ජාතිවාදය හා ආගම්වාදය අතට ගත් දේශපාලන හනුමන්තලා! | සිළුමිණ

ජාතිවාදය හා ආගම්වාදය අතට ගත් දේශපාලන හනුමන්තලා!

 ස්වාභාවික විපත් කීපයකින් දුකට හා පීඩාවට පත් ජනතාව යාන්තම් හුස්මක් කටක් ගන්නත් කලින් ඔවුන්ගේ හිස මතට ඩෙංගු මාරයාද කඩාපාත් වී සිටියි. මේ විපත්, ලෙඩරෝග, කරදර කිසිවක් කලින් දැනුම් දී ජනතාව වෙත එන දේ නොවුණද ඒ සියල්ල දේශපාලන ප්‍රශ්න බවට පත් වී ආණ්ඩුවේ ඔඩොක්කුවටම වැටීම අලුත් දෙයක් නොවේ. ඒ හැම නස්පැත්තියකම දේශපාලන සම්මාදමක් තිබෙන බවද පෙනේ. එහෙත් එබඳු ජාතික විපතකදී ආණ්ඩුවටම ඇදකුද කියා දෝෂාරෝපණ එල්ල කිරීමෙන් පමණක් ඒවායින් ජනතාවට සෙතක් උදා නොවන බවද අපට පෙනෙන යථාර්ථයයි. එනිසා කළ යුතු බුද්ධිමත්ම ක්‍රියාව නම් කවුරුත් එක්ව ඒවාට විසඳුම් සොයා විපතට පත් ජනතාව ඉන් මුදාගැනීමය. අවාසනාවකට එබඳු යහපත් පූර්වාදර්ශ අපට තිබෙන්නේ ඉතා අඩුවෙනි.

දැනට තිබෙන වාර්තා අනුව නගර, ගම්, නිවාස, ගොඩනැඟිලි අවට මෙන්ම ආණ්ඩුවේ බොහෝ ආයතන පමණක් නොව ඇතැම් රෝහල් පවා මදුරුවන් වඩන තොටිලි බවට පත්ව තිබේ. වසංගත රෝගයක් පැතිර යද්දී වලග ගිනිගත් හනුමන්තලා වාගේ ඉවක් බවක් නැතිව දුව පනිමින්ද, දෙස්දෙවොල් තබමින්ද ක්‍රියා කරන බොහෝ දෙනෙක් තම සමාජ වගකීම හා යුතුකම් ඉටු කරන්නෝ නොවෙති. මේ තරම් නරකම සෞඛ්‍ය පුරුදු ඇති, පරිසර හිතකාමි පුරුදුවලින් දුගී බවට පත් රටවල් ලෝකයේ තව කොපමණ තිබේදැයි අපි නොදනිමු.

තම දරුවන්ට යහපත් සෞඛ්‍ය පුරුදු ඉගැන්විය යුත්තේ ගෙදරදී හා පාසල්වලදීය. ඒ වගකීම නිසි ලෙස ඉටු නොවී සමාජගත වන දරුවා වැඩිහිටියකු ලෙස පවත්වාගෙන යන්නේද විනාශකාරී සෞඛ්‍ය පුරුදුය. වත්තේ වීසි කරන පොල් කෝම්බය, හිස් බෝතලය, හිස් ටින්, යෝගට් කෝප්ප ඇතුළු සියලු අපද්‍රව්‍ය පොලිතීන් මලුවල

දමා රාත්‍රියේ මහපාරට වීසි කරන මහත්වරු මේ සමාජයේ කොපමණ සිටිත්ද? අද වන විට බහුලව ව්‍යාප්තව තිබෙන ක්ෂණික ආහාර, ශීත කළ බීම අසුරා තිබෙන පොලිතීන් හා ප්ලාස්ටික්වල ප්‍රමාණය කොතරම්ද යන්න අමුතුවෙන් විග්‍රහ කළ යුතු නැත.

