ජනමත විචාරණය තීන්දු කරන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයයි | සිළුමිණ

ජනමත විචාරණය තීන්දු කරන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයයි

 ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගැනීම සහ ඇප ලබාදීම සම්බන්ධයෙන් විවිධ කතා බහ සමාජයේ ඇතිවෙමින් තිබෙනවා. විටෙක ආණ්ඩුවටත් දරුණු චෝදනා එල්ල වෙනවා. මේ සම්බන්ධයෙන් ඔබ දකින්නේ කෙසේද?

ගලගොඩඅත්තේ ඥානසාර හාමුදුරුවෝ සිංහල බෞද්ධ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීසිටින භික්ෂූන් වහන්සේ නමක්. අපේ රටේ ඉතිහාසය ගත්තම, ජාතියට ආගමට හානියක් වෙන තැන්වලදී දුටුගැමුණු රජතුමාගේ කාලයේ සිට භික්ෂූන් වහන්සේලා පෙරට ඇවිත් කටයුතු කරලා තිබෙනවා. හැබැයි උන් වහන්සේගේ සමහර ක්‍රියා කලාපයන් ඉදිරිපත්වෙන ආක­ාරය ගැන අපේ සතුටක් නැහැ. මහානායක හාමුදුරුවන්ගේ පවා සතුටක් නැහැ. අද වන විට අදාළ සිදුවීම් සම්බන්ධයෙන් විස්සකට වැඩි පිරිසක් අත්අඩංගුවට අරගෙන තිබෙනවා. ඥානසාර හිමියනුත් ඒකට අයත්.

අධිකරණ විනිශ්චයකරුවන්ට මේ රටේ තියෙන සමාජ වාතාවරණය ගැන හොඳ අවබෝධයක් තිබෙනවා. ඒනිසා සරල ව බලලා මිනිහෙකුට කියන්න බැහැ, අත්අඩංගුවට ගත්ත විදිහ වැරදියි, පැය 24න් ඇප දුන්නු එක වැරදියි. තව කෙනෙක් අවුරුද්දක් රදවා ගෙන ඉන්නවා, වගේ ප්‍රකාශ කරන්න ප්‍රජාතන්ත්‍රවාදය තියෙන කිසිම රටක මිනිහෙකුට අයිතියක් නැහැ.ඒක තමයි ක්‍රමවේදය. එතකොට ඇපදෙන විදිහ වැරදිනම් ඇපෑලක් දාලා ඒක අහෝසි කරන්න පුළුවන්.

ආණ්ඩුව විදිහට නීති පියවරට ඉඩදුන්නා. අධිකරණය අවශ්‍ය පියවර අරගෙන තියෙනවා. එතන්දි ආණ්ඩුවට ඇගිල්ල දික් කරන්න බැහැ. දැන් ඔය දේවල් ගැන කතාකරන කණ්ඩායම ඔයිට වඩා බරපතළ සිද්ධි සංඛ්‍යවක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට පවා අරගෙන ගියා. පසුගිය රජය කාලයේ නඩු දැම්මෙත් නැහැ. අධිකරණයට ඉදිරිපත් කළෙත්නැහැ. ඇප ගැනීමක් කළෙත් නැහැ. ඒවා ගැන දැන් කවුරුත් කතා කරන්නේ නැහැ. අපි නීතිය ක්‍රියාත්මක කරන එක තමයි වරද වෙලා තියෙන්නේ.

පසුගියදා අස්ගිරි පාර්ශ්වයේ මහානායක හිමි සහ කාරක සභා ස්වාමීන් වහන්සේලා විශේෂ නිවේදනයක් නිකුත් කරලා තිබුණා. ඥානසාර හිමියන් ගැන කතා කරන බොහෝ පිරිස් එය, සමස්ථ භික්ෂු සමාජයටම අපහාස කිරීමට යොදා ගන්නා බව කියලා තියෙනවා?

