දහමට පිටු පා අළු යට ගින්නට සුළං ගැසීම | සිළුමිණ

දහමට පිටු පා අළු යට ගින්නට සුළං ගැසීම

 අතීතයේදී සමාජයට ධනාත්මකව කැපවීම් කළ භික්ෂූන් වහන්සේ අතර හේන්පිටගෙදර ඥාණසීහ භික්ෂූන් වහන්සේ පමණක් නොව මහාචාර්ය වල්පොල රාහුල හිමියෝ සිටිති. එසේම උඩකැන්දවෙල සිරි සරණංකර, පොල්වත්තේ බුද්ධදත්ත වැනි හිමිවරුද විවිධාකාරයෙන් සමාජයට යම් දායකත්වයක් දැරූ යතිවරුය. උන් වහන්සේගේ මතවාද එකිනෙකට වෙනස් විය හැකි වුවද බුදුන්ගේ ඉගැන්වීම්වලට පරස්පරව කටයුතු නොකළහ. එසේම සමාජ වටිනාකම්වලට අබමල් රේණුවක හානියක් නොකළහ.

ධර්මයට පිටුපෑම

එහෙත් අද ජීවත් වන සංඝ පරපුරේ ඇතැමකුගේ හැසිරීම මීට ඉඳුරාම වෙනස්ය. ඔවුහු රටේ සාමග්‍රිය අවුල් කරති. එසේම බෞද්ධ ඉගැන්වීම්වලට මුළුමනින්ම පරස්පර හැසිරීමක කටයුතු කරයි. එබඳු එක් භික්ෂුවකට උසාවි වරෙන්තු කිහිපයක්ම පවතින අතර සිවිල් නීතිය කඩ කිරීම මත චෝදනා කිහිපයක්ම එල්ලව තිබේ.

මේ භික්ෂුවට එරෙහිව සිවිල් නීතිය ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් උරණව සිටින සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ කාරක සංඝ සභාව පසුගියදා මහත් බැරෑරුම් බවකින් යුතු ප්‍රකාශයක් නිකුත් කළේය. ඒ අනුව ඥාණසාර භික්ෂුවගේ හැසිරීම අනුමත නොකළත් මතවාදය අනුදැන සිටීමට ඒ කාරක සංඝ සභාව ඉදිරිපත්ව සිටී. එසේම භික්ෂුවකගේ විනය ගරුත්වයට අනුව හැසිරීම නොකළ නිසාදෝ ගිහි සමාජයේ පුද්ගලයන් 'ඥාණසා'ර ලෙස නමින් ඇමතීම සම්බන්ධයෙන් උරණව සිටින කාරක සංඝ සභාව එය නොකළ යුත්තක් ලෙස ගිහි සමාජයට අනතුරු හඟවයි.

ඥාණසාර භික්ෂුව සම්බන්ධයෙන් සමාජය දක්වන ප්‍රතිචාරය ගැන යම් නොකැමැත්තක් ඇත්තේ නම් ඊට විරෝධය දැක්විය යුත්තේ එම භික්ෂුව අයත් කෝට්ටේ ශ්‍රී සාමග්‍රී මහා සංඝ සභාවයි. එහෙත් මේ වන තුරුත් ඒ සම්බන්ධව මෙම සංඝ සභාව ප්‍රතිචාරයක් දක්වා නැත.

ඉරිතැළූ ස්වෝත්තමවාදය

සංඝ සභාව මතු පිටින් කුමක් පැවසුව ද මේ මොහොතේ ඒ සංඝ සභාව පෙනී ඉන්නේ සිංහල බෞද්ධ ස්වෝත්තමවාදය වෙනුවෙන් බව නොරහසකි. රාජ්‍යයේ නිල මතය ලෙස සිංහල බෞද්ධ ස්වෝත්තමවාදය පිළිගන්නට පටන් ගත්තේ රාජපක්ෂ යුගයෙනි. 2015 ජනවාරි 08 වන දා එම යුගය බිඳවැටුණු පසු සිංහල බෞද්ධ ස්වෝත්තමවාදය අසරණ විය. මේ අළු ගසාදමා යළි නැඟී සිටීමට වාරු ගන්නේ ඒ සිංහල බෞද්ධ ස්වෝත්තමවාදය බව ළපැටියකුට වුව තේරුම් ගැනීම අපහසු නොවේ.

