බෝඩ් ගහගෙන අපි වැඩ කළේ නැහැ | සිළුමිණ

බෝඩ් ගහගෙන අපි වැඩ කළේ නැහැ

පසුගියදා ඇතිවුණු ගංවතුර විපතේදී රාජ්‍ය නිලධාරීන්ගේ ‍මැදිහත් වීම, ග්‍රාම නිලධාරීන් බඳවා ගැනීම පමා වීම, ලෝක උරුම ගාලු කොටුවේ තැපැල් කාර්යාලය ඉන්දියාවට පැවරීම වැනි දේශපාලන කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා මෙසේ අදහස් දක්වයි.

පසුගියදා ඇතිවුණු ගංවතුර ඇතුළු ආපදා තත්ත්වයන්හිදී රජයේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් දැඩි චෝදනා එල්ල වුණා. විශේෂයෙන්ම රාජ්‍ය නිලධාරීන්ගේ මැදිහත්වීම ගැන විවිධ පාර්ශ්ව මෙන්ම අතැම් විට ජනතාවත් ‍චෝදනා මුඛයෙන් කතා කළා නේද?

මම හිතන්නේ ඒක සම්පූර්ණයෙන්ම වැරදි මතයක්. ඒකියන්නේ ලංකාවේ ග්‍රාම නිලධාරී වසම් 14022 තිබෙනවා. ඉන් 5700ක් තමයි මේ ප්‍රශ්නයට මුහුණ දුන්නේ. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ගත්තොත් 95ක් මේ ප්‍රශ්නයට මුහුණ පෑවා. පසුගිය 25 වැනිදා රාත්‍රියේ සිටයි මේ ව්‍යසනය වෙන්න ගත්තේ. මේ ව්‍යසනයේදී රාජ්‍ය නිලධාරීනුත් එහි ගොදුරක් බවට පත්වෙලා හිටියා කියන එක අපි අමතක කරලයි ඔය චෝදනා එල්ල කරන්නේ. එහිදී මේ අය සාමාන්‍ය ජනතාව, මේ අය නිලධාරී කියලා නොවේනේ ගංවතුර ආවේ. මෙහෙම ගංවතුර තත්ත්වය ආවහම ඒ ප්‍රදේශවල රාජ්‍ය නිලධාරීන්ගේ කටයුතු වලට තදින්ම බලපෑවා. සමහරුන්ට තමන්ගේ රාජකාරියට යන්න තියෙන වාහන, ‍බයිසිකල් පවා අකර්මණ්‍ය වුණා. කොටින්ම ඔවුනුත් අවතැන් වුණා. එත‍කොට එහෙම තත්ත්වයක් තියාගෙන, තමනුත් අවතැන් පිරිස අතරේ ඉඳගෙන, තමන්ගේ ගෙදර දොර, දේපොළ බලන්නේ නැතිව ගස් යටට වෙලා තමන්ගේ රාජකාරිය කරගෙන යන්න සිදුවුණු පිරිස හිටියා. මම දන්නවා ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සම්පුර්ණයෙන්ම යටවුණා. නමුත් ඔහු ගහක් යටට වෙලා තමන්ගේ රාජකාරිය හොඳින් ඉටුකළා. මෙවැනි අවස්ථා ගැන තේරුමක්, අවබෝධයක් නැති ජනතාව බැලු බැල්මට කිව්වා ගමේ ග්‍රාමසේවක මහත්තයා නැහැ. ප්‍රාදේශීය ලේකම් නැහැ වගේ ප්‍රකාශ. නමුත් ඇත්ත තත්ත්වය ඕකයි. තමනුත් ගංවතුරට අහුවෙලා, විනාශ වෙලා ඉන්න කොට ඉහළ සේවයක් කළ නිලධාරීන් පිරිසක් අපිට ඉන්නවා.‍ කවුරු මොනවා කිව්වත් රටේ රාජ්‍ය තන්ත්‍රය ජනාධිපතිතුමා, අගමැතිතුමා, ඇමතිවරු, නිලධාරීන්, හැමෝම එකාවන්ව වැඩකරලා මේ විපත්කාරී අවස්ථාවේ ජනතාවට කටයුතු කළා.

නමුත් ජනතාව අතරට ගියේ මාධ්‍ය ආයතන, පෞද්ගලික මැදිහත්වීම්, ඇතැම් සංවිධාන ආදිය බවයි පිළිගැනීම?

