“ඉල්ලන් කෑම” | සිළුමිණ

“ඉල්ලන් කෑම”

 ගෙවුණු සතියේදී රට උණුසුම් කළ සිදුවීම් දෙක තුනක් දැකගත හැකි විය. සයිටම් විරෝධි සරසවි සිසුන් බලහත්කාර අන්දමින් සෞඛ්‍ය අමාත්‍යාංශය වැටලීම, ඊට දැක්වූ ප්‍රතිචාරවලට විරෝධය පාමින් රජයේ වෛද්‍ය නිලධාරී සංගමය ක්‍රියාත්මක කළ වර්ජනය නිසා ගංවතුරෙන් හා ක්‍රිකට්වලින් පසු වඩා වැඩි අවධානයක් රටේ දේශපාලනය කෙරෙහි ඉකුත් සතියේ යොමු විණි.

ඉල්ලන් කෑම යනුවෙන් වදනක් අපේ කට වහරේ පවතී. පසුගිය බදාදා සෞඛ්‍ය අමාත්‍යාංශය වැටලු සරසවි සිසුන්ට එල්ල වූ ප්‍රහාරය ද වැටෙනුයේ මේ ඉල්ලන් කෑමේ ගණයටය. ආකර්ෂණීය සටන් පාඨ වාතලයට මුසු කරමින් ජනාකීර්ණ කොළඹ නගරයේ වීදි සටන් සිදු කරන සරසවි සිසුන් අනිවාර්යයෙන්ම බලාපොරොත්තු වන කරුණක් වනුයේ මර්දනයයි. මර්දනය වැඩි වන තරමට තමනට හිමි වන ප්‍රචාරය ද වැඩි බව ඒවායේ නායකකාරකාදීහු හා පිටුපස සිට ඒවා මෙහෙයවන නූල් සූත්තරකරුවෝ ඉතාම හොඳින් දනිති. පසුගිය බදාදා ඇස්වාට්ටුව අවට ප්‍රදේශයේ ඇතිවූ තත්ත්වය කිසිසේත්ම “අහිංසක” නොවනුයේ එවැනි පසුබිමකය.

සාමාන්‍යයෙන් රටේ තරුණ ප්‍රජාව අතර බුද්ධිමත්ම කොට්ඨාසයක් ලෙස සරසවි සිසුහු සැලැකෙති. අතිශය තරගකාරී විභාගයකට මුහුණ දෙමින් විශ්වවිද්‍යාලයට ඇතුළුවීමට අවස්ථාවක් හිමිවීම යනු සුළුපටු දෙයක් නොවේ. අතීතයේදී එය රටක් රාජ්‍යයක් දිනුවා බඳු තත්ත්වයක් විය. මේ වන විට එය සාමාන්‍යකරණය වී තිබුණ ද විශ්වවිද්‍යාල අධ්‍යාපනයට වරම් ලැබීම යනු ඉහළ දක්ෂතාවක් ලෙස තවමත් සැලැකේ. වසරකදී දෙලක්ෂ පනස්දහසකට වැඩි සිසුන් ප්‍රමාණයක් අ.පො.ස. (උ.පෙළ) විභාගයට මුහුණ දෙන මුත් ඉන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය හැදෑරීමට අවශ්‍ය අවම සුදුසුකම් සපුරනුයේ 70,000කට අධික පිරිසකි. එයිනුත් විශ්ව විද්‍යාලවලට ඇතුළත් කරගනු ලබනුයේ 29,000කට ආසන්න ප්‍රමාණයක් පමණි.