පරිසරයට හිතකර නොවන ඉදිකිරීම්, ජලාශ අපවිත්‍ර කිරීම්, ගංගා ඇළදොළවලට නොයෙක් රසායන වර්ග ඇතුළු කුණුකන්දල් මුදාහරින කම්හල් හා වනරක්ෂිත වැනසීම්, කැලෑ පාළුවන් සුරැකීම යනාදි සියල්ල පසුපස බොහෝ විට තිබෙන්නේ දේශපාලන හස්තයක් හෝ නීතියට උඩින් පියාඹන අදිසි බලමුළු බවද ඕනෑවටත්වඩා ඔප්පු වී තිබේ.

රටේ ජනාධිපවතිවරයාට උණ බලන්න යන්න වෙන්නේත්, අගමැතිවරයාට කුණු බලන්න යන්න වෙන්නේත් මේ අප්‍රසන්න දුෂ්ප්‍රතිපත්ති දිගින් දිගටම නඩත්තු කිරීම නිසාය. අද විපක්ෂයට වී ආණ්ඩුවට අධි චෝදනා පත්‍ර ඉදිරිපත් කරන ගරු මන්ත්‍රීතුමන්ලාටද තමන්ගේ පාලන කාල අතුළත මේ විනාශ නඩත්තු කර පවත්වාගෙන ඒමේ ක්‍රියාවලියට තමන් විසින් දෙන ලද අනුබල අනුග්‍රහයේ පංගුව කොතරම්දැයි ගණන් බලාගත හැකි වනු ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ ජාතික විපත් දුරලීම සඳහා යෝජනා කර තිබෙන කසළ කළමනාකරණ හා ඩෙංගු උවදුරු මැඬලීමේ ඒකකය අතිශය ප්‍රායෝගික මෙන්ම සාධනීය අදහසකි. ඩෙංගු මර්දනයට හා කසළ කළමනාකරණයට නීතිරීති හා චක්‍රලේඛවලට අමතරව සෑම පුද්ගලයකුම හා සෑම ආයතනයක්ම තම හෘදයසාක්ෂියට අනුව එම ක්‍රියාවලියට දායක වීමේ වැදගත්කමද මෛත්‍රී ජනාධිපතිවරයා අවධාරණය කරයි. ඩෙංගු මර්දනය පිළිබඳ හොඳම වාර්තාව තිබෙන කියුබාව සතුව වුවද එම ක්‍රියාවලියේදී කියුබානු පාලකයන් විසින් දියත් කරන ලද්දේ දැඩි මර්දනකාරී පිළිවෙතක් බවද කියති. මේ මර්දනය ජනතාවම භීතියට පත් කළ එකක් විය. යම් හෙයකින් කිසියම් නිවාස පරිශ්‍රමයකින් ඩෙංගු කීටයන් සිටින බව තහවුරු වුව හොත් එම නිවෙසම පො‍ළොවට සමතලා කර දැමිණි. ජනතාව මේ මර්දනයට බියෙන් සාමූහිකව ශ්‍රම බල කණ්ඩායම් ගොඩනගාගෙන පරිසරය සුරැකීමේ වැඩපිළිවෙළකට යොමු වූ බවද කියති.

මේ අනුව නීතිය මෙන්ම ජනතා සහායද එබඳු ජාතික වැඩපිළිවෙළකට අවශ්‍ය බව ඉතා පැහැදිලිය. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විශේෂයෙන් පාසල් දරුවන් ඉලක්ක කරගත් ක්‍රියාදාමයක් ගැනද මෙහිදී උපදෙස් දී තිබේ. තිරසර සංවර්ධන වැඩපිළිවෙළ තුළ පරිසරය පිළිබඳ දක්වන උනන්දුවද ඉමහත්ය. ඩෙංගු උණුසුමෙන්පාර්ලිමේන්තුව රත් වූ විට අගමැති රනිල් වික්‍රමසිංහ ඉල්ලා සිටියේද ආණ්ඩුව සැලසුම් සකසා ප්‍රතිපාදන ලබා දීමට පියවර ගෙන තිබුණත් ඒ සඳහා පක්ෂ පාට භේදයකින් තොරව සියලු දෙනාම සහාය දිය යුතු බවයි.