අස්ගිරි පාර්ශ්වයේ මහනායක හිමියනුයි, කාරක සභාවයි 100%ක්ම නිවැරදියි. ආණ්ඩුවට දොස් කියලත් නැහැ. තර්ජනය කරලත් නැහැ. හාමුදුරුවන්ට නම කියමින් සංඝ සමාජයට ම අපහාස කරන දේශපාලනඥයන් සහ එන්.ජී.ඕ පිරිසක් ඉන්නවා. දැන් සමහරු කියනවා. නායක හාමුදුරුවන්ගේ මේ ප්‍රකාශය ආණ්ඩුවට රතු පණිවිඩයක් කියලා, ඒවා මාධ්‍යකාරයන්ගේ නිර්මාණ. අනික ඒකේ වැඩි වගකීමක් තියෙන්නේ හාමුදුරුවන්ට බැන්න අයට නො වේ. වැඩි වගකීමක් තියෙන්නේ විනයක් නැති, වගකීමක් නැති මාධ්‍යයන්ටයි. මාධ්‍යකාරයෝ මූලික වශයෙන් දැන ගන්න ඕනේ, පූජ්‍ය පක්ෂයට අගෞරව වන විදිහට කතා කළා කියලා , ඒක මාධ්‍යයේ ලොකුවට දාන්න තරම් වුවමනාවක් නැහැ. අද මාධ්‍යයෙන් 90%කට සදාචාරයක් නැහැ. ඔවුන් හදන්නේ රට ගිනි තියන්නයි. -

අද වන විට ජාතිවාදය දරුණු ලෙස රට තුළ ව්‍යාප්ත වෙමින් පවතින බවත්, මේ සම්බන්ධයෙන් ආණ්ඩුව හරිහැටි ක්‍රියා කර නොමැති බවටත් චෝදනාවක් එල්ලවෙනවා?

මේ රටේ ජාතිවාදයක් නැහැ. ඉන්නවා නම් ඒ අතක ඇගිලි ගානටයි. හැබැයි ජාතිවාදය පතුරවන්න උත්සාහ කරන අන්තවාදීන් කිහිපදෙනෙක් ඉන්නවා. දැන් ඒ අයගෙන් සමහරුන්ට එරෙහිව පැමිණිලි දාලා තියෙනවා. ක්‍රියා කරන එක පොලිසියේ සහ අධිකරණයේ වගකීමයි.

නව ව්‍යවස්ථාවේදී සිංහල බෞද්ධයන් ඉලක්ක කරගෙන නව නීති පමුණුවන්න යනවා කියලා අදහසක් සමාජ ගතවෙලා තිබෙනවා?

ඒක දේශපාලන අසහනකාරීන් කිහිපදෙනෙක් කියන කතාවක්. ඔවුන් එකිනෙක බොරු තොරතුරු නායක හිමිවරුන්ට ලබා දෙනවා. මම පැහැදිලිව කියනවා. ජනාධිපතිතුමත් පැහැදිලිව ම කියලා තියෙනවා,අපේ රටේ අලුත් ව්‍යවස්ථාව හදන කොට රටේ එකීයභාවය සහ බුද්ධාගමට ප්‍රමුඛතාව ගැන තිබෙන වගන්ති දෙක වෙනස්වෙන්නේ නැහැ කියලා. මමත් නව ව්‍යවස්ථාව සඳහා පත්කර ඇති මෙහෙයුම් කමිටුවේ සාමාජිකයෙක්. ඒ එක්කම අධිකරණ ඇමැති, ඊට උඩින් අගමැතිතුමා ඉන්නවා, ජනාධිපති තුමා ඉන්නවා. අපි මේ ගැන පැහැදිලිව ප්‍රකාශ කරලා තියෙනවා. හැබැයි මෙතෙන්ට දාපු යෝජනා තියෙනවා. ඒවා දාපු වාර්තා යෝජනා මිසක්, නව ව්‍යවස්ථාව නො වෙයිනේ.

බුදු දහම සහ බෞද්ධ සංස්කෘතිය විනාශ කිරීමට භාවිත කෙරෙන විකෘති කරන ලද ප්‍රකාශන පාලනය කිරීම සඳහා රජය මගින් කෙටුම්පත්කර ඇති බෞද්ධ ප්‍රකාශන නියාමන පනත් කෙටුම්පත තවමත් ආණ්ඩුවට සම්මත කරගන්න බැරිවෙලා තියෙනවා නේද?