මාධ්‍ය ආයතන අයිතිකාරයෝ නොවේ, රටක රාජ්‍ය කියන්නේ. රාජ්‍ය මාධ්‍ය ආයතන හතරයි තියෙන්නේ. එතකොට අනික් සියල්ල පෞද්ගලික මාධ්‍යයයි. ඒ අය වෙන වෙනම මෙතෙන්දි මැදිහත් වුණා. ඒකත් හැබැයි රාජ්‍ය යන්ත්‍රණයේම කොටසක්. ඒ අයට විතරක් හුදෙකලාව වැඩ කරන්න බැහැනේ.

සමහර අය හිතනවා යුද හමුදාව වැඩ කරපුවාම ඒ අය තමයි වැ‍ඩ කළේ කියලා. සමහරු නාවික හමුදාව වැඩ කරපුවාම නාවික හමුදාව විතරයි වැඩකළේ කියනවා. සමහරු පොලිසිය ගැනත් එහෙම කියනවා. නමුත් මේ ඔක්කොම නියෝග එන්නේ රාජ්‍ය මැදිහත්වීමෙන්. ඔබ දන්නවානේ, බැරැක්කයක ඉන්න සොල්දාදුවෙකුට ජනාධිපතිතුමා‍ගේ නියෝගයක් එනකම් එයින් ඉවතට යන්න බැහැ. ඉතින් එහෙම ඒ නියෝග නිසි පරිදි, නිසි වෙලාවට, නියමිත ආකාරයට, රාජ්‍ය තන්ත්‍රය මගින් ලැබුණු නිසා තමයි මේ කටයුතු සිද්ධ වුණේ.

වටින් පිටින් බලලා සමහර අය කියනවා, අපි මෙච්චර කළා, අච්චර කළා කියලා නමුත් ඕකට තරගයක් අවශ්‍ය නැහැනේ. මෙතැන ‍වෙලා තියෙන්නේ මාධ්‍ය ආයතන ඒ අයගේ නම ගහගෙන වැඩ කරනවා. හමුදාව ඒ අයගේ යුනි‍ෆෝම් වලින් වැඩ කරනවා. ‍ජනතා විමුක්ති පෙරමුණ රතු කමිස ඇදගෙන වැඩ කරනවා. නමුත් ආණ්ඩු පක්ෂයේ ඉන්න අපි කොළ පාට, නැත්නම් නිල්පාට ඇදගෙන වැඩ කළේ නැහැ. ඒනිසා ජනතාවත් රජය මැදිහත් වුණේ නැහැ කියලා දැනෙනවා ඇති. ඒත් මේ සියල්ල වෙන්නේ රජය හරහා කියන එකයි ඇත්ත කතාව. මෙතෙන්දි අඩුපාඩු නැහැ කියලා කීයටවත් මම කියන්නේ නැහැ. අඩුපාඩු ඇති, නමුත් ‍හොඳින් රජය තමන්ගේ කටයුතු කළා.

ස්වදේශ කටයුතු ඇමැතිවරයා වූ ඔබගේ ගංවතුර ආධාර ලබාදීම ගාල්ල දිස්ත්‍රික්කයට පමණක් සීමා වුණා කියලා චෝදනාවක් නැගෙනවා නේද?

ඔව්! සමහර අය මම ස්වදේශීය කටයුතු ඇමැතිවරයා නිසා එහෙම හිතනවා. නමුත් එහෙම වෙලා නැහැ. අපේ ප්‍රාදේශීය ලේකම්වරු සහ දිසාපතිවරු ලොරි දෙසිය ගණනක් පමණ සංවිධානය කරලා තිබුණා, ඉන් හැත්තෑවක් පමණ ගාල්ල දිස්ත්‍රික්කයට ආවා. හැබැයි, අනික් ලොරි ටික අනෙක් දිසාවලට ‍ගියා. එහෙම බලපුවාම ඒක අසත්‍ය චොදනාවක්.

ගංවතුර ආපදා අවස්ථාවේත් ඇතැම් රාජ්‍ය නිලධාරීන්ගේ ගසාකෑම් වාර්තාවෙලා තිබෙනවා?