ඩෙංගු උවදුර හා කසළ ප්‍රශ්නය ආණ්ඩුවේ දේශපාලන න්‍යායපත්‍රයේ අංක එකට එද්දී තවත් අර්බුදයක ගිනි පුපුරක් අළු යටින් මතු වී තිබේ. එය ප්‍රබල ගැටුමක් බවට පත් වීමට කිසිදු ඉඩක් නැති වුවද ඒ ගිනි පුපුර දල්වා එයින් දේශපාලන ගිනි ඇවිළවීමට ක්‍රියා කරන සුළු පිරිසක් හෝ නොවෙතියි කිව නොහැකිය. ජාතිවාදය හා ආගම්වාදය යනු කිසිම ආකාරයකින් ශිෂ්ට හෝ සදාචාරාත්මකයැයි කිව නොහැකිය. එහෙත් මේ දුෂ්ට හා අශීලාචාර ක්‍රියාකාරකම් ලෝක ඉතිහාසයෙන්ද අපට සොයාගත හැකිය.

ශ්‍රී ලංකාවේ අපටද ඒ අමිහිරි අත්දැකීම් තිබේ. සිංහල, දෙමළ, මුස්ලිම් යන ඕනෑම ජාතියක නාමයෙන් මෙන්ම බෞද්ධ, කිතුනු, හින්දු සහ තවත් නොයෙක් ප්‍රභේදවලින් යුතු ආගම්වල නාමයෙන්ද මිනිසුන් බෙදී සිටිත් නම් ඒවා මුල් කරගනිමින් සාහසික හා ප්‍රචණ්ඩ විලාසයෙන් හැසිරෙත් නම් එබඳු සමාජයක් යහපත් සමාජයක් ලෙස හැඳින්විය නොහැකිය.

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් අද උද්ගතව තිබෙන ආන්දෝලනය කිසි සේත් යහපත් ප්‍රවණතාවක් ලෙස හැඳින්විය නොහැකිය. ඥානසාර හිමියන් සිංහල බෞද්ධ උරුමය වෙනුවෙන් පෙනී සිටින හා ඒ උදෙසා සටන් කරන හිමිනමක ලෙස සමාජ අවධානයට ලක්ව සිටින බව නොරහසකි. එසේම උන් වහන්සේගේ සමාජ මැදිහත්වීම් මේ රටේ ජාතික සංහිඳියාවට ප්‍රශ්නයක් බව කියමින් උන් වහන්සේට නිර්දය විවේචන එල්ල කරන පිරිසක්ද සිටිති. ඒ හැර උන් වහන්සේගේ ක්‍රියාකාරකම්වලට එරෙහිව අධිකරණයේ නඩු දෙකක්ද ගොනු කරනු ලැබ තිබේ.

ඥානසාර හිමියන් පිළිබඳ හෝ උන් වහන්සේගේ ක්‍රියාකාරකම් පිළිබඳ ගිහියන් වන අප කතා කිරීම සුදුසු නැත. ඒ පිළිබඳව උන් වහන්සේ කැඳවා උපදෙස් දීමට හෝ භික්ෂුත්වයට හානි වන අයුරින් උන් වහන්සේ හැසිරෙන්නේ නම් එය වැළැක්වීමට මහනාහිමිවරුන් ප්‍රමුඛ මහා සංඝරත්නය ක්‍රියා කළ යුතුය. පොදු සංඝ සම්මුතියට පටහැණිව හෝ භික්ෂු විනයට හානි වන ආකාරයෙන් හැසිරීමට උන් වහන්සේට තිබෙන අයිතිය වුවද අපි ප්‍රශ්න නොකරමු. එහෙත් මේ රටේ පවතින නීතියට පටහැණිව උන් වහන්සේට ක්‍රියා කළ නොහැකි බව නම් අපගේ අදහසයි. සංඝාධිකරණයෙන් නිකුත් කෙරෙන ආඥාවන්ට මෙන්ම නීතිය මගින් කෙරෙන නියෝගවලටද උන්වහන්සේ යටත්ය.

