ගෙදරින් ඉවත දමන කුණු ටික ආපසු එන්නේ ඩෙංගු විදියට? | සිළුමිණ

ගෙදරින් ඉවත දමන කුණු ටික ආපසු එන්නේ ඩෙංගු විදියට?

 අද අපේ රටේ දරුණුම පරිසර ප්‍රශ්නය ඩෙංගු වසංගතය කීවොත් අතිශයෝක්තියක් නොවේ. ඒ මක්නිසාද යත් ඩෙංගු වසංගතයත් කුණු කසළ ගැටලුවත් දෙකක් නොව එකක් බවට පත්වෙමින් තිබෙන බැවිනි.

මේ අතර මෙරට දිස්ත්‍රික්ක 14ක ඩෙංගු මදුරු කීට ඝනත්වය වෙන වසරවලට වඩා සතර ගුණයකින් ඉහළ ගොස් ඇතැයි කීට විද්‍යාඥයෝ තම පර්යේෂණ අනුව පවසති.

මේ පිළිබඳව අවධානය යොමුකළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ප්‍රකාශ කළේ ඩෙංගු රෝගය හා කුණු කසළ ගැටලුව ප්‍රශ්න දෙකක් නොව එකක් බවයි. එමෙන්ම පසුගියදා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ද කොළඹ කුණු ගැටලුවට විසඳුම් වහා ලබා දෙන ලෙස කොළඹ නගර සභාවට නියෝග කළේය.

අද අපේ රටේ කොළඹ ඇතුළු බස්නාහිර පළාතේ හා මහනුවර ප්‍රදේශයේ ඩෙංගු රෝගීන් ගණන බහුලව වැඩි වී ඇත. තැන තැන දමා ඇති එකතු නොකරන කුණු කසළ ද වැඩි වී තිබේ. කුණු කසළ වැඩි වන විට වැස්ස ඇති වූ විට ඩෙංගු වසංගතය ද වැඩිවීම සිදු වේ. එයට හේතුව මේ කුණු කසළ ඩෙංගු හදන මදුරුවන්ට හොඳ වාසස්ථාන වීම බව කීට විද්‍යාඥයන්ගේ මතයයි.

ඩෙංගු වසංගතය දැන් ඉතා දරුණු වසංගතයක් වී තිබේ. මේ වසරේ ‍ඩෙංගුවලින් මැරුණු ගණන 200 කි. ඒ මාස හයක් ඇතුළතය. නමුත් පසුගිය වසර පුරාම මිය ගොස් ඇත්තේ පුද්ගලයන් 78ක් පමණි. මේ වසරේ මුල් හය මාසයේ පුද්ගලයන් 65000කට ඩෙංගු වැලඳී ඇත. නමුත් ගිය වසරේදීම ඩෙංගු සෑදි ඇත්තේ පුද්ගලයන් 54700ක් පමණි. මේ වසරේ මෙරට ප්‍රධාන නගරවල මේ දිනවල වැඩිපුර කුණු කසළ පිරී තිබේ. වර්ග නොකරන ලද කුණු පළාත් පාලන ආයතනවලින් එකතු නොකිරීම එම ගැටලුවයි. ඒ අනුව කුණු කසළ වැඩිපුර තිබෙන විට ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් පෙන්නුම් කරන බව ‍වෛද්‍යවරු හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පෙන්වා දෙති. ඒ අනුව ඩෙංගුත් කුණු කසළත් පරිසරය සුරැකීමත් අතර ප්‍රබල සම්බන්ධයක් ඇත.