ඕනෑම ක්‍රියාවකදී යම් යම් චෝදනා එල්ලවීම සාමාන්‍ය දෙයක්. අපි තේරුම් ගන්න ඕනේ දෙයක් තමයි මිනිස්සු වැඩ කරන තැන්වල අඩුපාඩු වෙනවා.‍ මේක ලංකාවේ විතරක් නොවේ ලෝකයේ හැමතැනම වෙනවා. ඒ අඩුපාඩු අවම කරගෙන ඉස්සරහට යන එක විතරයි. මේ පාර ආපදා අවස්ථාවේදීත් අපේ රාජ්‍ය නිලධාරීන් ඉහළින් ඒ අයගේ කාර්ය කරලා තිබෙනවා. ඒ අතරදී කිහිප දෙනෙකුට විතරක් යම් චෝදනා එල්ල වෙනවා. ඒවාත් ඉදිරියට තව තවත් අවම කරන්න කටයුතු කළ යුතුයි.

ඉදිරියේදී ඇතිවිය හැකි ගංවතුර ආදී විපත් වලින් වන හානිය අවම කිරීම සඳහා ඔබ මෑතකාලීනව නව ව්‍යාපෘතියක් ගැන යොජනාවක් ගෙනාවා. ඒ ගැන කතා ‍කළොත්?

නවසිය හැ‍ට දශකයේදී අමෙරිකා එක්සත් ජනපද ආණ්ඩුව ලංකාවේ ගංගා හසුරවන්නේ කෙසේද කියලා ව්‍යාපාරයක් ආරම්භ කරනවා. ඒ ගැන අමෙරිකා එක්සත් ජනපදයේ ඊ.සී.අයි. ඉංජිනේරු සමාගම සහ ශ්‍රී ලංකාවේ වාරිමාර්ග සහ විදුලිබල අමාත්‍යාංශය හැටේ දශකයේ අංග සම්පූර්ණ වාර්තා කිහිපයක් ඉදිරිපත් කරලා තියෙනවා.

අපේ ර‍ටේ කඳු නාය යෑමට ප්‍රධාන හේතුවක් තමයි, කැලෑ හැ‍ටියට තිබුණත්, වන භූමි හැ‍ටියට තිබුණත් ජලය හරිහැටි නොහැසිරවීමයි. ඒවා නිවැරදිව හසුරවන්නේ නැත්නම් ජල කාන්දුව දිගටම සිදුවෙනවා. ඒ කඳු නායයෑම්වලට ලක්වෙනවා. එතකොට ලෝකයේ දියුණු රටවල් වන නෙදර්ලන්තය වැනි රටක් ගත්තොත් එහි භූමිය මුහුදට වඩා පහළින් තියෙන්නේ. ඒත් ඒ ‍රටේ මුහුද හසුරවලා තියෙනවා, මුහුද රටට නො‍ එන්න. එතකොට අපේ රටෙත් ඒක කරන්න ඕනේ. ඒ සඳහා ඉතාමත් විධිමත් වාර්තා කිහිපයක් නිකුත් කරලා තියෙනවා. එහිදී රත්නපුර, කළුතර, ගාල්ල, මාතර දිස්ත්‍රික්ක වල දැවැන්ත ගංවතුර ඒම වළක්වන්න විශේෂිත වේලි හයක් නිපදවලා විදුලිය නිෂ්පාදනය කරලා, කුඹුරු අස්වද්දලා ක්‍රියා කරන්න පුළුවන් වාර්තා සකස් කරලා තිබෙනවා. මේ සියලු වාර්තා අංග සම්පූර්ණයි. ඒවා අදටත් වලංගුයි. ගණන් හිලව්වල විතරක් අද වෙනකොට වෙනස්කම් වේවි.

මේ වාර්තාවේ සමහර කොටස් දැනටමත් කරලා තියෙන්නේ. උදාහරණ හැ‍ටියට ගිංගගේ එක කොටසක් කරලා තියෙනවා. ඒනිසා ඒ පැත්තේ ප්‍රදේශ කිහිපයක් දැන් යට වෙන්නේ නැහැ. ඒනිසා තමයි අපි නිතරම මතක් කරන්නේ වික‍්ටෝරියා, රන්ටැඹේ, ඉගිනිමිටිය, පොල්ගොල්ල වගේ තැන්වල ගඟ හරස් කරපුවාම ඒ ප්‍රදේශ යටවෙන එක නැවතුණා. ගම්පොල දුම්රියපොළ, ‍පේරාදෙණිය, ගැටඹේ යටවුණා. දැන් එහෙම වෙන්නෙ නැහැ. මොකද කොත්මලේ ජලාශය හදපු නිසා. මෙහෙම ජලාශ නියම වෙලාවට ඉදි කළේ නැති වුණාම ස්වාභාවික ව්‍යසන සිදුවෙනවා. ඒකේ ප්‍රතිඵලය වෙන්නේ ජාතියක් හැටියට බත්පැකට් අරන් දුවන්නයි. ගෙවල් දාලා දුවන්නයි.

