දෙමළ සන්ධානයේ ප්‍රතිපත්තිවලට මම එකඟ නෑ! | සිළුමිණ

දෙමළ සන්ධානයේ ප්‍රතිපත්තිවලට මම එකඟ නෑ!

 උණුසුම් දේශපාලන තත්ත්වයකට මඟ පෑදූ උතුරු පළාත් සභාවේ සිදුවීම, දෙමළ සන්ධානයේ මැතිවරණ ප්‍රකාශනය ගැන අදහස මෙන්ම තමන්ට එල්ලවන ජාතිවාදී චෝදනා සම්බන්ධයෙන් අදහස් දක්වන්නේ උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතා ය.

ගෙවුණු සති කිහිපයේ උතුරු පළාත් සභාව සම්බන්ධයෙන් රටේම අවධානය යොමුවෙලා තිබුණා. ඔබ දූෂණ විමර්ශනය සඳහා පත්කළ කමිටුවේ වාර්තාව නිකුත් වුණාට පසුව ඇති වූ මේ තත්ත්වය අද වන විටත් ස්ථිර විසැඳුමකට ඇවිල්ලා ද කියන සැකය ඉතිරි කරලා තිබෙනවා. ඇත්තටම මොකද මෙතැන සිද්ධවුණේ?

අපේ පළාත් සභාවේ සාමාජිකයෝ, පළාත් සභාවේ ඇමැතිවරු ගැන කාලයක් තිස්සේ චෝදනා ගණනාවක් එල්ල කරලා තිබුණා. එහෙම එක එක චෝදනා එල්ල වේගෙන එනකොට අපි කල්පනා කළා, මේ චෝදනා ගැන විමර්ශනයක් කරන්න. පස්සේ අපි විමර්ශන කොමිසමක් පත්කළා. ඒ කොමිසම මීට ටික දවසකට ඉස්සරලා අපිට ඒ අයගේ වාර්තාව ඉදිරිපත් කළා. ඒ වාර්තාවට අනුව පළාත් සභාවේ ඇමැතිවරුන් ගෙන් දෙන්නෙක් වරදක් කරලා තියෙනවා කියලා වාර්තාවෙලා තිබුණා. අනික් දෙන්නට විරුද්ධ පැමිණිල්ල කරපු කෙනා විදේශ ගතවෙලා හිටපු නිසා ඒක විභාග කෙරිලා තිබුණේ නැහැ. ඒ අය නිදහස් වෙලා තිබුණා. අන්තිමට වාර්තාව මගේ අතට ආවට පස්සේ මම ක්‍රියාත්මක වුණා. ඒ අනුව චෝදනා එල්ල වෙලා තිබෙන දෙන්නට ඉල්ලා අස්වෙන්න කියලා මම කිව්වා. අනික් දෙන්න ගැන විමසීමක් වෙලා තිබුණේ නැහැනේ, මොකද පැමිණිල්ල කරපු කෙනා රට ගිහින්නේ, එතකොට මම ඒ අයට කිව්වා, මාසයකට නිවාඩු අරගෙන යන්න ඕනේ කියලා.

චෝදනා ගැන විමසීමක් නැති දෙන්නට ඔබ කරලා තියෙන්නේ අසාධාරණයක් නේද?

මෙතැන්දි රටගිය පැමිණිලි කරපු කෙනා ආවේ නැති නිසා කොමිසමේ කාලය ඉවර වුණා. ඒ වුණාට ඒ ගැන විමසීමක් තියෙන්න ඕනේ කියන ස්ථාවරය තිබුණා. ඒ එක්කම අලුතින් චෝදනා මිනිස්සුන්ගෙන් ඇවිල්ලා තිබුණා. ඉතින් මම කල්පනා කළේ, මේ දින සීමා ප්‍රශ්නයත්, අලුත් චෝදනාත්, ඇමැතිවරු ගැනත් පරීක්ෂණ ඉවරවුණාට පස්සේ ඒ අය නිවැරදි නම් ඒ අයගේ වැඩ කරගෙන යන්න පුළුවන් වෙනවා.

දෙමළ සන්ධානය කියන්නේ පක්ෂ ගණනාවක එකතුවක්. එතකොට ඇමතිවරු අස්කිරීම සම්බන්ධයෙන් ඒ පක්ෂවල නායකයන්ගෙන් ඔබට මොනවගේ ප්‍රතිචාරද ආවේ?

