මෙතනදී සිසුන් බුද්ධිමත් නොවුණොත්... | සිළුමිණ

මෙතනදී සිසුන් බුද්ධිමත් නොවුණොත්...

 මීට දශක කීපයකට පෙර ශ්‍රී ලංකාවේ දැඩි ශිෂ්‍ය අසහනයක් පැවති බව අද පරපුරේ වැඩිහිටියන් දැන සිටියද, අද ශිෂ්‍ය පරපුරට එය කටවචනයෙන් ආ කතාවක් පමණි. එදා ශිෂ්‍ය අසහනයේ භයානක ප්‍රතිවිපාක දුටු පරපුර අද වැඩිහිටියන් වශයෙන් ඉතා සෝචනීය ලෙස බලා සිටින්නේ එවැනි අසහනයක් යළි මතු වෙමින් පවතින්නේද යන බියකුරු සිතිවිල්ලත් සමඟය.

එදා ශිෂ්‍ය පෙළපාළි අද මෙන් ‍සතියකට වරක් නොව, සතියකට දෙතුන් වරක්ම පැවතිණි. මුළු විශ්වවිද්‍යාල පද්ධතියම කඩාවැටුණු අතර, ශිෂ්‍ය අරගලය සහ එයට විරුද්ධ මර්දන ව්‍යාපාරයේ ප්‍රතිඵල වශයෙන් සිසුන් පමණක් නොව ආචාර්යවරු මහාචාර්යවරු කීප දෙනෙක්ද මරුමුවට පත් වූහ. වසර 03කින් විශ්වවිද්‍යාලවල පාඨමාලාව අවසන් කළ යුතු වූ සිසුන්ට එය සඳහා අවුරුදු 05ත් 06ත් අතර කාලයක් ගත විය. අපතේ ගිය තරුණ ශ්‍රමයේ අගය මිල කළ නොහැකි තරම්ය.

මෙවැනි අරගල අප රටට සීමා වූවක් නොවේ. 1968දී ප්‍රංසයේ 'අකාරුණික ශීත ඍතුව' යනුවෙන් හැඳින්වුණු ශිෂ්‍ය අසහනය මුළු රටම අඩපණ කිරීමට සමත් විය. ශිෂ්‍ය ව්‍යාපාරයට සහාය දීමට දුම්රිය සහ බස් සේවකයන්ද විදුලිබල සේවකයන්ද තැපැල් සහ අනෙකුත් සේවකයන්ද වැඩ වර්ජන ඇරඹූ අතර, මුළු ප්‍රංස ජන ජීවිතයම අඩපණ විය. 1970 අගභාගයේ බ්‍රිතාන්‍යයේද එබඳුම ශිෂ්‍ය අසහනයක් පැවතිණි. ප්‍රවාහන සේවා පමණක් නොව, ගල්අඟුරු සහ ගෑස් සේවක වැඩවර්ජනය නිසා විදුලි බලයද ඇනහිටියේය. බ්‍රිතාන්‍ය වැසියන්ට දින ගණනක් අඳුරේ සිටින්නට සිදු විය.

ඒ අසහනකාරි තත්ත්වයන්ගෙන් හොඳ පාඩමක් උගත් යුරෝපීය ජාතිකයෝ එවැන්නක් යළි ඇති වීම වැළැක්වීමට පියවර ගත්හ. ශිෂ්‍ය අධ්‍යාපනයට මුල් තැන දිය යුතු බව කුඩා වියේ පටන් ඒත්තු ගැන්වීමට ගත් ප්‍රායෝගික පියවර නිසා අද බ්‍රිතාන්‍යයේ හෝ ප්‍රංසයේ හෝ ශිෂ්‍ය පරපුර අනවශ්‍ය හේතු මත වර්ජනවලට පෙලඹෙන්නේ නැත.‍