කෙසේ හෝ ආසන්න අතීතය තුළ මුස්ලිම් සමාජයේ දැඩි දෝෂදර්ශනයට ලක්ව තිබෙන ක්‍රියාකාරකම්, හැසිරීම් පිළිබඳ උන් වහන්සේට දැඩි සමාජ හා දේශපාලන විවේචන එල්ල විය; අදත් එල්ල වේ. උන් වහන්සේට අනුව තමන් වහන්සේ ක්‍රියාත්මක වී සිටින්නේ සිංහල බෞද්ධ උරුමය සුරැකීමටය. එහෙත් උන් වහන්සේට ඒ සඳහා රටේ නීතිය හා සදාචාරාත්මක ගුණධර්ම නොතකා ක්‍රියා කළ හැකිද යන ප්‍රශ්නය මතු වී තිබේ. ආසන්න අතීතය තුළ මුස්ලිම් ජනකොටස් සමග පමණක් නොව, තමන් වහන්සේගේ ශාසනයට අයත් හිමිනමක් සමගද උන්වහන්සේ ගැටුම් ඇති කරගත් ආකාරය රූපවාහිනී නාලිකා ඔස්සේ විදහා දැක්විණි. එබඳු බොහෝ අවස්ථාවල උන් වහන්සේගේ හැසිරීම් රටාවද වාග් විලාශයද උද්වේගකර වූ බව ඒ රූපරාමු නැරඹූ අය දුටහ.

ඇතැම් අවස්ථාවල උන් වහන්සේ සංඝ සමාජයේ නායකකාරකාදීන් වහන්සේටද ඇනුම්පද එල්ල කරනු පෙනිණි.

මහින්ද රාජපක්ෂ පාලන සමයේදීත් මුස්ලිම් ආගමික ස්ථාන හා ව්‍යාපාරික ස්ථාන ඉලක්ක කරගනිමින් ප්‍රහාර එල්ල විය. අලුත්ගම දර්ගා නගරයේ ඇති වූ සිංහල-මුස්ලිම් ගැටුම මෑතකදී සිදු වූ උච්චතම විනාශය බව නිසැකය. මේ සමගම ඇතැම් මුස්ලිම් දේශපාලනඥයන්ගේ ක්‍රියාකාරකම්ද උන් වහන්සේගේ ප්‍රතිචාර

සාධාරණීකරණය කිරීමට යම් බලපෑමක් කළ බවද නිසැකය. රූපවාහිනී නාලිකාවල වීර චරිතයක් බවට පත් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ක්‍රමයෙන් එක් අන්තයකටම තල්ලු වී ගිය ආකාරය විවේචනය කළ සිවිල් සංවිධාන නියෝජිතයන් පිරිසක් මෙන්ම දේශපාලනඥයෝ කීපදෙනෙක්ද වූහ. ප්‍රජාතන්ත්‍රවාදි පාලනයක් යනු යුක්තිය හා සාධාරණත්වය මත පදනම් වූවකි. එයට එරෙහිව ක්‍රියා කරන අය විවේචනය කිරීම හා ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම යනු ඒ පාලනය මෙහෙයවන අයගේ වගකීමකි. ඥානසාර හිමියන්ගේ ක්‍රියාකාරකම් විවේචනය කළ ඇතැම් සිවිල් ක්‍රියාකාරීන් බොහෝ විට උන් වහන්සේව හෙළා තළා කතා කළ බවට චෝදනාවක්ද තිබේ. සිංහල බෞද්ධ සමාජය තුළ චීවරයට හා භික්ෂූන් වහන්සේට හිමිව තිබෙන ගෞරවය නොදෙමින් උන් වහන්සේ හැඳින්වූ අයද වූහයි කියති. චීවරධාරියා, භික්ෂුව හෝ උන් වහන්සේගේ නම පමණක් සඳහන් කිරීමද තවත් විවාදාත්මක කරුණක් විය. කුමන සන්දර්භයක් යටතේ වුව සංඝ සමාජයට අයත් සංඝයා වහන්සේ නමක හැඳින්වීමේදී ගිහියන්ට එසේ ක්‍රියා කළ නොහැකි බවද පිළිගත යුතුය.