රාජපක්ෂ රෙජීමය කඩාවැටීමට මූලික හේතුවක් වූයේ තනි සිංහල බෞද්ධ ජන පදනමකින් රාජ්‍ය කරවීමට උත්සාහ ගැනීමය. රාජ්‍ය බලය පවා තනි සිංහල බෞද්ධ ජනවරමකින් ලබාගත් නිසා ඒ බලය පවත්වාගෙන යෑම පහසු දෙයක් බව රාජපක්ෂ රෙජීමය තක්සේරු කරන්නට ඇත. එහෙත් සිංහල නොවන ජන කොටස්වල දේශපාලනික ප්‍රශ්න විසින් රාජ්‍යයේ බලය දැරූ ආණ්ඩුවේ දේශපාලන ගතිකය නිෂ්ක්‍රීය කරනු ලැබිණි. අවසන මහින්ද රාජපක්ෂට ගෙදර යන්නට වූවා පමණක් නොව, විශේෂ උත්සව සම්බන්ධයෙන් කැලැන්ඩරයට ඇඟිල්ල තබා බලමින් දෙමළ හා මුස්ලිම් ජන කොටස්වල සංස්කෘතික උත්සව කරා එකක් නෑර යන්නට මහින්ද රාජපක්ෂට බල කෙරිණි. යළි රාජ්‍ය බලය ගන්නට නම් සිංහල නොවන ජන කොටස්වල සහාය තමන්ට අවශ්‍ය බව රාජපක්ෂ තේරුම් ගෙන සිටී.

එහෙත් රාජ්‍ය බලය ලබාගෙන යම් නිශ්චිත කාලයක් දක්වා බලය රැකගැනීමට සිංහල සමාජයේ දායකත්වය ප්‍රමාණවත් විය හැකිය. එනිසාමදෝ රාජපක්ෂවරුන්ද බලයට ඇවිත් ටික කලක් යන තුරු සිංහල බහුතරයේ බලයෙන් ඔවුහු සක්‍රීය වී සිටියහ. එහෙත් යම් නිශ්චිත කාලයකට පසු ඒ දායකත්වය ප්‍රමාණවත් නොවේ. ඒ නිසා රාජ්‍ය අධිකාරිය ශක්තිමත්ව පාලිතයන් තුළ පවත්වාගෙන යෑමට අපහසු වේ. එහෙත් එය තේරුම් ගැනීමට වත්මන් ආණ්ඩුවේ සමහර ඇමතිවරු අපොහොසත්ය.

අතාර්කික ප්‍රයත්නයක්

රාජපක්ෂ යුගයේ දී රාජ්‍ය බලයත් සමග ඒකාග්‍රව තිබූ සිංහල බෞද්ධ ස්වෝත්තමවාදී සමාජ ස්ථරය මේවන විට බෙදී වෙන් වී ගොස් ඇත. එහි ඇකඩමික තීරුව යළි ඒ ගැන අධ්‍යයනය කරමින් සිටී. මැද පාන්තික රසවිඳින්නෝ ආතක් පාතක් නැතිව ගෝඨාභය රාජපක්ෂ දියසෙන් කුමරු වන තුරු බලා හිදිති. ඥාණසාර භික්ෂුව කල් යල් බලන්නේ මේ මතවාදයේ පාදඩ සමාජ ස්ථරය අල්ලාගැනීමටය.

ප්‍රාධනය ගෝලීයව සංසරණය වෙමින් ආර්ථික සබඳතා ශක්තිමත් වන යුගයක ජාතිකවාදී බෙදීම් දේශපාලනිකව ප්‍රතික්ෂේප වේ. දේශපාලනික අස්ථාවරභාවය ප්‍රාග්ධන ගෝලීයකරණයට බාධාවක් බැවින් සමාජය තුළ නන්විධ වූ බෙදීම් අවලංගු විය යුතුය. නො එසේ නම් එය ජාතික රාජ්‍යයේ අඛණ්ඩතාවට අභියෝගයකි. එවැනි සමාජ ප්‍රවණතාවකට අස්ගිරි පාර්ශ්වයේ කාරක සංඝ සභාව දිරිදීම අතාර්කිකය.

එක් කලක උතුරේ දෙමළ සමාජය දකුණේ සිංහල සමාජයට එල්ල කළ දේශපාලන අභියෝගය කියවා ගත්තේ ත්‍රස්තවාදයක් ලෙසය. එහෙත් කලකට පසු ශ්‍රී ලංකා රාජ්‍යයේ දේශපාලන සුජාතභාවයට එල්ල වූ අභියෝගය ජාතික ප්‍රශ්නයක් ලෙස කියවාගැනීමට සිංහල සමාජය මෝරා තිබිණි. 1994 වන විට ලංකාවේ ප්‍රධාන ධනපති පක්ෂ දෙකම රාජ්‍යය ප්‍රතිසංකරණය කරගනිමින් සයලු ජාතිකත්වයන් රාජ්‍ය පාලනයට සම්බන්ධ කරගැනීම අනිවාර්ය කරුණක් ලෙස දුටහ. එහෙත් ඒ සඳහා සමාජය ගෙවූ වන්දිය අතිමහත්ය. කෙසේ හෝ ප්‍රධාන ධනපති පක්ෂ දෙකම රාජ්‍ය ප්‍රතිසංස්කරණය කර, එහි පාලනයට සිංහල නොවන සියලු ජාතිකත්වයන් සම්බන්ධ කරගැනීම කළ යුතු බවට වූ නිගමනය ඓතිහාසික වශයෙන් වැදගත් අවස්ථාවක් විය.