පක්ෂයෙන් මට විරුද්ධව, සම්පන්දන් මහත්තයයි, මාවෙයි සේනාධිරාජා මහත්තයයි එහෙම කරන එක වැරදියි කිව්වා. එතකොට මම කිව්වා, එහෙම වරදක් නැහැ. මොකද සාක්ෂිකාරයෝ ඇවිල්ලා සාක්ෂි දෙනකොට ඇමැතිවරු එතැන හිටියොත් සාක්ෂිකරුවන්ට සාක්ෂි දෙන්න බැරිවෙනවා. මොකද? ඒ අය බය වෙනවා. එන්නේ නැතිව යනවා. එහෙම සාක්ෂිවලට සෘජුව හරි වක්‍රව හරි බලපෑම් එල්ල වෙන එක වළක්වන්නයි එහෙම කරන්න ඕනේ වුණේ. එහෙම කරන්නත් බැරිනම් මම කිව්වා, මට ලියුමක් දෙන්න සාක්ෂි කරුවන්ට කිසිම කරදරයක්, බලපෑමක් කරන්නේ නැහැ, ඔය ගොල්ලෝ විමසීම කරන්න. අපි අපේ වැඩ කරගෙන යන්නම් කියලා. ඒත් ඒකටත් ඒ අය කැමැති වුණේ නැහැ. ඒකත් බැහැ කිව්වා. ඊළඟට මම කිව්වා එහෙමනම් ඒ අය එහෙම වරදක් කරන්නේ නැහැ කියලා මට සම්පන්දන් මහත්තයා පොරොන්දුවක් වෙනවා නම් මම ඒක බාර ගන්නම් කියලා. ඉතින් එහෙම පොරොන්දුවක්වත් දෙන්න ඒ අය කැමැති වුණේ නැහැ. මට කියනවා නිකං ඔවුන්ට ඉන්න දෙන්න කියලා. එහෙම කළොත් මම කලින් කිව්ව විදිහට සාක්ෂිකරුවන්ට බලපෑමක් වෙනවා. ඒකයි එතැන තියෙන ප්‍රශ්නය.

ඔබ එල්ලවෙලා තිබෙන චෝදනා විමර්ශනය කරන්න ත්‍රිපුද්ගල කමිටුවක් පත්කළේ කුමන පදනමකින්ද?

උතුරු පළාත් සභාවේ අපේ සාමාජිකයන්ගේම චෝදනා නේ මෙතැන තිබුණේ. මේ චෝදනා සියල්ල ගැන මම බලන්න ගියානම් මට පළාත් සභාවේ මගේ වැඩ එකක්වත් කරගන්න බැරි වෙනවා. ඒ නිසා තමයි විශ්‍රාම ගිය මහාධිකරණ නඩුකාරයෝ දෙන්නෙක් සහ විශ්‍රාම ගිය රජයේ නියෝජිතයෙක් දාලා මේ කොමිසම පත්කළේ.

මේ කමිටු වාර්තාවෙන් පැහැදිලිවම කියවුණේ ඔවුන් දූෂිතයි කියලද?

එතැන පොඩි වෙනසක් තියෙනවා. මෙතැන මේ අය මුදල් අවභාවිතා කළා කියලා කිව්වට, එහෙම වෙලා නැහැ. වෙලා තියෙන්නේ තමන්ගේ තනතුර තියාගෙන, ඒවායේ තිබෙන රැස්වීම්වලට වැඩිපුර සල්ලි වියදම් කරලා තියෙනවා, කියලයි තියෙන්නේ. එහෙම නැතිව මේ අය මුදල් දූෂණය කරලා නැහැ.

අපිට තියෙන ආරංචිවල හැටියට මේ ඇමැතිවරු හතර දෙනා ඉවත්කරන්න කියලා ඔබට වසරකට පමණ කලින් යෝජනා වෙලා තිබුණා. නමුත් ඔබ එදා නිහඩව හිටියා නේද?

ඔව්! එතෙන්දි මෙහෙමයි වුණේ. මීට අවුරුද්දකට පමණ කලින් මේ අය අයින් කරන්න කියලා මන්ත්‍රීනවරු 16 දෙනෙක් අස්සන් කරලා ලියුමක් දුන්නා. ඒ වෙලාවේ මම ඒ අයට එරෙහිව මොකුත් කළේ නැත්තේ ඒ අයට එරෙහිව එහෙම චෝදනාවක් තිබුණේ නැති නිසයි. එදා නිකම්ම කිව්වා මේ හතර දෙනාම එළියට දාලා අලුත් ඇමැතිවරු පත්කරන්න කියලා. දැන් මේ පාර චෝදනා එනකොට මම ඒ අයගෙන් ඇහුවා, තාමත් ඔබ ඒ අවශ්‍යතාව තියෙනවද කියලා. එතකොට ඒ අය 16න් 12ක් කිව්වා ඔව් අපිට තාමත් ඒ අවශ්‍යතාව තියෙනවා කියලා. ඉතිරි හතර දෙනා කිව්වා නැහැ ඕනේ නැහැ. ඒ අය එහෙම හිටපුවාවේ කියලා.

