රතු බලකොටුවක් වූ තහනම් නගරය | සිළුමිණ

රතු බලකොටුවක් වූ තහනම් නගරය

චීනයේ මහජන යුගය ඇරඹෙන්නේ චීං රාජ වංශයට (1812) පසුවයි. බාහිර ආක්‍රමණ හා අභ්‍යන්තර සිවිල් යුද්ධ සහිත දීර්ඝ ජනතා අරගලයකට අනතුරුව 1946දී චීන මහජන සමූහාණ්ඩුව බිහි වෙයි. 1953 සිට අදටත් පවතින්නේ චීන කොමියුනිස්ට් සමූහාණ්ඩුවකි. බටහිර විලාසිතා හෝ නව ප්‍රවණතාවලින්ද තොර නොවූ, ගෝලීයකරණය ගැන දැන ඊට ඇතුළත් වූ බව පෙනෙන්නට ඇති, වත්මන් චීන සමාජයට එකී ආවේණික බව ඔවුන්ගේ සම්ප්‍රදායෙන්ම ගෙනත් දෙන්නකි.

විශේෂයෙන්ම චීන ජනයා සතු සාමූහික හැඟීම ගෝලීයකරණය හමුවේ මෙන්ම කොමියුනිස්ට් ක්‍රමය තුළද නිදහස් ලෝකයක් ගොඩනඟන්නට පාදක කරගෙන ඇත. තමා ළඟ අනෙකා ගැන වගකීමෙන් කල්පනා කරන්නට සම්ප්‍රදායෙන් ලද පුරුද්ද ලොව වැඩිම ජනගහනය සහිත, වර්ග කිලෝමීටර් අනූහය ලක්ෂයක් පමණ වන භූමියක් සහිත චීනය ඒකීය කරන්නට ප්‍රධාන සාධකයක්ව ඇත.

සියයට අනූදෙකකට ආසන්න 'හන්' නමැති ප්‍රධාන ජනවර්ගයට අමතරව තවත් ජනවර්ග පනස්පහක් පමණ එරට වාසය කරන බවද අමතක නොකළ යුතුයි. භූමියේ විශාලත්වය හෝ මහා තැනිතලා බිම් හෝ සාමූහික චින්තනය කෙරෙහි උදව් කළ සොබාදහමේ ස්වභාවයයි. එමඟින් තම අල්ප බව සිතන්නට චීන ජනයා නිතැතින්ම පොලඹවයි. සොබාදහමට සාපේක්ෂව තම අල්ප බව පසක් වීමම අනෙකා හා සහයෝගයට අනුබලයකි. මහජන යුගයට පෙර තහනම් පුරවරය ලෙස හැඳින්වූ, රතු චතුරශ්‍රය හෙවත් තියැන්අන්මෙන් චතුරශ්‍රය පේන තෙක් මානයට පැතිරෙන එවැනි තැනිතලාව අද මහජන චීනයේ නිදහස් ස්මාරකයයි. රජවරුන්ගේ අන්තඃපුරය ලෙස තබාගත් මේ පෙදෙස මහජන යුගයට පෙර සාමාන්‍ය ලෝකයට තහනම් විණි. අද එතැන ලෝකයටම විවෘත නිදහස් භූමියකි.

සාමූහික බවට අමතරව චීනයේ ඒකීය බව කෙරෙහි චීන භාෂාවද සාධකයක්ව ඇත. චීනයට පිවිසෙන ඇතැම් විදෙස් සංචාරකයන් සිය කණස්සල්ල පළ කරන හේතුවක් වන්නේ වෙනත් විදෙස් භාෂාවක් දත් අය චීන ජනයා අතර ඉතා දුලබ වීමයි. එහෙත් 'චීන ලෝකයට' එය ගැටලුවක් නොවේ. අන්තර්ජාල භාවිතය පවා චීන භාෂාවෙන් පවත්වාගන්නට චීනය සමත්ව ඇත.

සැම තරුණතරුණියක අතම ඇති ජංගම දුරකතනය තම-තමන්ගේ ලෝකය බවට පත් කරගත් අවස්ථාද දුලබ නොවේ. ගෝලීයකරණය විසින් පවරන දේම නොගත්තාය කියා චීනය තොරතුරු තාක්ෂණය හමුවේ පසුබා නැත. ඉංග්‍රීසි භාෂාව නොදැන ඉදිරියක් නැතැයි නඟන 'වහල් මන්ත්‍රය' යටත්විජිත මානසිකත්වයයෙන් ගැලවෙන්නට නොහැකි රටවලට වලංගු නමුත් මවු භාෂාව යනු ඉදිරියට යා හැකි බලවත් අත්වැලක් බව චීනය ලොවට පෙන්වා දී ඇත. දැවන්ත චීනයට මෙය ප්‍රශ්නයක් නොවේයැයි අයකු කල්පනා කරනවා නම් මවු භාෂව පෙරට ගෙන කුඩා ජපානය ලොව ජය ගත් අයුරු සිහිපත් කිරීම වටී.