අපේ උසස් අධ්‍යාපන ක්‍රමය සැකැසී ඇත්තේ කොතරම් බැහැර කිරීමක් පෙරදැරිව ද යන්න පැවසීමට ඊටත් වඩා සාක්ෂි අවශ්‍ය නැත. සුදුසුකම් සහිත වැඩිදුර අධ්‍යාපනය ලැබීමේ උනන්දුවක් සහිත එම කොට්ඨාසයේ අවශ්‍යතාව සඳහා මීට වඩා පලදායි ආයෝජනයන් සිදු කිරීම වැදගත් වනුයේ එවැනි පසුබිමකය. කෙසේ වෙතත් සෑහෙන කාලයක් පුරා ක්‍රියාත්මක වූ වැරැදි ආර්ථික ප්‍රතිපත්ති නිසා රෝගී වී ඇති ආර්ථිකයක් තුළ ඒ සඳහා ධාරිතාවක් රජයකට නැත. එය තනිවම රජයකට සපුරාලිය නොහැක්කේ මේ වන විටත් ඉහළ මට්ටමේ දායකත්වයක් නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් රජය දරන බැවිනි. උසස් අධ්‍යාපනය සඳහා පෞද්ගලික අංශය මැදිහත් වීම වැදගත් වනුයේ එබැවිනි.

මූලිකවම, විශ්වවිද්‍යාල පිහිටුවීම හා උපාධි ප්‍රදාන ආයතන පිළිගැනීම පිළිබඳ දැනට බලාත්මක නීති තත්ත්වය විමසා බැලීම වැදගත්ය.

විශ්වවිද්‍යාල පිහිටුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ බලපාන්නේ “1978 අංක දරන විශ්වවිද්‍යාල පනත” යි. මේ පනත 1985, 1988, 1989, 1996 හා 2016 වසරවලදී සංශෝධනයට ලක් වී ඇත.

පනතේ 21 සිට 27 දක්වා වගන්ති අනුව,

. විශ්වවිද්‍යාල

. මණ්ඩප

. විවෘත විශ්වවිද්‍යාල

. විශ්වවිද්‍යාල කොලේජ්

. උසස් අධ්‍යාපනය සඳහා ආයතන හෝ මධ්‍යස්ථාන පිහිටුවීමට විෂය භාර අමාත්‍යවරයාට බලය ඇත.

පනතේ 25අ වගන්තිය යටතේ “උපාධි ප්‍රධාන ආයතන” ලෙස සුදුසු ආයතන පත් කිරීම පනතේ 70 වගන්තිය යටතේ පනවන නියෝගයක් මඟින් පත් කිරීමේ බලය අමාත්‍යවරයාට ඇත.

මේ යටතේ මේ වන විට රජයට සම්බන්ධ ආයතන 10න් ද පුද්ගලික අංශය සතු ආයතන 11ක් වෙත ද මේ වන විට මෙම උපාධි ප්‍රදානය කිරීමේ බලය අමාත්‍යවරයා විසින් ලබා දී තිබේ. මෙම පත් කිරීම පනතේ විධිවිධාන අනුව යමින් අමාත්‍යවරයා විසින් රජයේ අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබේ.

ඒ අනුව සයිටම් ආයතනයට අදාළව පළමු නියෝගය 2011 අගෝස්තු 30 වන දින අංක 1721/19 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මඟින් පැනවූ අතර එහි කොන්දේසි 2013 සැප්තැම්බර් 26 වන දින අංක 1929/36 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයෙන් සංශෝධනය කරන ලදී.

2013 අගෝස්තු 22 වන දින අංක 1824/21 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මඟින් උපාධි ප්‍රදානය කිරීමේ ආයතන වශයෙන්, උපාධි වශයෙන්, ආයතන පිළිගැනීමට අදාළ රීති උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් පනවන ලද අතර, ඒ මඟින් ආයතනික සමාලෝචනය, විෂය සමාලෝචනය, ප්‍රතීතන සහ තත්ත්ව සහතික කිරීම, සමාලෝචන මූල මණ්ඩල විසින් තක්සේරු කිරීම, ආයතන සමාලෝචනය සඳහා වූ මාර්ගෝපදේශ විෂය සමාලෝචනය සඳහා වූ මාර්ගෝපදේශ පිළිබඳ විධිමත් භාවයක් ඇති කරන ලදී. පෞද්ගලික විශ්වවිද්‍යාල පිහිටුවීම පිළිබඳ නෛතික තත්ත්වය එයයි.