බොදු බල සේනා සංවිධානය හා සමාන තවත් සංවිධාන කිපයක්ම ඇත. ඒවා හා සම්බන්ධ දේශපාලන පක්ෂද තිබේ. මේ සංවිධානවල විවේචන දැඩිය; රළුය; ඇතැම් අවස්ථාවල භාවිත කරන වචනවල වුවද වෛරී ස්වරූපයක් පෙනේ. ඒවා බුදුමඟට හෝ දහම්මඟට එකඟද යනු ප්‍රශ්නයකි. බුදුන් වහන්සේ වැඩ විසූ සමයේදීත් විවිධ ඇදහිලි විශ්වාස තිබුණු අතර, ආගමික කුමන්ත්‍රණද සිදු විය. බුදුන් වහන්සේට විරුද්ධව කොපමණ දේවල් සිදු වූයේදැයි බෞද්ධ ඉතිහාසයේත් සාහිත්‍යයේත් පෙනේ. එහෙත් බුදුදහම විනාශ කිරීමට නොහැකි විය. බොදු බල සේනා සංවිධානය පිළිබඳ තිබෙන විවේචන අනුව රාජපක්ෂ පාලන සමයේදී එයට ඒ පාලනයේ ප්‍රබලයන්ගේ උදවුඋපකාරද ලැබී තිබිණි. එකල හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ නමද ප්‍රසිද්ධියේම මේ බොදු බලය සමග සම්බන්ධ වුවද මෙතෙක් එය ප්‍රතික්ෂේප කළ බවක්ද නොපෙනේ. එසේම මේ රජයේ ඇතැම් ඇමැතිවරුන්ද ඥානසාර හිමියන් සමඟ නොයෙක් සබඳතා පවත්වා ඇති බවද කියති. අප විසින් ඉතා සංක්ෂිප්ත වශයෙන් දක්වන ලද මේ සිදුවීම් මාලාව තුළින් සමාජගත කිරීම සඳහා ජාතිවාදී හා ආගම්වාදී බෝම්බ දෙකක් නිර්මාණය කිරීම සමහරුන්ට අවශ්‍ය වී තිබේ.

මෛත්‍රී-රනිල් සම්මුති ආණ්ඩුව සිංහල බෞද්ධයා පෙළන විජාතික චින්තනයට යට වූ ආණ්ඩුවක් බව පෙන්වා, ඒ මතය සමාජගත කර සිය ප්‍රාථමික දේශපාලන ගනුදෙනුව බේරාගැනීමට දත කන පිරිස්ද සිටිති. බලය සඳහා ජාතිවාදය හා ආගම්වාදය පෙරට දැමීමේ ඉතිහාසයක් අපට තිබේ. ඒ ඉතිහාසය නිතරම මේ රටේ සංවර්ධනයට ජාතික සමගියට හරස් වී තිබෙන බව නායකයෝ බොහෝ විට අමතක කරති. දකුණේ අන්තවාදයට දෙවැනි නොවන අන්තවාදයක් උතුරේ හා නැඟෙනහිරද දැකගත හැකිය. උතුරේ මහ ඇමති විග්නේශ්වරන් මහතා වරක් ප්‍රකාශ කළේ උතුරේ රැඳී සිටින හමුදාව ඉන් ඉවත් නොවුව හොත් උතුරේ ජනතාව වීදි බසින දවසක් නුදුරු දිනකම උදා වන බවය. ගලබොඩඅත්තේ හිමියන් විසින්ද වරක් මනෝ ගනේෂන් ඇමතිවරයා මුහුණට මුහුණ හමු වී මේක සිංහල බෞද්ධ රටක් ලෙස පිළිගන්නවාදැයි දැඩිව ප්‍රශ්න කළ ආකාරයද අපට මතකය. එසේම වගකීමෙන් තොරව සිංහලයන්ට චෝදනා නගන අතැම් මුස්ලිම් ඇමැතිවරුන්ද කරන්නේ ජාතිවාදි ගින්නට පිදුරු දැමීමකි. සිංහල - මුස්ලම් අසමගිය දේශපාලන වුවමනාවක් බව සාමාන්‍ය ජනතාවගෙන් බහුතරයකට නොතේරේ.