කොමියුනිස්ට් ක්‍රමය තුළ පැරණී වටිනාකම් හෝ සම්ප්‍රදායන් බිඳදමන්නට චීනය පෙලඹී නැත. විප්ලවය යනු එවැනි බිඳදැමීමක් නොවන බව ඔවුන් අවබෝධ කරගෙන ඇත.

තම කුසගින්න වෙනුවෙන් වූ ගොවිතැන සඳහා චීන ජනයා මුළු චීන භූමියම අනෙක් පස හරවා ඇතැයි කීම අතිශයෝක්තියක් නොවේ. මේ දුප්පත් චීන ජනතාව තම නිදහස දිනාගැනීම සඳහා වන අරගල මාවතකට හරවා, ඒ ජන ගඟ සමකාලීන ලෝකයේ බල කඳවුරු සලිත කරන්නට පොලඹවා, චීනය එක්සත් ජාතීන්ගේ මහ බලවතුන්ට හිමි පුටුවක වාඩි කරවූ මා ඕ සේතුං නායකයාගේ සිට පැරණි රජවරුන් දක්වාම ඇති ඉතිහාස සංඥාව ගැන, ගෝලීයකරණය හමුවේද චීන ජනයා තම උනන්දුව අත්හැර නැත.

එමෙන්ම ලෝකයට පිටුපා එක තැන පල්වීමක්ද නැති බව වසර 15කට පසු දෙවැනි වරට චීනයට පය තැබූ විට අපට පසක් විණි. චීන ජනතාවට තම රට තවත් ලෝකයක් වුවද එය ලෝකයෙන් හුදෙකලා වීමක් නොවන බව එරට සංචාරය කරන විට දැනගන්නට හැකියි.

පැරණි රජමාලිගා සංකීර්ණ සහිත තියැන්අන්මෙන් චතුරශ්‍රය දැකබලාගැනීම පිණිස, චීනයේ දස දෙසින් දිනපතා ඇදී එන ලක්ෂ සංඛ්‍යාත ජනකාය ඉතිහාස කතාව වත්මනට ඈඳාගන්නා බවට ජීවමාන නිදසුනකි. අප වැනි විදේශීය සංචාරකයන් කණ්ඩායමක් ඉදිරියෙන් සංකේතාත්මක කොඩියක් ඉහළට ඔසවා සෙනඟ අතරින් ඉදිරියට ඇදෙන මඟපෙන්වන්නා චීන ජන කණ්ඩායම් අතරද දැකගන්නට හැකි වීම එකී කතාව තවදුරටත් බල ගන්වයි.

කණ්ඩායමක මඟපෙන්වන්නා එවැනි කොඩියක් ඔසවා ගමන් කිරීමෙන් විශාල ජන ගඟක් මැද තම කණ්ඩායම අතරමං නොකර, නිවැරදි මඟ දක්වන්නට උපකාරී වෙයි.

දෙස්-විදෙස් සංචාරකයන් සඳහා මඟපෙන්වන්නන් විසින් යොදාගනු ලබන මේ ක්‍රියාව එදා මා ඕ සේතුං නායකත්වය දුන් දීර්ඝ පාදයාත්‍රාවේදී කණ්ඩායම් නායකයන් තම කණ්ඩායමේ පිටුපසින්ම ගමන් ගන්නා සගයාටත් දැකගන්නට හැකි ලෙස කොඩියක් ඔසවාගත් ආකාරය සිහිගන්වන්නක් බව පැවසේ.

නූතන තාක්ෂණයෙන් පිරි ලෝකයක වුව ඒ පැරණි ක්‍රමය අත්හරින්ට නොහැකි වී ඇත්තේ මහා ජන ගඟක් මැද තම කණ්ඩායමට නායකත්වය දීමට ඇති නොවරදින ක්‍රමය සම්ප්‍රදායෙන් එන දේ නිසා විය හැකියි. මෙහිදී වැදගත් වන්නේ ගෝලීයකරණයට පිවිසි චීනය ලෝකය සමඟ ඉදිරියට ගමන් කරන්නේ පැරණි වටිනාකම් අත්හරිමින් නොවන බව දැනගැනීමයි.