ඩෙංගු රෝගය බෝ කරන්නේ ඩෙංගු මදුරුවාය. ඩෙංගු මදුරුවා වැඩිපුර හැදෙන්නේ අපිරිසුදු කුණු කසළ මත ඇති ජලය මතය. පොලිතින් ප්ලාස්ටික්, ටින්, පොල්කටු, යෝගට් කෝප්ප, ටයර් පමණක් නොව රඹුටන් ලෙලි හා මැංගුස් ලෙලිවල ද ඩෙංගු මදුරු කීටයන් වර්ධනය වීමට ඉඩ ඇතැයි වෛද්‍යවරුන් පෙන්වා දී ඇත. දැන් රඹුටන් වාරය නිසා රඹුටන් ලෙලි ගැන ද විමසිලිමත් විය යුතුය.

ඒ අනුව කුණු කසළ නිසි පරිදි සෞඛ්‍යාරක්ෂිත ලෙස වෙන්කර ඉවත් කිරීම මේ ඩෙංගු උවදුරට හොඳ විසඳුමක් බව අද එතෙර මෙතෙර වෛද්‍ය විශේෂඥයන්ගේ අදහස වී තිබේ.

මහ නගර සංවර්ධන හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ඉංජිනේරු නිහාල් රූපසිංහ මහතා පවසන්නේ දිනකට අපේ රටේ කසළ ටොන් 8000ක් පමණ ජනිත වන බවයි. ඒ අනුව කොළඹ නගරයේ එක් පුද්ගලයකු දිනකට කසළ ග්රෑම් 800ක් ජනනය කරනු ලැබේ. පොදුවේ බැලුවොත් එය අනෙක් ප්‍රධාන නගරවල දිනකට ග්රෑම් 400-600 අතර වේ. වැඩිම කසළ ප්‍රමාණයක් පොළොවට එක්කරන්නේ බස්නාහිර පළාතෙනි. ඒ ප්‍රමාණය දිනකට මෙට්‍රික් ටොන් 5000ක් පමණ වෙයි. සතියේ දිනවල කසළ ජනනය වැඩිය. රජයේ නිවාඩු දිනවල එක දිගට දින කීපයක් නිවාඩු තිබෙන සිංහල අලුත් අවුරුදු නත්තල් දිනවල කොළඹ කසළ අඩුය. එයට ප්‍රධාන හේතුව කොළඹට කසළ වැඩිපුර ගෙන එන්නේ පිටතින් පැමිණෙන අය නිසාය.

මධ්‍යම පරිසර අධිකාරිය කළ අධ්‍යයන අනුව පළාත් පාලන ආයතනවලින් එකතු කරනු ලබන්නේ ජනනය කරන මුළු කසළ ප්‍රමාණයෙන් සියයට 50ක් පමණි. ඒ අනුව එය දිනකට මෙට්‍රික් ටොන් 3500ක් පමණි.

අද අපේ රටේ කොළඹ ඇතුළු ප්‍රධාන නගරවල කුණු කසළ එකතු කිරීම ගැටලුවක් වී තිබේ. ඒ එයට ප්‍රධාන හේතුව ඒ කුණු කසළ අවිධිමත් ලෙස එක් එක් අය නීති විරෝධිව හොරෙන් විවිධ ස්ථානවලට වෙන් නොකළ කසළ ලෙස බැහැර කර තිබීමයි. අද අපේ රටේ සියලු පළාත් පාලන ආයතනවලින් එකතු කරනු ලබන්නේ වෙන් කළ කසළ පමණි. ඒ අනුව නොදිරන එළවළු අපද්‍රව්‍ය කුස්සියේ අපද්‍රව්‍ය වෙනමත්, යකඩ ප්ලාස්ටික් වෙනමත් සකසා ටින් ආදිය වෙනමත්, පත්තර කඩදාසි වෙනමත් වෙන්කර දෙන විට නොපමාව බාර ගනු ලැබේ. නමුත් වෙන් නොකළ කසළ පළාත් පාලන ආයතන බාර ගන්නේ නැත. තැන තැන දමන්නේ ඒ කසළය.