එතැන පොඩි ගැටලුවක් තිබෙනවා. පසුගිය කාලයේ අපේ නායක හිමිපාණන් වහන්සේලා බෞද්ධ පනත් පහක් ගැන කතා කළා. ඒක සම්මත කරලා දෙන්නේ නැහැ කියලා පසුගිය ආණ්ඩුවට අවුරුදු දහයක් ම කිව්වා. අපේ ආණ්ඩුව ආවහම අපිටත් කිව්වා. ඔය හුඟක් පනත් කෙටුම්පත් කිරීමේදී මහානායක ස්වාමීන්වහන්සේලා එක්ක එකතුවෙලා මමත් අවුරුදු 15ක් විතර කටයුතු කරලා තියෙනවා. මම බුද්ධ ශාසන ඇමති වෙලා තවම අවුරුදු එක හමාරයි. මුල් මාසෙම මම සියලුම නිකාය ගෙනල්ලා, සාකච්ඡා කරලා අපි එකඟතාවකට ආවා, පනත් පහෙන් ගැටුම් අඩුම පනත් දෙක ඉස්සරලා ඉවර කරමු කියලා. ඒ අනුව විහාර දේවාලගම් සංශෝධනය කිරීමේ පනත සහ ථෙරවාදී බෞද්ධ කතිකාවත් ලියා පදිංචි කිරීමේ පනතයි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා දැන් මාස 8-10ක් විතර වෙනවා. ඒ ඉදිරිපත් කළේ සියලුම නිකායවල් එකඟතාවකට ඇවිල්ලයි. මම එක කොන්දේසියකට එකඟ වුණා, මල්වතු අස්ගිරි දෙපාර්ශ්වය හැර අනෙකුත් පාර්ශ්ව කරපු ඉල්ලීමකට අනුව දියවඩන නිලමේ තෝරාපත්කර ගැනමේ ඡන්ද බලය අනෙකුත් නිකායවල් වලටත් ලබා දෙනවාද නැද්ද යන කරුණු පිළිබඳ මල්වතු අස්ගිරි ස්වාමීන් වහන්සේලා එකඟතාව දුන්නොත් පමණක් ඒක කාරක සභා අවස්ථාවේදී සංශෝධනය කරන්න කටයුතු කරනවා. ඒ පොරොන්දුවට එකඟතාවට ඇවිල්ලා තමයි මේ පනත් දෙකම පාර්ලිමේන්තුවට දැම්මේ. ඊට පස්සේ පනත් දෙක ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අභියෝගයට ලක්කෙරුවා. ශ්‍රේෂ්ඨාධිකරණයත් මේ පනත් දෙකේ නීත්‍යානුකූල භාවය ගැන නඩු තීන්දු දෙකක් දීලා තියෙනවා. එහෙම ඉදිරිපත් කළ පනත් දෙක පාර්ලිමේන්තුවේ අපි සම්මත කරන්න සූදානම් වෙනකොට, මුලින් එකඟතාව ලබාදුන් භික්ෂූන් වහන්සේලා නියෝජනය කරන නිකායවල් වලින් එයට විරෝධය එල්ල වුණා. තවමත් ඒක න්‍ය‍ාය පත්‍රයේ තිබෙනවා. මම ළඟදීම සාකච්ඡා වට දෙක තුනක් බලනවා එකඟතාවකට ඒවිද කියලා, මේක සම්මත කරන්න. මේක ආණ්ඩුවේ වරදක් දෝෂයක් නොවේ. 1956 පටන් අරගෙන අවුරුදු 70ක් කිසිම ආණ්ඩුවක් කරපු නැති දෙයක් තමයි අපි අතගහලා කළේ. මූලිකම ප්‍රශ්න අඩු පනත් දෙක සම්මත කරගන්න සහයෝගය නැතිව කොහොමද අපි තව එකකට අත ගහන්නේ.

ඥානසාර හිමියන් ගැන නැවතත් කතා බහ යොමුකළොත්, උන් වහන්සේ සඟවා ගෙන සිටින දේශපාලනඥයන් දෙදෙනෙක් ගැන කතා වෙනවා. ඉන් එක් අයෙක් විදිහට ඔබයි සැලකෙන්නේ?

ඒ මන්ද බුද්ධිකයෝ දෙන්නෙක් ප්‍රවෘත්ති සාකච්ඡාවල කියපු දේවල්නේ. ඒවා ට මාධ්‍යකාරයෝ මහා ප්‍රචාර දෙනවා. අඩුම ගානේ මාධ්‍ය තේරුම් ගන්න ඕනේ, මේවා කියන මිනිස්සු මොන ජාතියේ මිනිස්සුද කියලා. ඒ හැරෙන්න මට එහෙම කියන්න තරම් කාටවත් මොලේ අමාරුවක් නැහැ.

නීතිඥ ලක්ෂාන් ඩයස් මහතා කර ඇති ප්‍රකාශනයක්, පැය 24ක් ඇතුළත සමාව නොගත හොත් එයට අවශ්‍ය පියවර ගන්නවා කියලා ඔබ ප්‍රකාශ කර තිබෙනවා?

