‘ග්ලයි‍ෆොසෙට්’ තහනම, වකුගඩු ‍‍රෝගය හා තේ වගාව | සිළුමිණ

‘ග්ලයි‍ෆොසෙට්’ තහනම, වකුගඩු ‍‍රෝගය හා තේ වගාව

 මෙරට වකුගඩු ‍‍රෝගයත් පිළිකා රෝගයත් දරුණු ලෙස වර්ධනය වන බවට වෛද්‍ය විද්‍යාත්මක සාක්ෂි තිබෙන නිසා වත්මන් රජය 2015 ජූනි 15 සිට ‘ග්ලයිෆොසෙට්’ විෂ වල් නාශකය මෙරටට ගෙන්වීම මෙරට විකිණීම පාවිච්චිය සම්පූර්ණයෙන් තහනම් කරනු ලැබිණි.

‘ග්ලයිෆොසෙට්’ හෙවත් ‘රවුන්ඩ් අප්’ ලෙස හැඳින්වූ මේ වල් නාශකය උතුරු මැද ඌව, වයඹ හා නැගෙනහිර පළාත්වල අවුරුදු 10 – 15 අතර දරුවන්ගේ වකුගඩු කුඩා වීම හා මළ දරු උපත්ද සිදු වූ බව පර්යේෂණ මඟින් අනාවරණය විය.

මීට අමතරව මෙරට වකුගඩු රෝගීන් ගණන දැනට ලක්ෂය දක්වා ඉහළ යෑමටත් පිළිකා රෝගීන් ගණන 15000 තෙක් ඉහළ යෑමටත් ග්ලයිෆොසෙට් පාවිච්චිය හේතු වන බවට මේ පිළිබඳ දිගු කලක් පර්යේෂණ කළ රජරට විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මහතා ඇතුළු ආචාර්ය මහාචාර්යවරු පෙන්වා දෙති.

මේ නිසා රජය තහනම් කළ ග්ලයිෆොසෙට් අපේ රටින් තුරන් වන තත්ත්වයක් ඇති වෙමින් තිබිණි‍. ඒ පිළිබඳව ගොවි සංවිධාන නායකයෝ හා පරිසර සංවිධානද ඉතා සතුටට පත් වෙමින් සිටියහ. මෙය ජනාධිපතිතුමා හා අගමැතිතුමා එක් වී ක්‍රියාවට නැංවූ වස විස නැති රටක් වැඩපිළිවෙළේ ප්‍රධාන අංගයක් විය.

එසේ වුවත් දැන් තේ වගාව සඳහා ග්ලයිෆොසෙට් අත්‍යවශ්‍ය බවට වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය ඉතා ඉහළ මට්ටමින් ඉල්ලීම් කිරීමට පටන් ගෙන තිබේ. එහිදී මහා පරිමාණ තේ වගාකරුවන් පවසන්නේ මේ වල් නාශකය නැතිව මහා පරිමාණ තේ ඉඩම්වල වල් මර්දනය අපහසු බවයි. ඒ සමඟම ඒ පිළිබඳ අදහස් දක්වන වැවිලි කර්මාන්ත ඇමැති නවින් දිසානායක මහතා පවසා ඇත්තේ උඩරට ප්‍රදේශයේ දැනට වසර ගණනාවක් තිස්සේ තේ වගාවට ග්ලයිෆොසෙට් භාවිත වුවත් වකුගඩු රෝගයේ වැඩි වීමක් සිදු නොවුණු බවයි. මේ අනුව ග්ලයිෆොසෙට් හා වකුගඩු ‍රෝගීන් අතර සුවිශේෂ සම්බන්ධතාවක් නැතැයි ඇමැතිවරයා පවසා ඇත.

මේ අනුව මේ කරුණු දෙක පිළිබඳ අප අවධානය යොමු කළ යුතු ය. අපේ පරිසරය වනසන ‘ග්ලයිෆොසෙට්’ තේ වගාවට පමණක් ලබාදෙන ලෙස කරන ඉල්ලීම ඉටු ක‍ළ හොත් එය හොරෙන් හා වංචාසහගත මාර්ග මඟින් රටේ ප්‍රචලිත වීම අනිවාර්යයෙන්ම සිදු වනු ඇතැයි පරිසරවේදීහු පවසති.