රටට ගැළපෙන දේ හෝ සම්ප්‍රදාය මත එල්බගැනීම මෙන්ම නූතනත්වයට ඉඩ දීම කියා ගෝලීයකරණයට වහල් වීමත් රටක ඉදිරි මඟ අවුරන්නට හේතු වෙයි.

එමෙන්ම කොමියුනිස්ට් ක්‍රමයක පෙරට ගන්නා අරගලකාරී හෝ විප්ලවකාරී ස්වභාවයට වහල් වීමත් රටක සමාජයක ඉදිරි මඟ අවුරන්නට බලපාන බව රහසක් නොවේ. හොඳම නිදසුන ශ්‍රී ලංකාවේ ශිෂ්‍ය ව්‍යාපාරයයි.

තමන්ටත්, අධ්‍යාපනයටත්, රටටත්, අනාගතයටත් කිසිම යහපත් ප්‍රතිඵලයක් අත් කර දෙන්නට අසමත් වී ඇති බව පෙනී පෙනීම, ශ්‍රී ලංකාවේ ශිෂ්‍ය ව්‍යාපාර අරගලකාරී මාවතම පමණක් තොරාගෙන ඇත්තේ කොමියුනිස්ට් ක්‍රමයේ විප්ලවීය ආදර්ශය අනුව යමින් විය හැකිය.

තාරුණ්‍යයට රටේ ඉඩක් නැතැයි හැඳින්වීම පමණක්ම මෙරට ශිෂ්‍ය ව්‍යාපාරය සාධාරණ කරන්නට පදනමක් නොවේ. චීන කොමියුනිස්ට් ක්‍රමය තුළද ශිෂ්‍ය අරගල විප්ලවීය නිදහස නමින් සාධාරණීකරණය කළේ නැත. අරගලයෙන් ඔබ්බට තම අයිතිවාසිකම් දිනාගැනීම වෙනුවෙන් හිතන්නට අකැමැති වූ චීන ශිෂ්‍යයන් දහස් ගණනක් තියැන්අන්මෙන් චතුරශ්‍රයේදී වෙඩි තබා ඝාතනය කළ ඉතිහාසය අයත් වන්නේද නූතන චීනයටයි.

චීනයේ ඉදිරි මඟ අවුරනු පිණිස චීන ශිෂ්‍ය ව්‍යාපාරය බටහිර බළල් අතක් බවට පත් කරගෙන ඇතැයි ඊට චෝදනා කැඟිණි. ඩෙං ෂියාඕ පිං රාජ්‍ය නායකයා එදා ඒ අණ දීම නොකරන්නට නැතිබැරිකමින් ගහන ලොව බලවතුන්ගේ කෙළිබිමක් බවට චීනය පත් වීමට ඉඩ තිබුණු බව පැවසෙයි.

අනෙක් අතට නූතන ආර්ථීක ප්‍රවණතා හමුවේ වත්මන් චීනය දැවැන්ත ආර්ථික සමෘද්ධියකට පිවිසියේ ඩෙං ෂියාඕ පිංගේ නායකත්වයෙන් බවද පිළිගැනේ. නිදහස සමරන්නට ඇති රතු චතුරශ්‍රයේදීද නිදහසට සීමාවක් ඇති බව ශිෂ්‍ය අරගලය මර්දනයට ඩෙං ෂියාඕ පිං ගත් පියවර මඟින් ලෝකයට කියා දෙයි. තමාගේ නිදහස අනෙකාගේ මානව හිමිකම් උල්ලංඝනය නොවන සීමාවේ තබාගත යුතු බවද එයින් කියවෙයි.

පුද්ගල නිදහස හෝ මානව අයිතිය හෝ අධි තක්ෙස්රුවකින් ගැනීමට යෑමේදී අනෙකාගේ නිදහස හෝ මානව අයිතිය කඩ වීම වැළැක්විය නොහැකිය. කෙසේ වෙතත් හිතක පහළ වන අධිතක්සේරුව දිය කරන්නට සොබාදහම බලපාන අයුරු චීනයේ නිදහස් ස්මාරකය වන තියැන්අන්මෙන් චතුරශ්‍රයට ඇදී එන මහා ජනගඟට දැනී යනවා නිරනුමානයි. පේන තෙක් මානයට පැතිරුණු භූමිය හා නිල්වන් අහස සෑම අයකු වෙතම ඒ සිතිවිල්ල කාන්දු කරනවාට සැක නැත. ඔවුන් එසේ ඇහැරෙන්නේ ජනතාව තළා පෙළා පාලනය කළ රජවරුන්ගේ මාලිගා සංකීර්ණයක් දකින අතරවාරයේදී වීමද මෙහිදී අමතක නොකළ යුතුයි.