එය එක් එක් පළාත් පාලන ආයතනයේ නීතියක් නොව ඇමැති මණ්ඩලය ගත් තීරණයකි. ඊට ප්‍රධාන හේතු සාධකය වූයේ කසළ වෙන් කළ විට දිරන කසළ කොම්පෝස්ට් සෑදීමට ගැනීමට හැකියාව තිබීම හා නොදිරන බොහෝ දේ ප්‍රතිචක්‍රීකරණය කිරීමට හැකියාව තිබීමයි. මේ නිසා මීතොටමුල්ල වැනි කුණු කඳු ඇතිවීම වැළැක්වීමට හැකි බව මධ්‍යම පරිසර අධිකාරියත් පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශයත් පෙන්වා දෙයි.

තත්ත්වය එසේ වූවත් අද කොළඹ නගරයේ තැනින් තැන එකතු වී ඇත්තේ ගෙදර කුණු කිසි ලෙසකින් වෙන් නොකර හිතුමතේ එක පොලිතින් බෑගයක දමා තැන තැන විසිකර යන කුණු බෑග්ය.

කොළඹ නාගරික කොමසාරිස් වී. කේ. ඒ. අනුර මහතා පවසන්නේ සියයට කොළඹ නගරයේ සියයට 75ක් දෙනා කුණු වෙන් කරන බවත් 25%ක් පමණ දෙනා කොළඹ නගරයේ කසළ වෙන් කිරීම නොකරන බවත්ය. මේ තැන තැන එකතු වෙන්නේ අර වෙන් නොකරන කුණු බවත් ඔහු කියයි. ඒ අය තමයි වෙන් නොකර බෑග්වලට දැමු කුණු අනුන්ගේ කර තැනින් තැන දමා පරිසරය අපවිත්‍ර කරන බවත්, පිට ප්‍රදේශවල කුණු පවා වාහනවල දමාගෙන ඇවිත් කොළඹ කුණු ගොඩවලට දමන බවත් මේ අය අල්ලා දඩ ගසන බවත් කොමසාරිස්වරයා පවසයි.

මේ වන විට කොළඹ නගරයේ දිනකට දිරන කසළ ටොන් 400ක් පමණ එකතු වෙයි. නොදිරන ඒවා ටොන් 200ක් පමණ එහි ඇත. මීට අමතරව වෙන් නොකළ කසළ ටොන් 200ක් කොළඹ නගරයේ පවතී. කොළඹ නගර සභාවට ඇති ගැටලුව ඒවා වෙන් නොකර කසළ යම් ස්ථානයකට ගොස් දැමීමට ඇති අපහසුතාවයි. ඒ අනුව නගර සභාවට සේවක සේවිකාවන් යොදවා වෙන් නොකළ කසළ වෙන් කිරීමට සිදුවී ඇත.

මේ ගැටලුවට සරල විසඳුම් තිබේ. මුලින්ම එය ඇරැඹිය යුත්තේ ගෙදරින්මය. මෙහිදී ගෘහිණියට ඉහළම වගකීමක් ඇත. තම දූ දරුවන් පමණක් නොව තම ආදරණීය සැමියා අම්මා තාත්තා ඩෙංගුවලින් බේරා ගැනීමේ මුල්ම පියවර බාර වී තිබේ. ඒ අනුව මුලින්ම කළ යුත්තේ නිවෙසේදීම ඩෙංගු මර්දනයට හේතු විය හැකි කුණු කසළ බාහිර පරිසරයට ඉවත් කිරීම අඩු කිරීමයි. මේ අනුව සිලිසිලි බෑග් පොලිතින් බෑග් නැවත පාවිච්චිය කළ හැකිය. එමෙන්ම ඒවා පාවිච්චිය අවම කළ හැකිය.