ඒ අනුව තේ වගාවට ‘ග්ලයිෆොසෙට්’ සඳහා අවසර දෙන්නේ නම් එය ඉතා දැඩි සුපරීක්ෂාකාරිත්වයක් යටතේ සිදු විය යුතු ය. ඒ සඳහා විද්වත් අධීක්ෂණ මණ්ඩලයකට පත් කළ යුතුව ඇත.‍

මේ පිළිබඳව දිගු කාලයක් පර්යේෂණ කළ රජරට විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මහතා පවසන්නේ මධ්‍යම කඳුකරයේ තේ වගාවට ග්ලයි‍ෙ‍ෆාසෙට් දැමූ විට කොළඹ ජනතාවට පානීය ජලය දෙන කැලණි ගඟට ඒ විස මුසු විය හැකි බවයි. ලෝකයේ බොහෝ රටවල් මේ විෂ වල් නාශකය තහනම් කිරීමට අපහසුව කටයුතු කරයි. එහෙත් අමාරුවෙන් තහනම් කළ මේ විෂ රසායනිකය යළිත් මෙරටට ගෙන්වුව හොත් අපේ රටේ වකුගඩු හා පිළිකා රෝගීන් ගණන ඉදිරි වසර 10 ඇතුළත සියයට 25–30කින් වැඩි වීමට හැකි බවට වෛද්‍ය විශේෂඥයෝ පවසති. මීයන්ට ග්ලයිෆොසෙට් මුසු කළ ජලය දී කළ පර්යේෂණ අනුව ග්ලයිෆොසෙට් මඟින් වකුගඩු දුර්වල කරන බව කැලණි සරසවිය පැහැදිලිව විද්‍යානුකූලව ඔප්පු කර ඇත.

යළි අපේ රටට ග්ලයිෆොසෙට් නිදහස් කළ හොත් ඉන් වැඩිපුරම පීඩාවට පත් වනු ඇත්තේ මහවැලියට තම ඉඩම් ලබාදී රජරටට ගිය කොත්මලේ මහනුවර ජනතාව බවද වෛද්‍ය චන්න ජයසුමන පෙන්වා දී ඇත.

අපේ රටේ වැඩිපුරම ඇත්තේ කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ තේ වතුය. ඒ වතු හිමියන් තම වල් මර්දන කටයුතු කරන්නේ කම්කරුවන් ලවාය.‍ එහෙත් සියයට 25ක් වූ මහා පරිමාණ තේ වතු හිමියන් වල් මර්දනයට මිනිස් ශ්‍රමය යොදාගත හොත් විශාල වියදමක් වැය වේ. ඒ නිසා ඔවුහු වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයට මේ ග්ලයිෆොසෙට් තහනම ඉවත් කරන ලෙස බල කරති. ඒ ඔවුන්ගේ ලාභය වැඩි කරගන්නටය‍. නැත් නම් අධික ලාභයක් ඉක්මනින් අත් කරගන්නටය. අද මිනිස් ශ්‍රමය පිළිබඳවද ගැටලුවක් පවතී‍‍. ඒ අතින්ද මේ මහා පරිමාණ ගැටලුවට ග්ලයිෆොසෙට් පාවිච්චියට යළි ඉඩ ලැබුණ හොත් පිළයමක් ලැබෙනු ඇත.

අනෙක් අතට අප පසුගිය දිනවලදී අප මුහුණ දුන් නායයෑම් ආපදාවට ප්‍රධාන හේතුව වී තිබුණේ බටහිර බෑවුම්වල ඉවක් බවක් නැති තේ වගාව බව භූ විද්‍යාඥයෝ පවසති. තේ වගා කරන විට එම භූමියේ කිසිම ගසක් හෝ වල් පැළෑටියක් තිබෙන්නේ නැත. තේ වගාවට ආධාර දෙන විටද කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය පවසන්නේ එම ඉඩමේ කිසිම වෙනත් වගාවක් නොතිබිය යුතු බවයි. ඒ අනුව තේ වැවීම නිසා ඉඩම් පාංශු ඛාදනය වෙන බවට මතයක් ඇත.

මේ අනුව තේ වගාවට යළි ග්ලයිෆොසෙට් පාවිච්චි කළ‍ හොත් අපේ රටේ රත්නපුරය කළුතර, නුවරඑළිය, ගාල්ල වැනි ප්‍රදේශවල තවදුරටත් දරුණු නාය යෑම් ඇති වීමට ඉඩ ඇති බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයද අනතුරු අඟවා ඇත.

එබැවින් යළි අපේ රටට ග්ලයිෆොසෙට් මෙරටට ගෙන්වීම මහත් සුපරීක්ෂාකාරි ලෙස කළ යුතු දෙයක් බව කිව යුතුය. රටේ පරිසරය සුරැකීමත් මහා පරිමාණ වැවිලි කර්මාන්තය සුරැකීමත් සිදු කරමින්, දැළි පිහියෙන් කිරි කන්නා සේ මේ ග්ලයිෆොසෙට් යළි මෙරටට ගෙන්වීමට කටයුතු කළ යුතු බව අපිත් අවධාරණය කරමු. නැත් නම් රටේ ගොවි ජනතාවගේ තවත් ජීවිත රැසක් මේ වස නිසා අපට අහිමි වීම වළක්වනු නොහැකිය.

නිහාල් පී. අබේසිංහ

Comments