නම් සදෙව් ලොවත් සතර අපායත් යැයි කියන්නෝ ද වෙත් මැයි එ වුවත් මෙහි ලා ගැ‍නුණේ ජීවිතය පවත්වා ගනු මස් මිනිසුනට සේ ම තිරිසනුනට ද හැකි වැ ඇවැසි දේ සතර යි.

හය හතරේ තෙ වැන්න භය යි. භය කෙසේ නම් මනුෂ්‍ය අවශ්‍යතාවක් වේ ද? මෙහි භය නමින් ගැනෙනුයේ එ නැති කැර ගැන්මට අවශ්‍ය වන ආරක්ෂාවයි. තිරශ්චීනයන් මෙන් ම මනුෂ්‍යයෝ ද උපතේ සිට මරණය තෙක් ආරක්ෂාව පතති. මුල දී, තිරිසනුන් මෙන් ම සොබා දහමින් - ගසෙකින්, ගල් ලෙනෙකින් - රැකවරණය ලද මිනිසා කෙමෙන් දියුණු වත් ම නිවෙස් තනන්නට වනි. මනුෂ්‍ය ශිෂ්ටාචාරයේ වර්ධනයත් සමඟ ගෘහ නිර්මාණය ද වර්ධනය වූවා මතු නොව එය ශිෂ්ටත්වයේ නිර්ණායකයක් බවට ද පත්වීය.

අපි වනාහි පුරාතනයේ සිට ම ගෘහ නිර්මාණයට මහත් සපන්නු වූමු‍. දැනට ඉතිරි වැ ඇත්තා වූ ද නටබුන් වැ ඇත්තා වූ ද චෛත්‍ය කර්මාන්තාදිය මෙන් ම රාජ මන්දිර ආදිය ද එ බවට මහා සාධක වෙයි. එකල - අනුරාධපුර යුගයේ දී ලොව උස ම ගඩොල් ගොඩනැඟිල්ල තැනුවෝ මේ අපි මය. එ නම් ජේතවනයයි. රුවන්මැලිය, අභයගිරිය ආදිය ද සෙසු පටු ගොඩනැඟුම් නො වේ.

ඇයි එකල පමණක් ද? මෙ කල ද අපි මහ ගොඩනැඟිලි කරන්නමෝ වෙමු. ආසියාවේ උස ම කුලුන තනන්නේ ද අපි ම ය. සිමෙන්ති හිඟය නිසා දෝ දැනට මඳකට නවතා තිබුණ ද තව ටික දිනකින් එය නිම වූ කල්හි රටට කො තරම් සෙතක් වේ ද? එ බලන්නට ම පිටරට සිට එන සංචාරකයන් නිසා රටට කිරි ඉතිරෙන බවට කවර සැකයක් ද?

එය පසකට කරමු. අර පිට්ටු බම්බුව ම අපට කො තරම් අභිමානයක් ද? එ මතු ද, ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන? අලුතින් තැනෙන ගොඩනැඟිලි! තව ටික කලෙකින් ලොව උසම ගොඩනැඟිල්ල ද මෙ සිරිලකින් ම අහසට නැ‍ෙඟන බවට නම් සැකයක් නොවේ.

රජයෙන් එසේ කරන කල මිනිසුනටත් නිකම් සිටි හැකි ද? නයින් පෙණය කරන කල ගැරැඬින් වළං කැබැල්ලක් හෝ පෙන්වන් ම ය. ඉතින් මිනිස්සුන් හැකි තරම් උසට මහතට ගෙවල් තනති. අපි කවරදාත් කිසිවකුට දෙවැනි නොවන්නමෝ වමු. එහෙයින් ගෙවලුදු අනුනට දෙ වැනි නොවීම තනමු; දිවිය පුරා කඹුට ලද මුදල් වැය කොට ගෙවල් තනමු; දිවියෙහි ඉතිරි කල ද ණය ගෙවන්නට ම ගෙවමු; දරුවනට ද එ ණය ඉතිරි කොට තබා යමු. අහෝ! එහෙත් දෙ මහල් තෙමහල් නිවෙ‍ෙසක, අද වහරින් කිව හොත් ‘සොඳුරු කැදැල්ලෙක’ ඉන්නා කල දැනෙන සෑම ‘ලොවැ සියල්ල බිඳෙයි’. එ නයින් මේ මහ ගොඩනැඟිලි ද සොඳුරු කැදැලි ද යම් දිනෙක බිඳ හෙනු ඇත. එ තල කුමක් කරමු ද? පෙර කල කො තරම් මහත් වූ ගොඩනැඟිල්ලක් වුව ද තැනුණේ ගලිනි, ගඩොලිනි, දැවයෙනි. ගෙවල් තැනුණේ මැටියෙනි. ඉතින් ඒ කැඩී බිඳී ගිය ද නටබුන් වැ ගිය ද එ සියල්ල යළි පරිසරයට ම එක් වී ය.

දැන්? දැන් ගොඩනැඟිලි තැනෙනුයේ සිමෙන්තියෙනි. කොංක්‍රීටයෙනි. ඉතින් මේ අහස සිඹිමින් උදම් වන ගොඩනැඟිලි යම් දිනෙක බිඳ හුණු කල්හි කුමක් නම් කරමු ද? කඩා වැටුණු කොංක්‍රීට ගොඩවල් කොහි තබමු ද? අර දහවල් සමනළියක කුණු කන්දට කරන්නට කීවා සේ මහ දාගබ් අස්සේ කොංක්‍රීට ගොඩවල් ඔබමු ද?

කරතොත් එයට වඩා හොඳ වැඩෙකුදු වෙයි. එ නම් මේ මහ කොංක්‍රීට ගොඩවල් මුහුදෙහි ගොඩ ගසා තව ද වරාය නගරයක් තැනීම යි. එ කල එක ගලින් කුරුල්ලන් කී දෙනකු මරාගත හැකි දැයි බැලුව මැනැවි. රට ලොකු වේ. ගල් පස් වැලි ඉතිරි වේ. සංචාරකයෝ ද එති. රටට මුදල් ගලා එයි. වරාය නගර ම දෙකෙකි. දැන් දැන් තිස් මහල්, හතලිස් මහල් ‘රෙසිඩන්සි’, ‘එපාට්මන්ට්’ තනන සැටියට එ බඳු නගර සෑහෙන ගණනක් අනාගතයේදී සෑදිය හැකි වෙයි. බැලුව මැනැවි නියම ‘ධරණීය සංවර්ධනය’ නම් ඒ වේද?

බුදුහු ගෙවඩුවා හඳුනාගෙන ගෙවල් තැනීම නැවැතූ හ. අපි හොඳ හොඳ ගෙවඩුවන් තව තව සොයමින් ලොව ලොකු ම ගොඩනැඟිලි තනන්නට යතමු. අපට වඩා හොඳ බුදුනුවෝ කවුරු ද?

හිතමිතුරා 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
16 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.