එසේම මුස්ලිම් හා ඇතැම් දෙමළ නායකයන්ගේ දේශපාලන හැසිරීම් ජනාධිපතිතුමාගේ පිටින් යවා එතුමාද සිංහල බෞද්ධ විරෝධියකු ලෙස තහවුරු කිරීමටද සමහරු වෑයම් කරති. එහෙත් මෛත්‍රී යනු සිංහල බෞද්ධ නායකයකු පමණක් නොව දෙමළ හා මුස්ලිම් ජනතාවගේ ආදරය හා ගෞරවයද දිනාගත් නායකයෙකි. දේශපාලන නායකයකුට මහජනයා ගැන අවබෝධයක් තිබිය යුතුය. ජනතාව සමග වෙන් වෙන්ව මෙන්ම සාමූහිකව ක්‍රියා කිරීමටද දේශපාලනයේදී සිදු වේ. එසේ ක්‍රියා කිරීමේදී ඒ ජනතාවගේ සිත්සතන් තුළට

පිවිසීමේ කලාව ඔහු දැනගත යුතුය. මෛත්‍රී යනු ඒ කලාව හොඳින් දන්නා නූතන නායකයායි. වරක් ජනාධිපතිවරයා මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබුණේ මෙසේය: “ජාතිවාදය කිසිම විටෙක විශ්වාසය තැබිය හැකි මිතුරෙක් නොවේ. එය බොහෝ විට අපගේ දෑස් අන්ධ කරනසුලුය. එසේම එය සත්‍යය විකෘති කිරීමටද හපන්ය. මා සිංහල බෞද්ධ නිජ භූමියක වැඩුණු ගැමියකු වුව දෙමළ මුස්ලිම් ජනාතාවද පීඩනයකින් තොරව ජීවත් වනු දැකීම මගේ අභිලාෂයයි. උතුරට නැඟෙනහිරට ගිය හැම ගමනකදීම මම ඒ දහස් සංඛ්‍යාත ජනතාවගේ නෙත්වලටත් හදවතටත් එබී බැලුවෙමි. මට ඔවුන්ගේ නෙත්වල අපේක්ෂාවද හදවත්වල උද්යෝගයද දැනිණි. සංහිඳියාව ලෙස මා අදහන්නේ ඒ අප්‍රමාණ හා නොසි‍ඳෙන බැදීම්ය.”

2015 ජනවාරි 08 වැනිදා මෛත්‍රීපාල සිරිසේන නම් වූ රජරට ගොවි දරුවකු මේ රටේ රාජ්‍යනායකයා ලෙස පත් කරගැනීමට ජනතාවට අවශ්‍ය වූයේ දේශපාලනිකව මෙන්ම සදාචාර වශයෙන්ද ප්‍රපාතයකට ඇද වැටී තිබුණු මේ රට යළි ගොඩනැගීමටය. ජනතාවගේ සිත්සතන්වල නිදන්ව තිබුණු ජාතිවාදි හා ආගම්වාදි මලකඩ ඉවත් කර, පොදු ජාතික සමගියක් උදෙසා රට මෙහෙයවනු ඇතැයි ඔහු වෙනුවෙන් ඡන්දය දුන් දෙමළ හා මුස්ලිම් ජනකොටස්ද අදත් විශ්වාස කරති.