එහෙත් උතුරේ දෙමළ ජනතාවගෙන් එල්ල වූ දේශපාලන පණිවිඩය හරියට තේරුම් ගැනීමට දකුණේ වාමාංශික පක්ෂ බහුතරයක් තවමත් ශක්තිමත් නැත. ඔවුන් එය දකින්නේ ත්‍රස්තවාදයක් ලෙසය. විශේෂයෙන් මැද පන්තික පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුණට එය ත්‍රස්තවාදයක් පමණි. ඒ නිසා ධනපති පක්ෂ සමඟ එක පතේ කමින් ත්‍රස්තවාදය අහෝසි කිරීමට සටනට පවා ඔවුහු ගියහ. මෙය වාමාංශිකයේ න්‍යායාත්මක අවුලක් වුවත් ජනතා විමුක්ති පෙරමුණේ පදනම වන මැද පන්තික චින්තනයේ ආවේණිකයකි.

පාලක එජාපය නිරාගමික වීම

මේ තත්ත්වය යටතේ ආණ්ඩුවේ ප්‍රධානම කොටස්කරුවා වන එක්සත් ජාතික පක්ෂය නිරාගමික බව ප්‍රකාශ කිරීම අතිශය තීරණාත්මකය. රාජ්‍ය පාලනයට සම්බන්ධ වන ප්‍රධාන ධනපති පක්ෂය පදනමක් ලෙස ආගමික මතිමතාන්තර කෙරෙහි එල්බගෙන නොසිටීම ප්‍රකාශයට පත් කිරීම ඓතිහාසික අර්ථයෙන්ද වැදගත්ය. සමාජ සංවර්ධනයේලා ආගමික මතිමතාන්තර රාජ්‍ය පාලනයට සම්බන්ධ කර නොගත යුතු අතර, ඒවා පෞද්ගලික විශ්වාසයන් පමණක් විය යුතුය. සමාජයේ සිවිල් චරිත හා සම්ප්‍රදායික මතිමතාන්තර ඉස්මත්තට ගනිමින් දේශපාලන බලය ගැනීම ඉන් වැළකේ. වාමාංශික පක්ෂයන්ට ආවේණික මේ භාවිතය ධනපති එක්සත් ජාතික පක්ෂයක් විසින්ද පිළිගැනීම ප්‍රශස්තය.

එහෙත් ගැටලුව පැනනඟින්නේ රාජ්‍ය පාලනයේදී ආගමික සංවිධාන හා ආගමික සුරුවම් සමඟ කටයුතු කිරීමට ගොස් ආණ්ඩුව අත පුච්චා ගැනීම නිසාය. සමාජය තුළ විශාල මතවාදී ආධිපත්‍යයක් පවතින ආගමික සංවිධාන තම අරමුණු ජයග්‍රහණය කරගැනීම සඳහා උපක්‍රමශීලී වේ. එනිසා තම කුරිරු ඉලක්ක සඳහා අන්තවාදය හා ආගමික හිංසාව යොදාගනී. ඒවා සාධාරණීකරණය කරන්නේ ආගමට මුවා වෙමිනි. සමාජය තුළ පවතින ආගමික මතවාදයන්ගේ ශක්තිය නිසා ඊට ආවරණයක් ලැබේ. එහෙත් ඒ සියල්ල ආගමික සංවිධානයන් විසින් කරන්නේ ඒ ඒ ආගමේ කර්තෘවරුන්ගේ මතවාදයන්ට හා දර්ශනයන්ට එරෙහිව යමිනි. ආණ්ඩුව ආගමික සංවිධානයන්ගේ සිවිල් බලයට කෑදරව එම මතවාදයන්ට එරෙහිව කටයුතු නොකර ඒවා හා මිත්‍රව සබඳතා නිර්මාණය කරගැනීම අතිශය දරුණු ප්‍රතිඵල ඇති කරයි.

අස්ගිරි පාර්ශ්වයේ කාරක සංඝ සභාවේ දේශපාලන ප්‍රකාශය පරස්පර විරෝධයන් සහිත වන අතරම බෞද්ධ දාර්ශනික ඉගැන්වීම්වලට අනනුකූල බවද නොරහසකි. එහෙත් ඒ අනනුකූලතා ඉක්මවා සමාජය තේරුම් ගත යුත්තේ එය සිංහල බෞද්ධ ස්වෝත්තමවාදයේ වෙඩි මුරයක් ලෙසය. මේ මොහොත තුළ සිංහල බෞද්ධ ස්වෝත්තමවාදය දුර්වලව පවතී. එහෙත් අළු යට ගිනි පුපුරු මෙන් එය වහා ඇවිළී පුපුරා යෑමට පවතින විභවය විශාලය. සමාජයේ දේශපාලන හිඩැසක් පවතින අතර, ඒ හිඩැස පිරවීමේ ඉල්ලුම සමඟ මෙවැනි ප්‍රවණතා පිමිවලින් නැඟී සිටීම සාමාන්‍ය ලක්ෂණයකි.

කේ.ජී. පිලිප් ශාන්ත
[email protected] 

Comments