අපිට ස්වභාව ධර්මය වෙනස් කරන්න බැහැ. අපිට ස්වභාව ධර්මය හසුරවාගෙන, පාලනය කරගෙන ජීවත්වෙන්න පුළුවන්. ඉතින් මේ සැලැස්ම ක්‍රියා කළොත් අපිට මේ විනාශකාරී ස්වභාවික විපත් මග හැරගෙන ජීවත්වෙන්න පුළුවන්.

ඉතින් මේ වෙලාවේ මම කියන්නේ දැනට අවුරුදු 60ක් තිස්සේ කරගන්න බැරිව තියෙන ඒ සැලැස්ම ක්‍රියාත්මක කළොත් අපිට ඉදිරියෙදී මේ ගංවතුරට, කඳු නාය යෑමට හොඳ විසඳුමක් වේවි. අපේ මතු පරපුරට මේ ව්‍යසන දායාද නොකර වැඩ කරන්න පුළුවන් වේවි. එහෙම නොවුණොත් අපිට වෙන්නේ හැමදාම ගංවතුර වෙද්දි, අධාර සොයාගෙන දුවන්නයි. ගෙවල් හොයාගෙන දුවන්නයි. බත්පැකට් බෙදන්නයි.

ග්‍රාම නිලධාරීන්ගේ උග්‍ර හිඟයක් රටපුරා පවතිනවා. මේ වනවිට විභාගය පවත්වා දිගු කලක් ගතවෙලා තිබෙනවා. එහෙත් බදවා ගැනීම් තවම වෙලා නැහැ නේද?

විභාගය තිබ්බට පස්සේ ගොඩක් යෝජනා මතුවුණා. උදාහරණ හැටියට පණහට පණහ වෙන ආකාරයට ගැහැනු පිරිමි බඳවා ගන්න කියලා යෝජනා වුණා. මේක ක්ෂේත්‍රයේ කරන රැකියාවක්. ක්ෂේත්‍රයේ රැකියාවකදී කාන්තාවන් වැඩියෙන් යෙදවීම කරන්න බැහැ. නමුත් දැන් අපි අවසානයේ නිගමනයකට ඇවිල්ලා තිබෙනවා, විභාග ප්‍රතිඵල මත ම බඳවා ගන්නවා කියලා‍. ඒ තර්ක විතර්ක අවසන් වෙන්න යම් කිසි කාල පරි‍ච්ඡේදයක් ගියා.

අනික හැම‍ ක්ෂේත්‍රයකම නිලධාරීන්ගේ හිඟයක් රටේ තියෙනවා. හැම වර්ෂයකම කණ්ඩායම් විශ්‍රාම යනවා. අලුතින් අය ‍එනවා. එතකොට අලුතින් අය වෙලාවට බඳවා ගන්න ක්‍රම තියෙනවා. බඳවා ගැනීම අඩු වුණාම හිඟයක් මතුවෙනවා. මේ පවතින අඩුව සහ දැනට අපි හදිසි අවශ්‍යතාව සලකළා දැනට ඉන්න අයට අසාධාරණයක් නොවන විදිහට අවුරුදු හැට හතට අඩු අය රාජකාරී කටයුතු වල යොදවලා තිබෙනවා.

එතකොට විභාග ප්‍රතිඵල නිකුත් වුණාම මොකද කරන්නේ?

විභාග ප්‍රතිඵල නිකුත් වුණාම ඒ ප්‍රතිඵලවලින් අලුත් පිරිස් බඳවා ගන්න‍ කොට විශ්‍රාමික අය ඉබේම ඒ ස්ථානවලින් ඉවත්වෙනවා.

ග්‍රාම නිලධාරීන් බඳවා ගැනීමේ විභාගය පවත්වා සෑහෙන කාලයක් ගතවෙලා. එහෙම තත්ත්වයකදී ප්‍රතිඵල නිකුත් කරලා තිබ්බට ඒවා රැගෙන යන්න ඔබ අමාත්‍යාංශයට උනන්දුවක් නැති බව වාර්තාවෙනවා?