ඒ අනුව අපි ගෙදරදීම සිලිසිලි බෑග් නැවත නැවත පාවිච්චි කළ යුතුය. එමෙන්ම පිටතින් නිවසට ගෙන එන සිලිසිලි මලු ප්‍රමාණය හැකි තරම් අඩු කළ යුතුය. සුපිරි වෙළෙඳ සල්වලින් ගන්නා බඩු සියල්ලම අලුත් දිරන බෑග් එකක දැමීමට කාරුණික විය යුතු වේවි. සුපිරි වෙළෙඳ සල්වල සිලි සිලි මලු නොමිලේ ලබාදීම නවතා දිරන මල්ලක් සුළු මුදලකට ලබාදිය යුතුය. ඒ සඳහා පරිසර අමාත්‍යාංශය, රාජ්‍ය නොවන පරිසර සංවිධාන ද එක්විය යුතුය.

ඩෙංගු ගැටලුවෙහි ගෙදර ගෘහිණියට පැවරෙන අනික් වගකීම ගෙදර කුණු ටික වර්ග කිරීමයි. ඒ අනුව මුලින් දිරන හා නොදිරන ලෙස ඒ කුණු දිනපතා වර්ග කළ හැකිය. දිරන කුණුවලට කොළ අතු ගොම ආදිය මිශ්‍ර කර කොම්පෝස්ට් සාදා ගැනීමට වුවද පුළුවන. ඒ සඳහා විවිධ ආකාරයේ කොම්පෝස්ට් රඳවන සකස් කර ගත හැකිය. ඊට පසු නොදිරන කුණු යළිත් තුන් ආකාරයකට වර්ග කළ හැකිය. පොලිතින් ප්ලාස්ටික් එක් කොටසක් ලෙසත් යකඩ වෙනමත්, පත්තර හා කඩදාසි වෙනමත් වෙන්කර බෑග් තුනක දමා ප්‍රාදේශීය පළාත් පාලන ආයතනයෙන් එන වාහනයට බාර දිය යුතුය. එවිට ඩෙංගු ප්‍රශ්නයට ද විසඳුමක් ලැබෙනු ඇත.

මේ කරුණු අනුව අපේ රටේ මේ ඩෙංගු වසංගතය වර්ධනය වීම අඩු කිරීමට නම් නිවසේ සිට නගර සභාව දක්වා සියලු පුද්ගලයන්, රාජ්‍ය බලධාරීහු හා රාජ්‍ය නිලධාරීහු පරිසරය සුරැකීමට කසළ ඉවත් කිරීමට අවට පිරිසුදු කිරීමට වහලවල පීලි ආදිය ශුද්ධ කිරීමට වහ වහා පියවර ගත යුතු බව පොදුජන සංවිධානවල සාමාජිකයෝ පවසති.

නිවසේ කුණු වෙන් කිරීම පිළිබඳව ග්‍රාම නිලධාරිවරු කෘෂිකර්ම හා පර්යේෂණ නිලධාරීවරු වින්නඹු සේවිකාව හා සංවර්ධන නිලධාරිවරු කමිටු ලෙස සෑදි ජනතාවට දැනුමක් ලබා දිය යුතුය. ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු හා ඉහත නිලධාරින් එක්ව ප්‍රදේශයේ පාසල්වල, පන්සල්වල, සායනවල ඒ කසළ කළමනාකරණ දැනුම ජනතාවට ලබාදිය යුතුය. කසළ අවම කිරීම, වෙන් කිරීම ගෙදරට ගොස් ජනතාවට කියා දිය යුතුය.

පරිසර සංරක්ෂණය හරියට කළොත් මෙරට ඩෙංගු උවදුර බොහෝ දුරට අවම කර ගත හැකිය. මුලින්ම අප කළ යුත්තේ ඩෙංගු රෝගීන් 25000කට වඩා සිටින බස්නාහිර පළාතේ කුණු කසළ ගැටලුවට මුලින්ම විසඳුම් ලබා දී ඩෙංගු උවදුර මර්දනය කිරීමයි. ඒ සඳහා පළාතේ පළාත් පාලන ආයතනවල සියලු නිලධාරීහු හා ඒ ප්‍රදේශවල රජයේ නිලධාරීහු ජනතා සංවිධාන සමඟ එක්ව මේ කුණු කසළ ගැටලුව පරිසර දූෂණය වැළැක්වීමට ක්‍රියාකාරී බළකායක් පිහිටුවා ප්‍රායෝගික වැඩසටහන් ක්‍රියාවට නැංවිය යුතුය.