නිදහස් අධ්‍යාපනය රැකගැනීම වෙනුවෙන් යැයි කියන වීදි සටන්හි වැඩිවීමක් පසුගිය කාලයේදී දැකගත හැකි වුවත් උසස් අධ්‍යාපනය සඳහා වැඩි අවධානයක් වත්මන් රජය යොමු කර ඇත. 2016 වසරේදී විශ්වවිද්‍යාල සඳහා ඇතුළත් කරගන්නා සංඛ්‍යාව 27603 දක්වා පැවැති තත්ත්වයට වඩා 10%කින් වැඩි කිරීමට රජය පියවර ගෙන ඇති අතර දැනට ඉදිකරමින් ඇති නේවාසිකාගාරවල වැඩ අවසන් වූ පසු සරසවි නේවාසිකාගාර ගැටලුවලද බොහෝ දුරට සමනය වනු ඇත. 2015 හා 2016 වසරවලදී නේවාසිකාගාර සංකීර්ණ 60ක ඉදිකිරීම් කටයුතු අවසන් වූ අතර මේ වසර තුළදී තවත් නේවාසිකාගාර සංකීර්ණ 24ක් රටේ විශ්වවිද්‍යාල පද්ධතියට එකතු වීමට නියමිතය. නේවාසිකාගාර ඉදිකිරීමට පමණක් අයවැයෙන් 2017 වසර සඳහා වෙන්කර ඇති ප්‍රතිපාදනයේ වටිනාකම රුපියල් කෝටි 382කි. මහපොළ හා ශිෂ්‍යාධාර දීමනා ද රුපියල් 5000, 4000 වන සේ වැඩිව ඇත. ඒ ආකාරයට සැලකිය යුතු වැඩ කොටසක් රජය දෙසින් අධ්‍යාපනය වෙනුවෙන් පසුගිය කාලයේ සිදුව තිබේ. සයිටම් ප්‍රශ්නය පිළිබඳව දීර්ඝව මීට පෙර අප සාකච්ඡා කර ඇති බැවින් යළි ඒ පිළිබඳව පුන පුනා පැවැසීම අවශ්‍ය නොවන තරම්ය.

සරලව පැවසුවහොත් ඉහළ ප්‍රමිතියෙන් යුතු පෞද්ගලික විශ්වවිද්‍යාල බිහි වීම මේ වන විට තාර්කික අවශ්‍යතාවක් වී තිබේ. එහෙත් තරුණ අසහනය දඩමීමා කරගනිමින් ඒ මත දේශපාලන සූදුවක නිරත වන ඇතැම් පක්ෂ කණ්ඩායම්වලට නම් ඒවා වගකදුරු මෙනි. සැබැවින්ම ශාස්ත්‍ර ගවේෂණය වෙනුවෙන් අද අධ්‍යාපනය හදාරනුයේ අතිශයින් සුළු පිරිසකි. කුමන කතා පැවසුවද අතිබහුතරයක් දෙනා අධ්‍යාපනයෙන් බලාපොරොත්තු වනුයේ රැකියාවකි. තිත්ත වුණත් ඇත්ත එයයි.

සිසුන් දඩමීමා කරගෙන තම බාල දේශපාලන අරමුණු මුදුන් පමුණුවා ගැනීමට දඟලන පක්ෂ කණ්ඩායම් ඒ පිළිබඳව අර තරමට අවධානයක් දක්වන බවක් නොපෙන්වයි. විශ්වවිද්‍යාලයෙන් පිට වූ පසු දිගටම රැකියා විරහිතව පසු වුවද ඔවුනට ඒ ගැන වගක් නැත.