මෙහිදී චෝදනා එල්ල වුණු සියලු දෙනාටම පළාත් සභාවෙන් ලබාදුන් පහසුකම් ඉවත් කිරීමක් සිද්ධ වුණාද?

ඉල්ලා අස්වෙන්න කියපු දෙන්නට සියලු දේවල් ආපසු බාරදෙන්න කියලයි මුලදී කිව්වේ. ඒත් ඒ ගැන නැවත පරීක්ෂණ කරලා බලන්න ඕනේ කියන තීරණයකට ආවා. ඒ කියන්නේ මෙහෙම දෙයක් කරන්නේ නැතිව අඩුවෙන් දඩුවම් දෙන්න පුළුවන්ද කියලා බලනවා.

අනික් දෙන්නට මම කිව්වේ පරීක්ෂණ ඉවර වෙනකම් මාසයක් යනකම් ඔෆිස් එකට එන්න එපා කියල විතරයි. ඒ හැරෙන්න ඒ අයගේ පඩිය ගෙවනවා. වාහනය තියෙනවා.

උතුරු පළාත් සභාවේ ඇමැතිවරු හතර දෙනාගේ ප්‍රධාන ඇමැතිවරයා ඔබයි. ඔවුන්ට වැරදි කරලා තියෙන්නේ ඔබේ පාලන කාලය තුළයි. එතකොට ඔබටත් මෙහි වරදක් නැද්ද?

මෙහෙමයි. මම ඉස්සරලත් කියලා තියෙනවා. මට විරුද්ධව මොනවා හරි චෝදනා තියෙනවා නම්, ඒවත් මේ එක්කම කියන්න. මම ලෑස්තියි ඒවාට මුහුණ දෙන්න. ඒක මම එදත් කියනවා. අදත් කියනවා. මට විරුද්ධව චෝදනා තියෙනවා නම් ස්වාධීනව පරීක්ෂණ තියන්න මම මැළි වෙන්නේ නැහැ.

ඔබ මහ ඇමැති ධුරයට පත්වෙන්නේ දෙමළ සන්ධානය සමඟ එකතුවීම මගිනුයි. මේ සිදුවෙන සියල්ල බලපුවහම ඔබත්, දෙමළ සන්ධානයත් අතර ගැටුමක් තිබෙන බවයි පෙනෙන්ෙන්?

නැහැ. එහෙම තත්ත්වයක් නැහැ. නමුත් ඒ අයගේ සැකයක් තියෙනවා. තමිල් මක්කල් පේරවයි කියලා තවත් සංවිධානයක් එක්ක මගේ සම්බන්ධයක් තියෙනවා කියලා. ඒ අයත් එක්ක එකතුවෙලා දෙමළ සන්ධානයට එරෙහිව යනවා කියලා නමුත් එහෙම එකක් නැහැ. අපිට මැතිවරණ ප්‍රකාශනයක් තිබෙනවා. ඒකට විරුද්ධව මේ අය වැඩ කරගෙන යනවා කියලා මට පෙනෙන්න තියෙනවා. ඒකටයි මම විරුද්ධ. පක්ෂයට මම විරුද්ධ නැහැ. නායකත්වයට මම විරුද්ධ නැහැ. මම කියන්නේ මේ අය මෙහෙ ඇවිල්ලා එකක් කියනවා. කොළඹ ගිහින්ලා තව එකක් කියනවා. එච්චරයි මෙතන තියෙන පැටලිල්ල. වෙන දෙයක් නැහැ.

තමිල් මක්කල් පේරවයි කියන ව්‍යපාරය නේද පසුගිය දවසක එළඟු තමිල් රැස්වීම සංවිධානය කළේ? එය කෙබඳු ව්‍යාපාරයක්ද?

හුඟක් අය හිතනවා වගේ ඒක පක්ෂයක් නො වේ. ඒක ඇවිල්ලා ජනතාවගේ ව්‍යාපාරයක්.

දකුණේ දේශපාලන පක්ෂ සහ දෙමළ සන්ධානය මේ වන විට එකතුවෙලා නව ව්‍යස්ථාවක් රටට ඉදිරිපත් කරන්න සූදානම් වෙමින් තිබෙන වෙලාවක් මේක. එහෙම අවස්ථාවක ඔබේ ක්‍රියාකාරීත්වය දකුණේ සමඟියට බාධා කිරීමක් නොවේද කරන්නේ?