මම කිව්වා වගේම ඒක කරනවා. මොකද නීතීඥ වෘත්තිය කියන්නේ ගණිකා වෘත්තියේ යොදවන්න පුළුවන් එකක් නො වේ. ඔහු දේශීය සහ විදේශීය මාධ්‍යවල දිගින් දිගටම ලංකාවේ බෞද්ධයෝ ක්‍රිස්තියානි පල්ලි 195කට පහරදීලා තියෙනවා. ගිනි තියලා තියෙනවා ආදිය කියලා අවලාද නගලා තියෙනවා. දැන් ඒ ලයිස්තුව කොහද තියෙන්නේ. හුදෙකලා සිද්ධි දෙක, තුනක් ඇතිවුණා. ඔහුගේ ප්‍රකාශය මාධ්‍යයෙන් ඉදිරිපත් කෙරුණා. එහිදී ඔහු කිව්වේ මම නීතිඥයෙක්, මට වගකීමක් තියෙනවා. මම නීතිඥවරයෙක් විදිහට මේ ජාතියේ නඩු 120කට පෙනී ඉදලා තියෙනවා කිව්වම මේ රටේ මිනිස්සු කැලඹෙනවා. ඇත්තටම එහෙම ගහලා තියෙනවා කිව්වම ක්‍රිස්තියානි මිනිස්සු පන්සල්වලට ගහන්න යාවි. ඇත්තක් කියලා නම් අපිට එහිදී කරන්න දෙයක් නැහැ. ඒ අවාසනාවන්ත සිද්ධි ගැන නීතිය ක්‍රියාත්මක කරනවා හැරෙන්න. නමුත් මෙහෙම බොරු කියන්න, රට ගිනි තියන්න නීතිඥ වෘත්තිය යොදවාගන්න දෙන්න බැහැ.

එහිදී අවිධිමත් සහ බලහත්කාරී ලෙස ප්‍රසිද්ධියේ ඔබ ක්‍රියා කරන බවට ඔබට චෝදනාවක් නැගෙනවා?

ඕනෑ කෙනෙක් ඕනැ විදිහකට හිතාගත්තට මට කමක් නැහැ. මොකද අස්කිරීම කරන්නේ මම නොවේ. ශ්‍රේෂ්ඨාධිකරණයයි. ඒක තේරුම් ගන්න බැරි අය ඕනෑම දෙයක් කියපුවාවේ. මිනිස්සුන්ගේ කටකතාවලටයි, ඕපාදූපවලටයි බයේ ඇමැතිවරයකුට සහ ආණ්ඩුවට තීරණ ගන්න බැහැ.

නව ව්‍යවස්ථාවක් ගැන සමාජයේ කතා බහක් ඇතිවෙමින් තිබෙන අවධියක් මේ. නව ව්‍යවස්ථාවේ ඒකීය ද, පෙඩරල් ද යන වදන් දෙක පිළිබඳ ගැටුම තවම නිරාකරණය වෙලා නැහැ නේද?

වාද විවාද තියෙන එක හොඳයිනේ. 1972දී හදපු ව්‍යවස්ථාවේ ගැටලුව තමයි ජනතාවගේ සහභාගිත්වයක් නැතිවුණා කියන එක. එදා මැතිනියට තිබුණු 2/3 බලය නිසා ඒ ව්‍යවස්ථාව සම්මත වුණා. බොහෝ දෙනෙක් ඒ නිසා ඒකට කිව්වෙත් ශ්‍රීලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාව කියලයි. 1978 ජේ.ආර්. ජයවර්ධන මහත්තයාට තිබුණු 5/6ක බලය නිසා ඔහුත් ව්‍යවස්ථාවක් හඳුන්වලා දුන්නා. ඒවා තමන්ගේ හිතුමතයට හැදුවා කියන එකේ සත්‍යතාවක් තියෙනවානේ. දැන් අපිට මිනිස්සු දොස් කියන්නේ අපි සාකච්ඡා කරලා රටට ගැළපෙන්නේ මොකක්ද කියලා ‍කටයුතු කරන නිසානේ.

අද දෙමළ සන්ධානය පෙඩරල් ඉල්ලන්නේ නැත්නම් ප්‍රශ්නයක් නැහැනේ. එන්.ජී.ඕ. කාරයෝ 4-5ක් මාධ්‍යයට ඇවිල්ලා ප්‍රකාශ නිකුත් කරනවා. මාධ්‍යයත් රටට වැදගත් නැති දේවල් දාලා රට අවුලනවා. සම්පන්දන් මහත්තයා කියනවා පෙඩරල් ඉල්ලන්නේ නැහැ කියලා, මාධ්‍ය ඒකට නොවේ ප්‍රචාරය දෙන්නේ, එන්.ජී.ඕ. කාරයන්ගේ ‍ප්‍රකාශයන්ටයි.