චීන ජනයා අතර සාමූහික බව ආරක්ෂා වීමට සොබාදහම එවැනි මඟපෙන්වීම් කරනවාට අමතරව චීන ජන සමාජයේ වැඩෙන ආකල්පද ඒ ආරක්ෂාව තර කරයි.

නූතන බටහිර විද්‍යාවෙන් පුරුදු කළ, මිනිසා සොබාදහම පාලනය කරන්නාය යන භයානක චින්තනයට චීන ජනයා අනුගත නොවීම නිදසුනකි. තම කුසගින්න නිවාගැනීමේ සටන සඳහා මුළු චීන බිමම අනෙක් පස පෙරළුවත් තමන් පරිසරයේම කොටසක් මිස පරිසරයෙන් වියුක්ත වූවකු නොවන බව බෙයිජිං අගනගරයේ සිට ඈත ගම්දනව් තෙක්ම චීන ජනයා පෙන්වා දී ඇති පරිසරහිතකාමී බව විසින් තහවුරු කරනු ලබයි.

චීන ජනගහනයට අනුව පාරිභෝජනයද ඉහළම අගයක් ගන්නා නමුත් ඊට සාපේක්ෂව කියවෙන පරිසර හානියද අඩු අගයක් ගන්නා බව ප්‍රකාශ වේ. අධික තදබදයක් සහිත මහමඟ ගමන් කරන විට වුව එහි දක්නට ලැබෙන පිරිසුදු ස්වභාවයම ඒ ගැන පසක් කරයි.

බෙයිජිං නගරයේදී අපගේ සිත් ගත් තවත් අවස්ථාවක් වූයේ 'රතු රඟහල' දැකගනිමින් එහිදී කුංෆු නාට්‍ය දර්ශනයක් නැරඹීමයි. පැයකුත් විනාඩි දහයක් පුරා දිග හැරුණු එම නාට්‍යය නවීන තාක්ෂණය උපරිමව යොදාගත් දැවැන්ත නිෂ්පාදනයක් බව සඳහන් කළ යුතුයි.

සාම්ප්‍රදායික කුංෆු සටන් කලාව ගැන වැඩිහිටියකු විසින් කුඩා දරුවකුට කතාව කියා දෙන ආකාරය දක්වමින් නාට්‍යය දිගහැරෙයි.

පැරණි මැටිපුවරුවක හෝ ගල් කැටයමක ඇති රූප චිත්‍ර එයින් නැඟිට වේදිකාවේ ජීවමාන වන සෙයක් නාට්‍ය ආරම්භයට ගෙන තිබීම මඟින් නවීන තාක්ෂණය සම්ප්‍රදාය ඇහැරවන්නට යොදාගැනීම සංකේතවත් කරයි.

චීන සාම්ප්‍රදායික සංගීතය ලොව කොතනකදී කවුරුන් හෝ ඇසූ සැණින් එය චීනයේයැයි කියන්නට හැකි ලෙස අනන්‍යතාවක් ලකුණු කර ඇත. කුංෆු සටන් කලාවද එසේමයි.

ඇත්තටම එය සටන් කලාවක් මිස අනෙකා පෙළන ආකාරයේ සටනක් හෝ අනෙකා පරාජයට පත් කරන සටනක් හෝ නොවේ. ආදරය, විරහව, සතුරු බිය, සැකය ආදි මිනිස් හැඟීම් හමුවේ සටනට පෙලඹෙන සිතිවිලි තම අභ්‍යන්තරයෙහිම මඬින සටනක් ලෙසිනි කුංපු සටන් කලාව වැඩෙන්නේ. උද්දීපනය වන සිතිවිලි බලෙන් තවා මඬිනවාට වඩා ඊට සටන් කරන්නට ඉඩ සලසා සිත නිවීමකට ගෙනෙන සෙයක් එම කුංෆු නාට්‍ය නරඹන විට අපට පසක් විණි.

(චීනයේ සංචාරයකට පසු)
ලමන් පියසේන
සේයාරූ - රවි ජයවික්‍රම 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.