අද යළිත් පරණ ජාතිවාදයත් ආගම් වාදයත් අවුස්සන්නේ ඒ ගමනත් ඒ ජනතාවගේ විශ්වාසයත් අඩාළ කිරීම සඳහාමය. බලය ලබාගැනීමේ හොඳම අවිය ජාතිවාදය හා ආගම්වාදය ඇවිස්සීම බව බලකාමීහු හොඳින් දනිති. භික්ෂූන් වහන්සේ මෙන්ම පන්සල්ද අද දේශපාලන කටයුතු සඳහා භාවිත වන බව අපි දනිමු. භික්ෂූන් වහන්සේලා, විද්වත්හු වැනි සමාජ මහතු මහලේ ප්‍රබල භූමිකාවල තිබෙන ඒ බෙදීම් බොහෝ විට රටට අහිතකර බවද රහසක් නොවේ.

මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ නොබෝදා අගනා අනුශාසනාවක් කළහ: “කූට දේශපාලන අරමුණු මුදුන් පත් කරගැනීම සඳහා ආගම අතකොලු කරගනිමින් වාර්ගික සාමය හා සමයාන්තර සුහදතාව බිඳිමින්, භේදය සහ ගැටුම් ප්‍රකට කරන සියලු දෙස්විදෙස් බලවේග ආගමික අන්තවාදයක් අරභයා ක්‍රියා කරන බවද, එවැනි ආත්මාර්ථකාමි විනාශකාරි වැඩපිළිවෙළකට ආගම් කියා කීමට නොහැකි බවද මගේ අදහසය.”

පසුගිය දිනක රූපවාහිනී විවාදයකට එක් වූ නීතිඥවරයකු මේ රටේ දේවස්ථාන 166කට පහර දී අලාභ හානි සිදු කළ වගක්ද ප්‍රකාශ කර තිබිණි. එය බොරුවක් බව තහවුරු විය. මෙබඳු අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීමද අද ආගම්භේදවලට හේතු වී තිබේ. ඇත්ත වශයෙන්ම ආගම, ජාතිය, කුලය හෝ පළාත් වැනි පටු හැඟීම්වලින් භේද වීමත් එබඳු භේදවලට අනුබල දීමත් බිහිසුණුම ක්‍රියාවකි. මේ රට ඕනෑවටත් වඩා ලේ ගැලීම්ද, ඝාතනද, ගැටුම්ද සමඟ ඉදිරියට වඩා ප්‍රපාතයටද පසු බැසීම්වලටද යොමු වූ රටකි. සියලු ජනවර්ගවලට සියලු ආගම්වලට හා සියලු සංස්කෘතීන්ට ගරු කිරීමට අපට හැකි වන්නේ කවර දිනකද එදින අපට රටක් ලෙසත් ජනතාවක් ලෙසත් නැඟී සිටීමට හැකි වනු ඇත. දේශපාලනඥයන් විසින් ඒ ගමනට බාධා කරනු ලැබේ නම් ඉතිහාසයේ ශිෂ්ටාචාර ගමනේ සමාරම්භයේ සිට රජවරුන්ට හා පාලකයන්ට උවදෙස් දුන් අපගේ ගෞරවනීය සංඝපිතෲන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයම මැදිහත් වී ඒ විනාශය වැළැක්වීමේ කාලෝචිත බවද අපට පෙනේ. පාලන තන්ත්‍රය මෙහෙයවන්නේ දේශපාලනය විසින් වුව, ඒ දේශපාලනය අර්ථවත් හා ඥානනය කළ හැක්කේ උත්තරීතර සංඝ සමාජයට හා අනෙකුත් ආගමික නායකයන්ට බව අමුතුවෙන් විග්‍රහ කළ යුතු නැත.

බුදුන් වහන්සේ සදාචාර ගැටලු විසඳාගැනීමේදී ප්‍රධාන කරුණු තුනක් අවධාරණය කරති. පළමුවැන්න තම හෘදයසාක්ෂියයි. දෙවැන්න ලෝක සම්මතයයි. තෙවැන්න ධර්මය අනුව විමසා බැලීමයි. මේ බුද්ධ වචනයට වඩා පරම සුභාෂිතයක් අපට තිබේද? එහෙත් ජාතිවාදය හා ආගම්වාදය අතට ගත් දේශපාලන හනුමන්තලාට මේ සුභාෂිතය කොතරම් උචිතදැයි අපි නොදනිමු.

සුමේධ ජයබාහු 

Comments