මේ පිළිබඳව අපට කරුණු දැක්වූ කොළඹ නාගරික කොමසාරිස් අනුර මහතා පැවසුවේ මුතුරාජවෙලට හා පුත්තලමට කුණු යවා ප්‍රතිචක්‍රීකරණ වැඩසටහන් ක්‍රියාවට නංවා මේ ගැටලුවට විසඳුම් සොයන බවයි.

විශේෂයෙන් අපේ රටේ විවිධ ප්‍රදේශවල නිවාසවල ඩෙංගු කීටයන් සිටින්නේදැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පරීක්ෂා කරති. නමුත් මහ පාරේ කාණුවල කෙතරම් මදුරු කීටයන් සිටිනවා ද පාසල් රෝහල්වල කාණුවල කෙතරම් මදුරු කීටයන් සිටිනවා ද, මේවා බලන්නෙ කවුද? ද

ඩ ගහන්නෙ වහලයේ පීල්ලක වතුර බිඳක් තිබූ අයට පමණ ද? අපේ රටේ මදුරු මර්දන නීතියක් බහුලව ක්‍රියාවට නංවන්නේ දුප්පත් හා මධ්‍යම පාන්තික අයට පමණි. මහ ගේට්ටු දමාගෙන සිටින මන්දිරවල වහලවල් බලන්නට කවුරුවත් නැත. රටේ හැමටත් සියලු රාජ්‍ය පෞද්ගලික ප්‍රාදේශීය සභා සහ හැම තැනටමත් ඩෙංගුවලදී එක පොදු නීතියක් අවශ්‍යය. එලෙස රටේම කුණු කසළ ගැටලුවට විසඳුමක් දුන්නොත් ඩෙංගු උවදුරත් අවම වනු ඇත.

ඒ සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු අදාළ ප්‍රදේශයේ පරිසර හිතකාමි ජනතාව මෙන්ම කුණු කසළ එකතු කරන අය ද එක්කර ගත යුතුය. ඒ අනුව රටේ පරිසරය නිසි ලෙස සංරක්ෂණය කිරිම් කුණු කසළ විධිමත් ලෙස ඉවත් කිරීම සඳහා එක්ව ප්‍රාදේශීය සභාවට අනුබද්ධ ඩෙංගු කාර්ය සාධක බළකායක් පිහිටුවිය යුතුව ඇත. එයට ප්‍රදේශයේ දේශපාලන අධිකාරිය දක්ෂ වෛද්‍යවරු මෙන්ම රාජ්‍ය නොවන පරිසර සංවිධාන ද එක් විය යුතුය.

මේ අනුව අපට පැවසිය හැක්කේ පොලිතින්, ප්ලාස්ටික් මෙරටට ගෙන්වී අපේ රටේ කුණු කසළ විද්‍යානුකූලව පරිසර හිතකාමීව ඉවත් කිරීමට කටයුතු කරන පළාත් පාලන ආයතනවලට තිළිණ උපහාර පිරිනැමීම කළ යුතුය. ඒ සඳහා අදාළ පළාත් පාලන ආයතනවල කොමසාරිස්වරුන්ට අමතරව පරිසර නිලධාරින් ද ඇපකැපවී කටයුතු කළ යුතුව ඇත. ඩෙංගු වසංගතය වැළැක්වීමට නම් අපේ රටේ පරිසර සංරක්ෂණය මීට වඩා විධිමත් කළ යුතු බව අපි යළිත් අවධාරණය කරමු. ඊට ජනතා සහයෝගය අත්‍යවශ්‍ය බව ද කිව යුතුමය.

නිහාල් පී. අබේසිංහ

Comments