නැහැ. විභාග කොමසාරිස්තුමා තුන් හතර පාරක් කතා කරලා තමයි, අපි ඉක්මනින් ප්‍රශ්න පත්‍ර බැලෙව්වේ. ඒවා අපි දැන් බලවලා තියෙනවා. ඊ‍ට පස්සේ බඳවා ගැනීමේ ක්‍රියාදාමය නීත්‍යනුකූලව කළාට පස්සේ ඒ බඳවා ගැනීමේ කටයුතු ආරම්භ කරනවා.

කොපමණ කලක් ‍ඒ සඳහා ගතවේවිද?‍

ඒකට කාලයක් මට කියන්න බැහැ. අවශ්‍ය පසුබිම හැඳුණාම සුදුස්සාට සුදුසු තැන හිමි වෙනවා.

ජාතික උරුමය ලෙසින් හඳුන්වන තැපැල් කාර්යාල කිහිපයක් ඉන්දියාවට පැවරීමට යන බවට වාර්තාවෙනවා. නුවරඑළිය, මහනුවර මෙන්ම ඔබ නියෝජනය කරන ගාල්ල දිස්ත්‍රික්කයට අයත් ගාලු කොටුවේ තැපැල් කාර්යාලයත් මෙහිදී තිබෙනවා?

අපි ගිය ආණ්ඩුව වගේ ලෝක උරුම නීති එකක්වත් උල්ලංඝනය කරන්නේ නැහැ. ලෝක උරුම ඒ විදිහට තියෙනවා. ගිය ආණ්ඩුව කාලයේ ගාල්ල නගරයේ ලෝක උරුම නීති උල්ලංඝනය කරලා ඒ අයට ‍එරෙහිව එක නඩුවක් වත් ෆයිල් කරලා නැහැ. හැමෝම බයේ කට වහගෙන හිටියා. ලෝක උරුම හැටියට තිබෙන ඒවා පාලනය කරන‍්නේ ලංකාවේ නීතිය යටතේ නොවේ පාලනය කරන්නේ, ඒවා පාලනය වෙන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධාන‍ය සමඟ අස්සන් කරලා තිබෙන ගිවිසුම් අනුවයි‍. අපේ ආණ්ඩුව ලෝක උරුම නීති ආරක්ෂා කරන්න බැදිලා ඉන්නවා මිසක් ඒවා උල්ලංඝනය කරන්නේ නැහැ.

ආණ්ඩුව ජාතික සංහිඳියාව වෙනුවෙන් පෙනී සිටිනවා. මෑතකාලීනව ඇතැම් භික්ෂූන් වහන්සේලාගේ ක්‍රියාකාරීත්වය ගැන ගැටලු රැසක් පැන නැග්ගා. ඒ අතරම ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට කටයුතු නොකිරීම නිසා බොහෝ මධ්‍යස්ථ පිරිස් ආණ්ඩුවට‍ චෝදනා එල්ල කරනවා?

මෙතෙන්දි පුවත්පත් ඇතුළු මාධ්‍යවල ප්‍රධාන යුතුකම තමයි, උන්වහන්සේලාගේ ක්‍රියා කලාපය ගැන සමාජයට නිවැරදි දැනුමක් ලබාදීම. ඒත් මට පේන්නේ නැහැ කිසිම මාධ්‍යයක් එහෙම කරන බවක්. අද ජනමාධ්‍යයත් මේ අයව ආරක්ෂා කිරීමට පෙනී සිටිනවා මිසක්, ඒ අයගේ වැරැද්දවත් පෙන්නලා දෙන්නේ නැහැ.

මම ඇහුවේ ආණ්ඩුවේ මැදිහත්වීම ගැනනේ?

ආණ්ඩුව අත්අඩංගුව ගැනීමට ක්‍රියාකරන්නෙ කොහොමද සියලුම මාධ්‍ය එකතුවෙලා වැරදිකාරයන් වෙනුවෙන් පෙනී ඉඳලා, විවිධ මතවාද රටේ පතුරවනවනේ. ඒ හින්දා අඩුම ගානේ මේ ගැන නිවැරදි චිත්‍රය ලබාදීමේ යුතුකමක් මාධ්‍යයට තිබෙනවා.

සංවාදය
මලික් චමින්ද ධර්මවර්ධන 

Comments