කෙසේ වෙතත් පහසුවෙන් කුලු ගැන්විය හැකි මෙම සටන්පාඨය, විරුද්ධාකල්ප විකුණා කමින් ජීවත් වන දේශපාලන පක්ෂවලට හොඳ මස් කැබැල්ලකි. පෞද්ගලික විශ්වවිද්‍යාලවලට පමණක් නොව, එදා අනුබද්ධ විශ්වවිද්‍යාල පිහිටුවීමේදී මේ ඇතැම් දේශපාලන බලවේග ඊට විරුද්ධ වූයේ රටේ උගත් තරුණ පරපුර කෝකියන් හා බාබර්ලා බවට පත් කිරීමට උත්සාහ කරන බව කියමිනි. මෙවැනි කාරණා ඔවුනට හිඟන්නාගේ තුවාලය වැනිය. බදාදා කොළඹ රඟ දැක්වූ නාටකය කලින් සකස් කළ පිටපතකට අනුව සිදුවුණු බව ඉතා පැහැදිලිය. ඒ, මේ සම්බන්ධව රජයේ වෛද්‍ය නිලධාරී සංගමය දැක්වූ ප්‍රතික්‍රියා දෙස බැලීමේදීය. වසර 91ක ඉතිහාසයක් සහිත රජයේ වෛද්‍ය නිලධාරී සංගමය තවදුරටත් වෘත්තිය සමිතියක් ලෙස සැලකිය හැකි ද යන්නනම් ගැටලුවකි.

පෞද්ගලික විශ්ව විද්‍යාල අධ්‍යාපනයට ඇති දුෂ්කර ප්‍රවේගය තුළ, මෙරට සිසුන් විදේශීය පෞද්ගලික විශ්වවිද්‍යාල කරා ඇදී යෑම තුළ රටට වසරකදී අහිමි වන ආදායම වසරකට රුපියල් කෝටි 744ක් පමණ වේ. පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීම හරහා මෙරටින් පිටරටට ඇදී යන විදේශ විනිමය රට තුළ රඳවා ගැනීමත් විදේශීය විනිමය ජාතික ආදායමට එක්කර ගැනීමත් ප්‍රධාන අරමුණු වේ.

ශ්‍රී ලංකාව ආසියාවේ දැනුමේ කේන්ද්‍රස්ථානය කිරීම සඳහා වූ රජයේ ප්‍රකාශිත අරමුණු සාර්ථක කරගැනීමට නම් මෙරට විශ්ව විද්‍යාල සඳහා විදේශීය රටවලින් ශිෂ්‍යයන් මෙරටට ආකර්ෂණය කර ගත යුතුය. සමාජවාදී යැයි කියන චීනයේ පමණක් නොව අධ්‍යාපනිකව එතරම් නොදියුණු මැලේසියාව, බංග්ලාදේශය වැනි ආසියානු රටවල ද පෞද්ගලික විශ්වවිද්‍යාල මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතී. ආසියාවේ උසස්ම අධ්‍යාපන මට්ටම කරා තවම පැමිණ නැති වූත් මැලේසියාවේ මලයා විශ්ව විද්‍යාලයට විදේශයන්ගෙන් සිසුන් 21,000කට වැඩි පිරිසක් පැමිණෙන බව කියැවේ. අන්තර්ජාතික විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීමේ සටහනේ 167 වැනි අංකයට පත්ව ඇත්තේ එයයි. ශ්‍රී ලංකාවේ කිසිදු විශ්වවිද්‍යාලයක් ඒ ආසන්නයේ හෝ නැත. ලංකාවේ විශ්වවිද්‍යාලයත් ලෝක මට්ටම තුළ අපට හමු වනුයේ දෙදහසේ අංකය ඉක්මවූ පසුය.