මම ඒකට ඔබට පැහැදිලි උත්තරයක් දෙන්නම්. දැන් මේ අය කතා කරන්නේ මොනවද? උතුරු නැගෙනහිර ජනතාව ගැන, ඒ අයගේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ගැන, ඒ ගොල්ලන්ට දෙන්ඩ තියෙන අයිතිවාසිකම් ගැන. එහෙනම් එතෙන්දි අපේ මිනිස්සුන්ගේ අදහස් මොනවද කියලා ඒ අය දැන ගන්න ඕනේ. කොළඹ ඉන්න අපේ නායකයෝ මේවා ගැන කතා කරනකොට ජනතාවගේ අදහසට වඩා වෙනස් අදහසක් එහෙ ක්‍රියාත්මක කෙරෙනකොට ඒ ගැන කතා කරන්න ඕනේ. ජනතාවගේ අදහස තියෙන්නේ දෙමළ සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේයි. කොළඹට වෙලා ප්‍රතිපත්ති ප්‍රකාශනයට විරුද්ධ දේවල් කරද්දී ඒවා පෙන්වන එක මගේ යුතුකමක්. එච්චරයි මම කරන්නේ.

මම මෙතෙන්දි ඔබට බොහොම පහසු උදාහරණයක් දෙන්න පුළුවන්. දැන් 13 වැනි සංශෝධනය විතරයි තියෙන්නේ අපිට පෙඩරල් දෙන්න බැහැ කිව්වොත් ඒක වැරදියි. අපිට ඕනේ පෙඩරල් ක්‍රමයක්. පෙඩරල් ක්‍රමය කියන්නේ අපේ වැඩ ටික අපි කරගන්න එකයි. එකම රටක් ඇතුළේදි දෙගොල්ලන් ම හොඳින් ජීවත් වීමයි. නමුත් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයේදී කියන්නේ මධ්‍යම ආණ්ඩුව හැම අයිතිවාසිකමක් ම තියාගෙන, ඒ ගොල්ලන්ට ඕනේ දෙයක් අපට දෙන එකකුයි. මේ දෙකේ වෙනසක් තියෙනවා. ඔන්න ඕවා තමයි මම පෙන්නලා දෙන්නේ. එහෙම කළාට නායකත්වය සමඟ ගැටුමක් මට නැහැ. ප්‍රතිපත්ති අනුව කටයුතු කරනවානම් මට කිසිම ප්‍රශ්නයක් නැහැ.

නමුත් මේ ජාතික ප්‍රශ්නයේදී වචන වල එල්ලී සිටීමෙන් විසැඳුමක් නොමැති බවක් දෙමළ ජාතික සන්ධානය පැමිණ තිබෙනවා. මෙය උගතුන්, බුද්ධිමතුන් අතර විශාල ප්‍රසාදයකට හේතු වෙලා තිබෙනවා?

ඒක හරි. අපි බලන්න ඕනේ උසාවියේ කොහොම තීන්දුවක්ද මේ අය දෙන්නේ කියලා. තීන්දුවේ පෙඩරල් ක්‍රමය නොවේ කියලා දැනගත්තම, ඒකීය භාවය තවම අපේ රටේ ආරක්ෂා වෙලා තියෙනවා කියලා ඒ අයිතිවාසිකම අපිට නොදී ඉන්න පුළුවන්. ඒක වෙනස් කරන්න ඕනේ කියලයි අපි පෙඩරල් ක්‍රමයකට යන්න ඕනේ කියන්නේ. ඒක වෙන විදිහකට ලිව්වට කමක් නැහැ. නමුත් අදහස එන්න ඕනේ.

මෙරට ජාතිවාදය පතුරවාලන කිහිප දෙනෙක් ගැන විවෘතව කතා වෙනවා. ඔබත් දැන් ජාතිවාදියෙක් වී රට අවුළුවන බවට බොහෝ දෙනා කියනවා?

අයියෝ. ඒ අය කිව්වට මම මොකද කරන්නේ. මොනව කියන්නද, මට ඉන්නේ ළමයි දෙන්නයි. ඒ දෙන්නම සිංහල මිනිස්සු බැදලා ඉන්නෙ. මම ඉපඳුණේ කොළඹ, හැදුණේ කොළඹ, වැඩි කාලයක් ජීවත් වුණේ කොළඹ. ඉතින් මම කොහොමද ජාතිවාදියෙක් වෙන්නේ. මට මොකක්ද එයින් ලැබෙන්නේ. කිසිම තේරුමක් නැති කතාවක් ඕක.

සංවාදය - මලික් චමින්ද ධර්මවර්ධන
ඡායාරූප - සමන්ත වීරසිරි 

Comments