ඒකීය කිව්වට, ඒකීය කියන වචනයේ ඉංග්‍රීසි වදන වන 'unitary' යන්න භාවිතය ගැන ගැටලුවක් මතුවෙලා තියෙනවා නේද?

දැනට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තියෙන්නේ ඒ වචන දෙක තමයි. නමුත් ඒ වචන දෙක සමාන නැහැ. අපේ මිනිස්සු 'unitary' කිව්වම හුඟක් අය තේරුම දන්නේ නැහැ. සිංහලෙන් ඒකීය කිව්වම එකයි. 'unitary' කිව්වම එකමුතුවක්. ඒක පිළිබඳ සුදුසු වචනය මොකක්ද කියලා ඉස්සරහදි අපි සාකච්ඡා කරන්න ඕනේ. අපි දෙමළ සන්ධානයේ උතුරේ මහ ඇමැතිගේ මතය නොවේ සලකන්නේ ජාතික දේශපාලනයේ ඉන්න විපක්ෂ නායකතුමාගේ දෙමළ ජාතික සන්ධානයේ මතයයි. එතුමා බොහොම පැහැදිලිව කියනවා අපිට ඕ‍නේ ඒකීය රාජ්‍යයක් තුළ බලය විමධ්‍යගත කරලා සමගියෙන් ඉන්න කියලා.

නමුත් දෙමළ සන්ධානයේ මැතිවරණ ප්‍රකාශනයේ සදහන් වෙන්නේ පෙඩරල් විසඳුමකට යනවා කියලනේ?

අපිට වැදගත්වෙන්නේ මැතිවරණ ප්‍රකාශනය නොවේ, පාර්ලිමේන්තුවේ එකඟතාවයි. ඒ ගොල්ලන්ගේ පක්ෂය නොවේ මේ ව්‍යවස්ථාව සම්මත කරගන්නේ මහජන නියෝජිතයෝ. ඒ අයට ඉන්නේ 16 දෙනයි. එක්සත් ජාතික පක්ෂයට ඉන්නවා 107ක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්නවා 96ක්. ඒ තත්ත්වය උඩ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය දෙකට බෙදිලා හිටියට මේ පක්ෂ දෙකේ එකඟතාවක් නැතිව ප්‍රායෝගිකව ව්‍යවස්ථාවක් සම්මත කරගන්න බැහැ. ඉතින් රටට හොඳම දේ ප්‍රධාන පක්ෂ දෙක එකතුවෙලා එකඟතාවකට ඇවිල්ලා තියෙනවා,අනිත් සුළුපක්ෂවල සහය ඇතිව අපි කරන යෙක් කරමු කියන ස්ථාවරයේ ඉන්නවා.

නව ව්‍යස්ථාවක් සම්මත කරගැනීමේදී ජනමත විචාරණයකට යායුතුයි නේද?

නැහැ. මෙහෙමයි. අපි කෙළින් ම ජනමත විචාරණයකට යනවා කියලා ආණ්ඩුවක් හැටියට තීරණයක් අරගෙන නැහැ. අපි අලුත් ව්‍යවස්ථාවක් හරි සංශෝධනයක් හරි ඉදිරිපත් කරපුවාම ශ්‍රේෂ්ඨාධිකරණයට තමයි ඒ බලය තියෙන්නේ ජනමත විචාරණයකින් අනුමත වෙන්න ඕනේද නැද්ද කියලා. ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වෙත් අපිට ජනමත විචාරණයක් ඕනේ නැහැ 2/3ක් තිබ්බම පුළුවන් කියලා ප්‍රශ්නයක් නැහැ. පාර්ලිමේන්තුවේ 2/3 අපිට තියෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වොත් ජනමත විචාරණයකට යන්න කියලා අපි ජනමත විචාරණයකට යනවා. ඊට පස්සේ ජනමත විචාරණයේදී ජනතාවට ඒක ජයග්‍රහනය කරවන්න පුළුවන් නැත්නම් පරාද කරවන්න පුළුවන්. ප්‍රතිඵලය කුමක් වුවත් අපිට ප්‍රශ්නයක් නැහැ. අපි අවසානයේදී ජනතාව‍ගේ මතයට හිස නමනවා. ඒක ආණ්ඩුවේ වැටිල්ලක් නොවේ. ආණ්ඩු‍වේ සේදී යාමක් නොවේ. මිනිස්සුන්ගේ ජනමතයට ගරු කරන එක තමයි ප්‍රජාතන්ත්‍රවාදයේ මූලිකම එක.

සංවාදය
මලික් චමින්ද ධර්මවර්ධන

Comments