මනුෂ්‍ය ජීවිතය සමඟ දැඩිව බැඳී පවතින ගෞරවනීය උතුම් සේවාවක් ලෙස ඉහළ මට්ටමේ ගරු හැසිරීමක් වෛද්‍ය වෘත්තිකයන්ගෙන් සමාජය බලාපොරොත්තු වුවද කනගාටුවට මෙන් දිගින් දිගටම අපට ලිවීමට සිදු වූයේ එහි අනිත් පැත්ත පිළිබඳවය. දොස්තරලා හා කොන්දොස්තරලා වෙන් කර හඳුනාගැනීමට තරම් තත්ත්වය මේ වන විට සංකීර්ණ වී ඇත. රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ ඉහළ නිලධාරීන් මුළුමනින්ම දේශපාලන පසුබිමක් මත හැසිරෙන අතර ඔවුන්ගේ හැසිරීම තුළ දැඩි උද්දච්චකමක් මෙන්ම මුරණ්ඩුකමක්ද දැකගත හැකිය. තම පෞද්ගලික වෛද්‍ය සායන තුළ ආරක්ෂිතයන් පිරිවරාගෙන සිටින “අමුතු ලෙඩ” ඇති ඇතැමුන් එහි අද රජ වී තිබේ.

පසුගියදා රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ ප්‍රධාන නිලයක් දරන මේ එක් වෛද්‍යවරයකු තම සහෝදර වෛද්‍යවරයකුට ප්‍රසිද්ධියේ පහර දීමෙන් එය මනාව පෙනී යයි. උගතුන් යැයි කියමින් වෛද්‍යවරුන්ට සමාජය ගරුසරු දැක්වුවද දේශපාලන සිතැඟියාවන් කරපින්නාගෙන හැසිරෙන කිහිප දෙනකුගේ ක්‍රියාකාරිත්වය තුළ එම සමාජ ගරුත්වය මේ වන විට හෑල්ලුවට ලක්ව තිබේ. අපේ සමාජය උගතුන් යැයි හඳුන්වනුයේ බොහෝ විට පුහුණු ශ්‍රමිකයන්වය. වෛද්‍යවරු, නීතිඥවරු, ඉංජිනේරුවන් යන මොවුන් පැහැදිලිවම පුහුණු ශ්‍රමිකයන්ය. උගත්කම කුමක් වුවත් පුහුණුව ඔවුන්ව දියුණු ශ්‍රමිකයන් බවට පත් කර තිබේ. රජයේ වෛද්‍ය සංගමය සරසවි සිසුනට පහර දීම සම්බන්ධයෙන් වැඩ වර්ජන ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වී ඇති මොහොත වැදගත්ය.

ඔවුන් වර්ජන කරනුයේ අර්බුදකාරී ඩෙංගු උවදුර ජාතික අර්බුදයක් බවට පත්ව ඇති විටෙකය. එවැනි අවස්ථාවක තම වෘත්තිය දිවිය ආරම්භයේදී සිදු කරන්නා වූ හිපොක්‍රටීස් දිවුරුම අනුව යමින් ඉහළ සදාචාර ප්‍රමිතීන් අනුගමනය කරමින් තමන්ට පැවැරී ඇති නිසි පැවැත්ම සහතික කරලීමේ යුතුකමක් ඔවුන්ට ඇත. එහෙත් රජයේ වෛද්‍ය සංගමයේ ඉහළ නිලධාරීන් එය තඹයකට මායිම් නොකරන බවක් නොපෙනේ. සයිටම් ගැටලුව සම්බන්ධයෙන් ඔවුන්ගේ හැසිරීම දේශපාලනික වූවක් බව තේරුම් ගැනීමට කුඩා දරුවකුට වුවද අසීරු නොවේ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සමයේදී 2011 වසරේදී මෙය ආරම්භ කරද්දී පාදෙණියලා කොයි දෙණියේ සිටීදැයි අපි, දැනගැනීමට කැමැත්තෙමු.

ලක්රුවන් වීදියබණ්ඩාර

Comments