1988-89 වර්ෂවල ජීවිත 60 දහසක් පමණ අහිමි කරමින් පැතිර ගිය භීෂණයත් මර්දනයත් අත්විඳි සියලු දෙනා අධිෂ්ඨාන කළේත් ප්‍රාර්ථනා කළේත් යළි එවැනි තත්ත්වයක් ඇති නොවිය යුතු බවයි. එහෙත් මුලදී පැවති ශිෂ්‍ය විරෝධයන් එයින් පිළිබිඹු වූ විනාශකාරි උද්යෝගයත් අද දුටු විට රටේ සමකාමි ජන දිවියට ළැදි සියලු දෙනාගේ සිත් තුළ ඇති කළේ නුදුරු අනාගතය ගැන බිය සංවේගයකි. ශිෂ්‍යශිෂ්‍යාවන්ගේ පමණක් නොව, ශිෂ්‍ය භික්ෂූන්ගේ දැඩි ආවේගකාරි හැඟීම් මෙන්ම ඔවුන් සමහරකු රජයේ දේපළ පවා විනාශ කිරීමට නොපැකිළුණු බවත් දුටු විට අනාගතය ගැන බියක් ඇති වේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෑතකදී සයිටම් වෛද්‍ය විද්‍යාලයේ ප්‍රශ්නය ගැන සඳහන් කරමින් කියා සිටියේ කාටත් සාධාරණ විසඳුමක් සලසා දීම රජයේ අභිප්‍රාය බවයි. ජනාධිපතිතුමා ශිෂ්‍යයන්ගෙන් කළ ඉල්ලීම වූයේ අධ්‍යාපනයට ප්‍රමුඛත්වය දී නිසි කාලයේදී අධ්‍යාපනය අවසන් කිරීමෙන් පසු සමාජයේ ප්‍රශ්න ඇතොත් එය සොයා බැලිය හැකි බවයි. අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුසිසුවියන් ලක්ෂ සංඛ්‍යාත ගණනකින් සරසවි වරම් ලැබෙන්නේ සීමිත සංඛ්‍යාවකටය. විශ්වවිද්‍යාල ප්‍රවේශ වරම් ලබන සිසුසිසුවියන් තමා තුළ වූ එම සුවිශේෂ දැනුම තවදුරටත් තීව්‍ර කරගැනීම සඳහා සරසවි සමය උපරිම වශයෙන් උපයෝගි කරගත යුතුය. එය බලධාරීන්ගේ පමණක් නොව, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේද, විශේෂයෙන් දෙමවුපියන්ගේද පූර්ණ අපේක්ෂාව බව අමතක නොකළ යුතුය.

වෙනත් බොහෝ රටවල විශ්වවිද්‍යාල සිසුන් ඒ සඳහා ගෙවීම් කළ යුතු වුවද අප රටේ ඇත්තේ නිදහස් අධ්‍යාපනයකි. විශ්වවිද්‍යලවලින් ගාස්තු අය නොකෙරෙනවා පමණක් නොව, ඔවුන්ට මහපොළ ශිෂ්‍යත්ව ආධාරද ලැබේ. මෙය විශ්වවිද්‍යාලයෙන් පිටත සිටින සහෝදර පිරිසට අහිමි වූ සුවිශේෂ වරප්‍රසාදයක් බව විශ්වවිද්‍යාල සිසුන් අවබෝධ කරගත යුතුය. විශ්වවිද්‍යාලයේ ගත කරන වසර 03ක් පමණ වූ කාලය යෙදවිය යුත්තේ අධ්‍යාපනයටය. එය ඔවුන් සිය දෙමාපියන්ට පමණක් නොව, සමාජයටම ඇති වගකීමක් ඉටු කර දීමකි.

සයිටම් ප්‍රශ්නය හෝ ශිෂ්‍ය තහනමක් මුල් කරගෙන විරෝධතා පැතිරවීමට සීමා නොවී රජයේ දේපළ අත්පත් කරගැනීම සහ විනාශ කිරීම ආදි ‍කටයුවල නිරත වීමෙන් තමන් කරන්නේ තම රටට සහ සමාජයට පමණක් නොව සරසවි ශිෂ්‍ය ප්‍රතිරූපයටම බලවත් හානියක් බව ඒ සිසුහු අවබෝධ කරගත යුතුය. සයිටම් පිළිබඳ ප්‍රශ්නයක් වේ නම් එය විසඳා දීමට බලධාරීන් මෙන්ම ශ්‍රී ලංකා වෛද්‍ය සභාව කටයුතු කළ යුතුය. ඊට දේශපාලන හෝ වෛද්‍ය සේවා වෘත්තීය සමිති සිසුන් අතකොළුවක් සේ භාවිතා කිරීමට ශිෂ්‍යශිෂ්‍යාවන් හසු විය යුතු නොවේ. මේ බව වටහාගැනීමට සරසවි සිසුන් බුද්ධිමත් විය යුතුය. 

Comments

In Stock Alli http://costofcial.com - cialis Cialis En Vente Libre Nizagara Canadian Pharmacy Cephalexin Dog Eye Infection <a href=http://costofcial.com>cialis</a> Cialis 2 5 Mg Costo Normal Dosage Amoxicillin Tooth Levitra Flussig Buy Propecia Cheapest http://costofcial.com - cialis online Cialis Ubelkeit Propecia Samples Online Viagra Alternative Apotheke

පිටු